Skip to content

පටුනට යන්න

28වෙනි පරිච්ඡේදය

කීකරු වෙන්න ඕනෙ කාටද?

කීකරු වෙන්න ඕනෙ කාටද?

අපි කීකරු වෙන්න ඕනෙ කාටද කියලා වෙලාවකට හිතාගන්න අමාරුයි. අම්මායි තාත්තායි එක දෙයක් කරන්න කියයි. හැබැයි ඉස්කෝලේ ටීචර් හරි පොලිස් නිලධාරියෙක් හරි තව දෙයක් කරන්න කියයි. ඔයා කීකරු වෙන්නේ කාටද?—

මේ පොතේ 7වෙනි පරිච්ඡේදයේ එෆීස 6:1-3 අපි කියෙව්වා. ‘දරුවෙනි, දෙවිගේ කැමැත්තට එකඟව දෙමාපියන්ට කීකරු වෙන්න’ කියලා එතැන කියනවා. “දෙවිගේ කැමැත්තට එකඟව” කියන එකෙන් අදහස් වෙන දේ ඔයා දන්නවාද?— ඒකෙන් අදහස් වෙන්නේ දෙමව්පියන් දෙවිගේ නීතිරීතිවලට කීකරු වෙන්න කියලා දරුවන්ට කියලා දෙද්දී දරුවන් ඒ අයට කීකරු වෙන්න ඕනෙ කියලයි.

ඒත් සමහර වැඩිහිටි අය යෙහෝවා දෙවිව විශ්වාස කරන්නේ නැහැ. එයාලා කියයි විභාගයකදී කොපි කළාට, කඩේකින් බඩුවක් හොරෙන් ගත්තාට කමක් නැහැ කියලා. ඒත් ඒ දේවල් හරිද?—

නෙබුකද්නෙෂර් රජ එයා හදපු රන් රූපයට වඳින්න කියලා ෂද්‍රක්ටත් මේෂක්ටත් අබෙද්නෙගෝටත් කිව්වා කියලා අපි ඉගෙනගත්තා ඔයාට මතකද? ඒත් එයාලා ඒක කළේ නැහැ. ඒ ඇයි?— බයිබලයේ කියලා තියෙනවා අපි නමස්කාර කරන්න ඕනෙ යෙහෝවා දෙවිට විතරයි කියලා.—නික්මයාම 20:3; මතෙව් 4:10.

පේතෘස් උත්තම පූජකයාට කියන්නේ මොනවාද?

යේසුස් ස්වර්ගයට ගිහින් වැඩි කාලයක් යන්න කලින් ආගමික නායකයන් නියෝජිතයන්ව යුදෙව්වරුන්ගේ නඩු ශාලාවට ගෙනාවා. ඒකට කිව්වේ සැන්හෙඩ්‍රිනය කියලයි. උත්තම පූජකයා වුණු කායෆස් ඒ වෙලාවේ නියෝජිතයන්ට මෙහෙම කිව්වා. ‘යේසුස්ගේ නාමයෙන් ආයෙත් උගන්වන්න එපා කියලා අපි පැහැදිලිවම නුඹලාට අණ කළා. ඒත් බලන්න! නුඹලා උගන්වපු දේවල් යෙරුසලම පුරාම පැතිරිලා.’ ඇයි නියෝජිතයන් එයාලා කියපු දේ ඇහුවේ නැත්තේ?— ඒ ගැන පේතෘස් කිව්වේ මෙහෙමයි. ‘අපි කීකරු වෙන්න ඕනෙ මිනිසුන්ට නෙවෙයි දෙවිටයි.’—ක්‍රියා 5:27-29.

ඒ කාලේ යුදෙව් ආගමේ නායකයන්ට හුඟක් බලතල තිබුණා. ඒත් යුදෙව්වරුන් හිටියේ රෝමවරුන්ගේ පාලනය යටතෙයි. රෝමවරුන්ගේ ආණ්ඩුවේ නායකයාට කිව්වේ සීසර් කියලයි. යුදෙව්වන් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ සීසර් එයාලාගේ පාලකයා වෙලා ඉන්නවාට. හැබැයි රෝම ආණ්ඩුව යුදෙව්වරුන් වෙනුවෙන් හුඟක් හොඳ දේවල් කළා. අද තියෙන ආණ්ඩුත් හුඟක් හොඳ දේවල් කරනවා. ඔයා දන්නවාද ඒ මොනවාද කියලා?—

ආණ්ඩුවලින් පාරවල් හදලා දෙනවා. අපිව ආරක්ෂා කරන්න පොලීසියේ අයටයි, ගිනි නිවන හමුදාවේ අයටයි පඩි ගෙවනවා. දරුවන්ට ඉස්කෝල හදලා දෙනවා. වයසක අයට බෙහෙත් ගන්න උදව් කරනවා. ඒ හැම දේටම ආණ්ඩුවලට හුඟක් සල්ලි ඕනේ. ඒ සල්ලි ලැබෙන්නේ කොහෙන්ද කියලා දන්නවාද?— මිනිසුන්ගෙන්. මිනිසුන් ආණ්ඩුවට ගෙවන සල්ලිවලට කියන්නේ බදු කියලයි.

යේසුස්ගේ කාලේ හිටපු හුඟක් යුදෙව්වන් රෝම ආණ්ඩුවට බදු ගෙවන්න කැමති වුණේ නැහැ. ඒ නිසා යුදෙව් ආගමික නායකයන්ට ඕන වුණා බදු ගෙවන එක ගැන යේසුස්ගෙන් ප්‍රශ්නයක් අහලා එයාගේ වරදක් අල්ලගන්න. ඒ වැඩේ කරන්න එයාලා මිනිසුන් කට්ටියකට සල්ලි දුන්නා. ඉතිං එයාලා යේසුස් ළඟට ගිහින් ‘අපි සීසර්ට බදු ගෙවන්න ඕනෙද නැද්ද’ කියලා ඇහුවා. ‘ගෙවන්න ඕනෙ’ කිව්වොත් යුදෙව්වන්ට තරහා යයි. ‘ගෙවන්න ඕනෙ නැහැ’ කිව්වොත් ඒක වරදක්.

ඒ නිසා යේසුස් කිව්වා ‘මට කාසියක් දෙන්න’ කියලා. කාසිය දුන්නාම යේසුස් මෙහෙම ඇහුවා. ‘මේ කාසියේ තියෙන රූපයත් නමත් කාගෙද?’ ඒ අය කිව්වා “සීසර්ගේ” කියලා. ‘එහෙමනම් සීසර්ට අයිති දේ සීසර්ටත් දෙවිට අයිති දේ දෙවිටත් දෙන්න’ කියලා යේසුස් කිව්වා.—ලූක් 20:19-26.

යේසුස්ගේ වරදක් අල්ලගන්න හදපු මේ අයට යේසුස් උත්තර දුන්නේ කොහොමද?

යේසුස් දීපු උත්තරේ කිසිම වරදක් අල්ලගන්න කාටවත් බැහැ. රෝම ආණ්ඩුවෙන් මිනිසුන්ට කරන හොඳ දේවල් වෙනුවෙන් සීසර්ම හදපු සල්ලිවලින් ආණ්ඩුවට බදු ගෙවන එක සුදුසුයි. ඒකෙන් යේසුස් පෙන්නුවේ ආණ්ඩුව අපි වෙනුවෙන් කරන දේවල්වලට අපි ආණ්ඩුවට බදු ගෙවන්න ඕනෙ කියලයි.

ආණ්ඩුවට බදු ගෙවන්න ඔයා තාම පොඩි ඇති. හැබැයි ඔයා කරන්න ඕන දෙයක් තියෙනවා. දන්නවාද ඒ මොකක්ද කියලා?— ඒ තමයි ආණ්ඩුවෙන් දාලා තියෙන නීතිරීතිවලට කීකරු වෙන එක. ‘උසස් බලධාරීන්ට යටත් වෙන්න’ කියලා බයිබලයේ කියලා තියෙනවා. උසස් බලධාරීන් කියන්නේ ආණ්ඩුවෙන් බලතල දීලා තියෙන අයට. එහෙමනම් ආණ්ඩුවෙන් දාලා තියෙන නීතිවලට කීකරු වෙන්න කියලා අපිට කියන්නේ දෙවියන්.—රෝම 13:1, 2.

පාරේ කුණු දාන්න එපා කියලා නීතියක් තියෙනවා. ඔයා ඒකට කීකරු වෙන්න ඕනෙද?— ඔව්. ඔයා ඒ නීතියට කීකරු වෙයි කියලා දෙවි බලාපොරොත්තු වෙනවා. පොලිස් නිලධාරීන්ටත් ඔයා කීකරු වෙන්න ඕනෙද?— ඔව්. අපිව ආරක්ෂා කරන්න ආණ්ඩුවෙන් පොලීසියට පඩි ගෙවනවා. ඒ නිසා අපි පොලිස් නිලධාරීන්ට කීකරු වෙද්දී අපි ආණ්ඩුවට කීකරු වෙනවා.

ඔයා පාර පනින්න හදද්දී පොලිස් නිලධාරියෙක් “ඔහොම නවතින්න” කියලා කිව්වොත් ඔයා මොකද කරන්නේ?— හිතන්න අනිත් අය ඒත් පාර පැන්නා කියලා. දැන් ඉතුරු වෙලා ඉන්නේ ඔයා විතරයි. ඔයා මොකද කරන්නේ?— ඔයා එතැනම ඉන්න ඕනේ. කීකරු වෙන්න කියලා ඔයාට කියලා තියෙන්නේ දෙවියි.

ඔයාගේ ගෙවල් ළඟ මොනවා හරි කරදරයක් වෙලා තියෙන නිසා පොලිස් නිලධාරියෙක් කියනවා “පාරට එන්නේ නැතුව ඇතුළට වෙලා ඉන්න” කියලා. හැබැයි ඔයාට මිනිසුන් කෑගහන සද්දේ ඇහෙනවා. මොකද වෙන්නේ කියලා බලන්න ඔයා එළියට යනවාද?— එහෙම ගියොත් ඔයා ‘උසස් බලධාරීන්ට කීකරුයි’ කියලා කියන්න පුළුවන්ද?—

ආණ්ඩුවෙන් ඉස්කෝල හදලා ටීචර්ලාට පඩි ගෙවනවා. ඉතිං ඔයා ටීචර්ලාට කීකරු වෙද්දී දෙවි සතුටු වෙයි කියලා ඔයා හිතනවාද?— මිනිසුන්ව ආරක්ෂා කරන්න ආණ්ඩුව පොලීසියට පඩි ගෙවනවා වගේ ළමයින්ට උගන්වන්න ටීචර්ලාට පඩි ගෙවන්නෙත් ආණ්ඩුවයි. ඒ නිසා ඔයා පොලීසියේ අයට හරි ටීචර්ලාට හරි කීකරු වෙන එක හරියට ආණ්ඩුවට කීකරු වෙනවා වගෙයි.

අපි පොලිස් නිලධාරීන්ට කීකරු වෙන්න ඕනෙ ඇයි?

හැබැයි මොකක් හරි දේකට වඳින්න කියලා ටීචර් කිව්වොත් ඔයා මොනවාද කරන්නේ?— රන් රූපයට වඳින්න කියලා නෙබුකද්නෙෂර් රජ, හෙබ්‍රෙව් තරුණයන් තුන්දෙනාට කිව්වත් එයාලා ඒකට වැන්දේ නැහැ. ඒ ඇයි කියලා ඔයාට මතකද?— එයාලාට ඕන වුණේ දෙවිට කීකරු වෙන්නයි.

මුල් ගෝලයන් ‘දෙවිට දෙන්න ඕන තැන සීසර්ට දුන්නේ නැහැ’ කියලා ඉතිහාසය ගැන හදාරපු විල් ඩියුරන්ට් ලියලා තියෙනවා. මොකද මුල් තැන ලබන්න වටින්නේ යෙහෝවා දෙවියි. ඒ වගේ අපිත් ජීවිතයේ පළවෙනි තැන දෙන්න ඕනෙ යෙහෝවා දෙවිට.

අපි ආණ්ඩුවට කීකරු වෙන්නේ එහෙම කරන්න කියලා දෙවි කියලා තියෙන නිසයි. හැබැයි දෙවි අකමැති දෙයක් කරන්න කියලා ආණ්ඩුව කිව්වොත් අපි මොනවාද කියන්නේ?— අපි කියන්න ඕනෙ නියෝජිතයන් උත්තම පූජකයාට කියපු මේ දේයි. ‘අපි කීකරු වෙන්න ඕනෙ මිනිසුන්ට නෙවෙයි දෙවිටයි.’—ක්‍රියා 5:29.

නීතිරීතිවලට කීකරුව ජීවත් වෙන්න කියලා බයිබලයේ කියලා තියෙනවා. ඒ ගැන දැනගන්න මේ බයිබල් පද දැන් අපි කියවලා බලමු. මතෙව් 5:41; තීතස් 3:1; 1 පේතෘස් 2:12-14.