Skip to content

පටුනට යන්න

2වෙනි පරිච්ඡේදය

ආදරණීය දෙවිගෙන් ලියුමක්

ආදරණීය දෙවිගෙන් ලියුමක්

ඔයා වැඩියෙන්ම කැමති මොන පොතටද?— සමහර ළමයි කැමති සත්තු ගැන තියෙන පොත්වලට. තවත් අය කැමති හුඟක් පින්තූර තියෙන පොත්වලට. ඒ වගේ පොත් කියවද්දී ඒකෙන් ලොකු සතුටක් ලැබෙනවා.

හැබැයි මුළු ලෝකෙම තියෙන හොඳම පොත තමයි දෙවියන් ගැන ඇත්ත සඳහන් වෙලා තියෙන පොත. ඒක වෙන කිසිම පොතකට වඩා වටිනවා. ඔයා දන්නවාද ඒ මොකක්ද කියලා?— ඒ තමයි බයිබලය.

බයිබලය ඒ තරම් වටින්නේ ඇයි?— ඒක දෙවිගෙන් ලැබුණු පොතක් නිසයි. දෙවියන් ගැනත් දෙවි අපි වෙනුවෙන් කරන්න යන දේවල් ගැනත් ඒකේ තියෙනවා. දෙවිව සතුටු කරන්න පුළුවන් විදිහ ගැනත් තියෙනවා. ඇත්තටම ඒක දෙවිගෙන් ලැබුණු ලියුමක් වගෙයි.

ඕනෙ නම් දෙවිට තිබුණා බයිබලය ස්වර්ගයේ ඉඳන් ලියලා මිනිසුන්ට දෙන්න. ඒත් දෙවි එහෙම කළේ නැහැ. ඒ වෙනුවට දෙවිගේ අදහස් බයිබලයේ ලියන්න දෙවි මිනිසුන්ව පාවිච්චි කළා.

දෙවියන් ඒක කළේ කොහොමද?— මෙහෙම හිතන්නකෝ. අපි රේඩියෝ එක අහගෙන ඉන්නවා. ඒකේ කතා කරන කෙනා ඉන්නේ හුඟක් ඈතින් වුණත් එයාගේ කටහඬ අපිට හොඳින් ඇහෙනවා. අපි ටීවී බලද්දී ඈත රටවල ඉන්න අයගේ පින්තූර අපිට පේනවා. ඒ අය කියන දේවලුත් ඇහෙනවා.

මිනිසුන්ට පුළුවන් හඳටත් යන්න. හඳේ ඉඳන් පොළොවට පණිවිඩ එවන්නත් පුළුවන්. ඔයා ඒ ගැන දැනගෙන හිටියාද?— ඒ වගේ දෙයක් කරන්න මිනිසුන්ට පුළුවන් නම් ස්වර්ගයේ ඉඳන් පණිවිඩ එවන්න දෙවිට බැරිද?— දෙවිට ඒක ලේසියෙන්ම කරන්න පුළුවන්. මිනිසුන් රේඩියෝ, ටීවී හදන්න හුඟ කාලෙකට කලින් තමයි දෙවි මිනිසුන්ට කතා කළේ.

ඈත ඉඳන් අපිට කතා කරන්න දෙවිට පුළුවන් කියලා අපි දන්නේ කොහොමද?

දෙවියන් මෝසෙස්ට කතා කළා. මෝසෙස් දෙවියන්ව දැක්කේ නැති වුණත් දෙවිගේ කටහඬ නම් එයාට ඇහුණා. ඒ වෙලාවේ එතැන තිබුණු කන්ද හෙලවුණා. විදුලි කොටලා ගොරවන සද්දෙකුත් ඇහුණා. එතැන හිටිය ලක්ෂ ගාණක් සෙනඟ තේරුම්ගත්තා දෙවියන් කතා කරනවා කියලා. හැබැයි ඒගොල්ලන් හොඳටම බය වුණා. ඒ නිසා ඒ අය මෝසෙස්ට කිව්වා ‘දෙවි අපි එක්ක කෙළින්ම කතා කළොත් අපි මැරෙයි’ කියලා. දෙවියන් කියපු හැම දෙයක් ගැනම මෝසෙස් ලියලා තියෙනවා. ඒ හැම විස්තරයක්ම තියෙන්නේ බයිබලයෙයි.—නික්මයාම 20:18-21.

බයිබලයේ තියෙන මුල් පොත් පහ ලියලා තියෙන්නේ මෝසෙස්. මුළු බයිබලයම ලියන්න දෙවියන් මිනිසුන් 40දෙනෙක් විතර පාවිච්චි කරලා තියෙනවා. ඒ අය ජීවත් වුණේ අපිට වඩා හුඟ කාලෙකට කලින්. මුළු බයිබලයම ලියලා ඉවර කරන්න අවුරුදු 1,600ක් විතර ගිහින් තියෙනවා. බයිබලයේ පොත් ලියන්න හවුල් වුණු සමහර අයට කවදාවත් එකිනෙකාව මුණගැහිලා නැති වුණත් ඒ හැමෝම ලියලා තියෙන අදහස් හොඳින්ම ගැලපෙනවා. ඒක හරිම පුදුමයි නේද?

බයිබලය ලියපු අයගේ නම් මොනවාද?

බයිබලයේ පොත් ලියපු සමහර අය හරිම ප්‍රසිද්ධයි. එක් කෙනෙක් මෝසෙස්. එඬේරෙක් වුණත් එයා පස්සේ කාලෙකදී ඊශ්‍රායෙල් සෙනඟගේ නායකයා විදිහට වැඩ කළා. තව කෙනෙක් තමයි සලමොන් රජ. ඒ කාලේ හිටිය ප්‍රඥාවන්තම, පොහොසත්ම කෙනා වුණේ එයායි. බයිබලයේ පොත් ලියපු අනිත් අයව නම් හුඟක් අය දන්නේ නැහැ. අත්තික්කා ගස් වවපු ආමොස් ඒ අතරින් කෙනෙක්.

බයිබලයේ පොත් ලියපු අය අතරේ දොස්තර කෙනෙකුත් හිටියා. ඔයා දන්නවාද ඒ කවුද කියලා?— ඒ තමයි ලූක්. තවත් කෙනෙක් බදු එකතු කරපු කෙනෙක්. ඒ මතෙව්. තව කෙනෙක් යුදෙව් නීතිය ගැන හොඳටම දැනගෙන හිටිය නීතිඥයෙක්. එයා තමයි බයිබලයේ වැඩිම පොත් ගාණක් ලියලා තියෙන්නේ. ඒ කවුද කියලා ඔයා දන්නවාද?— ඒ තමයි පාවුල්. යේසුස්ගේ ගෝලයන් දෙන්නෙක් වුණු පේතෘස් සහ යොහනුත් බයිබලයේ පොත් ලියලා තියෙනවා. ඒ දෙන්නාම මාළු අල්ලන අය.

බයිබලය ලියපු හුඟක් අය දෙවියන් අනාගතයේදී කරන්න යන දේවල් ගැන ලියලා තියෙනවා. ඒ හැම දෙයක් ගැනම ඒ අය දැනගත්තේ කොහොමද?— දෙවියන් ඒ දේවල් ගැන ඒ අයට දැනුම් දුන්නා.

යේසුස් මේ පොළොවේ ජීවත් වුණු කාලේ වෙද්දී බයිබලයේ පොත් වැඩි හරියක් ලියලයි තිබුණේ. මතකයි නේද යේසුස් පොළොවට එන්න කලින් එයා ස්වර්ගයේ ජීවත් වුණා කියලා. දෙවියන් කරපු හැම දෙයක්ම එයා දැනගෙන හිටියා. බයිබලය මිනිසුන්ට ලැබුණේ දෙවිගෙන් කියලා යේසුස් විශ්වාස කළාද?— ඔව්, යේසුස් ඒක විශ්වාස කළා.

යේසුස් මිනිසුන්ට දෙවි ගැන කියලා දෙද්දී බයිබලයෙන් තොරතුරු කියෙව්වා. සමහර අවස්ථාවලදී බයිබලයේ තියෙන දේවල් මතකයෙනුත් කියලා දුන්නා. එයා දෙවියන් ගැන අපිට හුඟක් තොරතුරු කියලා දීලා තියෙනවා. ‘මම කියන්නේ මාව එවපු කෙනා මට කියපු දේවල්’ කියලයි යේසුස් කිව්වේ. (යොහන් 8:26) එයා දෙවියන් එක්ක ස්වර්ගයේ හිටිය නිසා දෙවිගෙන් හුඟක් දේවල් ඉගෙනගෙන තියෙනවා. යේසුස් උගන්වපු දේවල් ගැන අපිට දැනගන්න පුළුවන් කොහෙන්ද?— බයිබලයෙන්. ඒවා ලියලා තියෙන්නේ අපිට කියවන්න.

බයිබලය ලියපු අය ඒ තොරතුරු ලිව්වේ ලේසියෙන්ම තේරුම්ගන්න පුළුවන් විදිහට. බයිබලයේ වැඩි හරියක් ලියලා තියෙන්නේ හෙබ්‍රෙව් භාෂාවෙන්. ඇරමයික සහ ග්‍රීක භාෂාවලිනුත් සමහර පොත් ලියලා තියෙනවා. අද ඉන්න හුඟක් අය ඒ භාෂාවන් දන්නේ නැති නිසා බයිබලය විවිධ භාෂාවලට පරිවර්තනය කරන්න සිද්ධ වුණා. දැන් බයිබලය භාෂා 2,800ටත් වඩා වැඩි ගාණකින් තියෙනවා. හරිම පුදුමයි නේද! දෙවි බයිබලය දුන්නේ හැමෝටම කියවන්න. බයිබලය හුඟක් සැරයක් පිටපත් කරලා තිබුණත් ඒකේ තියෙන්නේ දෙවිගේම අදහස්.

බයිබලයේ තියෙන තොරතුරු අපිට හුඟක් වටිනවා. ඒක ලියලා තියෙන්නේ හුඟ කාලෙකට කලින් වුණත් අද සිද්ධ වෙන දේවල් ගැන ඒකේ තියෙනවා. අනාගතයේදී දෙවියන් කරන දේවල් ගැනත් ඒකෙන් දැනගන්න පුළුවන්. ලස්සන බලාපොරොත්තුවක් ගැනත් ඒකේ තියෙනවා.

බයිබලය කියවද්දී ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

දෙවි කැමති අපි මොන විදිහට ජීවත් වෙනවාටද කියලත් බයිබලයෙන් දැනගන්න පුළුවන්. හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලත් ඒකේ තියෙනවා. ඔයායි මායි දෙන්නාම ඒ දේවල් ගැන දැනගන්න ඕනේ. වැරදි වැඩ කරපු අයට සිද්ධ වුණේ මොනවාද කියලත් හරි දේ කරපු අයට ලැබුණු දේවල් ගැනත් ඒකේ තියෙනවා. වැරදි දේවල් කරන්නේ නැතුව ඉන්න ඒ දේවල් අපිට උදව් වෙනවා. ඒවා ලියලා තියෙන්නේ අපේම ප්‍රයෝජනයටයි.

හැබැයි බයිබලයේ තියෙන තොරතුරුවලින් ප්‍රයෝජන ගන්න නම් අපි එක දෙයක් දැනගෙන ඉන්න ඕනේ. ඒ තමයි බයිබලය අපිට දුන්නේ කවුද කියන එක. ඔයා උත්තරේ දන්නවාද?— මුළු බයිබලයම අපිට දුන්නේ දෙවියන්. එහෙමනම් අපි ප්‍රඥාවන්තව කටයුතු කරනවා කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?— දෙවිට ඇහුම්කන් දීලා කීකරු වෙනවා නම් ඒ දේ කරන්න පුළුවන්.

ඒ නිසා අපි බයිබලය කියවන්න ඕනේ. අපි ආදරේ කරන කෙනෙක්ගෙන් ලියුමක් ලැබුණාම අපි ඒක විටින් විට කියවනවා. එහෙම කරන්නේ අපිට ඒක හුඟක් වටින නිසයි. අපි බයිබලය ගැන හිතන්න ඕනෙත් ඒ විදිහටමයි. මොකද ඒක අපිට දීලා තියෙන්නේ අපිට හුඟක්ම ආදරේ කරන කෙනා. ඔව්, ඒක අපේ ආදරණීය දෙවිගෙන් ලැබුණු ලියුමක්.

අපේම ප්‍රයෝජනයට බයිබලය දීලා තියෙන්නේ දෙවිමයි කියලා පෙන්වන මේ බයිබල් පද අපි දැන් කියවලා බලමු. රෝම 15:4; 2 තිමෝති 3:16, 17; 2 පේතෘස් 1:20, 21.