Skip to content

පටුනට යන්න

කතන්දර 116

අපිට සදාකල් ජීවත් වෙන්න පුළුවන් වන විදිහ

අපිට සදාකල් ජීවත් වෙන්න පුළුවන් වන විදිහ

මේ පොඩි ගෑනු ළමයා එයාගේ යාළුවන් එක්ක කියව කියව ඉන්න පොත මොකක්ද කියලා ඔයාට කියන්න පුළුවන්ද? ඔව්, ඒ ඔයා කියවන පොතමයි—මගේ බයිබල් කතන්දර පොත. “අපිට සදාකල් ජීවත් වෙන්න පුළුවන් වන විදිහ” කියන මාතෘකාව තියෙන දැන් ඔයා කියවන කතන්දරයමයි ඒගොල්ලොත් ඒ කියවන්නේ.

ඒගොල්ලන් ඉගෙනගන්නේ මොනවා ගැනද? මුලින්ම, සදාකාලයටම ජීවත් වෙන්න නම් අපි යෙහෝවා ගැනත් ඔහුගේ පුත්‍රයා යේසුස් ගැනත් දැනගන්න ඕනේ කියන එකයි. බයිබලයේ මෙහෙම කියනවා: ‘සදාකල් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ මෙහෙමයි. එකම සැබෑ දෙවි ගැනත්, ඔහු පොළොවට එව්ව පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් ඉගෙනගැනීමෙනුයි.’

යෙහෝවා ගැනයි ඔහුගේ පුත්‍රයා යේසුස් ගැනයි අපිට ඉගෙනගන්න පුළුවන් වෙන්නේ කොහොමද? මගේ බයිබල් කතන්දර පොත මුල ඉඳන් අග දක්වා කියවන එක, එක විදියක්. මේ පොතේ යෙහෝවා ගැනයි යේසුස් ගැනයි ගොඩක් දේවල් කියවන්න තියෙනවා, නේද? ඒගොල්ලන් කරලා තියෙන දේවල් ගැනත් කරන්න යන දේවල් ගැනත් මේ පොතේ කියනවා. හැබැයි මේ පොත විතරක් කියවලා මදි.

බිම තියෙන අනික් පොත පේනවාද? ඒ බයිබලය. මේ පොතේ කතන්දර අරන් තියෙන බයිබල් කොටස් කාටහරි කියලා කියවගන්න. අපි හැමදෙනාටම යෙහෝවා කියන විදියටම ඔහුට සේවය කරන්නත් සදාකල් ජීවනය ලබාගන්නත් ඕනේ කරන හැම දෙයක් ගැනම ඒකේ තියෙනවා. ඉතින් නිතර නිතර බයිබලය පාඩම් කරන එක අපි පුරුද්දක් කරගන්න ඕනේ.

හැබැයි යෙහෝවා ගැනයි යේසුස් ගැනයි ඉගෙනගන්න එක විතරක් මදි. අපි ඒගොල්ලන් ගැනයි ඒගොල්ලන් උගන්වන දේවල් ගැනයි ගොඩක් දැනගෙන හිටියත් අපිට සදාකල් ජීවිතය නැති වෙන්න පුළුවන්. එහෙනම් තව මොනවාද ඕනේ වෙන්නේ කියලා ඔයා දන්නවාද?

අපි ඉගෙනගන්න දේවල් කරන්න ඕනේ. මතකද යූදස් ඉස්කාරියොත්ව? යේසුස් ඔහුගේ ප්‍රේරිතයන් වෙන්න තෝරාගත්ත 12දෙනාගෙන් එක්කෙනෙක් එයා. යෙහෝවා ගැනයි යේසුස් ගැනයි යූදස් ගොඩක් දේවල් දැනගෙන හිටියා. හැබැයි එයාට මොනවාද වුණේ? එයා කාලෙකට පස්සේ එයා ගැන විතරක් හිතලා යේසුස්ගේ සතුරන්ට යේසුස්ව රිදී කෑලි 30කට පාවලා දුන්නා. ඒ හින්දා යූදස්ට සදාකල් ජීවිතය ලැබෙන්න යන්නේ නැහැ.

අපි 69වෙනි කතන්දරයේ ගෙහාසී කියලා මිනිසෙක් ගැන ඉගෙනගත්තා මතකද? එයාට ඕනේ වුණේ එයාට අයිති නැති ඇඳුම් ටිකකුයි මුදල් ටිකකුයි ලබාගන්නයි. ඉතින් එයා බොරුවක් කියලා මේවා ලබාගත්තා. හැබැයි යෙහෝවා එයාට දඬුවම් කළා. අපි ඔහුගේ නීතිවලට කීකරු වුණේ නැත්නම් ඔහු අපිටත් දඬුවම් කරයි.

කොහොම වුණත් යෙහෝවාට හැම තිස්සේම විශ්වාසවන්තව සේවය කරපු හොඳ අය ගොඩක්දෙනෙක් හිටියා. අපි ආස ඒගොල්ලන් වගේ වෙන්න නේද? අපිට පුංචි සාමුවෙල් වගේ වෙන්න පුළුවන්. මතකද අපි 55වෙනි කතන්දරයේ ඉගෙනගත්තා එයා යෙහෝවාගේ මණ්ඩපයේ ඉඳන් සේවය කරන්න පටන්ගන්නකොට එයාට වයස අවුරුදු හතරක් නැත්නම් පහක් විතරයි කියලා? ඉතින් ඔයා කොච්චර පොඩි වුණත් යෙහෝවාට සේවය කරන්න ඔයා පොඩි වැඩි නැහැ.

හැබැයි අපි හැමදෙනාම කැමති වෙන්න ඕනේ යේසුස් ක්‍රිස්තුස් වගේ වෙන්න. අපි 87වෙනි කතන්දරයේ ඉගෙනගත්ත හැටියට ඔහු පොඩි කාලේදී පවා ස්වර්ගයේ ඉන්න ඔහුගේ පියා ගැන අනික් අයට කතා කර කර දේවමාළිගාවේ හිටියා. අපි ඔහු වගේ වෙමු. අපිට කියන්න පුළුවන් හැමදෙනාටම අපේ පුදුම දෙවි යෙහෝවා ගැනත් ඔහුගේ පුත්‍රයා යේසුස් ක්‍රිස්තුස් ගැනත් කියමු. අපි මේ දේවල් කෙරුවොත්, අපිට දෙවි දෙන අලුත් පාරාදීස පොළොවේ සදාකාලේටම ජීවත් වෙන්න පුළුවන් වෙයි.