Skip to content

පටුනට යන්න

කතන්දර 110

තිමෝති—පාවුල්ගේ අලුත් උදව්කාරයා

තිමෝති—පාවුල්ගේ අලුත් උදව්කාරයා

ප්‍රේරිත පාවුල් එක්ක මෙතන ඉන්න තරුණයාගේ නම තිමෝති. තිමෝති එයාගේ පවුලේ අය එක්ක ජීවත් වෙන්නේ ලුස්ත්‍රාව කියන නගරයේ. එයාගේ අම්මාගේ නම එවුනීකි හා එයාගේ ආච්චිගේ නම ලොයිස්.

පාවුල් ලුස්ත්‍රාවට ආව තුන්වෙනි වතාවයි මේ. දැනට අවුරුද්දකට වඩා වැඩි කාලයකට කලින් පාවුල් බාර්ණබස් එක්ක මෙහෙ දේශනා කරන්න ආවා. මේ වතාවේ පාවුල් සීලස් කියන එයාගේ යාළුවෙක් එක්කයි ආයෙමත් මෙහෙ ඇවිත් ඉන්නේ.

ඔයා දන්නවාද පාවුල් තිමෝතිට මෙතනදී කියන්නේ මොනවාද කියලා? ‘ඔයාත් කැමතිද සීලස් එක්කයි මාත් එක්කයි එන්න’ කියලයි එයා අහන්නේ. ‘එතකොට දුර පළාත්වල ඉන්න මිනිස්සුන්ට දේශනා කරන්න ඔයාගෙනුත් අපට උදව් ලබාගන්න පුළුවන්.’

‘ඔව්, මම එන්න කැමතියි’ කියලා තිමෝති උත්තර දෙනවා. ඉතින් වැඩි කාලයක් යන්න කලින්, තිමෝති එයාගේ පවුලේ අයගෙන් සමුගෙන පාවුල් හා සීලස් එක්ක යනවා. දැන් ඒගොල්ලන්ගේ ගමන ගැන ඉගෙනගන්න කලින් මේ වෙනකම් පාවුල්ට වෙලා තියෙන්නේ මොනවාද කියලා බලමුද? එයා දමස්කයට යද්දී යේසුස්ව පෙනුණ දවසේ ඉඳලා දැන් අවුරුදු 17ක් විතර පහු වෙලා.

මතකද, පාවුල් දමස්කයට ආවේ යේසුස්ගේ ගෝලයන්ට කරදර කරන්නයි කියලා. හැබැයි දැන් එයාම ගෝලයෙක් වෙලා! ඊට පස්සේ, පාවුල් යේසුස් ගැන උගන්වනවාට කැමති නැති නිසා සතුරන් කණ්ඩායමක් එයාව මරන්න හදනවා. ඒ වුණාට පාවුල්ට බේරිලා යන්න ගෝලයන් උදව් කරනවා. ඒගොල්ලන් පාවුල්ව කූඩයක දාලා ඒ නගරයේ තාප්පයෙන් එහා පැත්තට බස්සවනවා.

ඒ සිද්ධියෙන් පස්සේ පාවුල් අන්තියෝකියට යනවා දේශනා කරන්න. මෙහෙදී තමයි යේසුස්ගේ ගෝලයන්ව ක්‍රිස්තියානීන් කියලා මුල්ම වතාවට හඳුන්වන්නේ. ඊට පස්සේ පාවුල්ව හා බාර්ණබස්ව අන්තියෝකියේ ඉඳලා දුර රටවල්වලට දේශනා ගමන් සඳහා යවනවා. ලුස්ත්‍රාව කියන තිමෝතිගේ ගමටත් ඒගොල්ලන් යනවා.

දැන්, අවුරුද්දකට විතර පස්සේ පාවුල් දෙවෙනි වතාවට ලුස්ත්‍රාවට ඇවිත්. තිමෝති, පාවුල් හා සීලස් එක්ක මේ ගමන යනකොට ඒගොල්ලන් යන්නේ කොහාටද කියලා ඔයා දන්නවාද? බලන්න මේ සිතියම දිහා. ඒ නගරවල් ටිකක් අපි ඉගෙනගමුද?

පළමුවෙන්ම ඒගොල්ලන් යන්නේ ළඟ තියෙන ඉකෝනියටයි. දෙවෙනුව අන්තියෝකියට. ඊට පස්සේ ත්‍රෝවස කියන නගරයට හා පිලිප්පිය, තෙසලෝනිකය හා බෙරීයය කියන නගරවලට. මේ සිතියමේ අතීනසය තියෙන තැන ඔයාට පේනවාද? පාවුල් එහේ දේශනා කරනවා. ඊට පස්සේ ඒගොල්ලන් අවුරුදු එකහමාරක් කොරින්තියේ දේශනා කරනවා. අන්තිමට ඒගොල්ලන් ටික කාලෙකට එපීසයේ නැවතිලා ඉන්නවා. ඊට පස්සේ ඒගොල්ලන් කායිසාරියට නැවකින් ඇවිත් අන්තියෝකිය වෙනකම් ගමන් කරනවා. පාවුල් එහෙ නැවතිලා ඉන්නවා.

ඉතින් තිමෝති “ශුභාරංචිය” දේශනා කරන්නත්, ක්‍රිස්තියානි සභා ගොඩක් ඇති කරන්නත් පාවුල්ට උදව් කරන්න හැතැප්ම සිය ගණන් ගමන් කරනවා. ඔයා ලොකු වුණාම ඔයාත් ආසයිද තිමෝති වාගේ දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙක් වෙන්න?