Skip to content

පටුනට යන්න

4වෙනි පරිච්ඡේදය

දෙවිට නමක් තියෙනවා

දෙවිට නමක් තියෙනවා

ඔයා කවුරු හරි කෙනෙක් එක්ක පළවෙනි පාරට කතා කරද්දී මුලින්ම අහන්නේ මොකක්ද?— එයාගේ නම අහනවා නේද? අපි හැමෝටම නම් තියෙනවා. දෙවියන් මුලින්ම හදපු පිරිමි කෙනාටත් ගැහැනු කෙනාටත් නම් දැම්මා. පිරිමි කෙනාට ආදම් කියලත් ගැහැනු කෙනාට ඒව කියලත් නම් දැම්මා.

නම් තියෙන්නේ මිනිසුන්ට විතරක් නෙවෙයි. නම් තියෙන අනිත් දේවල් ගැනත් ටිකක් හිතන්න. ගෙදර ඇති කරන්න බල්ලෙක්ව හරි පූසෙක්ව හරි ගෙනාවොත් ඔයා උන්ට නම් දානවා නේද?— ඇත්තටම නමක් තියෙන එක හුඟක් වැදගත්.

අහසේ තියෙන තරු ඔයා දැකලා ඇති. ඒවාටත් නම් තියෙනවාද?— අහසේ තියෙන හැම තරුවකටම දෙවියන් නමක් දීලා තියෙනවා. ඒ ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. ‘දෙවියන් හැම තාරකාවක්ම ගණන් කරනවා. ඒ එක් එක් තාරකාවන් ඔහු, නම්වලින් හඳුන්වනවා.’—ගීතාවලිය 147:4.

හැම තරුවකටම නමක් තියෙනවා කියලා ඔයා දැනගෙන හිටියාද?

මුළු විශ්වයේම ඉන්න වැදගත්ම කෙනා කවුරු කියලාද ඔයා හිතන්නේ?— දෙවියන් තමයි වැදගත්ම කෙනා. එයාටත් නමක් තියෙනවාද?— යේසුස් කිව්වා දෙවිට නමක් තියෙනවා කියලා. දවසක් යාච්ඤා කරද්දී යේසුස් කිව්වා ‘මම ඔබේ නාමය ගැන අනුගාමිකයන්ට දැනුම් දුන්නා’ කියලා. (යොහන් 17:26) ඔයා දන්නවාද දෙවිගේ නම මොකක්ද කියලා?— ඒ ගැන දෙවිම මෙහෙම කියලා තියෙනවා. ‘මගේ නම යෙහෝවා.’ ඔව්, දෙවිගේ නම යෙහෝවා.—යෙසායා 42:8.

අනිත් අය ඔයාගේ නම මතක තියාගෙන ඒ නමින් කතා කරද්දී ඔයාට කොහොමද දැනෙන්නේ?— ඔයා ඒ ගැන සතුටු වෙනවා නේද?— යෙහෝවා දෙවිත් කැමතියි තමන්ගේ නම මිනිසුන් දැනගන්නවාට. ඒ නිසා අපි දෙවියන් ගැන කතා කරද්දී දෙවිගේ නම ගැන කියන්න ඕනේ. යේසුත් ඒක කළා. දවසක් එයා මෙහෙම කිව්වා. ‘දෙවි වන යෙහෝවාට මුළු හදවතින්ම ආදරේ කරන්න.’—මාක් 12:30.

“යෙහෝවා” කියන නම හුඟක් වැදගත් කියලා යේසුස් දැනගෙන හිටියා. ඒ නිසා ඒ නම පාවිච්චි කරන්න යේසුස් ගෝලයන්ට ඉගැන්නුවා. ඒ නම ගැන යාච්ඤා කරන්නත් ඉගැන්නුවා. මිනිසුන් හැමෝම යෙහෝවා කියන නම දැනගන්නවාට දෙවියන් කැමතියි කියලා යේසුස් හොඳින්ම දැනගෙන හිටියා.

තමන්ගේ නම මොන තරම් වැදගත්ද කියලා දෙවියන් මෝසෙස්ට පෙන්නලා දුන්නා. ඊශ්‍රායෙල් ජාතිකයෙක් වුණු මෝසෙස් ජීවත් වුණේ ඊජිප්තුවේ. එහේ ජීවත් වුණු අයට කිව්වේ ඊජිප්තුවරුන් කියලයි. ඒ අය ඊශ්‍රායෙල් සෙනඟට සැලකුවේ හරිම නපුරු විදිහට. මෝසෙස් ලොකු වුණාට පස්සේ දවසක් එයා ඊශ්‍රායෙල් ජාතියට අයිති කෙනෙක්ට උදව් කළා. හැබැයි පාරාවෝ ඒ කියන්නේ ඊජිප්තුවේ රජ ඒ ගැන සතුටු වුණේ නැහැ. එයාට කොයි තරම් කේන්ති ගියාද කියනවා නම් එයා මෝසෙස්ව මරන්න හැදුවා. ඒ නිසා මෝසෙස් ඊජිප්තුවෙන් පිට වෙලා වෙන ප්‍රදේශයකට ගියා.

මෝසෙස් ගියේ මිදියන් කියන ප්‍රදේශයට. එහෙට ගියාට පස්සේ එයා විවාහ වුණා. එයාගේ පවුලේ දරුවනුත් හිටියා. එයා වැඩ කළේ එඬේරෙක් විදිහට. දවසක් එයා කන්දක් ළඟ බැටළුවන් එක්ක ඉද්දී සිද්ධ වුණේ හරිම පුදුම දෙයක්. ඒ ළඟ තිබුණු පඳුරක් එකපාරටම ගිනිගන්න පටන්ගත්තා. හැබැයි ඒ පඳුර පිච්චුණේ නැහැ. සිද්ධ වෙන්නේ මොකක්ද කියලා බලන්න මෝසෙස් ඒක ළඟට ගියා.

එතැනට ගියාම ඒ පඳුරෙන් කවුරු හරි කෙනෙක් “මෝසෙස්! මෝසෙස්” කියලා කතා කරනවා එයාට ඇහුණා. ඒ කවුද කියලා ඔයා දන්නවාද?— ඒ දෙවියන්. ඊටපස්සේ දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. ‘මම ඔයාව පාරාවෝ ළඟට යවනවා. ඔයා ගිහින් මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් පිටතට ගේන්න.’ ඒක කරන්න මෝසෙස්ට උදව් කරනවා කියලා දෙවි පොරොන්දු වුණා.

ගිනිගත්ත පඳුර ළඟදී මෝසෙස් ඉගෙනගත්තේ මොන වැදගත් පාඩමද?

හැබැයි මෝසෙස්ට පොඩි ප්‍රශ්නයක් තිබුණා. ඊශ්‍රායෙල්වරු ළඟට ගිහින් එයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි තමයි එයාව එව්වේ කියලා කිව්වාම දෙවිගේ නම ගැන ඇහුවොත් කියන්නේ මොනවාද කියලා එයා කල්පනා කළා. ඒ ගැන ඇහුවාම දෙවි කිව්වේ මෙහෙම කියන්න කියලයි. ‘මාව එව්වේ යෙහෝවා දෙවි. සදහටම මගේ නම ඒකයි.’ (නික්මයාම 3:1-15) ඒකෙන් තේරෙනවා දෙවි කවදාවත් තමන්ගේ නම වෙනස් කරන්නේ නැහැ කියලා. දෙවිට ඕනෙ හැමදාටම තමන්ව ඒ නමින් හඳුන්වනවාටයි.

රතු මුහුදේදී දෙවියන් එයාගේ නම ගැන අනිත් අයට දැනගන්න සැලැස්සුවේ කොහොමද?

මෝසෙස් ඊජිප්තුවරු ළඟට ගියාම ඒ අය හිතුවේ යෙහෝවා දෙවිට ඒ තරම් බලයක් නැහැ කියලයි. යෙහෝවා දෙවි මුළු පොළොවටම අධිපති කියලා ඒ අය දැනගෙන හිටියේ නැහැ. ඒ නිසයි යෙහෝවා දෙවියන් ඊජිප්තුවරුන්ගේ රජට කිව්වේ ‘මගේ නම පොළොවේ ඉන්න හැමෝටම දැනගන්න සලස්වනවා’ කියලා. (නික්මයාම 9:16) කියපු විදිහටම දෙවි ඒ දේ කළා. ඔයා දන්නවාද ඒ කොහොමද කියලා?—

දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් බේරගන්න සැලසුම් කළා. මෝසෙස් ඊශ්‍රායෙල්වරුන් එක්ක රතු මුහුද ළඟට ආවාම දෙවියන් රතු මුහුදේ වතුර දෙපැත්තකට බෙදලා ඒ මැද්දෙන් පාරක් හැදෙන්න සැලැස්සුවා. සෙනඟ ඒ පාරේ ඇවිදන් එහා පැත්තට ගියා. හැබැයි පාරාවෝගේ සෙනඟ ඒ පාරට ආවාම දෙපැත්තට වෙන් වෙලා තිබුණු වතුර ආයෙත් එකතු වුණා. ඒ නිසා ඒ හැමෝම මැරුණා.

යෙහෝවා දෙවි කරපු ඒ දේ ගැන පොළොව පුරාම ඉන්න අයට දැනගන්න ලැබිලා තිබුණා. ඒ ගැන අපි දන්නේ කොහොමද?— අවුරුදු 40කට විතර පස්සේ ඊශ්‍රායෙල්වරු දෙවියන් එයාලාට දෙන්න පොරොන්දු වෙලා තිබුණු කානාන් දේශයට ආවා. එහෙදී රාහබ් කියන තරුණ ගැහැනු කෙනා එයා දැනගත්ත දෙයක් ගැන ඊශ්‍රායෙල්වරු දෙන්නෙක්ට මෙහෙම කිව්වා. ඊශ්‍රායෙල්වරු ‘ඊජිප්තු දේශයෙන් පිටත් වෙලා එද්දී යෙහෝවා දෙවි රතු මුහුදේ වතුර වියළෙන්න සලස්වපු විදිහ අපිට ආරංචි වුණා.’—යොෂුවා 2:10.

අද ඉන්න හුඟක් මිනිසුන් ඊජිප්තුවරු වගෙයි. මුළු පොළොවටම අධිපති දෙවියන් යෙහෝවා කියලා ඒ අය පිළිගන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන මිනිසුන්ට උගන්වන්න කියලා යෙහෝවා දෙවි තමන්ගේ සෙනඟට කියලා තියෙනවා. යේසුත් ඒ දේ කළා. එයා පොළොවේ ජීවත් වුණු අන්තිම දවස්වල යෙහෝවා දෙවිට කිව්වා ‘මම ඔබගේ නාමය මිනිසුන්ට දැනුම් දුන්නා’ කියලා.—යොහන් 17:26.

දෙවිගේ නම ගැන යේසුස් ඉගැන්නුවා. බයිබලයෙන් දෙවිගේ නම පෙන්වන්න ඔයාට පුළුවන්ද?

ඔයාත් කැමතිද යේසුස් වගේ වෙන්න? එහෙමනම් දෙවිගේ නම යෙහෝවා කියලා අනිත් අයට කියන්න. හුඟක් අය ඒ නම දන්නේ නැහැ කියලා ඔයාට තේරෙයි. පුළුවන් නම් ගීතාවලිය 83:18 පෙරළලා ඒ නම පෙන්වන්න. දැන් අපි ඒ පදය කියවමුද? එතැන තියෙන්නේ මෙහෙමයි. “යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවටම මහෝත්තම දෙවි බව සියල්ලන්ට දැනගැනීමට සලස්වන්න.”

ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?— වෙන හැම නමකටම වඩා යෙහෝවා කියන නම වැදගත්. ඒක තමයි යේසුස්ගේ තාත්තාගේ නම. හැම දෙයක්ම හදපු, වැඩිම බලයක් තියෙන කෙනා දෙවියි. ඔයාට මතකද, යේසුස් කිව්වේ අපි මුළු හදවතින්ම යෙහෝවා දෙවිට ආදරේ කරන්න ඕනෙ කියලයි. ඔයා ඇත්තටම යෙහෝවා දෙවිට ආදරෙයිද?—

අපි ඇත්තටම යෙහෝවා දෙවිට ආදරෙයි කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?— එක විදිහක් තමයි දෙවියන්ව හොඳම යාළුවෙක් විදිහට දැන හඳුනා ගන්න එක. තව විදිහක් තමයි දෙවිගේ නම ගැන අනිත් අයට කියන එක. අපිට පුළුවන් බයිබලයෙන්ම යෙහෝවා කියන නම පෙන්වන්න. ඒ වගේම යෙහෝවා දෙවි හදලා තියෙන දේවල් ගැනත් කරලා තියෙන දේවල් ගැනත් කියන්න පුළුවන්. ඒ ගැන දෙවියන් හුඟක් සතුටු වෙනවා. මොකද හැමෝම තමන් ගැන දැනගන්නවාට දෙවියන් කැමතියි. ඒ දේ කරන්න අපිට පුළුවන් නේද?—

යෙහෝවා දෙවියන් ගැන ඔයා කියද්දී සමහර අය ඇහුම්කන් දෙන්න ආස නැති වෙයි. දෙවියන් ගැන යේසුස් උගන්වද්දීත් හුඟක් අය ඇහුම්කන් දුන්නේ නැහැ. ඒත් යේසුස් යෙහෝවා දෙවියන් ගැන කතා කරන එක නම් නතර කළේ නැහැ.

අපිත් යේසුස් වගේ වෙමු. දිගටම යෙහෝවා දෙවියන් ගැන කතා කරමු. එහෙම කරද්දී අපි දෙවිගේ නමට හුඟක් ආදරෙයි කියලා ඔප්පු වෙන නිසා යෙහෝවා දෙවි ඒ ගැන හුඟක් සතුටු වෙයි.

දෙවිගේ නම කොයි තරම් වැදගත්ද කියලා පෙන්වන මේ බයිබල් පද අපි දැන් කියවමු. යෙසායා 12:4, 5; මතෙව් 6:9; යොහන් 17:6; රෝම 10:13.