Skip to content

පටුනට යන්න

36වෙනි පරිච්ඡේදය

ආපහු ජීවිතය ලැබෙන්නේ කාටද? ඒ අය ජීවත් වෙන්නේ කොහෙද?

ආපහු ජීවිතය ලැබෙන්නේ කාටද? ඒ අය ජීවත් වෙන්නේ කොහෙද?

කලින් පාඩම් දෙකේ ආපහු ජීවිතය ලැබුණු ඒ කියන්නේ නැවත නැඟිටවපු කීදෙනෙක් ගැන අපි කතා කළාද?— පස්දෙනෙක් ගැන කතා කළා. ඒ අතරේ ළමයි කීදෙනෙක් හිටියාද?— තුන්දෙනෙක්. හතරවෙනියා තරුණ කෙනෙක්. ඒ දේවලින් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?—

දෙවි දරුවන්ට හුඟක් ආදරෙයි කියලා ඒකෙන් පැහැදිලි වෙනවා. හැබැයි දෙවි තවත් හුඟදෙනෙක්වත් නැවත නැඟිටුවනවා. දෙවි නැවත නැඟිටුවන්නේ දෙවි කැමති විදිහට ජීවත් වුණු අයව විතරද?— යෙහෝවා දෙවි ගැනවත් යේසුස් ගැනවත් ඉගෙනගන්න ලැබිලා නැති හුඟක් අය ඉන්නවා. එයාලාට බොරු දේවල් උගන්වලා තියෙන නිසා එයාලා වැරදි දේවල් කරලා තියෙනවා. යෙහෝවා දෙවි ඒ අයවත් නැවත නැඟිටුවයි කියලා ඔයා හිතනවාද?—

බයිබලයේ කියන්නේ මෙහෙමයි. ‘ධර්මිෂ්ඨ අයව වගේම අධර්මිෂ්ඨ අයවත් නැවත නැඟිටුවනවා.’ (ක්‍රියා 24:15) ඒත් අධර්මිෂ්ඨ අයව ඒ කියන්නේ වැරදි දේවල් කරපු අයව නැවත නැඟිටුවන්නේ ඇයි?— එහෙම කරන්නේ ඒ අයට යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න ලැබිලා නැති නිසයි.

වැරදි දේවල් කරපු සමහර අයවත් දෙවි නැවත නැඟිටුවන්නේ ඇයි?

මිනිසුන්ව නැවත නැඟිටුවන්නේ කවදාද?— ලාසරුස් මැරුණාම යේසුස් මාර්තාට කිව්වේ ‘ඔයාගේ සහෝදරයා අනිවාර්යයෙන්ම නැඟිටියි’ කියලයි. එතකොට මාර්තා කිව්වේ ‘නැවත නැඟිටීම සිද්ධ වෙන්න නියමිත කාලයේදී එයා නැඟිටිනවා කියලා මං දන්නවා’ කියලයි. (යොහන් 11:23, 24) ‘නැවත නැඟිටීම සිද්ධ වෙන්න නියමිත කාලයේදී’ කියලා කියපු එකෙන් මාර්තා අදහස් කළේ මොකක්ද?—

යේසුස් කියන්නේ කොහේ තියෙන පාරාදීසයක් ගැනද?

‘සොහොන් ගෙවල්වල ඉන්න හැමෝම නැවත නැඟිටිනවා’ කියලා යේසුස් උගන්වලා තිබුණු දේ මාර්තා දැනගෙන හිටියා. (යොහන් 5:28, 29) ඇත්තටම ‘නැවත නැඟිටීම සිද්ධ වෙන්න නියමිත කාලය’ කියන්නේ දෙවිගේ මතකයේ ඉන්න හැමෝවම නැවත නැඟිටුවන කාලයටයි. ඒ කාලයට අවුරුදු දාහක් ඇතුළත් වෙනවා. බයිබලයේ කියන්නේ ඒ කාලයේදී ‘දෙවි මිනිසුන්ව විනිශ්චය කරනවා’ කියලයි. ඒ අය අතරට නැවත නැඟිටින අයත් ඇතුළත්.—ක්‍රියා 17:31; 2 පේතෘස් 3:8.

ඒක මොන තරම් සතුටින් පිරුණු කාලයක් වෙයිද කියලා හිතලා බලන්න. මිය ගිහින් තියෙන මිලියන ගණන් අයව ඒ කාලයේදී නැවත නැඟිටුවනවා. යේසුස් කිව්වේ ඒ අයව නැඟිටුවන්නේ පාරාදීසයක ජීවත් වෙන්න කියලයි. ඒ පාරාදීසය ගැන අපි දැන් බලමු.

යේසුස් වධකණුවේ මැරෙන්න පැය තුනකට විතර කලින් එයාට එහා පැත්තේ වධකණුවේ ඇණ ගහලා හිටිය කෙනාට පාරාදීසය ගැන කිව්වා. එයාට මරණ දඬුවම ලැබිලා තිබුණේ එයා අපරාධකාරයෙක් නිසයි. හැබැයි ඒ වෙලාවේ යේසුස් ගැන අහපු, දැකපු දේවල් නිසා අන්තිමේදී එයා යේසුස් ගැන විශ්වාස කරන්න පටන්ගත්තා. ඒ නිසා එයා යේසුස්ට කිව්වා ‘ඔයාගේ රාජ්‍යයට ඔයා ඇතුල් වෙද්දී මාව අමතක කරන්න එපා’ කියලා. යේසුස් එයාට මෙහෙම කිව්වා. ‘ඔයා මාත් එක්ක පාරාදීසයේ ඉන්නවා කියලා අද මම ඔයාට පොරොන්දු වෙනවා.’—ලූක් 23:42, 43.

පාරාදීසය ගැන කියවද්දී අපිට මතක් වෙන්න ඕනෙ මොන දේවල්ද?

යේසුස් ඒකෙන් අදහස් කළේ මොකක්ද? පාරාදීසය තියෙන්නේ කොහෙද?— මුලින්ම පාරාදීසයක් තිබුණේ කොහෙද?— යෙහෝවා දෙවි මුල්ම මිනිස් යුවළව ඒ කියන්නේ ආදම් සහ ඒවව පදිංචි කරපු පාරාදීසය තිබුණේ මේ පොළොවේ. ඒක හැඳින්නුවේ ඒදන් උයන කියලයි. ඒ උයනේ සත්තු හිටියත් උන්ගෙන් කිසිම හානියක් වුණේ නැහැ. රසම රස පලතුරු ගසුත් තිබුණා. ලොකු ගඟකුත් තිබුණා. ඒ තැන නම් සතුටින් ජීවත් වෙන්න කියාපු තැනක්.—උත්පත්ති 2:8-10.

අපරාධකරුට පාරාදීසය ගැන යේසුස් කියපු දේ කියවද්දී මුළු ලෝකෙම මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන් ලස්සන තැනක් වෙනවා කියලා අපි මතක් කරගන්න ඕනේ. යේසුස් ඒ අපරාධකරු එක්ක පාරාදීස පොළොවේ ජීවත් වෙයිද?— නැහැ. ඔයා දන්නවාද ඒ ඇයි කියලා?—

යේසුස් රජ විදිහට මේ පොළොව පාලනය කරන්නේ ස්වර්ගයේ ඉඳන්. ‘මාත් එක්ක ඔයාත් පාරාදීසයේ ඉන්නවා’ කියලා යේසුස් අපරාධකරුට පොරොන්දු වුණේ යේසුස් ඒ කෙනාව නැවත නැඟිටුවලා එයාට ඕන කරන දේවල් ලබා දෙන නිසයි. ඒත් අපරාධකාරයෙක්ට පාරාදීසයේ ජීවත් වෙන්න යේසුස් අවස්ථාව දෙන්නේ ඇයි?— අපි දැන් ඒ ගැන බලමු.

ඒ අපරාධකරු යේසුස් එක්ක කතා කරන්න කලින් දෙවි කරන්න යන දේවල් ගැන දැනගෙන හිටියාද?— නැහැ. එයා දෙවි ගැන හරියටම දැනගෙන හිටියේ නැති නිසයි වැරදි කළේ. හැබැයි පාරාදීසයේදී එයාට දෙවි කරන්න යන දේවල් ගැන ඉගෙනගන්න ලැබෙයි. එතකොට එයාට පුළුවන් ඇත්තටම දෙවිට කීකරු වෙන්න කැමතිද නැද්ද කියලා පෙන්වන්න.

නැවත නැඟිටීමක් ලබන හැමෝම ජීවත් වෙන්නේ පාරාදීස පොළොවෙද?— නැහැ. ඔයා දන්නවාද ඒ ඇයි කියලා?— සමහර අයව නැවත නැඟිටුවන්නේ යේසුස් එක්ක ස්වර්ගයේ ජීවත් වෙන්න. ඒ අය යේසුස් එක්ක එකතු වෙලා පාරාදීස පොළොව පාලනය කරනවා. එහෙම කියන්න තියෙන හේතු ගැන දැන් බලමු.

යේසුස් මැරෙන්න කලින් නියෝජිතයන්ට මෙහෙම කිව්වා. ‘මගේ පියාගේ ගෘහයේ ජීවත් වෙන්න හුඟක් තැන් තියෙනවා. මං දැන් එහෙට යන්නේ ඔයාලාට තැනක් සූදානම් කරන්නයි. මං ආයෙත් ඇවිත් ඔයාලාව මගේ නිවසට අරන් යනවා.’—යොහන් 14:2, 3.

යේසුස්ව නැවත නැඟිටෙව්වාට පස්සේ එයා ගියේ කොහෙටද?— තාත්තාත් එක්ක ජීවත් වෙන්න ස්වර්ගයට ගියා. (යොහන් 17:4, 5) ඒ නිසා යේසුස් නියෝජිතයන්ටත් අනිත් ගෝලයන්ටත් පොරොන්දු වුණා එයාලාව ස්වර්ගයට ගන්නවා කියලා. එයාලා ස්වර්ගයට ගිහින් මොනවාද කරන්නේ?— බයිබලයේ කියන්නේ “පළවෙනි නැවත නැඟිටීම” ලබන අය ස්වර්ගයේ ඉඳන් ‘අවුරුදු දාහක් යේසුස් එක්ක රජකම් කරනවා’ කියලයි.—එළිදරව් 5:10; 20:6; 2 තිමෝති 2:12.

“පළවෙනි නැවත නැඟිටීම” ලබලා රජවරු විදිහට යේසුස් එක්ක පාලනය කරන්න කීදෙනෙක් හවුල් වෙයිද?— යේසුස් ගෝලයන්ට මෙහෙම කිව්වා. ‘කුඩා රැළ බය වෙන්න එපා. ඔයාලාට රාජ්‍යය ලබා දෙන්න පියාණන් තම අනුමැතිය දීලා තියෙනවා.’ (ලූක් 12:32) ‘කුඩා රැළට’ අයිති අයගේ නියමිත ගණනක් තියෙනවා. බයිබලයේ කියන්නේ ‘එක්ලක්ෂ හතළිස් හාරදහස්දෙනෙක්ව’ ස්වර්ගයට නැවත නැඟිටුවනවා කියලයි.—එළිදරව් 14:1, 3.

නැවත නැඟිටුවන අය ජීවත් වෙන්නේ කොහෙද? එයාලා කරන්නේ මොනවාද?

කීදෙනෙක් පාරාදීස පොළොවේ ජීවත් වෙයිද?— ඒ ගැන බයිබලයේ සඳහන් වෙලා නැහැ. හැබැයි දෙවි ආදම්ටත් ඒවටත් කිව්වා ඒදන් උයනේ ඉද්දී දරුවන් බිහි කරලා පොළොව පුරාම පැතිර යන්න කියලා. ඒත් ඒ දෙන්නාට ඒක කරන්න පුළුවන් වුණේ නැහැ. හැබැයි පොළොව පුරාම මිනිසුන්ව පදිංචි කරන්න දෙවිට තිබුණු අරමුණ දෙවි අනිවාර්යයෙන්ම ඉටු කරයි.—උත්පත්ති 1:28; යෙසායා 45:18; 55:11.

පාරාදීසයේ ජීවත් වෙන්න ලැබෙන එක මොන තරම් සතුටක් වෙයිද! මුළු පොළොවම ලස්සන උයනක් වෙයි. එක එක ජාතියේ කුරුල්ලන්, සත්තු, ගස්, මල් නිසා ඒකේ ලස්සන තවත් වැඩි වෙයි. කිසිම කෙනෙක් ලෙඩ වෙන්නෙවත් මැරෙන්නෙවත් නැහැ. හැමෝම හොඳ යාළුවන් වෙයි. පාරාදීසයේ ජීවත් වෙන්න නම් අපි දැන් ඉඳලාම ඒකට සූදානම් වෙන්න ඕනේ.

පොළොව සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ ගැන තවත් දැනගන්න අපි දැන් මේ බයිබල් පද කියවලා බලමු. හිතෝපදේශ 2:21, 22; දේශනාකාරයා 1:4; යෙසායා 2:4; 11:6-9; 35:5, 6; 65:21-24.