Skip to content

පටුනට යන්න

45වෙනි පරිච්ඡේදය

දෙවිගේ රාජ්‍යය අපිට ඕනෙ කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?

දෙවිගේ රාජ්‍යය අපිට ඕනෙ කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?

යේසුස් ගෝලයන්ට උගන්වපු යාච්ඤාව ඔයා දන්නවාද?— අපිට ඒක මතෙව් 6:9-13 පදවලින් බලන්න පුළුවන්. හුඟක් අය ඒ යාච්ඤාවට කියන්නේ ස්වාමීන්ගේ යාච්ඤාව කියලයි. ඒ යාච්ඤාවේ තියෙනවා “ඔබගේ රාජ්‍යය පැමිණේවා” කියලා. දෙවිගේ රාජ්‍යය කියන්නේ මොකක්ද කියලා ඔයා දන්නවාද?—

රාජ්‍යයකින් නැත්නම් ආණ්ඩුවකින් තමයි රටක් පාලනය කරන්නේ. සමහර රටවල ආණ්ඩුවේ පාලකයාව හඳුන්වන්නේ ජනාධිපති විදිහට. තවත් රටවල හඳුන්වන්නේ රජ විදිහට. දෙවිගේ ආණ්ඩුව පාලනය කරන්නේ රජ කෙනෙක් නිසා ඒ ආණ්ඩුව, රාජ්‍යයක් විදිහට හඳුන්වනවා.

දෙවිගේ රාජ්‍යයේ පාලකයා විදිහට යෙහෝවා දෙවි තේරුවේ කාවද?— යේසුස් ක්‍රිස්තුස්ව. මිනිසුන් තෝරන වෙන කිසිම පාලකයෙක්ට වඩා යේසුස් හොඳ ඇයි?— යේසුස් එයාගේ තාත්තා වන යෙහෝවා දෙවිට ඇත්තටම ආදරෙයි. ඒ නිසා එයා හැමතිස්සෙම කරන්නේ හරි දේ.

යේසුස් බෙත්ලෙහෙමේ ඉපදෙන්න සෑහෙන කාලෙකට කලින් බයිබලයේ තිබුණා එයා දෙවි තෝරාගන්නා පාලකයා වෙනවා කියලා. ඒ ගැන යෙසායා 9:6, 7 පදවල මෙහෙම කියනවා. ‘අපට ළදරුවෙක් ඉපදුණා. අපිට පුතෙක්ව දුන්නා. රාජ්‍ය බලය එයාට භාර දෙනවා. එයාව සමාදානයේ කුමාරයා විදිහට හඳුන්වනවා. එයාගේ රාජ්‍ය බලයට සීමාවක් නැහැ. සමාදානය සදහටම පවතිනවා.’

දෙවිගේ රාජ්‍යයේ පාලකයාව ‘කුමාරයෙක්’ විදිහට හඳුන්වලා තියෙන්නේ ඇයි?— කුමාරයෙක් කියන්නේ රජතුමාගේ පුතාටයි. යේසුස් තමයි ශ්‍රේෂ්ඨතම රජු වන යෙහෝවා දෙවිගේ පුතා. අවුරුදු 1,000කට මේ පොළොව පාලනය කරන දෙවිගේ රාජ්‍යයේ රජු විදිහටත් යෙහෝවා දෙවි යේසුස්ව පත් කරලා තියෙනවා. (එළිදරව් 20:6) යේසුස් බව්තීස්ම වුණාට පස්සේ මෙහෙම දේශනා කරන්න පටන්ගත්තා. ‘පසුතැවිලි වෙන්න. ස්වර්ග රාජ්‍යය ඔයාලා ළඟට ඇවිල්ලා තියෙනවා.’—මතෙව් 4:17.

ස්වර්ග රාජ්‍යය ඔයාලා ළඟට ඇවිල්ලා කියලා යේසුස් කිව්වේ ඇයි?— දෙවිගේ රාජ්‍යයේ රජ හැටියට දෙවි තෝරලා තියෙන යේසුස් එදා ඒ මිනිසුන් එක්ක හිටිය නිසයි එහෙම කිව්වේ. ‘දෙවිගේ රාජ්‍යය තියෙන්නේ ඔයාලා අතරෙයි’ කියලා යේසුස් කිව්වෙත් ඒ නිසයි. (ලූක් 17:21) යෙහෝවා දෙවි පත් කරලා තියෙන රජු ළඟින්ම ඉන්න ලැබුණා නම් ඔයා ඒකට කැමතිද?—

මොන වැදගත් වැඩේ කරන්නද යේසුස් පොළොවට ආවේ?— එයා ඒ ගැන මෙහෙම කිව්වා. ‘දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය වෙනත් නුවරවලත් දේශනා කරන්න ඕනේ. මාව එවලා තියෙන්නේ ඒකටයි.’ (ලූක් 4:43) ඒ සේවය සම්පූර්ණ කරන්න තමන්ට තනියම බැහැ කියලා යේසුස් දැනගෙන හිටියා. ඒ නිසා යේසුස් මොකද කළේ?—

යේසුස් මේ පොළොවට ආවේ මොන වැඩේ කරන්නද?

දේශනා සේවය කරන්න යේසුස් අනිත් අයව පුහුණු කළා. මුලින්ම යේසුස් පුහුණු කළේ නියෝජිතයන් 12දෙනාව. (මතෙව් 10:5, 7) ඊටපස්සේ තව හුඟදෙනෙක්වත් පුහුණු කළා. දවසක් ගෝලයන් 70දෙනෙක්ව දෙන්නා ගාණේ සේවයට පිටත් කළා. එයාලා මිනිසුන්ට ඉගැන්නුවේ මොනවාද?— යේසුස් කිව්වේ ‘දෙවිගේ රාජ්‍යය ඔයාලා ළඟට පැමිණ තියෙනවා’ කියලා දේශනා කරන්න කියලයි. (ලූක් 10:9) ඒ නිසා දෙවිගේ රාජ්‍යය ගැන දැනගන්න මිනිසුන්ට පුළුවන් වුණා.

අතීතයේදී ඊශ්‍රායෙල් දේශයේ අලුත් රජෙක් පත් වුණාම එයා බූරු නාම්බෙක් පිටේ නැඟලා නගරයට ආවා. අන්තිම වතාවට යෙරුසලමට යද්දී යේසුත් කළේ ඒ දේමයි. එයා එහෙම කළේ එයා දෙවිගේ ආණ්ඩුවේ පාලකයා වෙන්න යන නිසයි. යේසුස්ව රජ විදිහට පිළිගන්න මිනිසුන් කැමති වුණාද?—

යේසුස් එද්දී හුඟදෙනෙක් එයාලාගේ පිට වස්ත්‍ර මඟ දිගේ දැම්මා. තවත් අය ගස්වල අතු කපාගෙන ඒවා මඟ දිගේ දැම්මා. ඒකෙන් එයාලා පෙන්නුවේ යේසුස්ව රජ විදිහට පිළිගන්න එයාලා කැමතියි කියලයි. “යෙහෝවා දෙවිගේ නාමයෙන් එන රජාණන්ට ආශීර්වාද ලැබේවා” කියලා ඒ අය මහා හඬින් කිව්වා. හැබැයි ආගමික නායකයන් යේසුස්ට කිව්වා ‘එයාලාව නිහඬ කරන්න’ කියලා.—ලූක් 19:28-40.

මිනිසුන් මුලින් යේසුස්ව රජ හැටියට පිළිගත්තත් පස්සේ පිළිනොගත්තේ ඇයි?

ඒ සිද්ධියෙන් දවස් පහකට පස්සේ යේසුස්ව අත්අඩංගුවට අරන් ආණ්ඩුකාරයා වුණු පොන්තියුස් පිලාත් ළඟට අරන් ගියා. යේසුස් තමන්වම රජ කෙනෙක් විදිහට හඳුන්වනවා කියලත් එයා රෝම ආණ්ඩුවට විරුද්ධව වැඩ කරනවා කියලත් යේසුස්ට චෝදනා කරන අය කිව්වා. ඉතිං පිලාත් යේසුස්ගෙන් ඇහුවා ඒ චෝදනාව ඇත්තද කියලා. රෝම ආණ්ඩුවට විරුද්ධව වැඩ කරන්න තමන් උත්සාහ කරන්නේ නැහැ කියලා යේසුස් පිලාත්ට කිව්වා. “මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ” කියලත් යේසුස් එයාට කිව්වා.—යොහන් 18:36.

ඊටපස්සේ පිලාත් එළියට ගිහින් සෙනඟට කිව්වා යේසුස් අතේ කිසි වරදක් නැහැ කියලා. හැබැයි මිනිසුන් කැමති නැහැ යේසුස් එයාලාගේ රජ වෙනවාට. යේසුස්ව නිදහස් කරන්න සෙනඟ පොඩ්ඩක්වත් කැමති නැහැ. (යොහන් 18:37-40) පිලාත් ආයෙත් යේසුස් එක්ක කතා කළා. ඒකෙන් එයාට තවත් හොඳින් තේරුණා යේසුස් කිසිම වරදක් කරලා නැහැ කියලා. ඒ නිසා පිලාත් අන්තිම වතාවට යේසුස්ව සෙනඟ ඉස්සරහාට ගෙනත් ‘බලන්න, ඔයාලාගේ රජ’ කියලා කිව්වා. ඒත් සෙනඟ ‘මෙයාව මරන්න! මෙයාව මරන්න! කණුවක ඇණ ගහලා මෙයාව මරන්න’ කියලා කෑගැහුවා.

‘මම ඔයාලාගේ රජව කණුවක ඇණ ගහලා මරනවාට ඔයාලා කැමතිද’ කියලා පිලාත් ඇහුවා. එතකොට නායක පූජකයන් කිව්වා ‘අපිට සීසර් හැර වෙන කිසි රජෙක් නැහැ’ කියලා. මේ දුෂ්ට පූජකයන් යේසුස්ට විරුද්ධව වැඩ කරන්න සෙනඟව පොලඹවාගත්තා. ඒක හිතාගන්නවත් බැරි දෙයක් නේද?—යොහන් 19:1-16.

අදටත් හුඟක් මිනිසුන් කැමති නැහැ යේසුස්ව එයාලාගේ රජ හැටියට පිළිගන්න. එයාලා දෙවිව විශ්වාස කරනවා කිව්වාට දෙවිවත් යේසුස්වත් කියන දේවල් කරන්න එයාලා කැමති නැහැ. එයාලා කැමති එයාලාම පිහිටුවාගත්ත ආණ්ඩු මේ පොළොවේ තියෙනවාටයි.

දෙවිගේ රාජ්‍යය ගැනයි, ඒකෙන් කරන්න යන දේවල් ගැනයි දැනගත්තාම අපිට දෙවි ගැන දැනෙන්න ඕනෙ කොහොමද?— ආදරයක් දැනෙන්න ඕනෙ නේද?— දෙවිට ආදරෙයි කියලත් දෙවිගේ රාජ්‍යයේ පාලනය යටතේ ඉන්න කැමතියි කියලත් අපි පෙන්වන්නේ කොහොමද?—

යේසුස් බව්තීස්ම වුණේ ඇයි? දෙවි යේසුස්ව අනුමත කරනවා කියලා පෙන්නුවේ කොහොමද?

යේසුස්ව ආදර්ශයට ගන්නවා නම් අපිට පුළුවන් දෙවිට ආදරෙයි කියලා පෙන්වන්න. යේසුස් කොහොමද පෙන්නුවේ එයා ඇත්තටම දෙවිට ආදරෙයි කියලා?— යේසුස් කිව්වා ‘මගේ එකම ආසාව දෙවිට ප්‍රසන්න දේවල් කරන එකයි’ කියලා. (යොහන් 8:29) යේසුස් මේ පොළොවට ආවෙත් ‘දෙවිගේ කැමැත්ත කරලා’ දෙවි එයාට භාර දීපු ‘වැඩේ සම්පූර්ණ කරන්නයි.’ (හෙබ්‍රෙව් 10:7; යොහන් 4:34) දේවසේවය පටන්ගන්න කලින් යේසුස් කරපු දේ ගැන ටිකකට බලන්න.

යොර්දාන් ගඟේ බව්තීස්ම වෙන්න යේසුස් යොහන් බව්තීස්ත ළඟට ගියා. යොහන් යේසුස්ව වතුරේ ගිල්වලා ආයෙත් උඩට ගත්තා. ඔයා දන්නවාද යොහන් යේසුස්ව බව්තීස්ම කළේ ඇයි කියලා?—

අපිට දෙවිගේ රාජ්‍යය ගැන අනිත් අයට කියන්න පුළුවන් කොහේදීද?

යේසුස් තමයි යොහන්ට කිව්වේ ඒක කරන්න කියලා. ඒත් යේසුස් බව්තීස්ම වෙනවාට දෙවි කැමති වුණා කියලා අපි දන්නේ කොහොමද?— අපි ඒක දන්නේ යේසුස් වතුරෙන් උඩට ආපු ගමන්ම දෙවි ස්වර්ගයේ ඉඳන් යේසුස්ට මෙහෙම කිව්ව නිසයි. ‘මගේ ආදරණීය පුතා ඔයායි. මම ඔයාව අනුමත කළා.’ දෙවි ඒ වෙලාවේ තමන්ගේ බලය පරෙවියෙකුගේ ස්වරූපයෙන් යේසුස් වෙතට එව්වා. බව්තීස්ම වුණු එකෙන් යේසුස් පෙන්නුවේ ජීවිතය තියෙන කල් යෙහෝවා දෙවිට සේවය කරන්න එයා කැමතියි කියලයි.—මාක් 1:9-11.

ඔයා තාම පොඩියි. හැබැයි ලොකු වුණාම ඔයා මොනවාද කරන්නේ?— ඔයාත් යේසුස් වගේ බව්තීස්ම වෙනවාද?— ඔයාත් යේසුස් වගේ වෙන්න ඕනේ. මොකද බයිබලයේ කියන්නේ යේසුස්ගේ ‘පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරන්න’ යේසුස් ඔයාට ආදර්ශයක් තිබ්බා කියලයි. (1 පේතෘස් 2:21) බව්තීස්ම වෙන එකෙන් ඔයා පෙන්වන්නේ දෙවිගේ රාජ්‍යයේ පාලනයට යටත් වෙන්න ඔයා කැමතියි කියන එකයි. හැබැයි බව්තීස්ම වෙන එක විතරක් මදි.

යේසුස් උගන්වලා තියෙන හැම දේකටම අපි කීකරු වෙන්න ඕනේ. යේසුස් කිව්වා ‘මේ ලෝකයේ මිනිසුන්ට සමාන වෙන්න එපා’ කියලා. අපිත් මේ ලෝකයේ ඉන්න මිනිසුන් වගේ හැසිරෙනවා නම් අපි යේසුස්ට කීකරු වෙනවා කියලා කියන්න පුළුවන්ද? යේසුස්වත් නියෝජිතයන්වත් මේ ලෝකයේ මිනිසුන් වගේ හැසිරුණේ නැහැ. (යොහන් 17:14) ඒ වෙනුවට එයාලා කළේ මොනවාද?— දෙවිගේ රාජ්‍යය ගැන අනිත් අයට ඉගැන්නුවා. ඒක තමයි එයාලාට තිබුණු ලොකුම වැඩේ. අපිටත් පුළුවන්ද ඒ වැඩේ කරන්න?— ඔව්. දෙවිගේ රාජ්‍යයට මේ පොළොව පාලනය භාරගන්න කියලා අපි යාච්ඤා කරනවා නේද? ඒ දේ ඉටු වෙනවාට අපි ඇත්තටම කැමතියි නම් අපි දෙවිගේ රාජ්‍යය ගැන අනිත් අයටත් කියනවා.

දෙවිගේ රාජ්‍යය මේ පොළොවට එනවාට අපි කැමතියි කියලා පෙන්වන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න මේ බයිබල් පද කියවමු. මතෙව් 6:24-33; 24:14; 1 යොහන් 2:15-17; 5:3.