Skip to content

පටුනට යන්න

11වෙනි පරිච්ඡේදය

දේවදූතයන් අපිට උදව් කරනවා

දේවදූතයන් අපිට උදව් කරනවා

සමහරු කියනවා ඒ අය විශ්වාස කරන්නේ පේන්න තියෙන දේවල් විතරයි කියලා. හැබැයි ඒක නම් කිසිම තේරුමක් නැති කතාවක්. මොකද සමහර දේවල් අපිට පේන්නේ නැති වුණත් ඒ දේවල් ඇත්තටම තියෙනවා. ඒ වගේ එක දෙයක් ඔයාට කියන්න පුළුවන්ද?—

හුළඟ ගැන ටිකකට හිතන්න. හුළඟ ඇත්තටම තියෙනවා කියලා ඔයාට දැනෙනවාද?— ටිකකට ඔයාගේ කටින් ඔයාගේ අතට පිඹින්නකෝ. ඔයාට ඒක දැනුණාද?— ඔව් නේද? හැබැයි ඔයාට ඒක පෙනුණාද?—

අපිට පේන්නේ නැති වුණත් ඇත්තටම ජීවත් වෙන අය ගැන අපි කලින් ඉගෙනගත්තා. ඒ අය අතරේ ඉන්න හොඳ අයව ඔයාට මතකද?— ඒ අය තමයි යෙහෝවා දෙවියන්, යේසුස්, හොඳ දේවදූතයන්. නරක දේවදූතයනුත් ඉන්නවාද?— බයිබලයේ කියනවා නරක දේවදූතයනුත් ඉන්නවා කියලා. ඒ අය ගැන ඔයා දැනගත්ත දේවල් ටිකක් කියන්න පුළුවන්ද?—

හොඳ දේවදූතයන් වගේම නරක දේවදූතයනුත් අපිට වඩා බලවත් කියලා අපි දන්නවා. යේසුස් දේවදූතයන් ගැන හුඟක් දේවල් දැනගෙන හිටියා. මොකද එයා පොළොවට එන්න කලින් දේවදූතයෙක් විදිහට ස්වර්ගයේ අනිත් දේවදූතයන් එක්ක ජීවත් වුණා. ඒ හැම දේවදූතයෙක්ටම නම් තියෙනවාද?

දෙවි තරුවලටත් නම් දැම්මා කියලා අපි ඉගෙනගත්තා. ඒ නිසා අනිවාර්යයෙන්ම දේවදූතයන්ටත් නම් තියෙන්න ඕනේ. ඒ වගේම “දේවදූතයන්ගේ භාෂා” ගැන බයිබලයේ තියෙනවා. (1 කොරින්ති 13:1) ඒ නිසා ඒ අය අනිත් අයත් එක්ක කතා කරනවා කියලත් අපි දන්නවා. දේවදූතයන් කතා කරනවා ඇත්තේ මොනවා ගැනද? අපි ගැනත් ඒ අය කතා වෙනවා ඇද්ද?—

භූතයන් උත්සාහ කරන්නේ දෙවි අකමැති දේවල් කරන්න අපේ හිත්වල ආසාවක් ඇති කරන්නයි. ඒ නිසා එයාලා ඒ ගැන කතා වෙනවා ඇති. හොඳ දේවදූතයනුත් අපි ගැන කතා වෙනවා ඇද්ද?— ඒ අයත් අපි ගැන කතා වෙනවා. ඒ අයට ඕනෙ අපිට උදව් කරන්න. යෙහෝවා දෙවිට ආදරේ කරපු අයට දේවදූතයන් උදව් කළේ කොහොමද කියලා මං දැන් ඔයාට කියන්නම්.

දානියෙල් කියලා කෙනෙක් බැබිලෝනියේ ජීවත් වුණා. එහේ හිටිය හුඟක් අය යෙහෝවා දෙවිට නමස්කාර කළේ නැහැ. කවුරු හරි යෙහෝවා දෙවිට යාච්ඤා කළොත් ඒ කෙනාට දඬුවම් ලැබෙනවා කියලා නීතියකුත් ඒ අය හදාගත්තා. ඒත් දානියෙල් නම් යෙහෝවා දෙවිට යාච්ඤා කරන එක නතර කළේ නැහැ. ඒ නිසා දානියෙල්ට වුණ දේ ඔයා දන්නවාද?—

එහේ හිටිය නපුරු මිනිසුන් දානියෙල්ව සිංහයන් හිටිය ගුහාවකට දැම්මා. ඒ වෙලාවේ හුඟක් බඩගින්නේ හිටිය ඒ සිංහයන් එක්ක දානියෙල් තනි වුණා. ඔයා දන්නවාද ඊටපස්සේ මොකද වුණේ කියලා?— ‘දෙවියන් එයාගේ දූතයෙක්ව එවලා සිංහයන්ගේ කටවල් වැහුවා.’ ඒ නිසා දානියෙල්ට කිසිම අනතුරක් වුණේ නැහැ. පුදුම හිතෙන දෙයක් වුණත් කරලා යෙහෝවා දෙවිට සේවය කරන අයට උදව් කරන්න දේවදූතයන්ට පුළුවන්.—දානියෙල් 6:18-22.

දානියෙල්ව ගලවාගන්න දෙවියන් කළේ මොනවාද?

යේසුස්ගේ හොඳ යාළුවෙක් වුණු පේතෘස්ට කාලයක් හිරේ ඉන්න වුණා. දෙවිගේ පුතා යේසුස් කියලා පේතෘස් කියද්දී සමහර අය ඒකට කැමති වුණේ නැහැ. ඒ නිසා තමයි ඒ අය පේතෘස්ව හිරේ දැම්මේ. එයාට පැනලා යන්න බැරි වෙන විදිහට හේවායන්වත් දාලයි තිබ්බේ. ඒ වෙලාවේ එයාට උදව් කරන්න පුළුවන් කෙනෙක් හිටියාද?—

පේතෘස් හේවායන් දෙන්නෙක් මැද්දේ නිදාගෙනයි හිටියේ. එයාගේ අත්වලට දම්වැල් දාලා තිබුණා. ඒ වෙලාවේ වුණු දේ ගැන බයිබලයේ මෙහෙම තියෙනවා. ‘යෙහෝවා දෙවිගේ දූතයෙක් පේතෘස් ළඟ හිටගත්තා. එතකොට මුළු හිරකුටියම ආලෝකවත් වුණා. ඒ දූතයා පේතෘස්ගේ ඉණට අත තියලා එයාව කූද්දලා කිව්වා “ඉක්මනින් නැඟිටින්න” කියලා.’

පේතෘස්ට හිරෙන් නිදහස් වෙන්න දේවදූතයෙක් උදව් කළේ කොහොමද?

ඒ වෙලාවේ පේතෘස්ගේ අතේ තිබුණු දම්වැල් ගැලවුණා. දේවදූතයා පේතෘස්ට කිව්වා ‘ඔයාගේ පිට වස්ත්‍රයයි පාවහනුයි දාගෙන ලෑස්ති වෙන්න’ කියලා. ඊටපස්සේ ඒ දෙන්නා යකඩ දොරක් ළඟට ආවාම ඒ දොර ඉබේම ඇරුණා. ඒ විදිහට ඒ දේවදූතයා පේතෘස්ට උදව් කළේ තවත් අයට ශුභාරංචිය ගැන කියන්න පේතෘස්ට පුළුවන් වෙන්නයි.—ක්‍රියා 12:3-11.

දේවදූතයන්ට පුළුවන්ද අපිටත් උදව් කරන්න?— පුළුවන්. ඒ කියන්නේ දේවදූතයන් අපිට කිසිම අනතුරක් වෙන්න දෙන එකක් නැද්ද?— අපි මෝඩ වැඩ කළොත් දේවදූතයන් අපිව ආරක්ෂා කරන්නේ නැහැ. ඒත් අපි මෝඩ වැඩක් කළත් නැතත් සමහර වෙලාවට අපිට අනතුරක් වෙන්න පුළුවන්. ඒ දේවලින් අපිව බේරගන්න කියලා දෙවි දේවදූතයන්ට කියලා නැහැ. ඒ වෙනුවට දෙවි ඒ අයට විශේෂ වැඩක් භාර දීලයි තියෙන්නේ.

පොළොවේ හැමෝම දෙවිට නමස්කාර කරන්න ඕනෙ කියලා කියන දේවදූතයෙක් ගැන බයිබලයේ තියෙනවා. (එළිදරව් 14:6, 7) ඒ දේවදූතයා ඒ ගැන කියන්නේ කොහොමද? ස්වර්ගයේ ඉඳන් කෑගහලා කියනවා ඇද්ද?— නැහැ. යේසුස්ගේ අනුගාමිකයන් දෙවි ගැන මිනිසුන්ට කියද්දී දේවදූතයන් ඒ අයට මඟ පෙන්වනවා. ඒ දේවදූතයන් දෙවි ගැන දැනගන්න කැමැත්තෙන් ඉන්න හැමෝටම ඒ ගැන දැනගන්න සලස්වනවා. අපිත් දෙවි ගැන අනිත් අයට කියද්දී දේවදූතයන් අපිටත් උදව් කරයි.

දෙවිට ආදරේ නැති අය අපිට කරදර කළොත් ඒ අය අපිව හිරේ දැම්මොත් දේවදූතයන් ඇවිත් අපිව නිදහස් කරයිද?— දේවදූතයන්ට පුළුවන්. හැබැයි දේවදූතයන් හැම වෙලේම එහෙම කරන්නේ නැහැ.

දේවදූතයා පාවුල්ට කියන්නේ මොනවාද?

යේසුස්ගේ අනුගාමිකයෙක් වෙලා හිටිය පාවුල්ටත් හිරේ ඉන්න සිද්ධ වුණා. දවසක් එයාව හිරකාරයෙක් විදිහට නැවකින් අරන් යද්දී ලොකු කුණාටුවක් ආවා. ඒ වෙලාවේ දේවදූතයන් එයාව බේරගත්තේ නැහැ. ඒකට හොඳ හේතුවක් තිබුණා. දේවදූතයෙක් පාවුල්ට කියපු මේ දෙයින් ඒක තේරුම්ගන්න පුළුවන්. ‘පාවුල්, කිසි දෙයකට බය වෙන්න එපා. ඔයා සීසර් ළඟට යන්න ඕනේ.’ සීසර් තමයි ඒ කාලේ හිටිය බලවත්ම පාලකයා. එයා ළඟට පාවුල්ව අරන් ගියාම සීසර්ටත් ශුභාරංචිය ගැන කියන්න පාවුල්ට පුළුවන් වෙනවා. දේවදූතයන් පාවුල් දිහා බලන් ඉඳලා එයාට උදව් කළා. අපිත් දෙවිට සේවය කරනවා නම් දේවදූතයන් අපිටත් උදව් කරයි.—ක්‍රියා 27:23-25.

දේවදූතයන්ට තවත් ලොකු වැඩක් කරන්න තියෙනවා. ඒ තමයි දෙවියන් දුෂ්ට මිනිසුන්ව විනාශ කරද්දී ඒ වැඩේට හවුල් වෙන එක. සැබෑ දෙවිට නමස්කාර කරන්නේ නැති හැමෝවම එදාට විනාශ කරනවා. ඒ දේ සිද්ධ වෙන්න තවත් වැඩි කාලයක් නැහැ. දේවදූතයන්ව පේන්නේ නැති නිසා ඒ අය ගැන විශ්වාස කරන්න බැහැ කියලා කියන අයට තේරෙයි ඒ අය හිතපු විදිහ කොච්චර වැරදිද කියලා.—2 තෙසලෝනික 1:6-8.

ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?— දේවදූතයන්ගේ පැත්තේ හිටියොත් ඒ අය අපිට උදව් කරයි. අපි ඉන්නේ දේවදූතයන්ගේ පැත්තෙද?— අපි යෙහෝවා දෙවිට සේවය කරනවා නම් අපි ඒ පැත්තේ ඉන්නවා කියලා කියන්න පුළුවන්. යෙහෝවා දෙවිට සේවය කරන්න කියලා අපි අනිත් අයටත් කියන්න ඕනේ.

දේවදූතයන් මිනිසුන්ට උදව් කරන විදිහ ගැන දැනගන්න අපි දැන් මේ බයිබල් පද කියවලා බලමු. ගීතාවලිය 34:7; මතෙව් 4:11; 18:10; ලූක් 22:43; ක්‍රියා 8:26-31.