Skip to content

පටුනට යන්න

කතන්දර 115

පොළොව මත අලුත් පාරාදීසයක්

පොළොව මත අලුත් පාරාදීසයක්

බලන්න අර උස ගස් දිහා. ලස්සන මල් හා උස කඳු දිහාත්. මෙතැන නම් හරිම ලස්සනයි නේද? බලන්න මේ මුවා පොඩි පිරිමි ළමයාගේ අතේ තියෙන කෑම කන හැටි. සිංහයන් අශ්වයන් එක්ක අර පිට්ටනියේ ඉන්න හැටිත් බලන්න. මේ වගේ තැනක තියෙන ගෙයක ඉන්න ඔයා ආස නැද්ද?

දෙවිට ඕනේ කරන්නේ ඔයා පාරාදීස පොළොවක සදාකල් ජීවත් වෙනවා දකින්නයි. අද ඉන්න මිනිස්සු විඳින මොනම දුක් වේදනාවක්වත් ඔයා අද්දකිනවාට ඔහු කැමති නැහැ. අලුත් පාරාදීසයේ ජීවත් වෙන්න යන අයට බයිබලයේ දෙන පොරොන්දුව මෙන්න මේකයි: ‘දෙවි ඒ අය එක්ක ඉන්න යනවා. මරණයවත් කඳුළුවත් වේදනාවවත් තවත් තියෙන්න යන්නේ නැහැ. කලින් තිබුණු දේවල් නැතුව ගිහිල්ලා.’

මේ පුදුම වෙනස ඇති කරන්න යන්නේ යේසුස්. ඒක වෙන්නේ කවදාද කියලා ඔයා දන්නවාද? ඒ, නරක දේවලුයි නරක මිනිස්සු හැමෝවමයි මේ ලෝකයෙන් අයින් කළාට පස්සෙයි. යේසුස් මේ ලෝකයේ ඉන්නකොට මිනිස්සුන්ගේ හැම ලෙඩක්ම සුව කළා කියලා මතකද? ඔහු මිනිස්සුන්ව මරණයෙනුත් නැඟිට්ටෙව්වා. යේසුස් මේ දේවල් කෙරුවේ, දෙවිගේ රාජ්‍යයේ රජු වෙනකොට ඔහු මුළු ලෝකේ පුරාම කරන්න යන දේවල් පෙන්නන්නයි.

පොළොවේ ඒ අලුත් පාරාදීසයේ ඉන්න එක කොච්චර පුදුම හිතෙන දෙයක් වෙයිද කියලා ටිකක් හිතලා බලන්න! යේසුස්, ඔහු තෝරාගත්ත කීපදෙනෙක් එක්ක ස්වර්ගයේ ඉඳන් පාලනය කරන්න යනවා. මේ පාලකයන් පොළොවේ ඉන්න හැමදෙනාවම රැකබලා ගන්නත් සන්තෝෂයෙන් තියන්නත් යනවා. දෙවිගේ අලුත් පාරාදීසයේ අපිට සදාකල් ජීවත් වෙන්න අවශ්‍ය නම් අපි මොනවාද කරන්න ඕනේ කියලා දැන් අපි බලමුද?