Skip to content

පටුනට යන්න

33වෙනි පරිච්ඡේදය

යේසුස්ට පුළුවන් අපිව ආරක්ෂා කරන්න

යේසුස්ට පුළුවන් අපිව ආරක්ෂා කරන්න

ඔයා යේසුස්ව සලකන්නේ පුංචි බබෙක් විදිහටද නැත්නම් බලවත් රජෙක් විදිහටද?

පොඩි කාලෙදී තමන් බේරුණු විදිහ ගැන යේසුස් ලොකු වුණාට පස්සේ දැනගත්තාම යෙහෝවා දෙවිට ඒ ගැන ස්තුති කරන්න ඇතිද?— මරියායි යෝසෙපුයි යේසුස්ව ඊජිප්තුවට අරන් ගිහින් එයාගේ ජීවිතේ බේරගත්තු එක ගැන යේසුස් ඒ දෙන්නාට මොනවා කියන්න ඇද්ද?—

යේසුස් තාමත් පුංචි බබෙක් නෙවෙයි. එයා දැන් ජීවත් වෙන්නෙත් පොළොවේ නෙවෙයි. හැබැයි තාමත් සමහර අය යේසුස්ව ගවඔරුවක ඉන්න පුංචි බබෙක් විදිහට සලකනවා ඔයා දැකලා තියෙනවාද?— නත්තල් කාලෙදී ඒ වගේ පින්තූර ඕන තරම් දකින්න පුළුවන්.

යේසුස් අද පොළොවේ නැති වුණත් එයා තාමත් ජීවත් වෙනවා කියලා ඔයාට විශ්වාසද?— යේසුස් මැරුණාට පස්සේ එයාව නැවත නැඟිටෙව්වා. දැන් ස්වර්ගයේ ඉන්න යේසුස් බලවත් රජෙක්. තමන්ගේ සේවකයන්ව ආරක්ෂා කරන්න යේසුස්ට කරන්න පුළුවන් මොනවාද?— තමන්ගේ ගෝලයන්ව ආරක්ෂා කරන්න පුළුවන් කොහොමද කියලා යේසුස් පොළොවේ හිටිය කාලේ පෙන්නුවා. ඒ වගේ සිද්ධියක් ගැන අපි දැන් බලමු.

එදා යේසුස් මුළු දවසෙම ගලීල මුහුද ළඟ ඉඳන් මිනිසුන්ට ඉගැන්නුවා. ගලීල මුහුද කිලෝමීටර් 20ක් විතර දිග කිලෝමීටර් 12ක් විතර පළල විලක්. යේසුස් ගෝලයන්ට කිව්වා ‘අපි දැන් විලෙන් එගොඩට යමු’ කියලා. ඒ නිසා ගෝලයන් ඔරුවෙන් එගොඩට යන්න පටන්ගත්තා. මේ වෙද්දී යේසුස්ට හුඟක් මහන්සි නිසා එයා ඔරුවේ පිටිපස්සට ගිහින් කොට්ටයක් අරන් නිදාගත්තා.

මුහුදටත් හුළඟටත් යේසුස් කියන්නේ මොනවාද?

ටික වෙලාවක් යන කල් ගෝලයන් කිසිම කරදරයක් නැතුව ඔරුව පැදගෙන ගියා. හැබැයි හිතපු නැති විදිහට ලොකු කුණාටුවක් ආවා. ඒ නිසා මුහුදු රළ එන්න එන්නම සැර වෙලා ඔරුවේ වතුර පිරෙන්න පටන්ගත්තා.

ඔරුව ගිලෙයි කියලා ගෝලයන් හොඳටම බය වුණා. හැබැයි යේසුස් නම් බය වුණේ නැහැ. එයා තාමත් නිදි. ගෝලයන් යේසුස්ව කූද්දලා මෙහෙම කිව්වා. ‘ගුරුතුමනි, ගුරුතුමනි, අපිව ගිලෙන්නයි යන්නේ.’ ඒ වෙලාවේ යේසුස් නැඟිටලා හුළඟටත් මුහුදටත් තදින් කතා කරලා “නිශ්ශබ්ද වන්න! නිශ්චල වන්න” කියලා කිව්වා.

ඒ වෙලාවෙම කුණාටුව නතර වුණා. ගෝලයන්ට ඒක අදහාගන්නවත් බැහැ. ඊට කලින් කවදාවත් එයාලා ඒ වගේ දෙයක් දැකලා තිබුණේ නැහැ. ඒ නිසා එයාලා මෙහෙම කතා වුණා. ‘ඇත්තටම මේ කවුද? එයා හුළඟටත් වතුරටත් අණ දෙනවා. ඒවාත් එයාට කීකරු වෙනවා.’—ලූක් 8:22-25; මාක් 4:35-41.

ඔයා දන්නවාද යේසුස් කවුද කියලා?— එයාට ලොකු බලයක් ලැබුණේ කොහෙන්ද කියලා ඔයා දන්නවාද?— යේසුස් සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි. එයා මිනිසුන්ට වඩා හුඟක් බලවත්. ඒ නිසා යේසුස් එයාලාත් එක්ක ඉද්දී කුණාටුව දැකලා බය වෙන්න ගෝලයන්ට කිසිම හේතුවක් තිබුණේ නැහැ. කුණාටුවක් ඇති වුණු තවත් දවසක යේසුස් කරපු දෙයක් ගැන දැන් මං ඔයාට කියන්නම්.

ඒ දවසේ යේසුස් ගෝලයන්ට කිව්වා මුහුදෙන් එගොඩට යන්න කියලා. ඊටපස්සේ යේසුස් යාච්ඤා කරන්න තනිවම කන්දක් උඩට ගියා. එතැන ඉඳන් කිසිම බාධාවක් නැතුව යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න යේසුස්ට පුළුවන්.

ගෝලයන් ඔරුවක නැඟලා එගොඩට යන්න පටන්ගත්තා. හැබැයි වැඩි වෙලාවක් යන්න කලින් ලොකු හුළඟක් ආවා. ඒ වෙද්දී අඳුරත් වැටිලයි තිබුණේ. ගෝලයන් ඔරුවේ රුවල් බාලා, හබල් ගාගෙන යන්න හැදුවත් වැඩි දුරක් එයාලාට යන්න ලැබුණේ නැහැ. මොකද හුළඟ එන්න එන්නම සැර වුණා. මුහුදු රළ සැරෙන් ඔරුවට වදිද්දී ඔරුව ඒ මේ අත පැද්දෙන්න පටන්ගත්තා. ගෝලයන් කොහොමහරි වෙරළට ළං වෙන්න හැදුවත් එයාලාට යන්න ලැබුණේ නැහැ.

ඒ වෙද්දිත් යේසුස් හිටියේ කන්ද උඩයි. ගෝලයන් මුහුදු රළත් එක්ක පොරබදන විදිහ යේසුස් දැක්කා. ඒ නිසා එයා කන්ද බැහැගෙන වෙරළට ආවා. ගෝලයන්ට උදව් කරන්න ඕන නිසා යේසුස් වතුර උඩ ඇවිදගෙන ගෝලයන් ළඟට යන්න පටන්ගත්තා.

ඔයා වතුර උඩ ඇවිද්දොත් මොනවා වෙයිද?— ඔයාව ගිලෙයි. හැබැයි ලොකු බලයක් තියෙන යේසුස් නම් ඊට වඩා වෙනස්. යේසුස් ඉන්න තැනේ ඉඳන් ගෝලයන් ඉන්න තැනට ලොකු දුරක් තියෙනවා. ඒ නිසා යේසුස් ගෝලයන් ළඟට යද්දී එළිය වැටීගෙන ඇවිත් තිබුණා. වතුර උඩ ඇවිදන් එන යේසුස්ව දැක්කාම ගෝලයන්ට ඒක අදහාගන්නත් බැරි වුණා. එයාලා බයෙන් කෑගැහුවා. ඒත් යේසුස් එයාලාට මෙහෙම කිව්වා. ‘බය වෙන්න එපා. මේ මම. ධෛර්යවත් වෙන්න.’

යේසුස් බලවත් ක්‍රියාවන් කළේ ඇයි?

යේසුස් ඔරුවට ගොඩවුණ ගමන්ම කුණාටුව නතර වුණා. ගෝලයන් ඒ ගැන මොන තරම් පුදුම වුණාද කියනවා නම් එයාලා යේසුස් ඉස්සරහා දණින් වැටිලා කිව්වා ‘ඇත්තටම ඔයා නම් දෙවිගේ පුත්‍රයාම තමයි’ කියලා.—මතෙව් 14:22-33; යොහන් 6:16-21.

ඒ කාලේ ජීවත් වෙලා යේසුස් කරපු ඒ දේවල් දැකගන්න ලැබුණා නම් කොච්චර හොඳද නේද?— ඔයා දන්නවාද යේසුස් බලවත් දේවල් කළේ ඇයි කියලා?— යේසුස් එහෙම කළේ එයා ගෝලයන්ට හුඟක් ආදරේ කරපු නිසයි. ඒ විතරක් නෙවෙයි තමන්ට ලොකු බලයක් තියෙනවා කියලත් අනාගතයේදී දෙවිගේ රාජ්‍යයේ රජ විදිහට ඒ බලය පාවිච්චි කරනවා කියලත් පෙන්වන්න යේසුස් කැමති වුණා.

මේ කාලෙදී යේසුස් තම අනුගාමිකයන්ව ආරක්ෂා කරන්නේ කොහොමද?

දේශනා සේවය නතර කරන්න සාතන් අටවන උගුල්වලින් තමන්ගේ ගෝලයන්ව ආරක්ෂා කරන්නත් යේසුස් එයාගේ බලය පාවිච්චි කරනවා. හැබැයි ලෙඩ හැදෙන එක නතර කරන්නවත් ලෙඩ හොඳ කරන්නවත් යේසුස් තමන්ගේ බලය පාවිච්චි කරන්නේ නැහැ. යේසුස්ගේ නියෝජිතයනුත් මැරුණා. යොහන්ගේ සහෝදරයා වුණු යාකොබ්ව මරලා දැම්මා. යොහන්ව හිරේ දැම්මා.—ක්‍රියා 12:2; එළිදරව් 1:9.

අදටත් වෙනසක් නැහැ. මිනිසුන් හැමෝටම අසනීප හැදෙනවා. අන්තිමේදී මැරෙනවා. හැබැයි ළඟදීම යේසුස් දෙවිගේ රාජ්‍යයේ රජ විදිහට පොළොව පාලනය කරන්න පටන්ගත්තාම ඒ හැම දෙයක්ම වෙනස් වෙනවා. කිසිම කෙනෙක්ට බය වෙන්න හේතුවක් තියෙන්නේ නැහැ. මොකද ඒ කාලෙදී යේසුස් තමන්ගේ බලය පාවිච්චි කරලා තමන්ට කීකරු වෙන හැමෝටම ආශීර්වාද කරනවා.—යෙසායා 9:6, 7.

දෙවිගේ රාජ්‍යයේ රජු විදිහට දෙවි පත් කරලා තියෙන යේසුස්ට තියෙන බලය ගැන තවත් දැනගන්න අපි දැන් මේ බයිබල් පද කියවලා බලමු. දානියෙල් 7:13, 14; මතෙව් 28:18; එෆීස 1:20-22.