Skip to content

පටුනට යන්න

කතන්දර 107

ස්තේපන්ට ගල් ගැසීම

ස්තේපන්ට ගල් ගැසීම

මෙතන දණගහගෙන ඉන්නේ ස්තේපන්. මෙයා යේසුස්ගේ විශ්වාසවන්ත ගෝලයෙක්. හැබැයි එයාට දැන් මොනවාද වෙන්නේ කියලා බලන්න! මේ මිනිස්සු ලොකු ලොකු ගල් අරන් එයාට ගහනවා. මේ වගේ නපුරු දෙයක් කරන්න තරම් ස්තේපන් එක්ක තරහෙන් ඉන්නේ ඇයි කියලා අපි බලමුද?

මේ වෙනකම් දෙවි ස්තේපන්ට ප්‍රාතිහාර්යයන් කරන්න බලය දීලයි තිබුණේ. ඒ වුණාට මේ මිනිස්සුන්ට ඒක පෙන්නන්න බැහැ. ඉතින් එයා මිනිස්සුන්ට සත්‍යය උගන්වන එක ගැන ඒගොල්ලන් එයාත් එක්ක රණ්ඩුවක් පටන්ගන්නවා. හැබැයි දෙවි ස්තේපන්ට නුවණ දුන්න නිසා ස්තේපන්ට පුළුවන් වෙනවා මේ මිනිස්සු උගන්වන දේවල් බොරුයි කියලා පෙන්නන්න. දැන් ඉතින් ඒගොල්ලන්ට ඊටත් වඩා තරහ යනවා. ඉතින් එයාව අල්ලාගෙන, එයා ගැන බොරු ගොතලා කියන්න මිනිස්සුන්ව ගෙන්නගන්නවා.

දැන් උත්තම පූජකයා ස්තේපන්ගෙන් මෙහෙම අහනවා: ‘මේ කියන දේවල් ඇත්තද?’ ස්තේපන් මේකට උත්තර දෙන්නේ බයිබලයෙන් හොඳ කතාවක් දීලයි. ඒකට පස්සේ, එයා කියනවා මීට කලිනුත් යෙහෝවාගේ අනාගතවක්තෲන්ට වෛර කළ නරක මිනිස්සු හිටියා කියලා. ‘ඕගොල්ලනුත් ඒ වගේමයි. ඕගොල්ලන් දෙවිගේ සේවකයාව, ඒ කියන්නේ යේසුස්ව මැරුවා. දෙවිගේ නීතිවලට කීකරු වුණෙත් නැහැ’ කියලත් එයා කියනවා.

දැන් මේ ආගමික නායකයන්ට හොඳටම තරහයි! හැබැයි දැන් ස්තේපන් එයාගේ ඔළුව උස්සලා කියනවා: ‘මෙන්න! යේසුස් ස්වර්ගයේ දෙවිගේ දකුණු පැත්තේ හිටගෙන ඉන්නවා මට පේනවා’ කියලා. මේක ඇහුණාම මේ මිනිස්සු ඒගොල්ලන්ගේ අත්වලින් කන් වහගෙන, දුවලා ගිහින් ස්තේපන්ව අල්ලාගෙන එයාව නගරයෙන් එළියට ඇදගෙන යනවා.

මෙතැනට ආවාම ඒගොල්ලන්ගේ සළු ගළවලා ඒවා සාවුල්ගේ බාරේ තියනවා. ඔයාට මේ පින්තූරයේ සාවුල්ව පේනවාද? දැන් කීපදෙනෙක් ස්තේපන්ට ගල් ගහන්න පටන්ගන්නවා. ස්තේපන් දණගහලා යෙහෝවාට මෙහෙම යාච්ඤා කරනවා: ‘අනේ යෙහෝවා, මේ නරක දෙය කළාට මේගොල්ලන්ට දඬුවම් කරන්න එපා.’ මේගොල්ලන්ගෙන් සමහර අය ආගමික නායකයන් කියන දේවල්වලින් රැවටිලයි කියලා එයා දන්න නිසයි එහෙම කියන්නේ. ඊට පස්සේ ස්තේපන් මැරෙනවා.

කවුරුහරි ඔයාට නරක දෙයක් කෙරුවොතින් ඔයා මොනවාද කරන්නේ? ඒගොල්ලන්ට රිදෙන්න මොනවාහරි කරන්න යනවාද, නැත්නම් දෙවිට කියනවාද ඒගොල්ලන්ට රිද්දවන්නයි කියලා? ස්තේපන්වත් යේසුස්වත් එහෙම කළේ නැහැ. මිනිස්සුන් ඒගොල්ලන්ට නරක විදිහට සැලකුවත් ඒගොල්ලන් ඒ අයට හොඳින් සැලකුවා. අපිත් ඒ දෙන්නා වගේ වෙන්න උත්සාහ කරමුද?