Skip to content

පටුනට යන්න

47වෙනි පරිච්ඡේදය

දෙවිගේ යුද්ධය ළඟදීම පටන්ගන්නවා කියලා අපි දන්නේ කොහොමද?

දෙවිගේ යුද්ධය ළඟදීම පටන්ගන්නවා කියලා අපි දන්නේ කොහොමද?

අපි කලින් පරිච්ඡේදයෙන් දැනගත්තා පොළොවේ ජීවත් වෙන අයව ආපහු ජලගැල්මකින් විනාශ කරන්නේ නැහැ කියන එකට දෙවි දීපු ලකුණ ගැන. ඒක මොකක්ද කියලා මතකද?— යේසුස් ස්වර්ගයේ පාලනය පටන් අරගෙන කියලත් අවසානය ළඟයි කියලත් දැනගන්න උදව්වක් හැටියට නියෝජිතයන් යේසුස්ගෙන් ලකුණක් ඉල්ලුවා.—මතෙව් 24:3.

යේසුස් ඉන්නේ ස්වර්ගයේ නිසා එයා පාලනය කරන්න පටන්ගත්තාම ඒක කාටවත් පේන්නේ නැහැ. ඒක තේරුම්ගන්න මිනිසුන්ට පැහැදිලි ලකුණක් ඕනේ. ඒ නිසා යේසුස් ගෝලයන්ට කිව්වා එයා පාලනය කරන්න පටන්ගත්තාම පොළොවේ සිද්ධ වෙන දේවල් ගැන. ඒ දේවල් සිද්ධ වෙන එකෙන් පැහැදිලි වෙන්නේ යේසුස් ස්වර්ගයේ පාලනය පටන් අරගෙන කියලයි.

හැබැයි ඒක තේරුම්ගන්න නම් ගෝලයන් සෝදිසියෙන් ඉන්න ඕනේ. ඒ ගැන යේසුස් මෙහෙම කිව්වා. ‘අත්තික්කා ගහ ගැනත් අනිත් ගස් ගැනත් කල්පනා කරන්න. ඒ ගස්වල දලු ලියලා තියෙනකොට ගිම්හානය ළඟයි කියලා ඔයාලා දන්නවා.’ ඒ වගේ තමයි යේසුස් කියපු දේවල් පොළොවේ වෙද්දී හර්–මගෙදොන් යුද්ධය ළඟයි කියලා අපි දන්නවා.—ලූක් 21:29, 30.

අත්තික්කා ගහ ගැන කියපු එකෙන් යේසුස් උගන්වපු පාඩම මොකක්ද?

මේ පිටුවෙයි ඊළඟ පිටුවෙයි පින්තූර වගයක් තියෙනවා. ඒවාවලින් පෙන්වන්නේ දෙවිගේ රාජ්‍යය ළඟයි කියන එක තේරුම්ගන්න යේසුස් දීපු ලකුණට අයිති අංග. කලින් පරිච්ඡේදයෙන් දැනගත්ත විදිහට ඒ හැම අංගයක්ම ඉටු වෙද්දී ඒකෙන් අදහස් වෙන්නේ දෙවිගේ රාජ්‍යයේ රජු ඒ කියන්නේ ක්‍රිස්තුස් පොළොවේ තියෙන ආණ්ඩු විනාශ කරලා දානවා කියන එකයි.

කලින් පිටු දෙකේ තියෙන පින්තූර දිහා හොඳට බලන්න. ඒ පින්තූරවල පෙන්නලා තියෙන දේවල් මතෙව් 24:6-14න් සහ ලූක් 21:9-11න් කියවන්න පුළුවන්. ඒ හැම පින්තූරයකම ඉලක්කමක් තියෙනවා ඔයා දැක්කාද? ඒ ඉලක්කම් දාපු ඡේදවල අදාළ පින්තූරයේ තියෙන දේවල් විස්තර කරනවා. දැන් අපි බලමු යේසුස් දීපු ලකුණට අයිති අංගවලින් අංග කීයක් අද ඉටු වෙනවාද කියලා.

(1) යේසුස් මෙහෙම කිව්වා. ‘යුද්ධ ගැනත් යුද්ධ පිළිබඳ ආරංචි ගැනත් අහන්න ලැබෙයි. ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් නැඟී සිටියි.’ යුද්ධ ගැන ඔයාට අහන්න ලැබිලා තියෙනවාද?— පළවෙනි ලෝක මහා යුද්ධය සිද්ධ වුණේ 1914 ඉඳලා 1918 අතර කාලයේයි. ඊටපස්සේ 1939 ඉඳලා 1945 අතර කාලයේ දෙවෙනි ලෝක මහා යුද්ධය සිද්ධ වුණා. ඒ වගේ ලෝක යුද්ධ ඊට කලින් වෙලා නැහැ. දැන් පොළොවේ හුඟක් රටවල්වල යුද්ධ තියෙනවා. ටීවී එකෙන්, පත්තරවලින් යුද්ධ ගැන ආරංචි අපිට හැම දවසකම වගේ ලැබෙනවා.

(2) ‘එක් තැනක් පාසා තවත් තැනක ආහාර හිඟකම්’ තියෙයි කියලත් යේසුස් කිව්වා. අද හුඟක් අයට කන්න ඇති තරම් කෑම නැහැ. හැම දවසකම දහස් ගණන් සෙනඟ කෑම නැති නිසා මැරෙනවා.

(3) යේසුස් මෙහෙමත් කිව්වා. ‘එක් තැනක් පාසා තවත් තැනක වසංගත ඇති වෙයි.’ වසංගතයක් කියන්නේ මොකක්ද කියලා දන්නවාද?— වසංගතයක් කියන්නේ මිනිසුන් හුඟදෙනෙක්ගේ ජීවිත නැති කරන දරුණු ලෙඩකට. ස්පාඤ්ඤ උණ කියන්නේ ඒ වගේ එකක්. ඒ ලෙඩේ නිසා එක අවුරුද්දකදී විතරක් මිලියන 20ක් විතර මැරුණා. මේ කාලයේ පැතිරෙන ඒඩ්ස් වසංගතය නිසා සමහරවිට ඊටත් වඩා අය මැරෙයි. පිළිකාව, හෘද රෝග සහ තවත් ලෙඩ නිසා හැම අවුරුද්දෙම දහස් ගණන් අය මැරෙනවා.

(4) ‘එක් තැනක් පාසා තවත් තැනක භූමිකම්පාද සිදු වෙයි’ කියලා යේසුස් කිව්වා. භූමිකම්පාවක් කියන්නේ මොකක්ද කියලා දන්නවාද?— භූමිකම්පාවක් වෙද්දී පොළොව දෙදරනවා. ගෙවල් කඩාගෙන වැටෙනවා. මිනිසුන් මැරෙනවා. 1914 ඉඳන් මේ වෙන කල් හැම අවුරුද්දෙම වගේ භූමිකම්පා වෙනවා. ඒවා ගැන ඔයා අහලා තියෙනවාද?—

(5) යේසුස් දීපු ලකුණට අයිති තවත් අංගයක් තමයි ‘අධර්මිෂ්ඨ ක්‍රියා වැඩි වෙන එක.’ අද හුඟක් හොරකම් සිද්ධ වෙන්නෙත් මිනිසුන් ගහමරාගන්නෙත් ඒ නිසයි. කවුරු හරි ගෙදරට ඇවිත් තියෙන දේවල් හොරකම් කරයි කියලා මිනිසුන් ඉන්නේ බයෙන්. මීට ඉස්සර කවදාවත් මෙච්චර අපරාධ සිද්ධ වෙලා නැහැ.

(6) ලකුණට අයිති හරිම වැදගත් අංගයක් ගැන යේසුස් මේ විදිහට කිව්වා. ‘රාජ්‍යය ගැන මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් විදිහට ජනාවාස වුණු මුළු පොළොව පුරාම දේශනා කරනවා. එතකොට අවසානය එනවා.’ (මතෙව් 24:14) ඒ “ශුභාරංචිය” ඔයා විශ්වාස කරනවා නම් අනිත් අයට ඒ ගැන කියනවා. එහෙම කරනවා නම් යේසුස් දීපු ලකුණට අයිති ඒ අංගය ඉටු කරන්න ඔයාටත් හවුල් වෙන්න පුළුවන්.

සමහරු කියයි යේසුස් දීපු ලකුණට අයිති දේවල් ඉස්සරත් වුණානේ කියලා. හැබැයි අද වගේ කවදාවත් ඒ හැම දෙයක්ම ලෝකේ පුරාම එකම කාලයකදී සිද්ධ වෙලා නැහැ. යේසුස් කියපු ලකුණ අද ඉටු වෙන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා ඔයාට තේරුණාද?— ඒකෙන් තේරෙන්නේ දෙවි දුෂ්ට අයව විනාශ කරලා මේ පොළොව පාරාදීසයක් කරන්න යනවා කියලයි.

ඒ ලකුණ දීපු වෙලාවේ යේසුස් අවුරුද්දේ එක කාලයක් ගැනත් කිව්වා. එයා කිව්වේ ‘ඔයාලාට පලා යන්න සිද්ධ වෙන දවස සීත කාලයකදී උදා වෙන්න එපා කියලා නොකඩවා යාච්ඤා කරන්න’ කියලයි. (මතෙව් 24:20) ඒකෙන් යේසුස් අදහස් කළේ මොකක්ද කියලා ඔයා දන්නවාද?—

අනතුරකින් ජීවිතය බේරගන්න සීත කාලයේදී කොහේට හරි දුවලා යන්න වුණොත් ඒක හරිම අමාරු වැඩක්. අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒකෙන් ජීවිතේට මොනවා වෙන්න පුළුවන්ද?— බේරුණත් බේරෙන්නේ අමාරුවෙන්. කවුරු හරි කෙනෙක් කලින්ම ගමන පටන්ගන්නේ නැතුව වෙන වෙන දේවල් කර කර ඉඳලා අන්තිම මොහොතේ හිම කුණාටුවට අහු වෙලා මැරුණොත් ඒක කොච්චර දුකක්ද?—

පලා යන්න සිද්ධ වෙන දවස සීත කාලයේදී උදා වෙන්න එපා කියලා කියපු එකෙන් යේසුස් අදහස් කළේ මොකක්ද?

සීත කාලේ ගැන කියපු එකෙන් යේසුස් අදහස් කරපු දේ ඔයාට තේරුණාද?— යේසුස් කියන්න හැදුවේ හර්–මගෙදොන් යුද්ධය ළඟයි කියලා දන්න නිසා දෙවිට සේවය කරලා අපි ඇත්තටම දෙවිට ආදරෙයි කියලා ඔප්පු කරන්න පරක්කු වෙන්න එපා කියලයි. පරක්කු වුණොත් දෙවිට සේවය කරන්න අපිට අවස්ථාවක් ලැබෙන එකක් නැහැ. එතකොට අපිත් හරියට අර මහා ජලගැල්ම තිබුණු කාලයේ නෝවා කියපු දේවල් ඇහිලාත් නැවට නැග්ගේ නැති අය වගේ වෙයි.

ඊළඟ පරිච්ඡේදයෙන් අපි බලමු හර්–මගෙදොන් යුද්ධයෙන් පස්සේ මොනවාද වෙන්නේ කියලා. දෙවිට ආදරේ කරන දෙවිට සේවය කරන අයට ලැබෙන ආශීර්වාද ගැනත් එතකොට අපිට දැනගන්න පුළුවන්.

හර්–මගෙදොන් යුද්ධය ළඟයි කියලා පෙන්නන මේ බයිබල් පද අපි දැන් කියවලා බලමු. 2 තිමෝති 3:1-5; 2 පේතෘස් 3:3, 4.