Skip to content

පටුනට යන්න

කතන්දර 84

දේවදූතයෙක් මරියාව හමු වෙන්න එයි

දේවදූතයෙක් මරියාව හමු වෙන්න එයි

මේ ලස්සන ස්ත්‍රියගේ නම මරියා. ඇය නාසරෙත් කියන නගරයේ ජීවත් වෙන ඉශ්‍රායෙල්වරියක්. දෙවි දන්නවා ඇය හරිම හොඳ කෙනෙක් කියලා. ඉතින් ඒ නිසයි ඇය එක්ක කතා කරන්න ඔහු ගාබ්‍රියෙල් කියන ඔහුගේ දූතයාව එවන්නේ. ගාබ්‍රියෙල් මරියාට කියන්න ඇවිල්ලා තියෙන්නේ මොනවාද කියලා ඔයා දන්නවාද? අපි බලමු.

‘බොහෝ කරුණාව ලැබූ තැනැත්තිය, ශුභ සිද්ධ වේවා’ කියලා ගාබ්‍රියෙල් ඈට කියනවා. ‘යෙහෝවා ඔයාත් එක්ක ඉන්නවා.’ මරියා මීට කලින් කවදාවත් මේ තැනැත්තාව දැකලා නැහැ. එයා මේ කියන්නේ මොනවාද කියලාවත් ඇය දන්නේ නැති නිසා ඇය භය වෙනවා. ඒ වුණාට එවෙලේම ගාබ්‍රියෙල් ඇගේ භය නැති කරනවා.

‘මරියා, භය වෙන්න එපා. යෙහෝවාට ඔයා ගැන හරිම සන්තෝෂයි. ඒ නිසයි ඔහු ඔයාට පුදුම දෙයක් කරන්න යන්නේ. ටික කාලෙකින් ඔයාට දරුවෙක් ලැබෙන්න යනවා. ඔහුට යේසුස් කියලා නම දෙන්න ඕනේ’ කියලා එයා කියනවා.

ගාබ්‍රියෙල් තවත් මෙහෙම විස්තර කරනවා: ‘මේ දරුවා වැදගත් කෙනෙක් වෙන්න යනවා. ඔහුට මහෝත්තමයාගේ පුතා කියලයි කියන්න යන්නේ. යෙහෝවා ඔහුව දාවිත් වගේ රජෙක් කරන්න යනවා. හැබැයි යේසුස්, සදහටම පාලනය කරන රජෙක් වෙන්න යනවා. ඔහුගේ රාජ්‍යය කවදාකවත් කෙළවර වෙන්නේ නැහැ!’

‘මේ දේවල් වෙන්නේ කොහොමද? මම විවාහ වෙලත් නැහැ. මම පුරුෂයෙක් එක්ක ඉඳලාවත් නැහැ. ඉතින් මට දරුවෙක් ලැබෙන්නේ කොහොමද’ කියලා මරියා අහනවා.

ගාබ්‍රියෙල් මෙහෙම උත්තර දෙනවා: ‘දෙවිගේ බලය ඔයා මතට එයි. ඒ නිසා මේ දරුවාට කියන්න යන්නේ දෙවිගේ පුතා කියලයි.’ ඊට පස්සේ එයා මරියාට කියනවා: ‘ඔයාගේ ඥාති එලිසබෙත්ව මතකද? මිනිස්සු කිව්වේ දරුවන් ලැබෙන්න ඇයට වයස වැඩියි කියලයි. ඒ වුණාට තව ටික කාලෙකින් ඇයට පුතෙක් ලැබෙයි. ඉතින් පේනවා නේද, දෙවිට කරන්න බැරි කිසිම දෙයක් නැහැ කියලා.’

එවෙලේම මරියා මෙහෙම කියනවා: ‘මම යෙහෝවාගේ දාසියයි! ඔබ කියන විදියටම මට වේවා.’ ඊට පස්සේ දේවදූතයා පිට වෙලා යනවා.

මරියා දැන් ඉක්මනින්ම යනවා එලිසබෙත්ව හමු වෙන්න. එලිසබෙත්ට මරියාගේ කටහඬ ඇහුණාම, එලිසබෙත්ගේ බඩේ ඉන්න දරුවා සන්තෝෂයෙන් දඟලනවා. දෙවිගේ ශුද්ධාත්මය ලැබිලා එලිසබෙත් මරියාට මෙහෙම කියනවා: ‘ස්ත්‍රීන් අතරෙන් ඔයාට විශේෂයෙන් ආශීර්වාද කරලයි තියෙන්නේ.’ මරියා එලිසබෙත් එක්ක මාස තුනක් විතර ඉඳලා ආයෙත් ඇගේ ගමට, ඒ කියන්නේ නාසරෙත්වලට යනවා.

මරියා, යෝසෙප් කියන මිනිසෙකුව ළඟදීම විවාහ කරගන්න යනවා. ඒ වුණාට මරියාට දරුවෙක් ලැබෙන්න යනවා කියලා යෝසෙප්ට දැනගන්න ලැබුණාම, එයා හිතන්නේ ඇයව විවාහ කරගන්න එක එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා. එතකොට දෙවිගේ දූතයෙක් ඇවිත් එයාට මෙහෙම කියනවා: ‘මරියාව විවාහ කරගන්න භය වෙන්න එපා. ඇයට පුතෙක් දීලා තියෙන්නේ දෙවියි.’ ඉතින් මරියා සහ යෝසෙප් විවාහ වෙලා, යේසුස් ඉපදෙනකම් බලාගෙන ඉන්නවා.