Skip to content

පටුනට යන්න

43වෙනි පරිච්ඡේදය

අපේ සහෝදර සහෝදරියන් කවුද?

අපේ සහෝදර සහෝදරියන් කවුද?

දවසක් යේසුස් පුදුම හිතෙන ප්‍රශ්නයක් ඇහුවා. ‘මගේ අම්මාත් මගේ සහෝදරයනුත් කවුද’ කියලයි එයා ඇහුවේ. (මතෙව් 12:48) ඔයා ඒකට උත්තරේ දන්නවාද?— යේසුස්ගේ අම්මාගේ නම මරියා කියලා ඔයා දන්නවා ඇති. ඒත් එයාගේ සහෝදරයන්ගේ නම් ඔයා දන්නවාද?— එයාට සහෝදරියනුත් හිටියාද?—

යේසුස්ගේ සහෝදරයන්ගේ නම් ‘යාකොබ්, යෝසෙප්, සීමොන් සහ යූදස්’ කියලා බයිබලයේ තියෙනවා. යේසුස්ට සහෝදරියනුත් හිටියා. යේසුස් තමයි පවුලේ වැඩිමලා.—මතෙව් 13:55, 56; ලූක් 1:34, 35.

යේසුස්ගේ සහෝදරයන් ගෝලයන් වුණාද?— මුලදී එයාලාට ‘යේසුස් ගැන විශ්වාසයක් තිබුණේ නැහැ.’ (යොහන් 7:5) හැබැයි පස්සේ කාලෙක යාකොබ් සහ යූදස් යේසුස්ගේ ගෝලයන් වුණා. යූදස්ව යූද් කියලත් හැඳින්නුවා. එයාලා බයිබලේ පොත් ලියලත් තියෙනවා. ඔයා දන්නවාද ඒ මොනවාද කියලා?— යාකොබ් පොතයි යූද් පොතයි.

යේසුස්ගේ සහෝදරියන්ගේ, නම් බයිබලයේ නැතත් එයාට සහෝදරියන් දෙන්නෙක්වත් ඉඳලා තියෙනවා. සමහරවිට ඊට වැඩියෙනුත් ඉන්න ඇති. ඒ අයත් ගෝලයන් වුණාද?— ඒ ගැන බයිබලයේ නැහැ. ‘මගේ අම්මාත් මගේ සහෝදරයනුත් කවුද’ කියලා යේසුස් ඇහුවේ ඇයි කියලා ඔයා දන්නවාද?—

යේසුස් උගන්වමින් ඉද්දී කෙනෙක් ඇවිත් මෙහෙම කිව්වා. ‘ඔයාගේ අම්මාත් සහෝදරයනුත් ඇවිත් ඉන්නවා. එයාලාට ඕනලු ඔයාත් එක්ක කතා කරන්න.’ ඒ වෙලාවේ වටිනා පාඩමක් උගන්වන්න හිතාගෙන තමයි ‘මගේ අම්මාත් මගේ සහෝදරයනුත් කවුද’ කියන ප්‍රශ්නේ යේසුස් ඇහුවේ. ඊටපස්සේ ගෝලයන් දිහාට අත දික් කරලා එයා කිව්වා ‘මේ අය තමයි මගේ අම්මයි සහෝදරයනුයි’ කියලා.

ඒකෙන් අදහස් කරපු දේ ගැන යේසුස් මෙහෙම පැහැදිලි කළා. ‘ස්වර්ගයේ ඉන්න මගේ තාත්තාගේ කැමැත්ත කරන අය තමයි මගේ සහෝදරයන්, සහෝදරින් සහ අම්මා වෙන්නේ.’ (මතෙව් 12:47-50) යේසුස්ට ගෝලයන් එක්ක මොන තරම් කිට්ටු බැඳීමක් තිබුණාද කියලා ඒකෙන් පැහැදිලි වෙනවා. යේසුස් කිව්වේ එයා ගෝලයන්ව සලකන්නේ එයාගෙම සහෝදරයන්, සහෝදරියන් සහ අම්මා විදිහට කියලයි.

තමන්ගේ සහෝදර සහෝදරියන් කියලා යේසුස් පෙන්නුවේ කාවද?

යේසුස්, දෙවිගේ පුතා කියලා ඒ වෙද්දීත් යේසුස්ගෙම සහෝදරයන් වුණු යාකොබ්, යෝසෙප්, සිමියොන් සහ යූදස් විශ්වාස කළේ නැහැ. එයාලාගේ අම්මාට ගාබ්‍රියෙල් දේවදූතයා කියපු දේ එයාලා විශ්වාස කළේ නැතුව ඇති. (ලූක් 1:30-33) ඒ නිසා එයාලා යේසුස්ට නපුරු විදිහට සලකන්න ඇති. කෙනෙක් එහෙම කරනවා නම් ඒ කෙනා ඇත්තටම සහෝදරයෙක් නැත්නම් සහෝදරියක් කියලා කියන්න බැහැ. තමන්ගේම සහෝදරයෙක්ට හරි සහෝදරියක්ට හරි නපුරු විදිහට සලකලා තියෙන කෙනෙක්ව ඔයා දන්නවාද?—

තමන්ගේ සහෝදරයා වුණු යාකොබ්ට නපුරු විදිහට සලකපු ඒසව් ගැන බයිබලයේ තියෙනවා. එයා හුඟක් කේන්තියෙන් කිව්වා ‘මගේ සහෝදරයා වන යාකොබ්ව මං මරනවා’ කියලා. ඒසව් යාකොබ්ව මරයි කියලා බය වුණු නිසා එයාලාගේ අම්මා ඒ කියන්නේ රෙබෙකා යාකොබ්ව වෙන පළාතකට යැව්වා. (උත්පත්ති 27:41-46) හැබැයි අවුරුදු ගාණක් ගියාට පස්සේ ඒසව් වෙනස් වුණා. එයා යාකොබ්ව බදාගෙන සිපගත්තා.—උත්පත්ති 33:4.

කාලයක් ගියාට පස්සේ යාකොබ්ට පුත්තු 12දෙනෙක් ලැබුණා. යාකොබ් වැඩියෙන්ම ආදරය කළේ බාල පුතා වුණු යෝසෙප්ට. ඒ ගැන ඊර්ෂ්‍යාවෙන් හිටිය වැඩිමල් සහෝදරයෝ ටික යෝසෙප්ට පොඩ්ඩක්වත් ආදරය කළේ නැහැ. ඒ නිසා එයාලා ඊජිප්තුවට යමින් හිටිය වෙළෙඳුන්ට යෝසෙප්ව වහලෙක් විදිහට වික්කා. ඊටපස්සේ එයාලා තාත්තාට කිව්වා නපුරු සතෙක් යෝසෙප්ව කාලා කියලා. (උත්පත්ති 37:23-36) එයාලා කළේ හරිම වැරදි වැඩක් නේද?—

ඒ දේ ගැන පස්සේ කාලෙකදී එයාලා හුඟක් දුක් වුණා. ඒ නිසා යෝසෙප් එයාලාට සමාව දුන්නා. යෝසෙප්, යේසුස් වගේ කටයුතු කළේ කොහොමද කියලා ඔයාට තේරුණාද?— කරදරයකට මුහුණ දුන්නු වෙලේ නියෝජිතයන් හැමෝම යේසුස්ව දාලා ගියා. පේතෘස් කිව්වා යේසුස්ව දන්නෙත් නැහැ කියලා. ඒත් යෝසෙප් වගේ යේසුත් එයාලාට සමාව දුන්නා.

කායින් ආබෙල්ට කරපු දෙයින් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

කායින් සහ ආබෙල් ගැන හිතන්න. කායින් එයාගේ සහෝදරයා වුණු ආබෙල්ට ආදරේ නැහැ කියලා දෙවි දැනගත්තා. ඒ නිසා දෙවි කායින්ට කිව්වා එයා හිතන විදිහ වෙනස් කරගන්න කියලා. කායින් ඇත්තටම දෙවිට ආදරේ කළා නම් එයා දෙවිට කීකරු වෙයි. ඒත් එයා දෙවිට ආදරේ කළේ නැහැ. දවසක් එයා ආබෙල්ට කිව්වා “අපි කෙතට යමු” කියලා. ආබෙල් ඒකට කැමති වුණා. ඒ දෙන්නා තනියම කෙතේ ඉද්දී කායින් ආබෙල්ගේ ඔළුවට හයියෙන් ගහලා එයාව මැරුවා.—උත්පත්ති 4:2-8.

ඒ සිද්ධියෙන් අපිට හුඟක් වැදගත් පාඩමක් ඉගෙනගන්න පුළුවන්. ඔයා දන්නවාද ඒ මොකක්ද කියලා?— බයිබලයේ ඒ ගැන මෙහෙම තියෙනවා. ‘මුල ඉඳලාම ඔයාලාට ඇහුණු පණිවිඩය තමයි එකිනෙකාට ප්‍රේම කරන්න කියන එක. තමන්ගේ සහෝදරයාව මරපු, දුෂ්ටයාගේ බලපෑමට අහු වුණු කායින් වගේ වෙන්න එපා.’ ඒ නිසා සහෝදර සහෝදරියන් එකිනෙකාට ප්‍රේම කරන්න ඕනේ. කායින් වගේ වෙන්න හොඳ නැහැ.—1 යොහන් 3:11, 12.

කායින් වගේ වෙන එක හොඳ නැත්තේ ඇයි?— බයිබලයේ කියන්නේ ‘කායින් දුෂ්ටයාගේ බලපෑමට අහු වුණා’ කියලයි. කායින් කටයුතු කළේ යක්ෂයා වගේ නිසා එයා හරියට යක්ෂයාගේ පුතෙක් වගෙයි.

සහෝදර සහෝදරියන්ට ආදරේ කරන එක කොයි තරම් වැදගත්ද කියලා දැන් ඔයාට තේරුණාද?— ඔයා එයාලාට ආදරේ කරන්නේ නැත්නම් ඔයා වැඩ කරන්නේ කාගේ දරුවෙක් වගේද?— යක්ෂයාගේ දරුවෙක් වගේ. ඒ වගේ වෙන්න ඔයා කැමති නැහැ නේද?— ඔයා කැමති දෙවිගේ දරුවෙක් වෙන්න කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?— ඔයාගේ සහෝදර සහෝදරියන්ට ආදරය කරන එකෙන් ඒ දේ පෙන්වන්න පුළුවන්.

ආදරයෙන් නැත්නම් ප්‍රේමයෙන් කටයුතු කරන කෙනෙක් මොන වගේද?— ඒ වගේ කෙනෙක් අනිත් අයගේ යහපත වෙනුවෙන් දේවල් කරනවා. අපි අනිත් අයට ආදරේ කරනවා නම් එයාලාගේ යහපත ගැන හිතන්නත් එයාලාට උදව් කරන්නත් පෙලඹෙනවා. අපි ආදරය කරන්න ඕන අපේ සහෝදර සහෝදරියන් කවුද?— යේසුස් කිව්වේ ක්‍රිස්තියානි සභාවේ අය කියලයි.

ඔයාගේ සහෝදරයාට ඔයා ආදරෙයි කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?

එයාලාට ආදරේ කරන එක කොච්චර වැදගත්ද?— බයිබලයේ කියන්නේ කෙනෙක් ‘තමා දකින සහෝදරයාට හරි සහෝදරියට හරි ආදරේ කරන්නේ නැත්නම් තමා නොදකින දෙවිට ආදරේ කරන්න බැහැ’ කියලයි. (1 යොහන් 4:20) ඒ නිසා ක්‍රිස්තියානීන් අතරේ ඉන්න හැමෝටම අපි ආදරේ කරන්න ඕනේ. යේසුස් කිව්වෙත් ‘ඔයාලා අතරේ ප්‍රේමය තියෙනවා නම් ඔයාලා මගේ ගෝලයන් බව හැමෝම දැනගනියි’ කියලයි. (යොහන් 13:35) ඔයා සහෝදර සහෝදරියන් හැමෝටම ආදරෙයිද?— අමතක කරන්න එපා, ඔයා එහෙම කරන්නේ නැත්නම් දෙවිට ආදරේ කරන්න ඔයාට බැහැ.

අපේ සහෝදර සහෝදරියන්ට අපි ආදරෙයි කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?— අපි එයාලාට ආදරෙයි නම් සමහර අය එක්ක කතා කරන්න කැමති නැහැ කියලා ඒ අයගෙන් ඈත් වෙලා ඉන්නේ නැහැ. හැමෝම අපේ යාළුවන් විදිහට අපි සලකනවා. හැම තිස්සෙම එයාලාගේ යහපත වෙනුවෙන් දේවල් කරන්නත් අපි ළඟ තියෙන දේවල් එයාලා එක්ක බෙදාගන්නත් අපි පෙලඹෙනවා. අපි ලොකු පවුලක සාමාජිකයන් නිසා එයාලා කරදරයක වැටෙන ඕනම වෙලාවක අපි එයාලාගේ උදව්වට යනවා.

අපි අපේ සහෝදර සහෝදරියන්ට ආදරෙයි නම් ඒකෙන් ඔප්පු වෙන්නේ මොකක්ද?— අපි යේසුස්ගේ ගෝලයන් කියලා ඒකෙන් ඔප්පු වෙනවා. අපි හැමෝටම ඕනෙ ඒ දේ නේද?—

සහෝදර සහෝදරියන්ට ආදරේ කරන එක ගැන සඳහන් වෙන මේ බයිබල් පද අපි දැන් කියවලා බලමු. ගලාති 6:10; 1 යොහන් 4:8, 21.