Skip to content

පටුනට යන්න

සහනය ගෙන දෙන බලාපොරොත්තුවක්

සහනය ගෙන දෙන බලාපොරොත්තුවක්

මෙය 25 හැවිරිදි තරුණියකගේ අද්දැකීමක්. “මාව දරුකමට හදාගත්තු අම්මා, 1981දී පිළිකාවකින් මැරුණා. එතකොට මගේ වයස අවුරුදු 17යි. මල්ලිගේ වයස අවුරුදු 11යි. අම්මාගේ මරණය මල්ලිටයි මටයි දරාගන්න බැරි වුණා. මට අම්මා නැති පාළුව හුඟක් දැනුණා. අම්මා තමයි මට හිටිය හොඳම යාළුවා. මට පල්ලියෙන් උගන්වලා තිබුණේ මැරුණ අය ස්වර්ගයට යනවා කියලා. ඉතින් මටත් ඕනේ වුණා මැරිලා, අම්මා ඉන්න තැනට යන්න.”

මරණය තරම් කුරිරු දෙයක් මේ ලොවේ තවත් නැහැ! අප ආදරය කරන කෙනෙකුගේ ජීවිතය උදුරාගන්න ඊට හැකියි. මරණය අප ආදරය කරන කෙනාව ගොදුරු කරගත් විට අපට ඔහු හෝ ඇය සමඟ කතා කරන්න, සිනාසෙන්න හෝ ළඟින් ඉඳ ඇසුරු කරන්න බැහැ. එය අපේ සිතට ගෙන දෙන්නේ මහත් වේදනාවක්. මිය ගිය කෙනා ස්වර්ගයට ගියා කියා කිව්වත් දැනෙන දුක අඩු වෙන්නේ නැහැ.

එහෙත් බයිබලයේ සඳහන් වෙන්නේ මිය ගිය අය සමඟ අපට නැවත එක් විය හැකි බවයි. එය අප නොදන්නා ස්වර්ගයක නොව නුදුරු අනාගතයේදී මේ පොළොව ධර්මිෂ්ඨ සාමකාමී තත්වයකට පත් වන විටයි. ඒ කාලයේදී මිනිසුන් නිරෝගීව සදහටම ජීවත් වෙයි. නමුත් එය ‘සිහිනයක් පමණයි’ කියා සමහරෙක් පැවසිය හැකියි.

එම පොරොන්දුව අනිවාර්යයෙන්ම ඉටු වෙයි කියා විශ්වාස කරන්න ඔබට පුළුවන් කොහොමද? පොරොන්දුව දුන් තැනැත්තාට එය කිරීමට ආශාවක් හා හැකියාවක් තිබෙන බව ඔබ විශ්වාස කළ යුතුයි. එසේනම් මිය ගිය අයට නැවත ජීවනය දෙන බවට පොරොන්දු වුණේ කවුද කියා සොයා බලමු.

ඒ පොරොන්දුව දුන්නේ අන් කිසිවෙකු නොව දෙවිගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්. ඔහු ක්‍රිස්තු වර්ෂ 31දී මෙසේ පැවසුවා. “පියාණන් මිය ගිය අයට ජීවනය දී නැවත නැඟිටුවනවා වගේම පුත්‍රයාත් තමන් කැමති අයට ජීවනය ලබා දෙනවා. මේ ගැන පුදුම වෙන්න එපා. මන්ද සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාටම ඔහුගේ [යේසුස්ගේ] හඬ ඇසෙන කාලය පැමිණෙනවා.” (යොහන් 5:21, 28, 29) යේසුස් පොරොන්දු වුණේ මිය ගොස් සිටින මිලියන ගණන් ජනයා නැවත මේ පොළොවේ ජීවත් වන බවයි. ඒ කාලයේදී මේ පොළොව පාරාදීසයක් බවට පත් වෙනවා. නැවත ජීවනය ලබන අය සාමකාමීව එහි සදාකල් ජීවත් වෙනවා. (ලූක් 23:43; යොහන් 3:16; 17:3; ගීතාවලිය 37:29; මතෙව් 5:5) යේසුස් එම පොරොන්දුව දුන්නේ ඔහුට එය ඉටු කිරීමට ආශාවක් තිබෙන නිසා බව ස්ථිරයි. නමුත් මතු වන ප්‍රශ්නය නම් ඔහුට එය කිරීමට හැකියාවක් තිබෙනවාද යන්නයි.

එම පොරොන්දුව දී වසර දෙකක් යෑමටත් පෙර එය ඉටු කිරීමට යේසුස්ට ආශාවක් හා හැකියාවක් තිබෙන බව ඔහු ප්‍රබල ආකාරයකින් පෙන්නුවා.

“ලාසරුස්, පිටතට එන්න”

මෙය දුක හා සතුට මුසු වූ සිද්ධියක්. ලාසරුස් සිටියේ මරණාසන්නවයි. ඔහුගේ සහෝදරියන් දෙදෙනා වන මරියා සහ මාර්තා යොර්දාන් ගඟෙන් එතරව සිටි යේසුස්ට මෙසේ දන්වා යැව්වා. “ස්වාමීනි, ඔබේ හිතවත් මිත්‍රයා අසනීපයෙන් සිටිනවා.” (යොහන් 11:3) යේසුස් ලාසරුස්ට බොහෝ සෙයින් ආදරය කළ බව ඔවුන් දැන සිටියා. ඒ නිසා අසනීප වී සිටි මිත්‍රයාව ඔහු බලන්න එයි කියා ඔවුන් තුළ විශ්වාසයක් තිබුණා. නමුත් සිදු වුණේ වෙනත් දෙයක්. ලාසරුස් සිටි නගරය වන බෙතානියට යනවා වෙනුවට යේසුස් සිටි තැනම දවස් දෙකක් නතර වී සිටියා.—යොහන් 11:5, 6.

යේසුස්ට ආරංචිය ලැබී දින කිහිපයකට පසු ලාසරුස් මිය ගියා. ලාසරුස් මිය ගිය බව යේසුස් දැන සිටි අතර ඒ වෙනුවෙන් යමක් කිරීමට ඔහු අදහස් කළා. නමුත් යේසුස් බෙතානියට පැමිණෙන විට ලාසරුස් මිය ගොස් දින හතරක් ගත වී තිබුණා. (යොහන් 11:17, 39) එතරම් කාලයක් මිය ගොස් සිටි කෙනෙකුව නැවත ජීවත් කරවන්න යේසුස්ට හැකියාවක් තිබුණාද?

යේසුස් පැමිණෙන බව ආරංචි වූ විගස මාර්තා යේසුස්ව හමු වීමට දිව ගියා. (ලූක් 10:38-42) මාර්තා දුක් වන ආකාරය දැක යේසුස් ඇයව සැනසුවේ මෙම පොරොන්දුව දීමෙනුයි. “ඔබේ සහෝදරයා අනිවාර්යයෙන්ම නැඟිටියි.” එවිට අනාගතයේ සිදු වන නැවත නැඟිටීම පිළිබඳව ඇයට තිබූ විශ්වාසය ගැන ඇය යේසුස්ට පැවසූ විට, ඔහු මෙසේ පැවසුවා. “නැවත නැඟිටීමත් ජීවනයත් ලැබීමට මඟ මමයි. මා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තා මිය ගියත් ඔහුට නැවත ජීවනය ලැබෙයි.”—යොහන් 11:20-25.

ඉන්පසු යේසුස් සොහොන් ගෙය ළඟට ගොස් එයට හේත්තු කර තිබූ ගල ඉවත් කරන්න කියා එතැන සිටි අයට පැවසුවා. ඔහු හඬ නඟා යාච්ඤා කළ පසු මෙසේ අණ කළා. “ලාසරුස්, පිටතට එන්න!”—යොහන් 11:38-43.

සියලුදෙනා දෑස් අයාගෙන සොහොන් ගෙය දෙස බලා සිටියදී ඒ අඳුරු ගුහාව තුළින් ලාසරුස් පිටතට ආවා. ඔහුගේ අත් පා රෙදි පටිවලින් ඔතා තිබුණු අතර ඔහුගේ මුහුණ රෙදිකඩකින් ඔතා තිබුණා. යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවා. “ඔහුගේ රෙදි පටි ගලවා ඔහුට යන්න හරින්න.” දින හතරකට පෙර මිය ගිය ලාසරුස් දැන් ජීවත් වන බව දුටු විට එතැන සිටි සියලුදෙනා මොන තරම් පුදුමයට පත් වෙන්න ඇද්ද!—යොහන් 11:44.

එය ඇත්තටම සිදු වුණාද?

යොහන්ගේ සුවිශේෂයේ සඳහන් ලාසරුස්ගේ නැවත නැඟිටීම සැබෑ සිද්ධියක් මිස ගොතපු කතාවක් නොවෙයි. මන්ද එම සිද්ධිය පිළිබඳ සෑම තොරතුරක්ම බයිබලයේ වාර්තා වෙනවා. එම නැවත නැඟිටීම ගැන විශ්වාස කිරීමට නොහැකි නම් බයිබලයේ සඳහන් අනිකුත් ආශ්චර්යයන් හා යේසුස්ගේ නැවත නැඟිටීම පවා විශ්වාස කරන්නේ කෙසේද?—1 කොරින්ති 15:13-15.

ඔබ දෙවිව විශ්වාස කරනවා නම් නැවත නැඟිටීම විශ්වාස කිරීම ඔබට අපහසු වෙන්නේ නැහැ. මෙම උදාහරණය සලකා බලන්න. බොහෝ කාලයකට පෙර මිය ගිය දේශපාලනඥයන්, ගායකයන් වැනි අය ජීවත්ව සිටිනවා වගේ වීඩියෝ දර්ශන තුළින් අද අපට දැකගත හැකියි. නමුත් අවුරුදු 100කට පමණ පෙර ජීවත් වූ ජනයා එවැනි තාක්ෂණික ක්‍රම සිහිනයක් කියා සිතන්න ඇති. අදටත් ලෝකයේ සමහර නොදියුණු පලාත්වල සිටින ජනයා එවැනි තාක්ෂණික ක්‍රම ගැන නොදන්නවා ඇති. එය ඔවුන්ට අදහාගත නොහැකි දෙයක් විය හැකියි. මිනිසුන්ට එවැනි තාක්ෂණික ක්‍රම සොයාගන්න පුළුවන් නම් සියලු දේවල නිර්මාතෘට ඊටත් වඩා විස්මිත දේ කළ නොහැකිද? මිනිසාව නිර්මාණය කළ දෙවිට මිනිසා මිය ගිය විට ඔහුව නැවත ජීවත් කරවන්න බැරිද?

ලාසරුස්ට නැවත ජීවිතය ලබා දීමේ ආශ්චර්යවත් ක්‍රියාව මගින් යේසුස් ගැනත් නැවත නැඟිටීම ගැනත් අප තුළ තිබෙන විශ්වාසය තවත් වැඩි වෙනවා. (යොහන් 11:41, 42; 12:9-11, 17-19) යෙහෝවා දෙවිටත් යේසුස්ටත් මිය ගිය අයව නැවත ජීවත් කරවන්න කොතරම් ආශාවක් තිබෙනවාද කියා ඉන් මනාව පැහැදිලි වෙනවා.

‘දෙවි මහත් ආශාවෙන් බලා සිටියි’

ලාසරුස් මිය ගිය විට දෙවිගේ පුත්‍රයා වන යේසුස් ක්‍රියා කළ ආකාරයෙන් ඔහු කොතරම් දයාවන්ත කෙනෙකුද කියා පෙනෙනවා. ඔහු ශෝක වූ ආකාරයෙන් මිය ගිය අයව නැවත නැඟිටුවන්න ඔහුට තිබෙන ආශාව තේරුම්ගත හැකියි. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “යේසුස් සිටි ස්ථානයට පැමිණි මරියා, ඔහු ළඟට ගොස් ඔහුගේ පාමුල වැටී, ‘ස්වාමීනි, ඔබ මෙහි සිටියා නම් මගේ සහෝදරයා මැරෙන්නේ නැහැ’ කියා ඔහුට පැවසුවාය. ඇයද ඇය සමඟ පැමිණි යුදෙව්වරුන්ද හඬා වැලපෙමින් සිටිනවා දුටු යේසුස්ට මහත් ශෝකයක් දැනිණ. ඔහු මහත් වේදනාවකින්, ‘ඔබ ඔහුව තැන්පත් කර තිබෙන්නේ කොහේද’ කියා ඇසුවේය. ‘ස්වාමීනි, ඇවිත් බලන්න’ කියා ඔවුහු ඔහුට කීවෝය. එවිට යේසුස්ගේ දෑස් කඳුළින් පිරී ගියේය. යුදෙව්වරු එය දැක, ‘බලන්න, ලාසරුස්ට ඔහු කොයි තරම් ආදරේද’ කියා පැවසූහ.”—යොහන් 11:32-36.

ඉහත වාර්තාවේ සඳහන් වූ “මහත් ශෝකයක්” “මහත් වේදනාවකින්” “දෑස් කඳුළින් පිරී ගියේය” වැනි ප්‍රකාශයන් තුනෙන් යේසුස්ගේ හදවතට මොන තරම් දුකක් දැනුණාද කියා පැහැදිලි වෙනවා. තම මිත්‍ර ලාසරුස්ගේ මරණය නිසාත් ඔහුගේ සහෝදරියගේ ශෝකය නිසාත් යේසුස්ගේ හදවතට ඉමහත් වේදනාවක් දැනුණු බව ස්ථිරයි.

මීට පෙර යේසුස් මිය ගිය දෙදෙනෙකුව නැවත නැඟිටුවා තිබුණා. ඒ වගේම ලාසරුස්ව නැවත නැඟිටුවන්න ඔහු අදහස් කරගෙනත් සිටියා. (යොහන් 11:11, 23, 25) එසේනම් යේසුස්ට එතරම් දුකක් දැනී ඔහුගේ “දෑස් කඳුළින් පිරී ගියේ” ඇයි? ඊට හේතුව ඔහු මිය ගිය අයව නැවත නැඟිටුවීම නිකම්ම කළ යුතු දෙයක් ලෙස සැලකුවේ නැති නිසයි. ඔහු අනුකම්පාවෙන් පෙලඹී කළ ඒ දෙයින් පැහැදිලි වෙන්නේ මරණය නිසා ඇති වන ශෝකය නැති කිරීමට ඇත්තටම ඔහුට ආශාවක් තිබෙන බවයි.

ලාසරුස්ව නැවත නැඟිටුවීමෙන් පෙනෙන්නේ මරණය නිසා ඇති වන ශෝකය නැති කිරීමට යේසුස්ට මහත් ආශාවක් තිබෙන බවයි

යේසුස් තුළින් ‘දෙවිගේ ගතිලක්ෂණ සියල්ල සම්පූර්ණයෙන්ම දැකගත හැකි’ බව බයිබලයේ සඳහන් වෙනවා. (හෙබ්‍රෙව් 1:3) එසේනම් දෙවි, යේසුස්ට වඩා වෙනස් ආකාරයකින් කටයුතු කරයි කියා සිතන්න පුළුවන්ද? කොහෙත්ම නැහැ! යෙහෝවා දෙවිට මිය ගිය අයව නැවත ජීවත් කරවන්න තිබෙන ආශාව ගැන පුරාණයේ විසූ විශ්වාසවන්ත මිනිසෙක් වූ යෝබ් මෙසේ පැවසුවා. ‘මිනිසෙකු මිය ගිය පසු ඔහු යළි ජීවත් වනු ඇද්ද? ඔබ මට අඬගසන්නෙහිය. මමද උත්තර දෙන්නෙමි. මන්ද ඔබේ අතින් නිමැවූ දේ දැකගන්න ඔබ මහත් ආශාවෙන් බලා සිටිනු ඇත.’ (යෝබ් 14:14, 15) “ඔබ මහත් ආශාවෙන් බලා සිටිනු ඇත” යන වදන් පෙළෙන් මිය ගිය අයව නැවත ජීවත් කරවන්න යෙහෝවා දෙවිට කොතරම් කැමැත්තක් තිබෙනවාද කියා පැහැදිලි වෙනවා. (උත්පත්ති 31:30; ගීතාවලිය 84:2) ඇත්තෙන්ම ඒ දේ කරන්න ඔහු මහත් ආශාවකින් බලා සිටින බව ස්ථිරයි.

අපටත් හැකිද නැවත නැඟිටීම ගැන දී තිබෙන පොරොන්දුව විශ්වාස කරන්න? ඔව්. යෙහෝවා දෙවිටත් ඔහුගේ පුත්‍රයා වන යේසුස්ටත් ඒ පොරොන්දු ඉටු කිරීමට ආශාවක් හා හැකියාවක් තිබෙන බව ස්ථිරයි. එසේනම් ඔබටත් හැකියි මේ පොළොව පාරාදීසයක් වන කාලයේදී ඔබ ආදරය කළ මිය ගිය අයව නැවත දකින්න.

යෙහෝවා දෙවි මිනිසාව නිර්මාණය කර ඔවුන්ට ජීවත් වීමට ලබා දුන්නේ කිසි දෙයකින් අඩුවක් නැති පාරාදීසයක්. නැති වූ ඒ පාරාදීසය යළිත් යේසුස්ගේ පාලනය යටතේ පවතින දේවරාජ්‍යය තුළින් ලබා දීමට දෙවි පොරොන්දු වෙනවා. (උත්පත්ති 2:7-9; මතෙව් 6:10; ලූක් 23:42, 43) ඒ කාලයේදී මුළු මිනිස් වර්ගයාටම ලෙඩක් දුකක් නැතුව ජීවිතය සදහටම භුක්ති විඳින්න අවස්ථාව උදා වේවි. (එළිදරව් 21:1-4; යෝබ් 33:25; යෙසායා 35:5-7) ඒ විතරක් නොව වෛරය, ජාතිවාදය, සැහැසියාව හා ආර්ථික ප්‍රශ්න වැනි සියලු ගැටලු නැති වී යයි. යෙහෝවා දෙවි මිය ගිය අයව යේසුස් මාර්ගයෙන් නැවත නැගිටුවීමට යන්නේ එවැනි සාමකාමී පොළොවකටයි.

මිය ගිය අයට යේසුස්ගේ ජීවිත පූජාව නිසා නැවත ජීවිතය ලැබෙන අතර එය මුළු මිනිස් වර්ගයාටම ප්‍රීතියක් වේවි

අප මෙම කොටස ආරම්භයේදී සඳහන් කළ තරුණියට දැන් ඒ පොරොන්දු ගැන විශ්වාසයක් තිබෙනවා. ඇගේ මවගේ මරණයෙන් වසර කිහිපයකට පසු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලයේ සඳහන් දෙවිගේ පොරොන්දු ගැන ඇයට කියා දුන්නා. ඒ ගැන ඇය මෙසේ සිහිපත් කරනවා. “මිය ගිය අයට දෙවි නැවත ජීවිතය ලබා දෙනවා කියන පොරොන්දුව දැනගත්තාම මට ඇඬුණා. මට මගේ අම්මව ආයෙත් දකින්න පුළුවන් කියලා හිතන කොට මට ලොකු සතුටක් දැනෙනවා.”

ඔබ ආදරය කළ මිය ගිය කෙනෙකුව නැවත දැකගැනීමට ඔබටත් ආශාවක් තිබෙනවා නම් දෙවිගේ පොරොන්දු විශ්වාස කිරීමට අවශ්‍ය දැනුම ලබා දීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමතියි. ඔබට පුළුවන් ඔබේ ප්‍රදේශයේ ඇති ඔවුන්ගේ නමස්කාර මධ්‍යස්ථානයේදී ඔවුන්ව හමු වීමට හෝ 32වන පිටුවේ ඇති සුදුසු ලිපිනයකට ලිවීමට.