Skip to content

පටුනට යන්න

කතන්දර 100

යේසුස් උයනේ

යේසුස් උයනේ

උඩු මහලේ කාමරයෙන් පිට වුණාට පස්සේ යේසුස් ඔහුගේ ප්‍රේරිතයන් එක්ක ගෙත්සෙමනේ උයනට යනවා. මීට කලිනුත් හුඟක් අවස්ථාවලදී ඒගොල්ලන් මෙහෙට ඇවිත් තියෙනවා. දැන් යේසුස් ඒගොල්ලන්ට කියන්නේ නිදාගන්නේ නැතුව යාච්ඤා කරන්න කියලයි. ඊට පස්සේ ඔහු ඒගොල්ලන්ගෙන් ඈත් වෙලා දණ ගහගෙන යාච්ඤා කරන්න පටන්ගන්නවා.

ඊට පස්සේ යේසුස් ඔහුගේ ප්‍රේරිතයන් ඉන්න තැනට ආයෙත් එනකොට, ඒගොල්ලන් කොහොම ඉන්නවා කියලද ඔයා හිතන්නේ? ඒගොල්ලන්ට හොඳටම නින්ද ගිහිල්ලා! යේසුස් තුන් වතාවක්ම කියනවා ඒගොල්ලන්ට ඇහැරිලා ඉන්න කියලා. ඒ වුණාට ඔහු හැරිලා එන හැම වතාවකම ඒගොල්ලන් නිදාගෙනයි ඉන්නේ. ‘මේ වාගේ වෙලාවක ඕගොල්ලන් කොහොමද නිදියන්නේ? මාව දැන් තව ටිකකින් හතුරන්ගේ අතට පාවලා දෙන්න යනවා’ කියලා යේසුස් හැරිලා එන අන්තිම වතාවේ කියනවා.

එවෙලේම ලොකු සෙනඟක් ඈතින් එනවා ඇහෙනවා. මෙන්න බලන්න! කඩුයි, පොලුයි අරගෙනයි මේ මිනිස්සු එන්නේ! එළිය දෙන පන්දමුත් ඒගොල්ලන්ගේ අත්වල තියෙනවා. ඒගොල්ලන් ළං වුණාම, ඒ සෙනඟගෙන් කෙනෙක් ඉස්සරහට ඇවිත්, මේ පින්තූරයේ පේන හැටියට යේසුස්ව ඉඹිනවා. මේ යූදස් ඉස්කාරියොත්! ඒත් ඇයි එයා යේසුස්ව ඉඹින්නේ?

‘යූදස්, ඔයා මාව පාවා දෙන්නේ ඉඹලාද’ කියලා යේසුස් අහනවා. ඔව්, ඇත්තටම මේ ඉඹගැනීම ලකුණක්. මේකෙන් අර මිනිස්සුන්ට දැනගන්න පුළුවන් වෙනවා ඒගොල්ලන්ට අල්ලාගන්න ඕන කරන යේසුස් කවුද කියලා. ඉතින් යේසුස්ගේ හතුරන් ඔහුව අල්ලාගන්න හදනවා. හැබැයි මේ විදිහට යේසුස්ව අල්ලාගෙන යන්න පේතෘස් ඒගොල්ලන්ට ඉඩ දෙන්නේ නැහැ. පේතෘස් අරන් ආව කඩුව අතට අරන් එයා ළඟ ඉන්න මිනිසාට පහර දෙනවා. ඒ මිනිසාගේ ඔළුව නූලෙන් බේරුණත් එයාගේ දකුණු පැත්තේ කන කැපෙනවා. හැබැයි යේසුස් ඒ මිනිසාගේ කන අතගාලා සුව කරනවා.

දැන් යේසුස් පේතෘස්ට මෙහෙම කියනවා: ‘ඔයාගේ කඩුව ඒක තිබ්බ තැනටම දාගන්න. මාව බේරාගන්න දේවදූතයන් දහස් ගානක් එවන්න කියලා මට මගේ පියාට කියන්න බැහැයි කියලද ඔයා හිතන්නේ?’ ඔව්, ඔහුට ඇත්තටම එහෙම කරන්න පුළුවන්! හැබැයි යේසුස් දේවදූතයන්ව එවන්න කියලා දෙවිට කියන්නේ නැහැ. මොකද ඔහු දන්නවා ඔහුගේ සතුරන්ට ඔහුව අල්ලාගෙන යන්න කාලය ඇවිත් කියලා. ඉතින් යේසු තමන්ව ගෙනියන්න ඒගොල්ලන්ට ඉඩ දෙනවා. ඉතින් දැන් යේසුස්ට ඊළඟට වෙන්නේ මොනවාද කියලා බලමුද?