Skip to content

පටුනට යන්න

කතන්දර 78

බිත්තිය මත අත්අකුරු

බිත්තිය මත අත්අකුරු

මේ මොනවාද වෙන්නේ? මිනිස්සු ලොකු උත්සවයක් පවත්වනවා වගේ නේද? බබිලෝනියේ රජ ලොකු ලොකු අමුත්තන් දහස්දෙනෙකුට ආරාධනා කරලා. යෙරුසලමේ තියෙන යෙහෝවාගේ මාළිගාවෙන් අරන් ආව රත්තරන් කෝප්ප, රිදී කෝප්ප හා දීසි තමයි ඒගොල්ලන් පාවිච්චි කරන්නේ. දැන් එකපාරටම මිනිසෙකුගේ අතක ඇඟිලි පෙනිලා බිත්තියේ ලියන්න පටන්ගන්නවා. මේක දැකලා හැමදෙනාම භය වෙනවා.

දැන් රජ හැටියට ඉන්නේ නෙබුකද්නෙශර්ගේ මුනුබුරා බේල්ෂශර්. එහේ ඉන්න නුවණ ඇති මිනිස්සුන්ව එයා ළඟට ගේන්න කියලා එයා කෑගහනවා. ‘මෙතන ලියලා තියෙන දේ කියවලා මට ඒකේ තේරුම කියන්න පුළුවන් කෙනාට මම තෑගි ගොඩක් දෙනවා. එයාට රාජ්‍යයේ තුන්වෙනි තැනත් දෙනවා’ කියලා රජ කියනවා. ඒ වුණාට ඒ නුවණ ඇති මිනිස්සුන්ගෙන් කාටවත් බිත්තියේ ලියලා තියෙන දේ කියවන්නවත් ඒකේ තේරුම කියන්නවත් බැරි වෙනවා.

මේ ශබ්දය ඇහිලා රජුගේ අම්මා මේ ලොකු කෑම කාමරයට එනවා. ‘අනේ ඔච්චර භය වෙන්න එපා’ කියලා ඇය රජුට කියනවා. ‘ශුද්ධ දෙවිවරුන්ව දන්න මිනිසෙක් ඔයාගේ රාජ්‍යයේම ඉන්නවා. ඔයාගේ සීයා නෙබුකද්නෙශර් රජ වෙලා ඉන්නකොට එයාගේ නුවණ ඇත්තන්ගේ නායකයා හැටියට පත් කළේ එයාවයි. එයාගේ නම දානියෙල්. එයාව ගෙන්නන්න. එතකොට මේ දේවල්වල තේරුම එයා ඔයාට කියයි.’

ඉතින් එවෙලේම දානියෙල්ව එතැනට ගේනවා. දානියෙල් කිසිම තෑග්ගක් ගන්නේ නැහැයි කියලා කිව්වට පස්සේ, යෙහෝවා බේල්ෂශර්ගේ සීයාව ඒ කියන්නේ නෙබුකද්නෙශර්ව එක අවස්ථාවක රජකමෙන් අයින් කළේ ඇයි කියලා මුලින්ම පහදලා දෙනවා. ‘එයා හරිම ආඩම්බර රජකෙනෙක්. ඉතින් යෙහෝවා එයාට දඬුවම් කෙරුවා’ කියලා දානියෙල් කියනවා.

‘ඒ වුණාට ඔබ, එයාට වුණ හැම දෙයක් ගැනම දැනගෙන හිටියත් නෙබුකද්නෙශර් වගේම ආඩම්බරයි. යෙහෝවාගේ මාළිගාවෙන් කෝප්ප දීසි අරන් ඇවිත් ඒවා බොන්න පාවිච්චි කළා. ඔබ ලීවලිනුයි ගල්වලිනුයි හැදුව දෙවිවරුන්ට ප්‍රශංසා කරලා තියෙනවා, ඒ වුණාට අපේ උතුම් මැවුම්කාරයාට ඔබ ගෞරවය දීලා නැහැ. ඒ නිසයි දෙවි මේ වචන ලියන්න අත එවලා තියෙන්නේ’ කියලා දානියෙල් බේල්ෂශර්ට කියනවා.

‘මෙනේ, මෙනේ, තෙකේල් හා උපාර්සීන් කියලයි ලියලා තියෙන්නේ’ කියලා දානියෙල් කියනවා.

‘මෙනේ කියන එකෙන් අදහස් කරන්නේ දෙවි ඔබේ රජකමේ ඉතුරු කාලය ගණන් කරලා ඒක අවසන් කරලා තියෙනවා කියන එකයි. තෙකේල් කියන්නේ ඔබව තරාදියේ කිරලා බලද්දී කිසි කමකට නැති බව පෙනිලා තියෙනවා කියන එකයි. උපාර්සීන්වල තේරුම ඔබගේ රාජ්‍යය මේදවරුන්ටයි පර්සියානුවන්ටයි දෙන්න යනවා කියන එකයි.’

දානියෙල් කතා කරන වෙලාව වෙද්දිත් මේදවරුන් හා පර්සියානුවන් බබිලෝනියට පහර දෙන්න පටන් අරගෙන ඉවරයි. ඒගොල්ලන් ඒ නගරය අල්ලාගෙන බේල්ෂශර්ව මරනවා. ඉතින් බිත්තියේ අත්අකුරු එදා රෑම ඉටු වෙනවා! දැන් ඉතින් ඉශ්‍රායෙල්වරුන්ට මොකක් වෙයිද? අපි ඉක්මනින්ම ඒක දැනගන්න යනවා. ඊට කලින් දානියෙල්ට මොනවාද වෙන්නේ කියලා බලමු.