Skip to content

පටුනට යන්න

කතන්දර 103

වහලා තිබුණු කාමරයක් ඇතුලට

වහලා තිබුණු කාමරයක් ඇතුලට

පේතෘස් හා යොහන් යේසුස්ගේ ශරීරය තියලා තිබුණු ඒ සොහොන් ගෙයින් පිට වෙලා යනවා. නමුත් මරියා එහේ තනියෙම ඉඳගෙන අඬන්න පටන්ගන්නවා. ඒ වෙලාවේ ඇය ඒ සොහොන් ගෙය ඇතුලට එබිලා බලන හැටියි අපි කලින් පින්තූරයෙන් දැක්කේ. දැන් මෙන්න ඇයට දේවදූතයන් දෙන්නෙක්ව පේනවා! ඉතින් ඒගොල්ලන් ඇගෙන් අහනවා ‘ඇයි ඔයා අඬන්නේ?’ කියලා.

මරියා කියනවා: ‘අනේ, ඒගොල්ලන් මගේ ස්වාමීන්ව කොහේදෝ අරං ගිහින්නේ, එයාව කොහේ තියලාද කියල මම දන්නේ නැහැ.’ එතකොටම මරියා හැරිලා බලනකොට මෙන්න මිනිසෙක් ඉන්නවා. එයා ඇගෙන් මෙහෙම අහනවා: ‘ඔයා මේ කාවද හොයන්නේ?’

මරියා හිතන්නේ එයා වත්ත බලාගන්න කෙනා කියලයි. යේසුස්ගේ ශරීරය කොහේ හරි ගෙනිහින් තියෙන්නේ එයයි කියලා ඇය හිතනවා. ඉතින් ඇය එයාට මෙහෙම කියනවා: ‘ඔයා ඔහුව කොහේ හරි අරං ගියා නම්, අනේ මට කියන්න.’ හැබැයි මේ ඇත්තටම යේසුස්. මරියාට හඳුනාගන්න බැරි ශරීරයක් තමයි ඔහු දාගෙන ඉන්නේ. ඒ වුණාට ඔහු ඇගේ නම කියලා කතා කරනකොට මරියා දැනගන්නවා මේ යේසුස් කියලා. ඉතින් ඇය දුවලා ගිහින් ගෝලයන්ට කියනවා: ‘මම ස්වාමීන්ව දැක්කා. මම එයාව ඇත්තටම දැක්කා’ කියලා.

එදාම හවස ගෝලයන් දෙන්නෙක් එම්මාවුස් කියන ගමට ඇවිදගෙන යනකොට, ඒගොල්ලන් එක්කම ගමන් කරන්න මිනිසෙක් එනවා. යේසුස්ගේ මරණය නිසා මේ ගෝලයන් ඉන්නේ හරිම දුකින්. හැබැයි දැන් ඒගොල්ලන් මේ ගමන යද්දී, මේ මිනිසා ඒගොල්ලන්ව සනසන්න බයිබලයේ ලියලා තියෙන දේවල් ගොඩක් පැහැදිලි කරන්න පටන්ගන්නවා. අන්තිමට ඒගොල්ලන් කෑම කන්න නවතිනකොටයි ගෝලයන්ට තේරෙන්නේ මේ යේසුස් කියලා. එතකොටම යේසුස් නොපෙනී යනවා. ඉතින් මේ ගෝලයන් දෙන්නා ඉක්මනට ගිහින් ඔහු ගැන ප්‍රේරිතයන්ට කියන්න ආයෙත් යෙරුසලමට හැරිලා යනවා.

මේක සිද්ධ වෙන අතරවාරයේදීම යේසුස් පේතෘස්ටත් පෙනෙනවා. දැන් අනික් අයට මේක ගැන අහන්න ලැබුණාම ඒගොල්ලනුත් ගොඩක් කලබල වෙනවා. ඒ ගෝලයන් දෙන්නා ප්‍රේරිතයන්ව හොයාගෙන යෙරුසලමට ඇවිත් යේසුස්ව ඒ දෙන්නාටත් හමු වුණ විදිහ ගැන කියනවා. දැන් ඒගොල්ලන් අනික් අයට මේ ගැන කිය කිය ඉන්නකොට හරිම පුදුම දෙයක්නේ වෙන්නේ. ඔයා දන්නවාද ඒ මොකක්ද කියලා?

බලන්නකෝ පින්තූරය දිහා. දොරට අගුල් දාලා තිබුණත් මෙන්න යේසුස් කාමරය ඇතුලටම ඇවිත්. හිතන්න පුළුවන්ද මේ ගෝලයෝ කොච්චර සන්තෝෂ වෙන්න ඇතිද කියලා! මේක නම් පුදුම දවසක් නේද? ඔයාට පුළුවන්ද යේසුස් දැනටමත් ඔහුගේ ගෝලයන්ට කී වතාවක් පෙනුණද කියලා ගණන් කරන්න? පස් වතාවක්ද?

යේසුස් මෙහෙම පෙනුණු එක වතාවකවත් ප්‍රේරිත තෝමස් මේගොල්ලන් එක්ක ඉඳලා නැහැ. ඉතින් ගෝලයන් එයාට කියනවා: ‘අපි ස්වාමීන්ව දැක්කා’ කියලා. හැබැයි තෝමස් කියනවා එයාට මේක විශ්වාස කරන්න නම් එයා එයාගේ ඇස් දෙකෙන්ම දකින්න ඕනෙ කියලයි. ඊට දවස් අටකට පස්සේ ගෝලයන් ඔක්කොමලාම ආයෙත් මෙහෙම වහලා තිබුණ කාමරයක ඉන්නකොට, තෝමසුත් ඒ අය එක්ක ඉන්නවා. එකපාරටම යේසුස් ඒ කාමරයේම පෙනී සිටිනවා. දැන් නම් තෝමස් විශ්වාස කරනවා.