Skip to content

පටුනට යන්න

කතන්දර 102

මෙන්න යේසුස් ජීවත් වෙනවා!

මෙන්න යේසුස් ජීවත් වෙනවා!

මේ ස්ත්‍රියයි මිනිස්සු දෙන්නයි කවුද කියලා ඔයා දන්නවද? ඒ ස්ත්‍රියගේ නම මග්දලායේ මරියා. ඇය යේසුස්ගේ මිතුරියක්. සුදු ඇඳුම් ඇඳගෙන ඉන්න අය දේවදූතයෝ. මරියා එබිලා බලන මේ පොඩි කාමරයේ තමයි යේසුස් මැරුණාට පස්සේ ඔහුගේ ශරීරය තියලා තිබුණේ. ඒකට කියන්නේ සොහොන් ගෙයක් කියලයි. හැබැයි කෝ දැන් ශරීරය? ඒක නැහැනේ! කවුද ඒක අරන් ගියේ කියලා බලමුද?

යේසුස් මැරුණාට පස්සේ පූජකවරු පිලාත්ට කියනවා: ‘යේසුස් ජීවතුන් අතර ඉන්නකොට නම් එයා කිව්වේ එයා දවස් තුනකින් නැවත නැඟිටිනවයි කියලයි. ඉතින් ඒ සොහොන් ගෙය මුර කරන්න කියලා අණ දෙන්න. එතකොට එයාගේ ගෝලයන්ට එයාගේ ශරීරය හොරකම් කරලා එයා මරණයෙන් නැවත නැඟිට්ටයි කියලා බොරුවට කියන්න බැරි වෙයි.’ ඉතින් පිලාත් පූජකවරුන්ට කියනවා ඒ සොහොන් ගෙය මුර කරන්න භටයන් යවන්න කියලා.

දැන් යේසුස් මැරිලා දවස් දෙකක් පහු වෙලා. තුන්වෙනි දවසේ උදේ එකපාරටම යෙහෝවාගේ දූතයෙක් ඇවිත් ඒ සොහොන් ගෙය වහලා තිබුණු ගල අහකට පෙරළනවා. ඒක දැකලා මුර කර කර ඉන්න භටයන් කොච්චර භය වෙනවාද කිව්වොත් ඒගොල්ලන්ව ගල් ගැහෙනවා. අන්තිමට ඒගොල්ලන් සොහොන් ගෙය ඇතුල බලනකොට, මෙන්න ශරීරය පේන්න නැහැ! මේ භටයන්ගෙන් සමහර අය නගරයට ගිහිල්ලා පූජකයන්ට කියනවා වෙලා තියෙන දේ ගැන. හැබැයි මේ නරක පූජකයන් මොනවාද කරන්නේ කියලා ඔයා දන්නවාද? ඒගොල්ලන් මේ භටයන්ට මුදල් දීලා කියනවානේ බොරු කියන්න කියලා. ‘කියන්න “අපි රෑ නිදාගෙන ඉන්නකොට එයාගේ ගෝලයන් ඇවිත් ඒ ශරීරය හොරකම් කෙරුවා” කියලා.’ ඒ විදිහට කියන්න කියලයි මේ පූජකයෝ භටයන්ට කියන්නේ.

මේ අතරතුරේදී, යේසුස්ගේ මිතුරියන් කිහිපදෙනෙක් එනවා සොහොන් ගෙය ළඟට. ඒක දැන් හිස් වෙලා තියෙන නිසා ඒගොල්ලන්ට හරිම පුදුමයි! බැබළෙන ඇඳුම් ඇඳගෙන ඉන්න දේවදූතයන් දෙන්නෙක් එකපාරටම එතැනට එනවා. ‘ඇයි ඕගොල්ලන් යේසුස්ව මෙහෙ හොයන්නේ’ කියලා ඒගොල්ලන් අහනවා. ‘ඔහුව නැවත නැඟිට්ටවලා. ඉක්මනට දුවලා ගිහින් ඔහුගේ ගෝලයන්ට මේක කියන්න.’ ඉතින් මේ ස්ත්‍රීන් කොච්චර හයියෙන් දුවලා යනවාද! හැබැයි මඟදී මිනිසෙක් ඒගොල්ලන්ව නවත්වනවා. ඒ කවුද කියලා ඔයා දන්නවද? ඒ යේසුස්! ‘යන්න, ගිහිල්ලා මගේ ගෝලයන්ට කියන්න’ කියලා ඔහු කියනවා.

යේසුස් දැන් ජීවත් වෙනවා කියලයි, ඒගොල්ලන්ට ඔහුව දැකගන්න පුළුවන් වුණා කියලයි මේ ස්ත්‍රීන් ගෝලයන්ට කිව්වාම, ගෝලයන්ට නම් මේක විශ්වාස කරන්නම බැහැ. ඉතින් ඒගොල්ලන්ගේම ඇස් දෙකෙන් දැකගන්න ඕනේ වෙලා පේතෘස් හා යොහන් දුවලා යනවා සොහොන් ගෙය ළඟට. ඇත්තමයි, මෙන්න සොහොන් ගෙය හිස්! පේතෘස් හා යොහන් එතැනින් පිට වුණාට මග්දලායේ මරියා එතන ටිකක් නැවතිලා ඉන්නවා. ඇය ඇතුලට එබිලා බලද්දි තමයි ඇයට මේ දේවදූතයන් දෙන්නාව පෙනුණේ.

යේසුස්ගේ ශරීරයට මොනවද වුණේ කියලා ඔයා දන්නවාද? දෙවි ඒක නැති වෙන්න සැලැස්සුවා. යේසුස් මැරෙනකොට තිබුණු ශරීරයත් එක්ක නෙවෙයි දෙවි ඔහුව නැවත නැඟිට්ටෙව්වේ. ඔහු යේසුස්ට අලුත් ආත්ම ශරීරයක් දුන්නා. ස්වර්ගයේ ඉන්න දේවදූතයන්ටත් තියෙන්නේ මේ වගේ ශරීරයි. ඒ වුණාට යේසුස් ආයෙත් ජීවත් වෙනවා කියලා ඔහුගේ ගෝලයන්ට දැකගන්න පුළුවන් වෙන විදිහට එයාට පුළුවන් මිනිස්සුන්ට පේන විදියේ ශරීරයක් දාගන්න. අපි මේ ගැන පස්සේ ඉගෙනගන්න යනවා.