Skip to content

පටුනට යන්න

කතන්දර 73

ඉශ්‍රායෙල්වරුන්ගේ අන්තිම හොඳ රජ

ඉශ්‍රායෙල්වරුන්ගේ අන්තිම හොඳ රජ

යොෂියා ඉශ්‍රායෙල් දේශයේ දකුණු දිශාවේ තියෙන ගෝත්‍ර දෙකේ රජ වෙනකොට එයාට වයස අවුරුදු අටයි. රජකමට නම් මේක හුඟක් බාල වයසක් නේද? ඉතින් මුලදී එයාට වඩා ලොකු අය කීපදෙනෙක් එයාට උදව් කරනවා රාජ්‍යය පාලනය කරන්න.

යොෂියා අවුරුදු හතක් රජ වෙලා හිටියාට පස්සේ එයා යෙහෝවා ගැන ඉගෙනගන්න පටන්ගන්නවා. එයා දාවිත්, යෙහෝෂාපාට් හා හෙසකියා කියන හොඳ රජවරුන් වගේ වෙනවා. තරුණ වයසේ ඉන්නකොට, යොෂියා නිර්භීත දෙයක් කරනවා.

සෑහෙන කාලයක් තිස්සේ ඉශ්‍රායෙල්වරුන්ගෙන් හුඟදෙනෙක් හරිම නරක විදිහටයි හැසිරිලා තියෙන්නේ. ඒගොල්ලන් බොරු දෙවිවරුන්ට නමස්කාර කරනවා, රූපවලට නමස්කාර කරනවා. ඉතින් යොෂියා එයාගේ මිනිසුන් එක්ක ගිහින් ඒ දේශයෙන් බොරු නමස්කාරය නැති කරන්න පටන්ගන්නවා. හුඟදෙනෙක් බොරු දෙවිවරුන්ට නමස්කාර කරන නිසා මේක හරිම අමාරු වැඩක්. යොෂියායි එයාගේ මිනිස්සුයි රූප කඩලා දාන හැටි තමයි මේ පින්තූරයෙන් පේන්නේ.

ඊට පස්සේ යෙහෝවාගේ මාළිගාව අලුත්වැඩියා කිරීමේ වැඩ යොෂියා මිනිස්සු තුන්දෙනෙකුට භාර දෙනවා. කරන්න තියෙන වැඩවලට වියදම් කරන්න අවශ්‍ය මුදල් මිනිස්සුන්ගෙන් එකතු කරලා මේ මිනිස්සුන්ට දෙනවා. දේවමාළිගාව අලුත්වැඩියා කරමින් ඉන්නකොට හිල්කියා කියන උත්තම පූජකයාට හරිම වැදගත් දෙයක් හම්බ වෙනවා. ඒ අවුරුදු ගණනාවකට කලින් යෙහෝවා මෝසෙස් ලවා ලියවපු ව්‍යවස්ථා පොතයි. ඒක අවුරුදු ගානක් තිස්සෙ නැති වෙලයි තිබුණේ.

මේ පොත යොෂියාට පෙන්නුවාම එයා කියනවා ඒකේ තියෙන දේවල් එයාට කියවන්න කියලා. ඒකට ඇහුම්කන් දෙද්දී එයාට තේරෙනවා මිනිස්සු යෙහෝවාගේ නීතිවලට කීකරු වෙලා නැහැයි කියලා. එයා මේ ගැන ගොඩක් දුක් වෙනවා. ඉතින් මේ පින්තූරෙන් පේන හැටියට එයා එයාගේ ඇඳුම් ඉරාගෙන, කියනවා: ‘අපේ තාත්තලා මේ පොතේ ලියලා තියෙන නීතිවලට කීකරු වුණේ නැති නිසා, යෙහෝවාට අපිත් එක්ක තරහ ගිහින්’ කියලා.

යෙහෝවා ඒගොල්ලන්ට මොන වගේ දඬුවමක් දෙයිද කියලා දැනගන්න කියලා යොෂියා හිල්කියා කියන උත්තම පූජකයාට අණ කරනවා. හිල්කියා ගිහින් හුල්දා කියන අනාගතවක්තෘවරියගෙන් මේ ගැන අහනවා. ඇය යෙහෝවා දුන්න පණිවුඩය ඔහු අතේ යොෂියාට යවනවා: ‘බොරු දෙවිවරුන්ට නමස්කාර කරලා මුළු දේශයම නරක දේවල්වලින් පුරවලා තියෙන නිසා, යෙරුසලමටයි එහෙ ඉන්න හැමදෙනාටමයි මම දඬුවම් කරන්න යනවා. ඒ වුණාට යොෂියා, ඔයා හොඳ දේවල් කරලා තියෙන නිසා, මේ දඬුවම එන්නේ ඔයා මැරුණාට පස්සෙයි.’