Skip to content

පටුනට යන්න

කතන්දර 79

දානියෙල් සිංහ වළේ

දානියෙල් සිංහ වළේ

අයියෝ! දානියෙල් ලොකු කරදරේක වැටිලා වගේ නේද? ඒ වුණාට සිංහයෝ එයාට කිසිම හානියක් කරන්නේ නැහැ! ඒ ඇයි කියලා ඔයා දන්නවාද? කවුද දානියෙල්ව මේ සිංහයන් ඉන්න වළට දැම්මේ? බලමු මොනවාද වුණේ කියලා.

දැන් බබිලෝනියේ රජ හැටියට ඉන්නේ දාරියුස්. දානියෙල් හරිම කරුණාවන්ත නිසාත්, නුවණක්කාර නිසාත් එයා දානියෙල්ට ගොඩක් කැමතියි. දාරියුස්ගේ රාජ්‍යයේ ප්‍රධාන පාලකයෙක් හැටියට එයා දානියෙල්ව පත් කරනවා. මේ නිසා රාජ්‍යයේ ඉන්න අනික් මිනිස්සු දානියෙල්ට ඊර්ෂ්‍යා කරනවා. ඉතින් මෙන්න මේකයි ඒගොල්ලන් කරන්නේ.

ඒගොල්ලන් දාරියුස් ළඟට ගිහිල්ලා කියනවා: ‘රජ්ජුරුවනි, දවස් 30කට කව්රුවත්ම ඔබට හැර වෙන කිසිම දෙවියෙකුටවත්, මිනිසෙකුටවත් යාච්ඤා කරන්නේ නැතුව ඉන්න ඕනේ කියලා ඔබ නීතියක් දැම්මොත් හොඳයි කියලා අපි හිතනවා. මේ නීතියට කවුරු හරි අකීකරු වුණොත් එයාව සිංහයන් ඉන්න වළට වීසි කරන්න.’ මේ මිනිස්සුන්ට මේ නීතිය පනවන්න ඕන කරන්නේ ඇයි කියලා දාරියුස් ඇත්තටම දන්නේ නැහැ. කොහොම වුණත් මේක හොඳ අදහසක් කියලා එයාට හිතෙන නිසා, එයා මේ නීතිය ලියන්න සලස්වනවා. දැන් ඉතින් නීතිය වෙනස් කරන්න බැහැ.

දානියෙල්ට නීතිය ගැන දැනගන්න ලැබුණාම, වෙනදා වගේම එයා ගෙදර ගිහින් යාච්ඤා කරනවා. අර නරක මිනිස්සු දැනගෙන හිටියා දානියෙල් යෙහෝවාට යාච්ඤා කරන එක කවදාවත් නවත්වන්නේ නැහැයි කියලා. ඒගොල්ලන්ට දැන් නම් හරිම සන්තෝෂයි. දානියෙල්ව නැති කරන්න ඒගොල්ලන් කරපු කුමන්ත්‍රණය වැඩ කරනවා වාගේ.

මේ මිනිස්සුන්ට මේ නීතිය පනවන්න ඕනේ වුණේ ඇයි කියලා දාරියුස් රජුට දැනගන්න ලැබුණාම, එයාට ගොඩක් දුකයි. ඒ වුණාට දැන් එයාටවත් නීතිය වෙනස් කරන්න බැහැ. ඉතින් දානියෙල්ව සිංහයන් ඉන්න වළට වීසි කරන්න කියලා අණ කරන්න වෙනවාමයි. නමුත් රජු දානියෙල්ට මෙහෙම කියනවා: ‘ඔයා සේවය කරන දෙවි ඔයාව බේරාගනී කියලා මම පතනවා.’

දාරියුස්ට මේ ගැන කොච්චර දුකද කිව්වොත් එදා රෑ එයාට නින්ද යන්නේ නැහැ. ඊළඟ දවසේ උදේ එයා සිංහයන් ඉන්න වළ ළඟට දුවලා යනවා. එයා එතැනට ඇවිල්ලා ඉන්නවා පේනවාද? එයා හයියෙන් කෑගහලා අහනවා: ‘ජීවමාන දෙවිගේ සේවකයා වන දානියෙල්! ඔයාගේ දෙවිට පුළුවන් වුණාද ඔයාව සිංහයන්ගෙන් බේරාගන්න?’

‘දේවදූතයෙක්ව එවලා දෙවි සිංහයන්ගේ කටවල් වැහුවා. ඉතින් උන් මට හානියක් කෙරුවේ නැහැ’ කියලා දානියෙල් උත්තර දෙනවා.

මේක අහන්න ලැබුණාම රජුට ගොඩක් සන්තෝෂයි. දානියෙල්ව ඒ වළෙන් එළියට ගන්න කියලාත්, දානියෙල්ට විරුද්ධව කතා කරපු අයව ඒකට වීසි කරන්න කියලාත් එයා අණ කරනවා. ඒගොල්ලන් වළේ අඩියට වැටෙන්නත් ඉස්සෙල්ලා සිංහයන් ඒගොල්ලන්ව අල්ලාගෙන කාලා දානවා.

ඊට පස්සේ දාරියුස් රජ එයාගේ රාජ්‍යයේ ඉන්න හැමදෙනාටම මෙහෙම ලියලා අරිනවා: ‘හැමදෙනාම දානියෙල්ගේ දෙවිට ගරු කරන්න ඕනේ කියලා මම අණ කරනවා. ඔහු හරිම පුදුම දේවල් කරනවා. සිංහයන්ගේ කටෙන් ඔහු දානියෙල්ව බේරාගත්තා.’