Skip to content

පටුනට යන්න

කතන්දර 76

යෙරුසලම විනාශ වෙයි

යෙරුසලම විනාශ වෙයි

නෙබුකද්නෙශර් රජ, හොඳට ඉගෙනගෙන තියෙන හැම ඉශ්‍රායෙල්වරයෙක්වම බබිලෝනියට අරන් ගිහින් දැන් අවුරුදු 10කටත් වඩා වැඩි කාලයක් ගෙවිලා ගිහින්. දැන් මොනවාද වෙන්නේ කියලා බලන්න! යෙරුසලම ගිනිගන්නවා. මැරුණේ නැති ඉශ්‍රායෙල්වරුන්ව හිරකාරයන් හැටියට බබිලෝනියට ගෙනියනවා.

මිනිස්සු ඒගොල්ලන්ගේ නරක හැසිරීම නැවැත්තුවේ නැත්නම් මේකයි වෙන්නේ කියලා යෙහෝවාගේ අනාගතවක්තෘවරුන් අවවාද කළා ඔයාට මතක ඇති නේද? ඒ වුණාට ඉශ්‍රායෙල්වරුන් ඒ අනාගතවක්තෘවරුන්ට ඇහුම්කන් දුන්නේම නැහැ. යෙහෝවාට නමස්කාර කරන්නේ නැතුව ඒගොල්ලන් දිගටම බොරු දෙවිවරුන්ට නමස්කාර කළා. ඉතින් මේ මිනිස්සුන්ට දඬුවම් කරන එක වටිනවා. අපි මේක දන්නේ ඉශ්‍රායෙල්වරු කරමින් හිටිය නරක දේවල් ගැන එසකියෙල් කියන දෙවිගේ අනාගතවක්තෘවරයා අපිට කියන නිසයි.

එසකියෙල් කියන්නේ කවුද කියලා ඔයා දන්නවාද? එයා, යෙරුසලමට මේ ලොකු විනාශය වෙන්න අවුරුදු 10කට කලින් නෙබුකද්නෙශර් රජු බබිලෝනියට ගෙන ගිය තරුණයෙක්. දානියෙල්වයි එයාගේ යාළුවන් තුන්දෙනාවයි, ඒ කියන්නේ ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝවයි බබිලෝනියට ගෙන ගියෙත් ඒ කාලයේමයි.

එසකියෙල් බබිලෝනියේ ඉන්නකොට, යෙරුසලම් දේවමාළිගාවේ වෙන නරක දේවල් යෙහෝවා එයාට පෙන්වනවා. යෙහෝවා මේක කළේ ප්‍රාතිහාර්යයකින්. ඇත්තටම එසකියෙල් මේ වෙද්දි ඉන්නේ බබිලෝනියේ. ඒ වුණාට දේවමාළිගාවේ වෙන හැම දෙයක්ම යෙහෝවා එයාට පේන්න සලස්වනවා. එසකියෙල්ට පේන දේවල් එයාට විශ්වාස කරන්නවත් බැහැ!

‘මේ දේවමාළිගාවේ මිනිස්සු කරන ජරා දේවල් දිහා බලන්න. සර්පයන්ගේ හා වෙන සත්තුන්ගේ පින්තූරුවලින් බිත්ති පිරිලා තියෙන හැටි බලන්න. ඉශ්‍රායෙල්වරුන් ඒවාට නමස්කාර කරන හැටි බලන්න’ කියලා යෙහෝවා එසකියෙල්ට කියනවා. එසකියෙල්ට මේ දේවල් දැන් පේනවා. එහෙ වෙන දේවල් එයා ලියාගන්නවා.

‘ඉශ්‍රායෙල්වරුන්ගේ නායකයන් රහසින් කරන දේවල් ඔයාට පේනවාද’ කියලා යෙහෝවා එසකියෙල්ගෙන් අහනවා. ඔව්, එයාට ඒවාත් පේනවා. මිනිස්සුන් 70දෙනෙක් බොරු දෙවිවරුන්ට නමස්කාර කරනවා. ඒගොල්ලන් මෙහෙමයි කියන්නේ: ‘යෙහෝවාට අපිව පේන්නේ නැහැ. ඔහු දේශය අතහැරලා ගිහිල්ලනේ.’

ඊට පස්සේ දේවමාළිගාවේ උතුරු දොරටුව ළඟ ඉන්න ස්ත්‍රීන් කට්ටියක් යෙහෝවා එසකියෙල්ට පෙන්නනවා. ඒගොල්ලන් එතන ඉඳගෙන නමස්කාර කරන්නේ තම්මුස් කියන බොරු දෙවියාටයි. මෙන්න බලන්න යෙහෝවාගේ මාළිගාවට ඇතුල් වෙන තැන ඉන්න මිනිස්සු දිහා! විසිපස්දෙනෙක් විතර එතන ඉන්නවා. එසකියෙල්ට ඒගොල්ලන්වත් පේනවා. ඒගොල්ලන් නැඟෙනහිර දිශාවට හැරිලා දණගහගෙන ඉරට නමස්කාර කර කර ඉන්නවා!

‘මේ මිනිස්සුන් නම් මට කිසිම ගෞරවයක් පෙන්වන්නේ නැහැ. ඒගොල්ලන් නරක දේවල් කරනවා විතරක් නෙවෙයි, මගේ මාළිගාවටම ඇවිල්ලයි ඒවා කරන්නේ’ කියලා යෙහෝවා කියනවා. ඉතින් යෙහෝවා මෙහෙම පොරොන්දු වෙනවා: ‘මම කොච්චර තරහෙන්ද ඉන්නේ කියලා ඒගොල්ලන්ට දැනෙයි. ඒගොල්ලන් විනාශ වෙන කොට මට කිසි දුකක් හිතෙන්නේ නැහැ.’

යෙහෝවා එසකියෙල්ට මේ දේවල් පෙන්නලා අවුරුදු තුනක්වත් යන්න කලින් ඉශ්‍රායෙල්වරු නෙබුකද්නෙශර් රජට විරුද්ධව කැරලි ගහනවා. ඉතින් එයා ඒගොල්ලන් එක්ක සටන් කරන්න එනවා. අවුරුදු එකහමාරකට පස්සේ බබිලෝනිවරු යෙරුසලමේ තාප්ප කඩලා මුළු නගරයටම ගිනි තියනවා. මිනිස්සුන්ගෙන් වැඩිදෙනෙක්ව මරනවා, නැත්නම් හිරකාරයන් හැටියට බබිලෝනියට ගෙනියනවා.

ඉශ්‍රායෙල්වරුන්ට මේ වගේ දරුණු විනාශයක් වෙන්න යෙහෝවා ඉඩ දුන්නේ ඇයි? එහෙම වුණේ, ඒගොල්ලන් යෙහෝවාට ඇහුම්කන් දුන්නේවත්, ඔහුගේ නීතිවලට කීකරු වුණේවත් නැති නිසා නේද? මේකෙන් අපිට පේන්නේ දෙවි කියන දේ හැම වෙලේම කරන එක කොච්චර වැදගත්ද කියලයි.

මුලදී ටිකදෙනෙකුට අවසර ලැබෙනවා ඉශ්‍රායෙල් දේශයේ නැවතිලා ඉන්න. මේ මිනිස්සුන්ව බලාගන්න කියලා නෙබුකද්නෙශර් රජ ගෙදලියා කියන යුදෙව් ජාතිකයාව පත් කරනවා. නමුත් ඉශ්‍රායෙල්වරුන්ගෙන් කීපදෙනෙක් ගෙදලියාව මරනවා. මේ නරක දේ වුණ නිසා බබිලෝනිවරුන් ඇවිත් ඒ හැමදෙනාවම විනාශ කරයි කියලා මිනිස්සුන්ට භය හිතෙනවා. ඉතින් ඒගොල්ලන් එක්ක එන්නම ඕනේ කියලා යෙරෙමියාට බල කරලා, ඒගොල්ලන් ඊජිප්තුවට පලා යනවා.

දැන් ඉශ්‍රායෙල් දේශයේ ජීවත් වෙන්න කවුරුවත්ම නැතුව යනවා. අවුරුදු 70කට ඒ දේශයේ කවුරුවත් ජීවත් වෙන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම පාළු වෙනවා. ඒ වුණාට යෙහෝවා පොරොන්දු කරනවා අවුරුදු 70කට පස්සේ ඔහු ඔහුගේ සෙනඟව ආයෙත් මේ දේශයට අරන් එනවා කියලා. ඒ අතරතුරේදී, බබිලෝනි දේශයට ගෙන ගිය දෙවිගේ සෙනඟට මොනවාද වෙන්නේ? අපි ඒ ගැන කියවලා බලමුද?