Skip to content

පටුනට යන්න

කතන්දර 109

පේතෘස් කොර්නේලියස්ව බලන්න යයි

පේතෘස් කොර්නේලියස්ව බලන්න යයි

මෙතන හිටගෙන ඉන්නේ ප්‍රේරිත පේතෘස්. එයාගේ පිටිපස්සෙන් ඉන්නේ එයාගේ යාළුවන් දෙන්නෙක්. හැබැයි අර මිනිසා පේතෘස් ඉස්සරහ වැඳ වැටෙන්නේ ඇයි? එයා එහෙම කරන එක හරිද? එයා කවුද කියලා ඔයා දන්නවාද?

ඒ තමයි කොර්නේලියස්. එයා රෝම ජාතිකයෙක්. ඇත්තටම එයා රෝමානු හමුදාවේ නිලධාරියෙක්. කොර්නේලියස් පේතෘස්ව අඳුනන්නේ නැති වුණත් පේතෘස්ව එයාගේ ගෙදරට ගෙන්නන්න කියලා එයාට කියලා තිබුණා. බලමුද මේක වුණේ කොහොමද කියලා?

යේසුස්ගේ මුල් ගෝලයන් අයිති වුණේ යුදෙව් ජාතියටයි. හැබැයි කොර්නේලියස් යුදෙව් ජාතිකයෙක් නෙවෙයි. ඒ වුණාට එයා දෙවිට ආදරෙයි. එයා දෙවිට යාච්ඤා කරනවා වගේම, මිනිස්සුන්ට හරිම කරුණාවන්තයි. දවසක්දා දවල් කාලයේ, දේවදූතයෙක් ඇවිත් එයාට කියනවා: ‘දෙවි ඔයාට කැමතියි. ඉතින් ඔහු ඔයාගේ යාච්ඤාවලට උත්තර දෙන්න යනවා. යොප්පා නගරයේ මුහුද ළඟ ඉන්න සීමොන්ගේ ගෙදර පේතෘස් කියලා මිනිසෙක් නැවතිලා ඉන්නවා. කාවහරි යවලා එයාව ඔයාගේ ගෙදරට ගෙන්නගන්න’ කියලා.

ඉතින් එවෙලේම කොර්නේලියස් මිනිසුන් කිහිපදෙනෙක්ව යවනවා පේතෘස්ව හොයාගන්න. ඊට පසුවදා ඒගොල්ලන් මේ යොප්පා නගරයට ඇතුල් වෙන්න ළං වෙද්දී පේතෘස් ඉන්නේ සීමොන්ගේ ගෙදර උඩ තට්ටුවෙයි. දෙවි, ස්වර්ගයෙන් ලොකු රෙද්දක් පහළට එනවා තමන් දකිනවා කියලා පේතෘස්ට හිතෙන්න සලස්වනවා. මේ රෙද්දේ හැම වර්ගයකටම අයිති සත්තු ඉන්නවා. උන් පිරිසිදු සත්තු නොවන නිසා, දෙවිගේ නීතියට අනුව මේ සතුන්ව කෑමට ගන්න එක වැරදියි. හැබැයි ‘පේතෘස්, නැඟිටින්න, සතුන්ව මරලා කන්න’ කියලා කියන හඬක් ඇහෙනවා.

‘බැහැ! මම කවදාවත් පිරිසිදු නැති දෙයක් කාලා නැහැ’ කියලා පේතෘස් කියනවා. ඒ වුණාට ඒ හඬ පේතෘස්ට කියනවා: ‘දෙවි දැන් පිරිසිදුයි කියලා කියන දෙයකට පිරිසිදු නැහැයි කියලා කියන එක නවත්වන්න’ කියලා. මෙහෙම තුන් වතාවක්ම වෙනවා. පේතෘස් මේක තේරුම්ගන්න හදනකොටම කොර්නේලියස් එව්ව අර මිනිස්සු ඒ ගෙදරට ඇවිත් පේතෘස් එහේ ඉන්නවාද කියලා අහනවා.

පේතෘස් දැන් පහළට බැහැලා ගිහින් ඒගොල්ලන්ට කියනවා: ‘ඕගොල්ලන් හොයන්නේ මාව තමයි. ඇයි, මොනවාටද ඕගොල්ලන් ඇවිත් තියෙන්නේ’ කියලා. දේවදූතයෙක් ඇවිත් පේතෘස්ව එයාගේ ගෙදරට ගෙන්නගන්නයි කියලා කොර්නේලියස්ට කිව්වා කියලා ඒගොල්ලන් විස්තර කෙරුවාම, පේතෘස් යන්න කැමති වෙනවා. ඊට පසුවදා, පේතෘස් එයාගේ යාළුවන් එක්ක කායිසාරියේ ඉන්න කොර්නේලියස්ව හමු වෙන්න පිටත් වෙනවා.

මේ වෙන කොටත් කොර්නේලියස් එයාගේ නෑදෑයන්වයි කිට්ටු යාළුවන්වයි එයාගේ ගෙදරට ගෙන්නගෙන. දැන් පේතෘස් ආවාම කොර්නේලියස් යනවා එයාව හමු වෙන්න. මෙතන පේන හැටියට එයා පේතෘස්ගේ කකුල් දෙක ළඟ වැඳ වැටෙනවා. හැබැයි පේතෘස් කියනවා: ‘නැඟිටින්න; මමත් ඔයා වගේම මනුස්සයෙක් විතරයි.’ ඔව්, බයිබලයේ කියන්නේ මිනිසෙක් ඉදිරියේ වැඳ වැටෙන එක වැරදියි කියලයි. අපි නමස්කාර කරන්න ඕනේ යෙහෝවාට විතරමයි.

පේතෘස් දැන් එතන රැස් වෙලා ඉන්න අයට දේශනා කරනවා. ‘දෙවිට සේවය කරන්න කැමති හැමදෙනාවම දෙවි පිළිගන්න බව මට පේනවා’ කියලා පේතෘස් කියනවා. එයා කතා කර කර ඉන්නකොට දෙවි ඔහුගේ ශුද්ධාත්ම බලය එවනවා. ඒකේ බලයෙන් මිනිස්සුන් වෙන වෙන භාෂාවලින් කතා කරන්න පටන්ගන්නවා. මේක දැක්කාම පේතෘස් එක්ක ආව අර යුදෙව් ජාතික ගෝලයන් හොඳටම පුදුම වෙනවා. දෙවි කැමති යුදෙව් ජාතියට අයිති අයට විතරයි කියලා ඒගොල්ලන් හිතාගෙන හිටිය නිසයි ඒ අය පුදුම වෙන්නේ. ඉතින් මේකෙන් ඒගොල්ලන්ට තේරෙනවා, එක ජාතියකට අයිති මිනිස්සු තව ජාතියකට අයිති මිනිස්සුන්ට වඩා හොඳයි කියලා දෙවි හිතන්නේ නැහැයි කියලා. ඒක නම් අපි ඔක්කොමලාම මතක තියාගන්න එක හොඳයි නේද?