Skip to content

පටුනට යන්න

“ඒක නම් වෙන්න බැහැ!”

“ඒක නම් වෙන්න බැහැ!”

ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයේ ජීවත් වන පියෙකුගේ අද්දැකීමයි මේ. “එදා මම හිටියේ ගෙදර. මගේ බිරිඳ වැලන්ටිනා, නෑදෑ ගෙදරකගිහිල්ලයි හිටියේ. අපේ පුතා ජොනතන් එයාගේ යාළුවන්ව බලන්න ගියා. ඒ ගෙවල්වලට යන පාරේ නිතර අනතුරු සිදු වෙන නිසා පුතා ඒ ළමයින්ගේ ගෙවල්වල යනවට වැලන්ටිනා කැමති වුණේ නැහැ. පුතා ඉලෙක්ට්‍රෝනික වැඩවලට හරි කැමතියි. එයාගේ යාළුවන්ට ඉලෙක්ට්‍රෝනික භාණ්ඩ අලුත්වැඩියා කරන වැඩපොළක් තිබුණා. පුතා එන්න පරක්කු වෙන කොට ‘එයා තව ටිකකින් එයි’ කියලා මම හිතුවා. එතකොටම වගේ දොරේ සීනුව නාද වුණා. මම හිතුවේ ඒ පුතා කියලා. ඒත් මම දොර ඇරලා බලන කොට එතැන හිටියේ පොලිස් නිලධාරීනුයි ගිලන් රථ වෛද්‍ය සේවකයනුයි. ‘මේ රියදුරු බලපත්‍රය කාගේද කියලා මහත්මයා දන්නවාද’ කියලා පොලිස් නිලධාරියෙක් මගෙන් ඇහැව්වා. ‘ඔව්. මේක මගේ පුතාගේ.’ එතකොට පොලිස් නිලධාරියා මෙහෙම කිව්වා. ‘අපි මහත්මයාට කියන්න ආවේ, ලොකු රිය අනතුරක් වුණා කියලා. ඒකෙන්, ඔයාගේ පුතා නැති වුණා.’ එකපාරටම මට කියවුණේ ‘ඒක නම් වෙන්න බැහැ’ කියලයි. ඒ සිද්ධිය වෙලා දැන් අවුරුදු ගාණක් ගියත් ඒ වේදනාව මට අදටත් දැනෙනවා.”

‘අපි මහත්මයාට කියන්න ආවේ, ලොකු රිය අනතුරක් වුණා කියලා. ඒකෙන්, මහත්මයාගේ පුතා නැති වුණා.’

මෙය ස්පාඤ්ඤයේ ජීවත් වන පියෙකුගේ අද්දැකීමක්. වර්ෂ 1960 ගණන්වල “අපි සතුටින් ජීවත් වුණ පවුලක්. මගේ බිරිඳගේ නම මරීයා. අපිට දරුවෝ තුන්දෙනෙක් හිටියා. අපේ වැඩිමල් පුතා ඩේවිඩ්ට අවුරුදු 13යි. දෙවෙනි පුතා පැකිටෝට අවුරුදු 11යි. අපේ දුව ඉසබෙල්ට අවුරුදු 9යි.

මේ සිද්ධිය වුණේ 1963දීයි. “එක දවසක් දෙවෙනි පුතා ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවේ තද ඔළුව කැක්කුමක් තියෙනවා කියලා කියාගෙනයි. මොනවාද කරන්නේ කියලා අපිට හිතාගන්න බැරි වුණා. පැය තුනක්වත් ගියේ නැහැ එයා මැරුණා. එයාගේ මරණයට හේතුව මොළයේ ලේ ගැලීමක්.

“පැකිටෝගේ මරණය සිදු වෙලා දැන් අවුරුදු 30කටත් වැඩියි. ඒත් ඒ වේදනාව අපිට අදටත් දැනෙනවා. දෙමාපියන්ට දරුවෙකුගේ මරණය නිසා ඇති වන වේදනාව නැති වෙලා යන්නේ නැහැ. කොයි තරම් කාලයක් ගියත් තව දරුවෝ හිටියත් ඒ වේදනාව තියෙනවා.”

එම අද්දැකීම්වලින් පැහැදිලි වෙන්නේ දෙමාපියන්ට තම දරුවෙකුගේ මරණය මොන තරම් වේදනාවක්ද කියායි. ඒ පිළිබඳව වෛද්‍යවරයෙක් ලියූ දේ කොයි තරම් සත්‍යයක්ද කියා පැහැදිලි වෙනවා. “සාමාන්‍යයෙන් දරුවෙකුගේ මරණය දෙමාපියන් බලාපොරොත්තු නොවන දෙයක්. ඒ නිසා වැඩිහිටියෙකුගේ මරණයට වඩා දරුවෙකුගේ මරණය නිසා ඇති වන කම්පනය සහ ශෝකය දරාගන්න අමාරුයි. මන්ද දෙමාපියන් සිහින මවන්නේ තම දරුවන් විවාහ වෙලා ඔවුන්ගේ දරුවන් සමඟ සතුටින් ජීවත් වෙනවා දකින්නයි. නමුත් දරුවෙක් මිය යන විට ඒ සිහින සියල්ල බොඳ වී යනවා.” එලෙසම නූපන් දරුවෙකු අහිමි වීමත් මවකට දරාගත නොහැකි දුකක්.

සැමියාගේ වියෝව නිසා ශෝකයෙන් තැවෙන බිරිඳක් පවසන දේ සලකා බලන්න. “දෙවන ලෝක මහා යුද්ධය තිබ්බ කාලයේ රසල් වෛද්‍ය නිලධාරියෙක් ලෙස සේවය කළා. එයා දරුණු යුද්ධවලින් බේරුණු කෙනෙක්. ඊටපස්සේ එයා ඇමරිකාවට ඇවිල්ලා සාමාන්‍ය ජීවිතයක් ගත කළා. ඒ කාලයේදී තමයි එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරයෙක් වුණේ. අවුරුදු 60ක් විතර වෙන කොට එයා අසනීප වෙන්න පටන්ගත්තා. එයා ගොඩක් පරෙස්සම් වුණා. ඒත් 1988 ජූලි මාසයේ දවසක දරුණු හෘදයාබාධයකින් එයා මිය ගියා. එයාගේ මරණය මට දරාගන්න බැරි වුණා. මට තියෙන ලොකුම දුක එයා මැරෙන වෙලාවේ එයා ළඟ ඉන්න බැරි වෙච්ච එකයි. එයා මට හොඳ සැමියෙක් වුණා විතරක් නෙමෙයි මගේ හොඳම යාළුවා වුණෙත් එයායි. අපි අවුරුදු 40ක් පුරා සතුටින් හිටියා. මම තනියම ජීවිතයට මුහුණ දෙන්නේ කොහොමද කියලා මට හිතාගන්න බැරි වුණා.”

ඉහත සඳහන් වුණේ ලොව පුරා සිදු වන දුක්ඛදායක සිදුවීම් අතරින් කිහිපයක් පමණයි. අනාවැකි ඇතුළත් පොතක් වන බයිබලය ලියූ ලේඛකයෙක් වූ පාවුල් මරණය සමාන කළේ ‘සතුරෙකුටයි.’ දරුවෙකුගේ සැමියෙකුගේ බිරිඳකගේ මවකගේ හෝ පියෙකුගේ නැත්නම් මිතුරෙකුගේ මරණය නිසා දුක් වන කෙනෙක්ද එය සත්‍යයක් බව පිළිගනියි. තමන් ආදරය කරන කෙනෙකු මිය ගියා කියා ආරංචි වන විට කෙනෙකුගේ මුවින් එකවිට පිට වෙන්නේ මෙවැනි දෙයක් විය හැකියි. “ඒක නම් වෙන්න බැහැ! මම ඒක විශ්වාස කරන්නේ නැහැ.”—1 කොරින්ති 15:25, 26.

දැන් අපි වැදගත් ප්‍රශ්න කිහිපයක් සලකා බලමු. මරණයෙන් කෙනෙකුගේ ජීවිතය අවසන් වෙයිද? මිය ගිය අයව නැවත අපට දකින්න ලැබෙයිද?

සැනසිලිදායක බලාපොරොත්තුවක්

දෙවි ලබා දෙන සැනසිල්ල කුමක්ද කියා සඳහන් වෙන්නේ බයිබලයේ. එහි පාවුල් මරණය ගැන මෙවැනි දෙයක් සඳහන් කළා. ‘අන්තිම සතුරා වන මරණය නැති කරනු ලබනවා.’ (1 කොරින්ති 15:26) එතරම් විශ්වාසයකින් පාවුල්ට ඒ දේ ලියන්න පුළුවන් වුණේ කොහොමද? ඊට හේතුව ඔහුට ඒ ගැන ඉගැන්නුවේ මරණයෙන් නැවත නැඟිටි යේසුස්මයි. (ක්‍රියා 9:3-19) පාවුල් මෙසේ ලිව්වෙත් ඒ නිසයි. “මරණය පැමිණියේ එක් මිනිසෙකු [ආදම්] මාර්ගයෙනි. එලෙසම එක් මිනිසෙකු [යේසුස් ක්‍රිස්තුස්] මාර්ගයෙන් මිය ගිය අයගේ නැවත නැඟිටීමද සිදු වේ. ඇත්තෙන්ම ආදම් නිසා සියලුදෙනාම මිය යති. නමුත් ක්‍රිස්තුස් නිසා සියලුදෙනාටම ජීවනය ලැබේ.”—1 කොරින්ති 15:21, 22.

එක් අවස්ථාවකදී යේසුස්ට පුත්‍රයාගේ වියෝව නිසා ශෝකයෙන් සිටි වැන්දඹුවක්ව මුණගැසුණා. ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙසේයි. “යේසුස් ඒ නුවරෙහි [නායින්] දොරටුව ළඟට පැමිණි විට මිය ගොස් සිටි මිනිසෙකුගේ දේහය උසුලාගෙන යන ආකාරය ඔහු දුටුවේය. මිය ගොස් සිටියේ එක් වැන්දඹුවකගේ පුතෙක්ය. ඇයට සිටි එකම පුතා ඔහුය. නුවරින් පැමිණි විශාල පිරිසක්ද ඇය සමඟ ගමන් කරමින් සිටියෝය. ඇය දුටු විගස යේසුස්ට ඇය ගැන මහත් අනුකම්පාවක් ඇති විය. ‘අඬන්න එපා’ කියා ඔහු ඇයට කීවේය. ඉන්පසු ඔහු දේහය තබා තිබූ යහනට අත තැබූ විට එය උසුලාගෙන ගිය අය නතර වූහ. එවිට ඔහු, ‘තරුණය, දැන් නැඟිටින්න’ කියා කීවේය. මිය ගොස් සිටි මිනිසා නැඟිට කතා කරන්න පටන්ගත්තේය. යේසුස් ඔහුව සිය මවට භාර දුන්නේය. එතැන සිටි සියලුදෙනාම බියට පත් වී, ‘අප අතරට උතුම් අනාගතවක්තෘවරයෙක් ඇවිල්ලා’ කියාද, ‘දෙවි තම සෙනඟට මහත් අනුකම්පාවක් දක්වනවා’ කියාද පවසමින් දෙවිට ප්‍රශංසා කරන්න පටන්ගත්තෝය.” යේසුස්ට කොතරම් අනුකම්පාවක් දැනුණාද කියනවා නම් එම වැන්දඹුවගේ පුත්‍රයාව මරණයෙන් නැවත නැඟිටුවන්න ඔහු පෙලඹුණා. ඒ වාර්තාව කියවීමෙන් යේසුස් අනාගතයේදී කිරීමට යන දේ ඔබට සිතින් මවාගත හැකිද?—ලූක් 7:12-16.

යේසුස් බොහෝදෙනෙකු ඉදිරියේ කළ ඒ දේ කිසිදා අමතක නොවන සිද්ධියක්. එය “අලුත් අහස” එනම් දෙවිගේ රාජ්‍යය යටතේ සිදු වීමට යන නැවත නැඟිටීම ගැන ඔහු මීට පෙර පැවසූ දේ ඉටු වන බවට සාක්ෂියක් වුණා. ඔහු පැවසුවේ “මේ ගැන පුදුම වෙන්න එපා. මන්ද සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාටම ඔහුගේ හඬ ඇසෙන කාලය පැමිණෙනවා” කියායි.—එළිදරව් 21:1, 3, 4; යොහන් 5:28, 29; 2 පේතෘස් 3:13.

මරණයෙන් නැවත නැඟිටුවනු ලැබූ තවත් කෙනෙක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඒ යේසුස් මරණයෙන් නැවත නැඟිටුවනු ලැබූ අවස්ථාවයි. එම සිද්ධිය ඇසින් දුටු අය අතර පේතෘස්ද යේසුස්ගේ අනිකුත් ගෝලයන්ගෙන් සමහරෙක්ද සිටියා. නැවත නැඟිටුවනු ලැබූ යේසුස් ඔවුන් සමඟ ගලීල මුහුද අසලදී කතා කළා. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “‘එන්න, කෑම ටිකක් කමු’ කියා යේසුස් ඔවුන්ට කීවේය. ඒ තම ස්වාමීන් බව ඔවුන් දැන සිටි නිසා, ‘ඔබ කවුද’ කියා ඔහුගෙන් අසන්න ගෝලයන්ගෙන් කිසිවෙකුටවත් ධෛර්යයක් තිබුණේ නැත. යේසුස් ඔවුන් ළඟට ඇවිත් ඔවුන්ට රොටි සහ මසුන් දුන්නේය. එය යේසුස්ව මරණයෙන් නැඟිටුවනු ලැබූ පසු ඔහු තම ගෝලයන් ඉදිරියේ පෙනී සිටි තුන්වෙනි අවස්ථාවය.”—යොහන් 21:12-14.

පේතෘස්ට ස්ථිර විශ්වාසයකින් මෙසේ පැවසීමට හැකි වුණේ ඒ නිසයි. “අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දෙවිද පියාණන්ද වන තැනැත්තාණන්ට ප්‍රශංසා වේවා! මන්ද යේසුස් ක්‍රිස්තුස්ව මරණයෙන් නැවත නැඟිටුවීම මගින් ඔහු තම මහත් දයාවට එකඟව අපට අලුත් උපතක් දෙමින් අපට ස්ථිර බලාපොරොත්තුවක් දී ඇත.”—1 පේතෘස් 1:3.

යේසුස්ගේ නියෝජිතයෙක් වූ පාවුල් නැවත නැඟිටීම ගැන ඔහුට තිබූ නිසැකකම මෙසේ ප්‍රකාශ කළා. “අපේ නීතියේ සහ අනාගතවක්තෘවරුන් විසින් ලියූ සෑම දෙයක්ම මම විශ්වාස කරනවා. ධර්මිෂ්ඨ අය වගේම අධර්මිෂ්ඨ අයත් නැවත නැඟිටින බව මට විශ්වාසයි. දෙවි ඒ දේ කරන බවට මට බලාපොරොත්තුවක් තිබෙනවා. මට විතරක් නොවෙයි මෙහි සිටින සියලුදෙනාටත් ඒ බලාපොරොත්තුව තිබෙනවා.”—ක්‍රියා 24:14, 15.

ඒ නිසා මිලියන ගණන් ජනයාට තමන් ආදරය කළ දැන් මිය ගොස් ඇති අයව නැවත දැකීමේ බලාපොරොත්තුව ගැන ස්ථිර විශ්වාසයක් තබාගත හැකියි. ඔවුන් නැවත මේ පොළොවේ ජීවත් වෙන්නේ අද අප අද්දකින දුක්ඛිත තත්වය යටතේ නොවෙයි. ඔවුන්ට ලැබෙන්නේ කිනම් ආශීර්වාදද? ඒ ගැන මේ සඟරාවේ “සහනය ගෙන දෙන බලාපොරොත්තුවක්” යන අවසාන කොටසේ සාකච්ඡා කරනවා.

දැන් අපි මෙම ප්‍රශ්න සලකා බලමු. මම ඕනෑවට වඩා දුක් වෙනවාද? මම දුක දරාගන්නේ කොහොමද? අනික් අයට කරන්න පුළුවන් මොනවාද? අනික් අය වෙනුවෙන් මට කරන්න පුළුවන් මොනවාද? මිය ගිය අය සම්බන්ධයෙන් බයිබලයේ අපට දී තිබෙන පොරොන්දුව කුමක්ද? මං ආදරය කළ කෙනෙක් මරණයෙන් වෙන් වූ පසු මට ඒ කෙනාව නැවත දකින්න ලැබෙයිද? ඒ කොහේදීද?