Skip to content

පටුනට යන්න

කතන්දර 113

පාවුල් දැන් රෝමයේ

පාවුල් දැන් රෝමයේ

බලන්න දැන් පාවුල් දිහා. එයාගේ අත් දෙකටම දම්වැල් දාලා. එයාව මුර කරන්න රෝමානු ජාතික භටයෙකුත් ඉන්නවා. පාවුල් දැන් ඉන්නේ රෝමයේ හිරකාරයෙක් හැටියටයි. රෝමානු කායිසර් එයාට මොනවා කරන්න තීරණය කරයිද කියලා දැනගන්න එයා බලාගෙන ඉන්නවා. එයා හිරකාරයෙක් වුණත් මිනිස්සුන්ට එයාව බලන්න එන්න ඉඩ දීලයි තියෙන්නේ.

පාවුල් රෝමයට ගිහින් දවස් තුනකට පස්සේ එයා පණිවුඩයක් යවනවා යුදෙව් ජාතික නායකයන්ගෙන් කීපදෙනෙකුට එයාව බලන්න එන්න කියලා. ඉතින් රෝමයේ ඉන්න යුදෙව්වරුන් ගොඩක්දෙනෙක් එයාව බලන්න එනවා. පාවුල් ඒගොල්ලන්ට යේසුස් ගැනත් දෙවිගේ රාජ්‍යය ගැනත් දේශනා කරනවා. සමහර අය මේ දේවල් විශ්වාස කරලා ක්‍රිස්තියානීන් වෙනවා. හැබැයි අනික් අය විශ්වාස කරන්නේ නැහැ.

මාරුවෙන් මාරුවට පාවුල්ව මුර කරපු භටයන්ටත් එයා දේශනා කරනවා. එයාව මෙහෙ හිරකාරයෙක් හැටියට තියාගන්න අවුරුදු දෙකේදී පාවුල් පුළුවන් හැමදෙනාටම දේශනා කරනවා. මේ නිසා කායිසර්ගේ ගෙදර ඉන්න අයටත් රාජ්‍යයේ ශුභාරංචිය ගැන අහන්න ලැබෙනවා. ඒගොල්ලන්ගෙන් සමහරදෙනෙකුත් ක්‍රිස්තියානීන් වෙනවා.

හැබැයි මේ වාඩි වෙලා ලියන අමුත්තා කවුද කියලා ඔයාට හිතාගන්න පුළුවන්ද? ඔව්, ඒ තිමෝති. රාජ්‍යය ගැන දේශනා කරපු නිසා තිමෝතිවත් හිරේ දාලයි තිබුණේ. හැබැයි දැන් එයා නිදහස්. ඉතින් එයා මෙහාට ඇවිත් පාවුල්ට උදව් කරන්න. තිමෝති මේ ලිය ලිය ඉන්නේ මොනවාද කියලා බලමුද?

මතකද අපි 110වෙනි කතන්දරයේ පිලිප්පිය හා එපීසය කියලා නගර දෙකක් ගැන ඉගෙනගත්තා? ඒ නගරවල ක්‍රිස්තියානි සභා ඇති කරන්න පාවුල් උදව් කෙරුවා. දැන් එයා හිරේ ඉඳන් මේ ක්‍රිස්තියානීන්ට ලියුම් ලියනවා. මේ ලියුම් අපිට බයිබලයෙන් හොයාගන්න පුළුවන්. ඒවාට කියන්නේ එපීස පොත හා පිලිප්පි පොත කියලයි. පාවුල් දැන් තිමෝතිට කියන්නේ පිලිප්පියේ ඉන්න ඒගොල්ලන්ගේ යාළුවන්ට ලියන්න ඕනේ මොනවාද කියලයි.

පිලිප්පිවරු පාවුල්ට හරිම හොඳින් සලකලා තිබුණා. ඒගොල්ලන් පාවුල් හිරේ ඉන්නකොට එයාට තෑග්ගක් එවලා තිබුණ නිසා පාවුල් ඒගොල්ලන්ට ස්තූති කරනවා. මේ තෑග්ග අරන් ආවේ එපප්‍රොදිතස් කියලා කෙනෙක්. හැබැයි එයා හොඳටම ලෙඩ වෙලා තව පොඩ්ඩෙන් මැරෙනවා. නමුත් දැන් නම් එයා සනීප වෙලා ආයෙත් ගෙදර යන්න ලෑස්තියි. ඒ යද්දී, පාවුල්ගෙනුයි තිමෝතිගෙනුයි ලැබුණු මේ ලියුමත් එයා පිලිප්පියට ගෙනියාවි.

පාවුල් හිරේ ඉන්නකොට එයා තවත් ලියුම් දෙකක් ලියනවා. ඒවාත් අපිට අපේ බයිබලයෙන් හොයාගන්න පුළුවන්. එකක් ලියන්නේ කොලොස්සි නගරයේ ඉන්න ක්‍රිස්තියානීන්ට. ඒක මොන නමින්ද හඳුන්වන්නේ කියලා ඔයා දන්නවාද? ඒකට කියන්නේ කොලොස්සි පොත කියලයි. අනික් ලියුම ලියන්නේ කොලොස්සියේම ජීවත් වෙන පිලෙමොන් කියන හොඳ යාළුවෙක්ටයි. ඒක එවන්නේ එයාට විතරක් තනියම කියවන්නයි. මේ ලියුමේ කියන්නේ ඔනේසිමස් කියලා හිටපු පිලෙමොන්ගේ සේවකයෙක් ගැනයි.

ඔනේසිමස් පිලෙමොන්ගේ ගෙදරින් පැනලා රෝමයට ඇවිත්. පාවුල් මෙහෙ හිරකාරයෙක් හැටියට ඉන්නවා කියලා කොහොම හරි දැනගෙන එයා එනවා පාවුල්ව බලන්න. පාවුල් දැන් ඔනේසිමස්ටත් දේශනා කරනවා. වැඩි කාලයක් යන්න කලින් ඔනේසිමසුත් ක්‍රිස්තියානියෙක් වෙනවා. එයා පැනලා ආව එක ගැන ඔනේසිමස් දැන් කනගාටු වෙනවා. ඉතින් ඔයා දන්නවාද පාවුල් මේ පිලෙමොන්ට ලියන ලියුමේ මොනවාද තියෙන්නේ කියලා?

පාවුල් පිලෙමොන්ගෙන් ඉල්ලනවා ඔනේසිමස්ට සමාව දෙන්න කියලා. ‘මම එයාව ආයෙත් ඔයා ගාවට එවනවා. හැබැයි දැන් එයා ඔයාගේ සේවකයෙක් විතරක් නෙවෙයි, එයා හොඳ ක්‍රිස්තියානි සහෝදරයෙක්’ කියලා පාවුල් ලියනවා. ඔනේසිමස් ආයෙත් කොලොස්සියට යනකොට එයා මේ ලියුම් දෙකත් ගෙනියනවා. ඒ කියන්නේ කොලොස්සිවරුන්ට ලිව්ව ලියුමයි පිලෙමොන්ට ලිව්ව ලියුමයි. එයාගේ සේවකයා දැන් ක්‍රිස්තියානියෙක් වෙලා කියලා දැනගත්තාම පිලෙමොන් කොච්චර සන්තෝෂ වෙන්න ඇතිද නේද?

පාවුල් පිලිප්පිවරුන්ටයි පිලෙමොන්ටයි ලියනකොට එයා හොඳ ආරංචියකුත් ඒගොල්ලන්ට දෙනවා. ‘මම තිමෝතිව එවනවා ඕගොල්ලන්ව හමු වෙන්න. හැබැයි වැඩි කාලයක් යන්න කලින් මමත් එනවා ඕගොල්ලන්ව බලලා යන්න’ කියලා පාවුල් පිලිප්පිවරුන්ට කියනවා. එයා පිලෙමොන්ට ලියන්නේ ‘ඔයාගේ ගෙදර නැවතිලා ඉන්න මට කාමරයක් ලෑස්ති කරන්න’ කියලයි.

පාවුල් හිරෙන් නිදහස් වුණාම එයාගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ව බලන්න ගොඩක් තැන්වලට යනවා. හැබැයි දෙවෙනි වතාවටත් පාවුල් රෝමයේදී හිරකාරයෙක් වෙනවා. මේ වතාවේ මිනිස්සු එයාව මරයි කියලා පාවුල් දන්නවා. ඉතින් එයා තිමෝතිට ලියලා කියනවා එයාට ඉක්මනට එතැනට එන්නයි කියලා. ‘මම දෙවිට විශ්වාසවන්තව ඉඳලා තියෙනවා. දෙවි මට තෑග්ගක් දෙයි’ කියලා පාවුල් ලියනවා. පාවුල්ව මරලා අවුරුදු කිහිපයකට පස්සේ යෙරුසලම ආයෙත් විනාශ වෙනවා. මේ වතාවේ ඒක විනාශ කරන්නේ රෝමවරුන්.

ඒ වුණාට බයිබලයේ තවත් ගොඩක් දේවල් ගැනත් කියනවා. ඒකේ තියෙන එළිදරව් කියන පොත වගේම අනිත් අන්තිම පොත් ටික ලියන්න දෙවි තෝරාගන්නේ ප්‍රේරිත යොහන්වයි. මේ බයිබල් පොතේ අනාගතය ගැන කියනවා. අපි බලමුද අනාගතයේ මොනවාද වෙන්න යන්නේ කියලා?