Skip to content

පටුනට යන්න

1වෙනි පරිච්ඡේදය

සැබෑ දෙවි මොන වගේ කෙනෙක්ද?

සැබෑ දෙවි මොන වගේ කෙනෙක්ද?
  • දෙවි ඔබ ගැන සැලකිලිමත් වෙනවාද?

  • සැබෑ දෙවිගේ නම කුමක්ද? ඔහුට තිබෙන්නේ මොන වගේ පෞද්ගලිකත්වයක්ද?

  • දෙවි සමඟ මිත්‍ර වන්න ඔබට පුළුවන්ද?

1, 2. සමහරුන් ප්‍රශ්න අසන්නේ ඇයි?

පොඩි ළමයි ප්‍රශ්න අසන ආකාරය ගැන ටිකක් සිතා බලන්න. ඔවුන් අලුත් යමක් දුටු විගසම ඇස් දෙක ලොකු කරගෙන දහසකුත් ප්‍රශ්න අසනවා. එවැනි ප්‍රශ්නවලට පිළිතුරු දීම හැමවිටම ලෙහෙසි දෙයක් නොවෙයි. ඔබ පුළුවන් විදිහට හොඳ පිළිතුරක් දුන්නත් ඔවුන් ඉන් සෑහීමට පත් වන්නේ නැහැ. ඔවුන් දිගින් දිගටම ප්‍රශ්න අසනවා.

2 ප්‍රශ්න අසන්නේ පොඩි අය විතරක්ම නොවෙයි. බොහෝ වැඩිහිටි අයත් ප්‍රශ්න අසනවා. ඔවුන් එසේ කරන්නේ නිසි මඟ පෙන්වීමක් ලබාගන්න, අනතුරුවලින් වළකින්න හා යම් දේවල් දැනගන්න තිබෙන කුතුහලය නිසයි. ඒ වුණත් කාලයක් ගත වෙද්දී විවිධ හේතූන් නිසා බොහෝදෙනෙක් ප්‍රශ්න ඇසීම අත්හැර දමනවා.

3. බොහෝදෙනෙක් ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට පසුබට වන්නේ ඇයි?

3 මේ පොතේ තුන්වෙනි හා හයවෙනි පිටුවල හෝ මේ පරිච්ඡේදයේ මුල තිබෙන ප්‍රශ්න ගැන සිතා බලන්න. ඒ ප්‍රශ්න තරම් වැදගත් ප්‍රශ්න තවත් නැති තරම්. නමුත් අන් අය ඉදිරියේ තමන් ලැජ්ජාවට පත් වෙයි කියා සිතන නිසා බොහෝදෙනෙක් එවැනි ප්‍රශ්නවලට පිළිතුරු සොයන්න කැමති නැහැ. සමහරුන් සිතන්නේ ඒ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම ආගමික නායකයන්ට අයිති වැඩක් කියායි. ඇත්තටම ඒ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගන්න පුළුවන්ද? ඒ කොහෙන්ද? ඉතා පැරණි පොතක් වන ශුද්ධ බයිබලයෙන් ඒවාට පිළිතුරු සොයාගත හැකියි. නමුත් සමහරුන් සිතන්නේ බයිබලයේ තිබෙන දේවල් තේරුම්ගැනීමට අපහසුයි කියායි.

4, 5. වැදගත් ප්‍රශ්න සමහරක් මොනවාද? ඒවාට පිළිතුරු සොයා බැලීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

4 වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු සොයා දැනගන්න ඔබ කැමතිද? උදාහරණයකට ඔබ මෙවැනි ප්‍රශ්න ගැන කල්පනා කර ඇති. ‘ජීවිතය කියන්නේ ඉපදිලා කෙටි කාලයක් ජීවත් වී මැරිලා යන එකද? දෙවි කෙනෙක් සිටිනවාද? දෙවි කෙනෙක් සිටී නම් ඔහු ඔබ ගැන සැලකිලිමත් වෙනවාද?’ නමුත් එවැනි ප්‍රශ්නවලට සෑහීමට පත් විය හැකි පිළිතුරු සොයාගැනීම ලෙහෙසි දෙයක් නොවෙයි. දිගටම ඒ සඳහා උත්සාහයක් දරන්න අවශ්‍යයි. සුප්‍රසිද්ධ ගුරුවරයෙකු වූ යේසුස් ක්‍රිස්තුස්, “නොකඩවාම ඉල්ලන්න. එවිට ඔබට දෙනු ලැබෙයි. නොකඩවාම සොයන්න. එවිට ඔබට සම්බ වෙයි. නොකඩවාම තට්ටු කරන්න. එවිට ඔබට විවෘත කර දෙනු ලැබෙයි” කියා පැවසුවේ ඒ නිසයි.—මතෙව් 7:7.

5 ඔබ දිගටම එවැනි උත්සාහයක් දරනවා නම් ශුද්ධ බයිබලයේ පවසන්නේ ඔබට බොහෝ ප්‍රයෝජන ලබාගත හැකි බවයි. (හිතෝපදේශ 2:1-5) නමුත් සමහරුන් ඔබව අධෛර්යයට පත් කරමින් ඒ ප්‍රශ්නවලට පිළිතුරු නැති බව පැවසිය හැකියි. ඇත්තටම බයිබලයේ ඒවාට පිළිතුරු තිබෙනවා. එහි තිබෙන දේවල් තේරුම්ගැනීම අපහසු දෙයක් නොවෙයි. ඒ ප්‍රශ්නවලට බයිබලයෙන් පිළිතුරු සොයා බැලීමෙන් අරමුණක් ඇතුව සතුටින් ජීවත් වන්න ඔබට පුළුවන්. බොහෝදෙනෙක් අසන ප්‍රශ්න කිහිපයක් ගැන දැන් අපි සලකා බලමු.

දෙවිට මිනිසුන්ගේ දුක දැනෙන්නේ නැද්ද?

6. දෙවිට මිනිසුන්ගේ දුක දැනෙන්නේ නැහැ කියා බොහෝදෙනෙක් සිතන්නේ ඇයි?

6 බොහෝදෙනෙකු සිතන්නේ දෙවිට මිනිසුන්ගේ දුක දැනෙන්නේ නැහැ කියායි. මන්ද ලොව පුරාම යුද්ධ. මිනිසුන් දුක් ගැහැටවලින් මිරිකිලා. ඔවුන් අතර වෛරය පැතිරිලා. අපි සියලුදෙනාටමත් ප්‍රශ්න තිබෙනවා. ලෙඩ දුක්, සිත් වේදනා හා වියෝ දුක ඉන් සමහරක්. ඒ නිසා බොහෝදෙනෙක් මෙසේ අසනවා. ‘දෙවි කෙනෙක් සිටිනවා නම් ඔහු මේ වගේ දේවල් සිදු වීමට ඉඩහරින්නේ ඇයි?’ ඇත්තටම දෙවිට මිනිසුන්ගේ දුක දැනුණා නම් මේ ලෝකයේ තත්වය මීට වඩා හුඟාක් වෙනස් වෙන්න තිබුණා කියා ඔවුන් පවසනවා.

7. (අ) ආගමික නායකයන් උගන්වන දේවල් නිසා බොහෝදෙනෙකු සිතන්නේ කුමක්ද? (ආ) දෙවි ගැන බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද?

7 දෙවිට මිනිසුන්ගේ දුක දැනෙන්නේ නැහැ කියා මිනිසුන් සිතීමට පෙලඹෙන තවත් හේතුවක් වන්නේ ආගමික නායකයන් උගන්වන දේවලුයි. මිනිසුන් හිටි හැටියේ විපත්තිවලට මුහුණ දෙන අවස්ථාවලදී ඔවුන් කියන්නේ එය දේවකැමැත්ත හෝ දේවශාපයක් කියායි. එසේ කීමෙන් විපත්ති ගෙනෙන්නේ දෙවි බව ඔවුන් අඟවනවා. නමුත් ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද? හබක්කුක් 1:13හි මෙසේ පවසනවා. “ඔබ මොන තරම් ශුද්ධ දෙවි කෙනෙක්ද කිවහොත් නපුර ගණන් නොගෙන සිටීමට ඔබට නොහැක. දුෂ්ටකම් නොසලකාහරින්න ඔබට නුපුළුවන.” දෙවිට නපුර ගණන් නොගෙන සිටීමටවත් දුෂ්ටකම් නොසලකාහැරීමටවත් බැරි නම් දෙවිට පුළුවන්ද මිනිසුන්ට දුෂ්ටකම් කරන්න? කාරණය පැහැදිලියි. මිනිසුන් අද්දකින දුෂ්ටකම්වලට හේතුව දෙවි නොවෙයි. (යෝබ් 34:10-12 කියවන්න.) කොහොමවුණත් දෙවි දුෂ්ට දේවල් සිදු වීමට ඉඩහැර තිබෙනවා. එසේ ඉඩහැර තිබූ පමණින් ඒවාට වග කිව යුත්තේ දෙවි නොවෙයි යන කාරණය තවත් පැහැදිලි කරගැනීමට අපි උදාහරණයක් සලකා බලමු.

8, 9. (අ) මුරණ්ඩු පුතෙක් කරන දේට පියා වග නොකිව යුත්තේ ඇයි? (ආ) මිනිසුන් අද්දකින ප්‍රශ්නවලට දෙවිට දොස් කීම සාධාරණ නොවන්නේ ඇයි?

8 ප්‍රේමණීය පියෙක් ගැන සිතන්න. ඔහු තම පුතාට කුඩා කාලයේ සිට නිසි මඟ පෙන්වීම් දෙමින් ඔහුව යහමඟ යැවීමට උත්සාහ කරනවා. නමුත් මේ පුතා වැඩිහිටියෙකු වූ විට මුරණ්ඩු වී නිවස අත්හැර යෑමට තීරණය කරනවා. පුතා ගත් ඒ තීරණයට පියා හරස් වන්නේ නැහැ. නරක ජීවිතයක් ගත කරන මේ පුතාට බොහෝ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වෙනවා. ඔහු මුහුණ දෙන ප්‍රශ්නවලට වග කිව යුත්තේ පියාද? නැහැ. (ලූක් 15:11-13) ඒ හා සමානව මිනිසුන් අද්දකින ප්‍රශ්න ගැටලුවලට වග කිව යුත්තේ දෙවි නොවෙයි. ඒවාට දෙවිට දොස් කීම සාධාරණ නැහැ. මන්ද දෙවිගෙන් ඈත් වී ස්වාධීනව ජීවත් වීමට තීරණය කළේ මිනිසුන්මයි. ඒ තීරණයට දෙවි හරස් වුණේ නැහැ. ඒ නිසා දුෂ්ටකම්වලට වග කිව යුත්තේ මිනිසුන් මිස දෙවි නොවෙයි.

9 දුෂ්ටකම් සිදු වීමට දෙවි ඉඩහැර තිබීමට හොඳ හේතු තිබිය යුතුයි. නමුත් ඔහු සියලු බලැති දෙවි වන නිසා එම හේතු මිනිසුන්ට පැහැදිලි කර දීමට බැඳී නැහැ. ඒ වුණත් මිනිසුන්ට තිබෙන ප්‍රේමය නිසා ඔහු එම හේතු පැහැදිලි කර තිබෙනවා. ඒ හේතු මොනවාද කියා 11වෙනි පරිච්ඡේදයෙන් ඔබට ඉගෙනගත හැකියි. ඊට අමතරව මිනිසුන් මුහුණ දෙන ප්‍රශ්න ගැටලුවලට ඉදිරියේදී ස්ථිර විසඳුමක් ගෙනෙන බවට දෙවි පොරොන්දු වී තිබෙනවා. ඒ නිසා දෙවිව කිසි ලෙසකින්වත් සැක නොකරන්න.—යෙසායා 33:2.

10. දෙවි දුෂ්ටකම්වලට නිමාවක් ගෙනෙයි කියා විශ්වාස කළ හැක්කේ ඇයි?

10 දුෂ්ටකම්වලට හේතුව දෙවි නොවන බව පැවසීමට තවත් හේතුවක් තිබෙනවා. ඒ දෙවි ශුද්ධ කෙනෙකු වීමයි. (යෙසායා 6:3) එයින් අදහස් කරන්නේ දෙවි තුළ නපුරු ගතිගුණ කිසිවක් නැති බවයි. මිනිසුන් ගැන නම් අපට එසේ පැවසිය නොහැකියි. මන්ද සමහර අවස්ථාවලදී මිනිස්සු වංක ලෙස කටයුතු කරනවා. දූෂිත දේවල් කරනවා. දෙවි ශුද්ධ කෙනෙක් නිසා සිදු වන දුෂ්ටකම් ගැන ඔහු කොහෙත්ම සතුටු වන්නේ නැහැ. මිනිසුන් කරන දුෂ්ට දේවල ප්‍රතිඵල වෙනස් කරන්න සමහර අවංක පාලකයන් උත්සාහ කළත් එසේ කිරීමට ඔවුන්ට නොහැකියි. නමුත් දෙවිට කළ නොහැකි දෙයක් නැහැ. දුෂ්ටකම් නිසා මිනිසුන් අද්දකින සියලුම හානිකර ප්‍රතිඵල ඉවත් කර දමන්න දෙවිට පුළුවන්. ඔහු ඉදිරියේදී සෑම දුෂ්ට දෙයක්ම සදහටම නැති කර දමන බව බයිබලයේ සඳහන් වෙනවා.—ගීතාවලිය 37:9-11 කියවන්න.

දෙවි අයුක්තිය ගණන් නොගෙන සිටින කෙනෙක්ද?

11. (අ) අයුක්තිසහගත දේවල් ගැන දෙවිට හැඟෙන්නේ කෙසේද? (ආ) ඔබ අද්දකින දේවල් ගැන දෙවිට හැඟෙන්නේ කෙසේද?

11 බයිබලයේ සඳහන් වන්නේ දෙවි, ‘යුක්තියට ප්‍රිය කරන’ කෙනෙක් බවයි. (ගීතාවලිය 37:28) ඒ නිසා ඔහු අයුක්තිය දැඩි ලෙස හෙළාදකිනවා. උදාහරණයකට ඈත අතීතයේ මේ ලෝකය නපුරුකම්වලින් පිරී තිබූ අවස්ථාවකදී දෙවි ඒ ගැන, “කනගාටු” වූ බව බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 6:5, 6) දෙවි වෙනස් වන දෙවි කෙනෙක් නොවෙයි. (මලාකි 3:6) ඔහු එදා වගේම අදත් ලොව පුරා මිනිසුන් අද්දකින අයුක්තිසහගත දේවල් ගැන බොහෝ සෙයින් දුක් වෙනවා. එමෙන්ම බයිබලයේ, ‘දෙවි ඔබ ගැන සැලකිලිමත් වෙනවා’ කියා සඳහන් වීමෙන් පැහැදිලිව පෙනෙන්නේ දෙවි අප එක් එක් කෙනා ගැනත් සැලකිලිමත් වන බවයි.—1 පේතෘස් 5:7 කියවන්න.

බයිබලයේ අපට පවසන්නේ මුළු විශ්වයේම නිර්මාතෘ යෙහෝවා දෙවි බවයි

12, 13. (අ) අප තුළ යහපත් ගතිලක්ෂණ තිබෙන්නේ ඇයි? අසාධාරණයක් සිදු වන විට අප ක්‍රියා කරන්නේ කෙසේද? (ආ) දෙවි සාධාරණය ඉටු කරයි කියා අපට පැවසිය හැක්කේ ඇයි?

12 දෙවි අයුක්තිය ගණන් නොගෙන සිටින කෙනෙක් නොවෙයි කියා පැවසීමට තවත් හේතුවක් තිබෙනවා. බයිබලයේ සඳහන් වන්නේ මිනිසුන්ව සාදා තිබෙන්නේ දෙවි හා සමාන ගතිලක්ෂණ ඇතුව බවයි. (උත්පත්ති 1:26) මේ ගැන ටිකක් සිතා බලන්න. අහිංසක මිනිසෙකු යම් අසාධාරණයකට මුහුණ දෙනවා දකින විට ඕනෑම කෙනෙකුගේ සිත උණු වී යනවා. අපට එසේ වන්නේ දෙවිට සමාන ගතිලක්ෂණ ඇතුව අපව සාදා ඇති නිසයි. මිනිසුන් හැටියට අපට එසේ හැඟෙනවා නම් දෙවිට ඊටත් වඩා කොපමණ වැඩියෙන් ඒ ගැන හැඟෙනවා ඇද්ද!

13 එමෙන්ම මිනිසුන් යම් අසාධාරණයකට මුහුණ දෙන විට ඊට සාධාරණයක් ඉටු කිරීමට ඔබට හැකියාවක් තිබෙනවා නම් ඔබ එසේ නොකර සිටිනවාද? කොහෙත්ම නැහැ. මිනිසුන් හැටියට අප එසේ කිරීමට පෙලඹෙන්නේ අප තුළ තිබෙන ප්‍රේමය නිසයි. බයිබලයේ පවසන්නේ, “ප්‍රේමයේ උල්පත දෙවි” කියායි. (1 යොහන් 4:8, පාදසටහන) එසේනම් අප අන් අයට ප්‍රේමය පෙන්වන්න පෙලඹෙන්නේ දෙවිගේ ඒ ගතිලක්ෂණය අප තුළත් තිබෙන නිසයි. මිනිසුන් හැටියට සාධාරණය ඉටු කිරීමට අප පෙලඹෙනවා නම් දෙවි ඊට වඩා කොපමණ වැඩියෙන් එසේ කිරීමට පෙලඹෙයිද! ඒ නිසා මේ පොතේ හතරවෙනි සහ පස්වෙනි පිටුවල සඳහන් දෙවිගේ පොරොන්දු ඉටු වන බව නිසැකයි. ඒ කාරණය තවත් තහවුරු කරගැනීමට ඔබ දෙවි ගැන වඩාත් හොඳින් දැනගත යුතුයි.

දෙවි කැමතියි ඔබ ඔහු ගැන දැනගන්නවාට

ඔබ කැමති නම් කෙනෙකු ඔබව දැනගන්නවාට ඔබේ නම ඔබ ඔහුට කියන්නේ නැද්ද? දෙවිත් ඔහුගේ නම බයිබලයෙන් අපට දන්වා තිබෙන්නේ ඒ නිසයි

14. දෙවිගේ නම කුමක්ද? අපි එය පාවිච්චි කළ යුත්තේ ඇයි?

14 යම් කෙනෙක් ඔබව දැන හඳුනා ගන්නවාට ඔබ කැමති නම් ඔබ මුලින්ම කරන්නේ කුමක්ද? ඔබ ඔහුට ඔබේ නම පවසනවා. ඒ වගේ දෙවිත් තම නාමය කුමක්ද කියා බයිබලයේ එළිදරව් කර තිබෙනවා. එයින් පැහැදිලි වන්නේ අප ඔහුව දැන හඳුනා ගන්නවාට ඔහු කැමති බවයි. ගීතාවලිය 83:18හි දෙවිගේ නාමය ගැන අපට පවසන්නේ, “යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවටම මහෝත්තම දෙවි” බවයි. බයිබලය මුලින්ම ලියද්දී දෙවිගේ ඒ නාමය හත්දහස් වාරයක් පමණ සඳහන් කළා. නමුත් ඇතැම් බයිබල්වල දැන් ඒ නම සඳහන් වී නැහැ. * බොහෝ ආගම්වල දෙවිගේ නාමය, “දෙවියන්වහන්සේ” හෝ “ස්වාමීන්වහන්සේ” කියා උගන්වා තිබෙනවා. ඒවා, “රජතුමා” “ජනාධිපති” වැනි පදවි නම් මිස සැබෑ නම් නොවෙයි. දෙවිට එවැනි පදවි නම් බොහොමයක් තිබෙන බව බයිබලයේ සඳහන් වෙනවා. නමුත් යෙහෝවා දෙවි තම නාමය එළිදරව් කිරීමෙන් පැහැදිලි වන්නේ ඔබ ඔහුගේ නම දැනගෙන, එය පාවිච්චි කරනවාට ඔහු කැමති බවයි.

15. යෙහෝවා යන නමේ අර්ථය කුමක්ද?

15 යෙහෝවා යන නම දෙවිට ලැබුණේ වෙන කිසිවෙකුගෙන් නොවෙයි. එය මුලින්ම භාවිත කළේ දෙවිමයි. එම නමට ගැඹුරු අර්ථයක් තිබෙනවා. එය නම් දෙවි අරමුණු කරන ඕනෑම දෙයක්, ඔහු දෙන ඕනෑම පොරොන්දුවක් ඉටු කරන්න ඔහුට හැකි බවයි. * ඒ නිසා යෙහෝවා යන නාමය ගැළපෙන්නේ ඔහුට පමණයි. ඇත්තෙන්ම යෙහෝවා දෙවි අද්විතීය කෙනෙක්. ඊට හේතු කිහිපයක් දැන් අපි සලකා බලමු.

16, 17. (අ) දෙවිව, “සියලු බලැති තැනැත්තා,” (ආ) ‘සදාකාල රජ්ජුරුවන්,’ (ඇ) නිර්මාතෘ ලෙස හැඳින්වීමෙන් පැහැදිලි වන්නේ කුමක්ද?

16 ගීතාවලිය 83:18හි පවසන්නේ යෙහෝවා දෙවි, “පමණක් . . . මහෝත්තම දෙවි” බවයි. එමෙන්ම, “සියලු බලැති තැනැත්තා” ලෙස හැඳින්විය හැකි එකම තැනැත්තාත් යෙහෝවා දෙවි පමණයි. ඒ ගැන එළිදරව් 15:3හි මෙසේ සඳහන් වෙනවා. “සියලු බලැති තැනැත්තා වන යෙහෝවා දෙවියනි, ඔබේ ක්‍රියා කොතරම් ශ්‍රේෂ්ඨද! කොතරම් විස්මයජනකද! සදාකාල රජ්ජුරුවනි, ඔබ කරන සෑම දෙයක්ම ධර්මිෂ්ඨය, විශ්වාසවන්තය.” දෙවිව, “සියලු බලැති තැනැත්තා” ලෙස හැඳින්වීමෙන් පැහැදිලි වන්නේ ඔහුට වඩා බලවත් කෙනෙක් තවත් නැති බවයි. එමෙන්ම දෙවිව, ‘සදාකාල රජ්ජුරුවන්’ ලෙස හැඳින්වීමෙන් ඔහුට පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැති බව පැහැදිලි වෙනවා. ඒ කාරණය ගීතාවලිය 90:2හිද කාවද්දා තිබෙනවා. යෙහෝවා දෙවි ගැන බයිබලයේ සඳහන් එම තොරතුරු දැනගැනීමෙන් අප තුළ ඔහු කෙරෙහි මහත් ගෞරවයක් ඇති වන බව නිසැකයි.

17 එළිදරව් 4:11හි දෙවි ගැන සඳහන් වන්නේ මෙයයි. “අපගේ බලසම්පන්න දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්‍රශංසාවත් ගෞරවයත් ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය. ඒවා සෑදුවෙත් ඒවා දිගටම පවතින්නෙත් ඔබේ කැමැත්ත නිසාය.” ඉන් පැහැදිලි වන්නේ සෑම දෙයකම නිර්මාතෘ ලෙස හැඳින්විය හැක්කේ යෙහෝවා දෙවිව පමණක් බවයි. ස්වර්ගයේ සිටින දේවදූතයන්, ඉර, සඳ, තාරකා, ගස්වැල්, ඇළදොළ, ගංගා, මුහුද හා සියලු ජීවීන් යනාදි සෑම දෙයක්ම සෑදුවේ යෙහෝවා දෙවියි. ඒවා දිගටම පවතින්නෙත් ඔහු නිසයි.

යෙහෝවා දෙවි සමඟ මිත්‍ර වන්න ඔබට පුළුවන්ද?

18. තමන්ට දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට බැරි බව සමහර අයට හැඟෙන්නේ ඇයි? නමුත් බයිබලයේ පවසන්නේ කුමක්ද?

18 යෙහෝවා දෙවි කොතරම් අද්විතීය කෙනෙක්ද කියා දැනගනිද්දී සමහර අයට යම් බියක් දැනෙන්න පුළුවන්. දෙවි ඉතාමත් උසස් කෙනෙක් නිසා කවදාවත් ඔහු සමඟ මිත්‍ර වන්න බැහැ කියා ඔවුන්ට හැඟෙනවා. එමෙන්ම එතරම් උසස් දෙවි කෙනෙක් ඉදිරියේ තමන් වටින්නේ නැහැ කියාත් ඔවුන්ට හැඟෙනවා. නමුත් බයිබලයේ සඳහන් වන්නේ යෙහෝවා දෙවි, “අපෙන් දුරස්ව සිටින කෙනෙක් නොවන” බවයි. (ක්‍රියා 17:27) ඇත්තෙන්ම එහි දිරිගන්වන්නේ, “දෙවිට ළං වන්න” කියායි. ඔබ එසේ කරන විට, ‘ඔහුත් ඔබට ළං වන’ බව එහි තවදුරටත් පවසා තිබෙනවා.—යාකොබ් 4:8.

19. (අ) දෙවිට ළං වීම සඳහා අප මුලින්ම කළ යුත්තේ කුමක්ද? එයින් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? (ආ) දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට ඔබ තුළ පෙලඹීමක් ඇති කරන්නේ කුමක්ද?

19 දෙවිට ළං වන්න ඔබට පුළුවන් කෙසේද? ඒ සඳහා ඔබ කළ යුතු මුල්ම දෙය වන්නේ දිගටම දෙවි ගැන ඉගෙනගැනීමයි. ඒ ගැන යේසුස් මෙසේ පැවසුවා. “සදාකාල ජීවනය ලබාගැනීමට ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගැනීමයි.” (යොහන් 17:3) බයිබලයේ පෙන්වා දෙන ආකාරයට යෙහෝවා දෙවි ගැනත් යේසුස් ගැනත් ඉගෙනගැනීමෙන් අපට “සදාකාල ජීවනය” ලබාගන්න පුළුවන්. යෙහෝවා දෙවි ගැන අපට බයිබලයෙන් ඉගෙනගත හැක්කේ කුමක්ද? ඔහු යහපත් ගතිලක්ෂණවලින් පිරී දෙවි කෙනෙක් බවයි. කලින් සඳහන් කළ ආකාරයට, “ප්‍රේමයේ උල්පත දෙවිය.” (1 යොහන් 4:8 පාදසටහන, 16) එමෙන්ම යෙහෝවා දෙවි, ‘දයාන්විතය. කරුණාවන්තය. කෝප වීමට ඉක්මන් නොවන, ඉමහත් ප්‍රේමයක් පෙන්වමින්, සැමවිටම විශ්වාසවන්තව ක්‍රියා කරන’ කෙනෙක් කියාත් බයිබලයේ සඳහන් වෙනවා. (නික්මයාම 34:6) ඔහු, “සමාව දීමට කැමති, යහපත් දෙවි කෙනෙක්ය.” (ගීතාවලිය 86:5) ඔහු ඉවසිලිවන්තයි. (2 පේතෘස් 3:9) දෙවි කිසිදාක ඔහුගේ සෙනඟව අත්හරින්නේ නැහැ. (ගීතාවලිය 94:14) ඔබ දිගටම බයිබලයෙන් යෙහෝවා දෙවි ගැන තව තවත් දේවල් ඉගෙනගනිද්දී ඔහු සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට ඔබ තුළ මහත් පෙලඹීමක් ඇති වෙනවා නිසැකයි.

20-22. (අ) දෙවිව නොපෙනුණත් ඔහුට ළං විය හැක්කේ කෙසේද? උදාහරණවලින් පැහැදිලි කරන්න. (ආ) සමහරුන් කුමක් කිරීමට උත්සාහ කරයිද? ඒ වුණත් ඔබ කළ යුත්තේ කුමක්ද?

20 නමුත් නොපෙනෙන දෙවි කෙනෙකු සමඟ මිත්‍රත්වයක් ඇති කරගන්නේ කෙසේද කියා ඔබට සිතෙනවා ඇති. (යොහන් 1:18; 4:24; 1 තිමෝති 1:17) බයිබලයෙන් ඔබට දෙවි ගැන බොහෝ තොරතුරු ඉගෙනගත හැකියි. යෙහෝවා දෙවිව නොපෙනුණත් ඒ තොරතුරුවලින්, ‘ඔහුගේ යහපත දකින්න’ ඔබට හැකි වෙයි. (ගීතාවලිය 27:4; රෝම 1:20) එසේ ඔබ දෙවි ගැන වැඩි වැඩියෙන් ඉගෙනගනිද්දී දෙවි ඔබට සැබෑ පුද්ගලයෙකු වන අතර ඔහු කෙරෙහි ඔබ තුළ ප්‍රේමයක්ද ඇති වෙයි. එය ඔහු සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට ඔබව පොලඹවයි.

පියෙකු තම දරුවාට ප්‍රේම කරනවා හා සමානව අපගේ පියා වන දෙවිත් අපට බොහෝ සෙයින් ප්‍රේම කරනවා

21 උදාහරණයකට බයිබලයේ දෙවිව අපගේ පියා හැටියට හඳුන්වා තිබීමෙන් දෙවිගේ යහපත එක් ආකාරයකින් අපට දැකගත හැකියි. (මතෙව් 6:9) සාමාන්‍යයෙන් පියෙක් කියන්නේ ඉතා ප්‍රේමණීය කෙනෙක්. ඔහුගේ දරුවන් දුක් විඳිනවා දකින්න ඔහු කැමති නැහැ. එලෙසම අපට ජීවිතය ලබා දුන් පියාණන් වන යෙහෝවා දෙවිත් ඉතා ප්‍රේමණීය කෙනෙක්. ඔහුගේ දරුවන් වන අප දුක් විඳිනවා දකින්න ඔහු කොහෙත්ම කැමති නැහැ. (ගීතාවලිය 36:9) ඊට අමතරව යෙහෝවා දෙවි මුළු විශ්වයේ නිර්මාතෘ වුණත් මිනිසුන්ට ඔහුගේ මිතුරන් වීමට හැකි බවත් බයිබලයේ සඳහන් වෙනවා. (යාකොබ් 2:23) එයිනුත් දෙවිගේ යහපත දකින්න ඔබට හැකි වෙනවා. ඇත්තෙන්ම ඔබ ඇති කරගැනීමට උත්සාහ කරන්නේ මොන තරම් වටිනා මිත්‍රත්වයක්ද!

22 නමුත් ඔබ දෙවි ගැන බයිබලයෙන් දිගටම ඉගෙනගනිද්දී සමහර අය එය නතර කිරීමට උත්සාහ කරන්න ඉඩ තිබෙනවා. ඔවුන් එසේ කරන්නේ හොඳ චේතනාවෙන් විය හැකියි. ඇතැම්විට ඔවුන් එසේ කිරීමට පෙලඹෙන්නේ ඔබ ඔබේ ආගම වෙනස් කරයි කියා තිබෙන බිය නිසයි. එසේ නැතහොත් ඔබේ වටිනා කාලය නාස්ති වෙයි කියා ඔවුන් සිතන නිසයි. ඒ වුණත් ඔබ යෙහෝවා දෙවි සමඟ ඇති කරගැනීමට උත්සාහ කරන මිත්‍රත්වය බිඳ දැමීමට කාටවත් ඉඩ නොදෙන්න. මන්ද ඔබට ඇති කරගත හැකි හොඳම මිත්‍රත්වය එයයි.

23, 24. (අ) ඔබට යමක් නොතේරෙන විට පසුබට නොවී ප්‍රශ්න ඇසිය යුත්තේ ඇයි? (ආ) ඊළඟ පරිච්ඡේදයේදී සලකා බලන්නේ කුමක් ගැනද?

23 බයිබලයේ තිබෙන සමහරක් දේවල් තේරුම්ගැනීමට මුලදී ඔබට අපහසු විය හැකියි. එවැනි අවස්ථාවලදී ඔබට උගන්වන කෙනාගෙන් උපකාර ඉල්ලන්න පසුබට වන්න එපා. මන්ද කුඩා දරුවන් වගේ යටහත්පහත් වීම හොඳ දෙයක් කියා යේසුස් පැවසුවා. (මතෙව් 18:2-4) කුඩා දරුවන් වගේ ඔබත් ප්‍රශ්න අසා ඒවාට පිළිතුරු සොයාගන්නවා දැකීමට දෙවි කැමතියි. දෙවි ගැන ඉගෙනගැනීමට මහත් උනන්දුවක් දැක්වූ සමහර අයව බයිබලයේ පැසසුමට ලක් කර තිබෙන්නේ ඒ නිසයි. තමන් ඉගෙනගනිමින් සිටි දේවල් සත්‍යයද කියා දැනගැනීමට ඔවුන් ශුද්ධ ලියවිල්ල හොඳින් පරීක්ෂා කර බැලුවා.—ක්‍රියා 17:11 කියවන්න.

24 ඔබට යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න පුළුවන් හොඳම ක්‍රමය වන්නේ බයිබලය හොඳින් අධ්‍යයනය කිරීමයි. බයිබලය අනික් සෑම පොතකට වඩා වෙනස් පොතක්. එය වෙනස් වන්නේ මොන ආකාරවලින්ද? ඒ ගැන ඊළඟ පරිච්ඡේදයේදී සලකා බලමු.

^ 14 ඡේ. එයට හේතුව දැනගන්න උපග්‍රන්ථයේ “දෙවිගේ නාමය” කියන ලිපිය බලන්න.

^ 15 ඡේ. වැඩි විස්තර දැනගන්න උපග්‍රන්ථයේ “දෙවිගේ නාමය” කියන ලිපිය බලන්න.