Skip to content

පටුනට යන්න

23වෙනි පරිච්ඡේදය

මිනිසුන් ලෙඩ වෙන්නේ ඇයි?

මිනිසුන් ලෙඩ වෙන්නේ ඇයි?

ලෙඩ වෙලා ඉන්න කෙනෙක්ව ඔයා දන්නවාද?— සමහර වෙලාවට ඔයාත් ලෙඩ වෙනවා ඇති. හෙම්බිරිස්සාව හරි බඩේ කැක්කුමක් හරි ඔයාට හැදිලා ඇති. සමහර අයට හුඟක් අමාරු ලෙඩ හැදෙනවා. කාගෙ හරි උදව්වක් නැතුව එයාලාට නැඟිටින්නත් බැහැ. හුඟක් වෙලාවට මිනිසුන් වයසට ගියාම තමයි එහෙම වෙන්නේ.

හැමෝටම ලෙඩ හැදෙනවා. ඔයා දන්නවාද මිනිසුන් ලෙඩ වෙලා, වයසට ගිහින් මැරෙන්නේ ඇයි කියලා?— දවසක් අංශභාගය කියන ලෙඩේ හැදිලා ඇවිදින්න බැරුව හිටිය කෙනෙක්ව යේසුස් ළඟට ගෙනාවා. එදා යේසුස් පැහැදිලි කළා මිනිසුන් ලෙඩ වෙලා මැරෙන්නේ ඇයි කියලා.

යේසුස් එදා හිටියේ ගලීල මුහුද ළඟ තිබුණු නුවරක. යේසුස්ව බලන්න මොන තරම් ලොකු සෙනඟක් ඇවිත් හිටියාද කියනවා නම් තව එක් කෙනෙක්ටවත් ඇතුල් වෙන්න දොර ළඟ ඉඩක් තිබුණේ නැහැ. ඒත් තවත් සෙනඟ එතැනට එන්න පටන්ගත්තා. ඒ වෙලාවේ තමයි මිනිසුන් හතරදෙනෙක් අංශභාග ලෙඩාව ඇඳක තියන් එතැනට අරන් ආවේ.

ඔයා දන්නවාද එයාව යේසුස් ළඟට අරන් ආවේ ඇයි කියලා?— එයාව සනීප කරන්න යේසුස්ට පුළුවන් කියලා ඒ අයට ලොකු විශ්වාසයක් තිබුණා. ලොකු සෙනඟක් හිටියත් එයාව යේසුස් ළඟට ගෙනිච්චේ කොහොමද කියලා ඔයා දන්නවාද?—

මේ පින්තූරේ තියෙන විදිහට මිනිසුන් එයාව වහල උඩට අරන් ගියා. ඊටපස්සේ වහලේ ලොකු හිඩසක් හදලා එතැනින් ලෙඩාව ඇඳත් එක්කම පහළට බැස්සුවා. එහෙම කරන්න එයාලාට මොන තරම් විශ්වාසයක් තියෙන්න ඕනෙද!

සිද්ධ වෙන දේ මිනිසුන්ට හිතාගන්නවත් බැහැ. ඇඳක ඉන්න ලෙඩාව ඒ අය සෙනඟ මැද්දට බස්සවනවා. ඒ ගැන යේසුස් කේන්ති ගත්තාද?— යේසුස්ට පොඩ්ඩක්වත් කේන්ති ගියේ නැහැ. ඒ අයට තියෙන විශ්වාසය ගැන යේසුස් හුඟක් සතුටු වුණා. අසනීප කෙනාට යේසුස් කිව්වා ‘ඔයාගේ පව්වලට සමාව ලැබිලා තියෙනවා’ කියලා.

යේසුස් අංශභාග ලෙඩාට කිව්වේ මොනවා කරන්න කියලාද?

එතැන හිටිය සමහර අය යේසුස් එහෙම කියනවාට කැමති වුණේ නැහැ. පව්වලට සමාව දෙන්න යේසුස්ට අයිතියක් නැහැ කියලයි එයාලා හිතුවේ. හැබැයි පව්වලට සමාව දෙන්න තමන්ට පුළුවන් කියලා පෙන්වන්න යේසුස් ලෙඩාට කිව්වා ‘නැඟිටලා ඔයාගේ ඇඳත් අරන් ගෙදර යන්න’ කියලා.

ඒ වෙලාවෙම එයාට සනීප වුණා. අංශභාග ලෙඩේ හැදිලා තිබුණු කෙනා දැන් ඇඳත් උස්සන් ඇවිදන් යනවා දකිද්දී මිනිසුන්ට ඒක අදහාගන්නත් බැහැ. ඒ වගේ දෙයක් කවදාවත් එයාලා දැකලා නැහැ. ලෙඩ සනීප කරන්න පුළුවන් යේසුස්ව තමන් අතරට එවපු එක ගැන එයාලා යෙහෝවා දෙවිට ප්‍රශංසා කළා.—මාක් 2:1-12.

සිද්ධ වුණු මේ දෙයින් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

යේසුස් කරපු ඒ දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?— පව්වලට සමාව දෙන්නත් ලෙඩ සනීප කරන්නත් යේසුස්ට පුළුවන්. ඊටත් වඩා වටින දෙයක් අපිට ඒ සිද්ධියෙන් ඉගෙනගන්න පුළුවන්. ඔව්, මිනිසුන් ලෙඩ වෙන්නේ උරුමවෙලා තියෙන පව්කාරකම නිසා කියලත් ඒකෙන් පැහැදිලි වෙනවා.

අපි හැමෝටම ලෙඩ හැදෙන්නේ අපි පව්කාරයන් නිසාද?— ඔව්, බයිබලයේ කියනවා අපි හැමෝම ඉපදෙන්නේ පව්කාරකම උරුම කරගෙනයි කියලා. ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා ඔයා දන්නවාද?— ඒ කියන්නේ අපි ඉපදෙන්නේ පරිපූර්ණ අය විදිහට නෙවෙයි. ඒ නිසා සමහර වෙලාවට වැරදියි කියලා අපි දන්න දේවලුත් අපි අතින් සිද්ධ වෙනවා. අපි හැමෝටම පව්කාරකම උරුම වුණේ කොහොමද කියලා ඔයා දන්නවාද?—

මුල්ම මිනිසා වුණු ආදම් දෙවිට අකීකරු වුණු වෙලේ එයාට පව්කාරකම උරුම වුණා. අපි හැමෝම පැවතෙන්නේ එයාගෙන් නිසා ඒ පව්කාරකම අපිටත් උරුම වෙලා තියෙනවා. ඒක තේරුම්ගන්න මං ඔයාට උදාහරණයක් කියන්නම්.

අපිට පව්කාරකම උරුම වුණේ කොහොමද?

පාන් පුච්චන අච්චුවක් ඔයා දැකලා ඇති නේද? ඒකෙ එක තැනක් තැලිලා තිබුණොත් ඒකෙ දාලා පුච්චන පාන්වලට මොනවා වෙයිද?— ඒ හැම පාන් ගෙඩියකම ඒ ලකුණ තියෙයි නේද?—

ආදම් හරියට ඒ පාන් අච්චුව වගේ. අපි හරියට ඒකෙ දාලා පුච්චන පාන් වගේ. එයා දෙවිට අකීකරු වුණු වෙලේ එයාට පව්කාරකම උරුම වුණු එක හරියට හොඳට තිබුණු අච්චුවක් තැලුණා වගෙයි. එතකොට එයාට ලැබෙන දරුවන්ට මොකද වෙන්නේ?— ඒ තැලුණු ලකුණ ඒ කියන්නේ පව්කාරකම එයාගේ දරුවන් හැමෝටම උරුම වෙනවා.

ඉපදෙන හැම දරුවෙක්ටම පව්කාරකම උරුම වෙලා තියෙනවා කියලා බැලූ බැල්මට පේන්නේ නැහැ. මොකද ඒ හැමෝම අතක්, කකුලක් නැතුව ඉපදෙන්නේ නැහැනේ. හැබැයි ඒ හැමෝටම ලෙඩ හැදෙන්නෙත් අන්තිමේදී ඒ හැමෝම මැරෙන්නෙත් එයාලාට උරුම වෙලා තියෙන පව්කාරකම නිසයි.

සමහර අයට හුඟක් ලෙඩ හැදෙනවා. එහෙම වෙන්නේ ඒ අයට පව්කාරකම වැඩියෙන් උරුම වෙලා තියෙන නිසාද?— නැහැ. හැමෝටම පව්කාරකම උරුම වෙලා තියෙන්නේ එකම විදිහට. අපි හැමෝටම පව්කාරකම උරුම වෙලා තියෙන නිසා ඕනම වෙලාවක අපි ලෙඩ වෙන්න පුළුවන්. දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන අයත් වැරදි දේවල් කරන්නේ නැති අයත් ලෙඩ වෙන්න පුළුවන්.

පව්කාරකම නැති වුණාම ලැබෙන්නේ මොන වගේ ශරීර සෞඛ්‍යයක්ද?

සමහර අය වැඩිපුර ලෙඩ වෙන්නේ ඇයි?— ඒකට හේතු ගොඩක් තියෙනවා. සමහරවිට එහෙම වෙන්නේ ඒ අයට ඇති තරම් කෑම නැති නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අය පෝෂණය තියෙන කෑම කන්නේ නැතිව ඇති. ඒ අය කේක් වගේ පැණි රස කෑම වැඩිපුර කනවා ඇති. ඇති තරම් නින්දක් ලැබෙන්නේ නැති එකත් ඒකට හේතු වෙන්න පුළුවන්. හුඟක් සීත දවස්වලට ඒකට ඔරොත්තු දෙන ඇඳුම් අදින්නේ නැති එකත් ඒකට බලපාන්න පුළුවන්. සමහර අයගේ ශරීර සෞඛ්‍යය හුඟක් දුර්වල නිසා මොන තරම් පරෙස්සම් වුණත් ඒ අය ලෙඩ වෙනවා.

කවදාවත් ලෙඩ හැදෙන්නේ නැති කාලයක් එයිද? උරුම වෙලා තියෙන පව්කාරකමෙන් කවදා හරි නිදහස් වෙන්න පුළුවන් වෙයිද?— අංශභාග ලෙඩේ හැදිලා තිබුණු කෙනාට යේසුස් කළේ මොනවාද?— යේසුස් එයාට සමාව දීලා ලෙඩේ හොඳ කළා. ඒකෙන් යේසුස් පෙන්නුවේ හරි දේ කරන අයට අනාගතයේදී තමන් කරන්න යන දේ ගැනයි.

අපි වැරදි දේවල්වලට පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා අපි හැසිරෙන විදිහෙන් පෙන්වනවා නම් අනාගතයේදී දවසක යේසුස් අපේ ලෙඩත් සනීප කරයි. දවසක යේසුස් අපිට උරුම වෙලා තියෙන පව්කාරකමෙන් අපිව නිදහස් කරයි. දෙවිගේ රාජ්‍යයේ රජු හැටියට තමයි යේසුස් ඒ දේ කරන්නේ. අපේ පව්කාරකම එක සැරේම අයින් වෙන්නේ නැහැ. ඒකට කාලයක් යනවා. පව්කාරකම සම්පූර්ණයෙන්ම නැති වුණාට පස්සේ අපි කවදාවත් ලෙඩ වෙන්නේ නැහැ. අපි හැමෝටම නිරෝගී ශරීර සෞඛ්‍යයක් ලැබෙනවා. ඒක මොන තරම් ලොකු වරප්‍රසාදයක්ද!

පව්කාරකම මිනිසුන්ට බලපාලා තියෙන විදිහ ගැන මේ බයිබල් පදවලින් කියවලා බලමු. යෝබ් 14:4; ගීතාවලිය 51:5; රෝම 3:23; 5:12; 6:23.