Skip to content

පටුනට යන්න

කතන්දර 72

දෙවි හෙසකියා රජුට උදව් කරයි

දෙවි හෙසකියා රජුට උදව් කරයි

මේ මිනිසා යෙහෝවාට යාච්ඤා කරන්නේ ඇයි කියලා ඔයා දන්නවාද? යෙහෝවාගේ පූජාසනය ඉදිරියේ එයා මේ ලියුම් තියලා තියෙන්නේ ඇයි? මේ මිනිසාගේ නම හෙසකියා. ඉශ්‍රායෙල් දේශයේ දකුණු දිශාවේ ගෝත්‍ර දෙකේ රජ එයායි. එයා ලොකු කරදරයකට වැටිලා. ඒ ඇයි?

ඒකට හේතුව අෂූර්වරුන්ගේ හමුදාව දැනටමත් උතුරු දිශාවේ තියෙන ගෝත්‍ර 10 විනාශ කරලා තිබීමයි. යෙහෝවා මේක වෙන්න ඉඩ දුන්නේ ඒ මිනිස්සු හරිම නරක නිසයි. දැන් මෙන්න අෂූර්වරුන්ගේ හමුදා එනවා ගෝත්‍ර දෙකේ රාජ්‍යයට විරුද්ධවත් සටන් කරන්න.

අෂූර් රටේ රජ මේ දැන් හෙසකියා රජුට ලියුම් එවලා. මේ ලියුම් තමයි දෙවි ඉදිරියේ හෙසකියා තියලා තියෙන්නේ. මේ ලියුම්වල යෙහෝවාට ඔච්චම් කරන දේවල් ලියලා තියෙනවා. හෙසකියාට, ඔවුන්ට යටත් වෙන්න කියලාත් ඒවාවල ලියලා තියෙනවා. මේ නිසයි හෙසකියා මෙහෙම යාච්ඤා කරන්නේ: ‘අනේ යෙහෝවා, අෂූර් රටේ රජගෙන් අපව බේරාගන්න. එතකොට හැම ජාතියකටම අයිති මිනිස්සුන් දැනගනී ඔබ විතරයි දෙවි කියලා.’ යෙහෝවා හෙසකියාට ඇහුම්කම් දෙයිද?

හෙසකියා හොඳ රජෙක්. එයා ඉශ්‍රායෙල් දේශයේ දස ගෝත්‍ර රාජ්‍යයේ රජවරු වගේවත් ආහාස් කියන එයාගේ තාත්තා වගේවත් නරක නැහැ. යෙහෝවාගේ හැම නීතියකටම කීකරු වෙන්න හෙසකියා උත්සාහ කරලා තියෙනවා. ඉතින් හෙසකියා යාච්ඤා කරලා ඉවර වුණාට පස්සේ, යෙසායා කියන අනාගතවක්තෘවරයා යෙහෝවාගෙන් ලැබුණු මේ පණිවුඩය එයාට එවනවා: ‘අෂූර් රටේ රජ යෙරුසලමට ඇතුල් වෙන්නේ නැහැ. එයාගේ කිසිම භටයෙක්වත් ළඟට එන්නේ නැහැ. ඒගොල්ලන්ට නගරයට එක ඊ ගහක්වත් විදින්න ලැබෙන්නේ නැහැ.’

මේ පිටුවේ තියෙන පින්තූරය දිහා බලන්න. මේ මැරිලා ඉන්න භටයින් ඇවිත් තියෙන්නේ කොහෙන්ද කියලා ඔයා දන්නවාද? ඔවුන් අෂූර්වරුන්. යෙහෝවා ඔහුගේ දේවදූතයාව එවලා, එක රැයකින් අෂූර් ජාතික භටයින් එක්ලක්ෂ අසූපන්දහස්දෙනෙක්ව මැරෙව්වා. ඉතින් අෂූර් රටේ රජ යුද්ධ කරන එක නවත්වලා යනවා.

ගෝත්‍ර දෙකේ රාජ්‍යය බේරිලා. මිනිස්සුන් ටික කාලයක් සාමයෙන් ඉන්නවා. ඒ වුණාට හෙසකියා මැරුණාට පස්සේ එයාගේ පුතා මනස්සේ රජ වෙනවා. මනස්සේ හා එයාට පස්සේ රජ කරන එයාගේ පුතා ආමොන් කියන දෙන්නාම හරිම නරක රජවරු. ඉතින් ආයෙත් අපරාධවලින් දේශය පිරෙනවා. ආමොන් රජව එයාගේම සේවකයන් මැරුවාම, එයාගේ පුතා යොෂියාව ගෝත්‍ර දෙකේ රාජ්‍යයේ රජකමට මිනිස්සු පත් කරනවා.