Skip to content

පටුනට යන්න

කතන්දර 106

හිරගෙයින් නිදහස් කිරීම

හිරගෙයින් නිදහස් කිරීම

මේ හිරගෙදර දොර ඇරගෙන ඉන්න දේවදූතයා දිහා බලන්න. ඔහු නිදහස් කරන්නේ ප්‍රේරිතයන්වයි. ඒගොල්ලන්ව මේ හිරේ දැම්මේ ඇයි කියලා අපි බලමුද?

යේසුස්ගේ ගෝලයන්ට ශුද්ධාත්මය ලැබිලා වැඩි කාලයක් නැහැ. මෙන්න මේකයි දැන් වෙන්නේ: දවසක් දවල් වරුවේ පේතෘස් හා යොහන් යෙරුසලමේ දේවමාළිගාවට යනවා. එතැන දොර ගාව ඉන්නවා එයාගේ මුළු ජීවිත කාලය පුරාම කොර වෙලා හිටිය මිනිසෙක්. එයාට මේ දේවමාළිගාවට ඇතුල් වෙන මිනිස්සුන්ගෙන් හිඟා කන්න පුළුවන් වෙන්න, මිනිස්සු එයාව හැමදාම මෙහාට උස්සාගෙන එනවා. එයා දැන් පේතෘස්ව හා යොහන්ව දැක්කාම මොනවා හරි දෙයක් දෙන්න කියලා ඒ දෙන්නාගෙනුත් ඉල්ලනවා. දැන් මේ ප්‍රේරිතයන් කරන්නේ මොකක්ද?

ඒගොල්ලන් නැවතිලා මේ අසරණ මිනිසා දිහා බලනවා. පේතෘස් එයාට මෙහෙම කියනවා: ‘මං ළඟ සල්ලි නම් නැහැ, හැබැයි මං ළඟ තියෙන දෙයක් මම ඔයාට දෙන්නම්. යේසුස්ගේ නාමයෙන්, නැඟිටිලා ඇවිදින්න!’ එහෙම කියලා පේතෘස් ඒ මිනිසාව එයාගේ දකුණු අතින් අල්ලලා නැඟිට්ටවනවා. එකපාරටම එයා සන්තෝෂයෙන් උඩ පැනලා, ඇවිදින්න පටන්ගන්නවා! මේක දැක්කාම මිනිස්සුන්ට හරිම පුදුමයි. මේ ප්‍රාතිහාර්යය කළ නිසා ඒගොල්ලන් සන්තෝෂත් වෙනවා.

‘යේසුස්ව මරණයෙන් නැඟිට්ටවපු දෙවිගේ බලයෙන් තමයි අපි මේ ප්‍රාතිහාර්ය කළේ’ කියලා පේතෘස් කියනවා. දැන් එයයි යොහනුයි මෙහෙම කතා කර කර ඉන්නකොට ආගමික නායකයන් කීපදෙනෙක් එතැනට එනවා. යේසුස් මරණයෙන් නැඟිටලායි කියලා පේතෘස් හා යොහන් මිනිස්සුන්ට කියන එක ගැන මේගොල්ලන්ට තරහ ගිහින්. ඉතින් මේගොල්ලන් මොනවාද කරන්නේ, ඒ දෙන්නාව අල්ලාගෙන හිරේ දානවා.

ඊළඟ දවසේ ආගමික නායකයන් ලොකු රැස්වීමක් පවත්වනවා. පේතෘස් හා යොහන්ව, ඒගොල්ලන් අර සුව කළ මිනිසා එක්ක එතැනට ගෙනල්ලා, ‘කාගේ බලයෙන්ද ඕගොල්ලන් මේ ප්‍රාතිහාර්ය කළේ’ කියලා මේ ආගමික නායකයන් අහනවා.

යේසුස්ව මරණයෙන් නැඟිට්ටපු දෙවිගේ බලයෙන් කියලා පේතෘස් ඒගොල්ලන්ට කියනවා. දැන් ඉතින් මේ පූජකයන් දන්නේ නැහැ මොනවා කරන්නද කියලා. ඇයි ඉතින් මේ ප්‍රාතිහාර්යය වුණේ නැහැයි කියලා කියන්නත් බැහැනේ. ඉතින් යේසුස් ගැන මීට පස්සේ කතා කරන්න එපා කියලා අවවාද කරලා ඒගොල්ලන්ට යන්න ඉඩ දෙනවා.

කොහොම වුණත් ප්‍රේරිතයන් දවසක් දවසක් ගානේ යේසුස් ගැන දේශනා කරමින් ලෙඩුන්ව සුව කරනවා. දැන් මේ ප්‍රාතිහාර්යයන් ගැන ආරංචිය හැම තැනම පැතිරෙනවා. ඉතින් මේ ප්‍රේරිතයන්ට කියලා ලෙඩුන්ව සුව කරගන්න, යෙරුසලම වටේ තියෙන ගම් පළාත්වලිනුත් සෙනඟ එනවා. මේක අහන්න ලැබුණාම ආගමික නායකයන්ට ඊර්ෂ්‍යා හිතෙනවා. ඉතින් ඒගොල්ලන් ප්‍රේරිතයන්ව අල්ලලා හිරේ දානවා. හැබැයි ඒගොල්ලන් නම් එහෙ වැඩි කාලයක් ඉන්න යන්නේ නැහැ.

මේ පින්තූරයේ පේන හැටියට, දේවදූතයෙක් රෑ ඇවිත් මේ හිරගෙදර දොර අරිනවා. ‘යන්න, ගිහින් දේවමාළිගාවට එන මිනිස්සුන්ට කතා කරන්න’ කියලා දේවදූතයා කියනවා. ඉතින් ඊළඟ දවසේ උදේ මේ ආගමික නායකයන් ප්‍රේරිතයන්ව හිරෙන් ගේන්න කියලා අණ දෙනකොට, ඒගොල්ලන්ව හොයාගන්න බැරි වෙනවා. ඒගොල්ලන් දේවමාළිගාවේ ඉඳන් මිනිස්සුන්ට උගන්වනවා දැක්කාම ආයෙත් ඒගොල්ලන්ව අල්ලාගෙන මන්ත්‍රණ සභාවට අරන් එනවා.

‘අපි ඕගොල්ලන්ට තදින්ම කිව්වා නේද මීට පස්සේ යේසුස් ගැන උගන්වන්න එපායි කියලා. හැබැයි ඕගොල්ලන් ඕගොල්ලන්ගේ ඉගැන්වීම්වලින් මුළු යෙරුසලමම පුරවලා’ කියලා ඒ ආගමික නායකයන් කියනවා. එතකොට ප්‍රේරිතයන් උත්තර දීලා මෙහෙමයි කියන්නේ: ‘පාලකයා හැටියට අපි මිනිස්සුන්ට වඩා දෙවිට කීකරු වෙන්න ඕනේ.’ ඉතින් ඒගොල්ලන් අත්හරින්නේ නැතුව “ශුභාරංචිය” ගැන උගන්වනවා. අපිටත් මෙහෙම කරන්න පුළුවන් නම් හොඳයි නේද?