Skip to content

පටුනට යන්න

31වෙනි පරිච්ඡේදය

අපිට සහනය ලැබෙන්නේ කාගෙන්ද?

අපිට සහනය ලැබෙන්නේ කාගෙන්ද?

ඔයාට කවදා හරි තනිකමක්, දුකක් දැනිලා තියෙනවාද?— කවුරුත් ඔයාට ආදරේ නැහැ කියලා හිතිලා තියෙනවාද?— සමහර දරුවන්ට එහෙම හිතිලා තියෙනවා. හැබැයි දෙවි පොරොන්දු වෙලා තියෙනවා ‘මම කවදාවත් ඔයාව අමතක කරන්නේ නැහැ’ කියලා. (යෙසායා 49:15) ඇත්තටම යෙහෝවා දෙවි අපිට හුඟක් ආදරෙයි. ඒ ගැන ඔයාට සතුටු නැද්ද?—

මේ පුංචි බැටළුවාට මොනවා හිතෙනවා ඇද්ද?

‘මගේ අම්මා හරි තාත්තා හරි මාව අත්හැරියත් යෙහෝවා දෙවි මාව භාරගන්නවා’ කියලා දෙවිගේ සේවකයෙක් කියලා තියෙනවා. (ගීතාවලිය 27:10) ඒක දැනගෙන ඉන්න එක අපිටත් ලොකු සහනයක් නේද?— යෙහෝවා දෙවි මෙහෙම කියලා තියෙනවා. ‘බය වෙන්න එපා. මම ඔයාත් එක්ක ඉන්නවා. මම ඔයාට පිහිට වෙනවා.’යෙසායා 41:10.

අපිට පීඩා කරන්නත් අපිව පරීක්ෂා කරන්නත් සමහර වෙලාවට යෙහෝවා දෙවි සාතන්ට ඉඩහරිනවා. එක අවස්ථාවකදී සාතන් යේසුස්ට මොන තරම් පීඩා කළාද කියනවා නම් යේසුස් යෙහෝවා දෙවිගෙන් ඇහුවා “මගේ දෙවියනි, මගේ දෙවියනි, ඔබ මාව අත්හැරියේ ඇයි” කියලා. (මතෙව් 27:46) ඒ වෙලාවේ ලොකු වේදනාවකින් හිටියත් යේසුස් දැනගෙන හිටියා යෙහෝවා දෙවි එයාට හුඟක් ආදරෙයි කියලා. (යොහන් 10:17) තමන්ගේ සේවකයන්ට පීඩා කරන්නත් ඒ අයව පරීක්ෂා කරන්නත් දෙවි සාතන්ට ඉඩහරිනවා කියලත් යේසුස් දැනගෙන හිටියා. දෙවි සාතන්ට ඉඩහරින්නේ ඇයි කියලා අපි වෙන පරිච්ඡේදයකින් බලමු.

පොඩි කාලෙදී හුඟක් වෙලාවට බයක් දැනෙනවා තමයි. ඔයා කවදා හරි අතරමං වෙලා තියෙනවාද?— ඒ වෙලාවේ ඔයාට බයක් දැනුණාද?— දවසක් යේසුස් නැති වුණු කෙනෙක් ගැන කතන්දරයක් කිව්වා. හැබැයි ඒ දරුවෙක් ගැන නම් නෙවෙයි. බැටළුවෙක් ගැන.

ඔයාත් හරියට බැටළුවෙක් වගෙයි. ඇයි දන්නවාද? බැටළුවන් හුඟක් ශක්තිමත් නැහැ. එයාලාව බලාගන්න කවුරු හරි ඕනේ. එයාලාව බලාගන්න අයට කියන්නේ එඬේරු කියලයි.

යේසුස් කියපු කතන්දරේ හිටිය එඬේරාට බැටළුවන් 100දෙනෙක් හිටියා. දවසක් එක බැටළුවෙක් නැති වුණා. සමහරවිට කන්දේ එහා පැත්තේ තියෙන්නේ මොනවාද කියලා බලන්න ඌට ආස හිතෙන්න ඇති. වැඩි වෙලාවක් යන්න කලින් ඒ බැටළුවා හුඟක් ඈතට ගිහින් තිබුණා. වටපිට බලද්දී වෙන කිසිම කෙනෙක් පේන්න නැහැ කියලා දැක්කාම ඌට මොනවා හිතෙන්න ඇද්ද?—

එක බැටළුවෙක් නැති වෙලා කියලා දැනගත්තාම එඬේරා මොනවා කරයිද? එහෙම වුණේ උගේ වරදින් කියලා හිතලා ඌව හොයන්නේ නැතුව ඉඳියිද? නැත්නම් අනිත් බැටළුවන් 99දෙනාව ආරක්ෂිත තැනක තියලා ඌව හොයන්න යයිද? එක බැටළුවෙක් වෙනුවෙන් ඒ තරම් මහන්සි වෙන්න ඕනෙද?— නැති වුණු බැටළුවා ඔයා නම් ඔයා කැමතිද එඬේරා ඔයාව හොයාගෙන එනවාට?—

බැටළුවාව බේරගත්ත එඬේරාට සමාන කරන්න පුළුවන් කාවද?

එඬේරා බැටළුවන් හැමෝටම එකම විදිහට ආදරේ කළා. ඒ නිසා එයා නැති වුණු බැටළුවාව හොයාගෙන ගියා. එඬේරාව දකිද්දී නැති වුණු බැටළුවාට කොහොම හිතෙන්න ඇද්ද! බැටළුවාව දැක්කාම එඬේරාත් හුඟක් සතුටු වුණා. ඉතුරු 99දෙනාටම වඩා වැඩියෙන් එඩේරා ඌ ගැන සතුටු වුණා. බැටළුවා ගැන සැලකිලිමත් වුණු ඒ එඬේරා වගේ අපි ගැන සැලකිලිමත් වෙන්නේ කවුද?— ඒ යෙහෝවා දෙවි.

යෙහෝවා දෙවි තමයි උතුම් එඬේරා. ඔයා වගේ දරුවන් ඇතුළු තමන්ගේ සේවකයන් හැමෝටම දෙවි හුඟක් ආදරෙයි. අපිට අනතුරක් වෙනවා දකින්න දෙවි කැමති නැහැ. ඒ ගැන අපි කොයි තරම් සතුටු වෙන්න ඕනද!—මතෙව් 18:12-14.

ඔයාගේ තාත්තා හරි වෙන කෙනෙක් හරි වගේ යෙහෝවා දෙවිත් ඔයාට ඇත්ත කෙනෙක්ද?

ඔයා ඇත්තටම යෙහෝවා දෙවිව විශ්වාස කරනවාද?— දෙවි ඇත්ත කෙනෙක් කියලා ඔයාට දැනෙනවාද?— අපිට වගේ ශරීරයක් දෙවිට නැති නිසා අපිට දෙවිව පේන්නේ නැහැ. හැබැයි දෙවිට අපිව පේනවා. අපිට උදව් ඕනෙ මොන වෙලාවටද කියලා දෙවි දන්නවා. යාළුවෙක් එක්ක කතා කරනවා වගේ අපිට පුළුවන් යාච්ඤාවෙන් දෙවි එක්කත් කතා කරන්න. යෙහෝවා දෙවි කැමතියි අපි දෙවිත් එක්ක කතා කරනවාට.

ඔයාට කවදා හරි දුකක් තනිකමක් දැනුණොත් ඔයා මොනවාද කරන්න ඕනේ?— යෙහෝවා දෙවි එක්ක කතා කරන්න. දෙවි එක්ක තියෙන බැඳීම වැඩි කරගන්න. දෙවි ඔයාව සනසයි. ඔයා තනි වෙලා කියලා හිතෙන වෙලාවලදීත් යෙහෝවා දෙවි ඔයාට ආදරෙයි කියලා අමතක කරන්න එපා. ගීතාවලිය 23 පළවෙනි පද දෙකේ මෙහෙම කියනවා. ‘යෙහෝවා දෙවි මාගේ එඬේරායි. මට කිසිම හිඟයක් වෙන්නේ නැහැ. ඔහු සරු තණබිම්වල මාව සතපවනවා. සිසිල් දිය ගලා බහින නිසංසල තැන්වලට මාව ගෙන යනවා.’

4වෙනි පදයේ කියන්නේ මෙහෙමයි. ‘මම අඳුරු තැනිතලාවක ගමන් කළත් මොන දේකටවත් බය වෙන්නේ නැහැ. මොකද ඔබ මා එක්ක ඉන්නවා. ඔබේ කෙවිටද සැරයටියද මට සැනසීමක්.’ යෙහෝවා දෙවිව තමන්ගේ දෙවි කරගෙන ඉන්න අයට හැඟෙන්නේ එහෙමයි. ඒ නිසා දුකින් ඉන්න වෙලාවලදීත් එයාලාට සහනයක් දැනෙනවා. ඔයාටත් එහෙම දැනෙනවාද?—

යහපත් එඬේරෙක් එයාගේ රැළ ගැන සැලකිලිමත් වෙනවා වගේ යෙහෝවා දෙවි තමන්ගේ සෙනඟ ගැන සැලකිලිමත් වෙනවා. දෙවි තමන්ගේ සෙනඟට හරි මඟ පෙන්වද්දී සෙනඟත් ඔහුට කීකරු වෙනවා. මොන දේකට මුහුණ දෙන්න සිද්ධ වුණත් එයාලාට බය වෙන්න හේතුවක් නැහැ. එඬේරෙක් කෙවිටත් සැරයටියත් පාවිච්චි කරලා, බැටළුවන්ව කන්න එන සතුන්ගෙන් උන්ව බේරගන්නවා. එඬේරෙක් වුණු දාවිත් සිංහයෙක්ගෙනුත් වලහෙක්ගෙනුත් බැටළුවන්ව ආරක්ෂා කරගත්ත හැටි බයිබලයේ තියෙනවා. (1 සාමුවෙල් 17:34-36) යෙහෝවා දෙවිගේ සෙනඟ දන්නවා දෙවිගේ ආරක්ෂාව තමන්ට ලැබෙනවා කියලා. දෙවි ඒ අයත් එක්ක ඉන්න නිසා කිසි දේකට ඒ අය බය වෙන්නේ නැහැ.

එඬේරෙක් බැටළුවන්ව ආරක්ෂා කරනවා වගේ අපිව ආරක්ෂා කරන්න පුළුවන් කාටද?

යෙහෝවා දෙවි ඇත්තටම තමන්ගේ බැටළුවන්ට ආදරෙයි. හරිම ආදරෙන් එයාලාව බලාගන්නවා. බයිබලයේ කියන්නේ මෙහෙමයි. ‘එඬේරෙක් තමන්ගේ රැළ බලාගන්නවා වගේ දෙවි තමන්ගේ සෙනඟව රැකබලා ගන්නවා. බැටළු පැටවුන්ව වඩාගෙන තුරුලට ගන්නවා.’—යෙසායා 40:11.

ඒ ගැන ඔයාට සතුටු නැද්ද?— ඔයා කැමතිද දෙවිට අයිති බැටළුවෙක් වෙන්න?— බැටළුවන් එඬේරුන්ට කීකරු වෙනවා. එඬේරාගේ ළඟින්ම ඉන්නවා. ඔයාත් යෙහෝවා දෙවිට කීකරුයිද?— දෙවිට ළං වෙලා ඉන්නවාද?— එහෙමනම් ඔයා බය වෙන්න ඕනෙ නැහැ. යෙහෝවා දෙවි හැම වෙලේම ඔයා ළඟින්ම ඉඳියි.

යෙහෝවා දෙවි තමන්ගේ සේවකයන් ගැන සැලකිලිමත් කියලා පෙන්වන මේ බයිබල් පද අපි දැන් කියවලා බලමු. ගීතාවලිය 37:25; 55:22; ලූක් 12:29-31.