Skip to content

පටුනට යන්න

27වෙනි පරිච්ඡේදය

ඔයා නමස්කාර කරන දෙවි කවුද?

ඔයා නමස්කාර කරන දෙවි කවුද?

ඔයා නමස්කාර කරන දෙවි කවුද කියන ප්‍රශ්නය වැදගත් එකක්. ඔයා දන්නවාද ඒ ඇයි කියලා?— මොකද අද හුඟක් අය එක එක දෙවිවරුන්ට නමස්කාර කරනවා. (1 කොරින්ති 8:5) එක පාරක් පාවුල් යෙහෝවා දෙවි දීපු බලයෙන් උපතින්ම ඇවිදින්න බැරුව හිටපු කෙනෙක්ව සනීප කළා. ඒක දැකපු අය ‘දෙවිවරුන් මිනිසුන්ගේ වෙස් අරගෙන ඇවිල්ලා’ කියලා කෑගහන්න පටන්ගත්තා. ඒ අයට ඕනෙ වුණේ පාවුල්ටයි එයාගේ යාළුවා වුණු බානබස්ටයි නමස්කාර කරන්න. ඒ අය පාවුල්වයි බානබස්වයි එයාලාගේ දෙවිවරුන්ගේ නම්වලින් හඳුන්වන්න පටන්ගත්තා. පාවුල්ව හර්මීස් කියලත් බානබස්ව සියුස් කියලත් හැඳින්නුවා.

පාවුල්වත් බානබස්වත් කැමති වුණේ නැහැ මිනිසුන් තමන්ට නමස්කාර කරනවාට. ඒ නිසා එයාලා සෙනඟ මැද්දට ගිහින් මෙහෙම කිව්වා. ‘තේරුමක් නැති මේ දේවල් අත්හැරලා ජීවමාන දෙවිගේ පැත්තට එන්න.’ (ක්‍රියා 14:8-15) හැම දෙයක්ම හදපු “ජීවමාන දෙවි” කවුද?— ඒ තමයි “මුළු පොළොවටම මහෝත්තම දෙවි” යෙහෝවා. යෙහෝවා දෙවි “එකම සැබෑ දෙවි” කියලා යේසුස් කිව්වා. එහෙමනම් අපේ නමස්කාරය ලබන්න වටින එකම කෙනා කවුද?— ඒ තමයි යෙහෝවා දෙවි.—ගීතාවලිය 83:18; යොහන් 17:3; එළිදරව් 4:11.

මිනිසුන් තමන්ට නමස්කාර කරනවාට පාවුල් සහ බානබස් අකමැති වුණේ ඇයි?

හුඟක් අය “එකම සැබෑ දෙවිට” නමස්කාර කරන්නේ නැතුව ලී, ගල්, මැටි වගේ දේවලින් හදාගත්ත දෙවිවරුන්ට වඳිනවා. (නික්මයාම 32:4-7; ලෙවී කතාව 26:1; යෙසායා 44:14-17) ඒ වගේම ප්‍රසිද්ධ අයව දෙවිවරුන් හැටියටත් තරු හැටියටත් ඉහළින් සලකනවා. ඒත් එහෙම කරන එක හොඳයිද?—

පාවුල් මෙහෙම කිව්වා. ‘විශ්වාසයක් නැති අයගේ මනස මේ සමාජයේ දෙවියා අන්ධ කරලා තියෙනවා.’ (2 කොරින්ති 4:4) කවුද ඒ දෙවියා?— ඒ තමයි යක්ෂයා. හුඟක් අය මිනිසුන්ටත් වෙනත් දේවලටත් නමස්කාර කරන්නේ යක්ෂයා ඒ අයව රවට්ටලා තියෙන නිසයි.

දවසක් යක්ෂයා යේසුස්ට කිව්වා එයාට නමස්කාර කරන්න කියලා. ඔයා දන්නවාද යේසුස් කිව්වේ මොනවාද කියලා?— යේසුස් මෙහෙම කිව්වා. ‘අපි නමස්කාර කරන්න ඕනෙ අපේ දෙවි වන යෙහෝවාටයි. පරිශුද්ධ සේවය පිරිනමන්න ඕනෙ ඔහුට විතරයි.’ (මතෙව් 4:10) ඔව්, අපි නමස්කාර කරන්න ඕනෙ යෙහෝවා දෙවිට විතරයි. ඒ දේ දැනගෙන හිටපු ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ කියන පිරිමි ළමයි තුන්දෙනා ගැන අපි දැන් බලමු.

හෙබ්‍රෙව් ජාතිකයන් වුණු ඒ අයව බැබිලෝනිය කියන රටට වහලුන් විදිහට අරන් ගිහින් තිබුණා. බැබිලෝනියේ නෙබුකද්නෙෂර් රජ ලොකු රන් රූපයක් හැදුවා. දවසක් එයා කිව්වා සංගීතය ඇහුණු ගමන් හැමෝම ඒ රූපයට වඳින්න කියලා. එහෙම කරන්නේ නැති අයව ගිනි උදුනට දානවා කියලත් රජ කිව්වා. ඒ වෙලාවේ ඔයා එතැන හිටියා නම් මොකද කරන්නේ?—

මේ තුන්දෙනා රූපය ඉස්සරහා වැඳ වැටුණේ නැත්තේ ඇයි?

හුඟක් වෙලාවලදී ඒ තුන්දෙනා රජ කියපු දේවල් කළා. ඒත් මේ දේ කළේ නැහැ. ඔයා දන්නවාද ඒ ඇයි කියලා?— දෙවි මෙහෙම කියලා තිබුණා. ‘මම හැර වෙන කිසි දෙවි කෙනෙක්ට නමස්කාර කරන්න එපා. රූප හදාගෙන ඒවා ඉස්සරහා වැඳ වැටිලා නමස්කාර කරන්න එපා.’ (නික්මයාම 20:3-5) ඒ නිසා රජගේ අණට කීකරු වෙනවා වෙනුවට ඒ තුන්දෙනා දෙවිට කීකරු වුණා.

ඒ ගැන රජතුමාට කේන්ති ගියා. ඒ නිසා එයා මෙහෙම කිව්වා. ‘නුඹලා මගේ දෙවිවරුන්ට නමස්කාර කරන්නේ නැද්ද? මම දැන් ආපහු සංගීතය වාදනය කරන්න අණ කරනවා. එතකොට නුඹලා මම හදපු රූපය ඉස්සරහා වැඳ වැටෙන්න ඕනේ. එහෙම කළේ නැත්නම් මම නුඹලාව ඇවිළෙන ගිනි උදුනට විසි කරනවා. එතකොට බලමු මගේ අතින් නුඹලාව ගලවාගන්න පුළුවන් දෙවි කෙනෙක් ඉන්නවාද කියලා.’

ඒ තුන්දෙනා මොනවා කරයිද? එතැන ඔයා හිටියා නම් මොනවා කරයිද?— ඒ අය රජතුමාට මෙහෙම කිව්වා. ‘අපි නමස්කාර කරන දෙවිට පුළුවන් අපිව බේරගන්න. ඒත් දෙවි අපිව බේරගත්තේ නැතත් අපි කවදාවත් ඔයාගේ දෙවිවරුන්ට නම් නමස්කාර කරන්නේ නැහැ. රන් රූපයට වඳින්නෙත් නැහැ.’

රජ කේන්තියෙන් කිව්වා ‘ගිනි උදුන සාමාන්‍යයට වඩා හත් ගුණයකින් රත් කරන්න’ කියලා. ෂද්‍රක්ගෙත් මේෂක්ගෙත් අබෙද්නෙගෝගෙත් අත් කකුල් ගැටගහලා ගිනි උදුනට දාන්න කියලත් රජ අණ කළා. රස්නේ හොඳටම වැඩි නිසා එයාලාව ගිනි උදුනට දාපු සේවකයන් පිච්චිලා මැරුණා.

ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ ගිනි උදුන මැදට වැටුණත් එයාලාට මුකුත්ම වුණේ නැහැ. එයාලාව ගැටගහපු ලණුත් ගැලවුණා. කොහොමද ඒ දේවල් වුණේ?— උදුන දිහා බලපු රජ හොඳටම බය වුණා. එයා සේවකයන්ගෙන් ඇහුවා ‘අපි උදුනට දැම්මේ තුන්දෙනෙක්ව නේද’ කියලා. සේවකයන් ‘ඔව් රජතුමනි’ කියලා කිව්වා.

යෙහෝවා දෙවි තමන්ගේ සේවකයන්ව ගිනි උදුනෙන් බේරගත්තේ කොහොමද?

ඊළඟට රජ මෙහෙම කිව්වා. ‘අර බලන්න! උදුන ඇතුළේ දැන් හතරදෙනෙක් ඇවිද ඇවිද ඉන්නවා. ඒ අයට කිසිම අනතුරක් වෙලා නැහැ!’ හතරවෙනි කෙනා කවුද කියලා ඔයා දන්නවාද?— ඒ දේවදූතයෙක්. එයා තමයි ඒ තුන්දෙනාව ආරක්ෂා කළේ.

රජතුමා උදුනේ දොර ළඟට ගිහින් කෑගහලා මෙහෙම කිව්වා. ‘මහෝත්තම දෙවිට සේවය කරන ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ උදුනෙන් එළියට එන්න.’ එතකොට එයාලා ආවා. ඒ අයට ගින්නෙන් කිසිම හානියක් වෙලා නැහැ කියලා හැමෝම දැක්කා. අඩුම ගානේ ඇඳුම්වලින් දුම් ගඳක්වත් ආවේ නැහැ. රජතුමා ඊළඟට මෙහෙම කිව්වා. ‘ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ නමස්කාර කරන දෙවිට ප්‍රශංසා වේවා! මේ අය තමන්ගේ දෙවි හැර වෙන කිසි දෙවි කෙනෙකුට නමස්කාර කළේ නැහැ. ඒ නිසා දෙවි දේවදූතයෙක්ව එවලා ඒ අයව ගලවාගත්තා.’—දානියෙල් 3වෙනි පරිච්ඡේදය.

මිනිසුන් නමස්කාර කරන්නේ මොනවාටද?

අදත් මිනිසුන් පිළිම, රූප වගේ දේවල්වලට නමස්කාර කරනවා. ඒවා හදලා තියෙන්නේ ලී, ගල්, මැටි, යකඩ, රෙදි වගේ දේවලින්. එක පොතක කියලා තියෙනවා “කුරුසය වගේම කොඩියත් ශුද්ධ දෙයක්” කියලා. (The Encyclopedia Americana) යේසුස්ගේ මුල් ගෝලයන් කවදාවත් රෝමයේ රජට කිසිම විදිහකින්වත් නමස්කාර කළේ නැහැ. ඒක හරියට “රටට ජාතියට පක්ෂයි කියලා කියන එකත් කොඩියට ආචාර කරන එකත් ප්‍රතික්ෂේප කරනවා” වගෙයි කියලා ඉතිහාසය ගැන හදාරන ඩැනියෙල් පී. මැනික්ස් කියලා තියෙනවා.

පිළිමයක් හරි රූපයක් හරි මොන දේකින් හැදුවත් දෙවි ඒකට කැමතියි කියලා ඔයා හිතනවාද?— යෙහෝවා දෙවිගේ සේවකයෙක් ඒ වගේ දේකට නමස්කාර කරන එක හොඳද?— ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ රූපයට වැන්දේ නැති නිසා දෙවි ඒ අය ගැන සතුටු වුණා. ඔයාටත් ඒ අය වගේ වෙන්න පුළුවන් කොහොමද?—

යෙහෝවා දෙවිගේ සේවකයන්, වෙන කිසිම දේකට නමස්කාර කරන එක වැරදියි. ඒ ගැන දැනගන්න අපි මේ බයිබල් පද කියවලා බලමු. යොෂුවා 24:14, 15, 19-22; යෙසායා 42:8; 1 යොහන් 5:21; එළිදරව් 19:10.