Skip to content

පටුනට යන්න

3වෙනි පරිච්ඡේදය

මිනිස් වර්ගයා සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?

මිනිස් වර්ගයා සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?
  • දෙවි පොළොව නිර්මාණය කළේ ඇයි?

  • දෙවිට විරුද්ධව එල්ල කර තිබෙන චෝදනාව කුමක්ද?

  • අනාගතයේදී භුක්ති විඳින ජීවිතය මොන වගේ එකක් වෙයිද?

1. දෙවිගේ අරමුණ වුණේ කුමක්ද?

යෙහෝවා දෙවි පොළොව නිර්මාණය කළ කාලයේදී, ‘ඔහු ඒදන්හි උයනක් සාදා ඇසට ප්‍රිය වූ කෑමට හොඳ වූ සියලු ගස් ඒ උයනේ හටගන්න සැලැස්වූවේය’ කියා බයිබලයේ සඳහන් වෙනවා. දෙවි මුල් පුරුෂයා හා ස්ත්‍රිය වූ ආදම් සහ ඒවව සාදා ඔවුන්ව ඒ ලස්සන උයනේ පදිංචි කෙරෙව්වා. ඉන්පසු ඔහු ඔවුන්ට මෙසේ පැවසුවා. “දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න.” (උත්පත්ති 1:28; 2:8, 9, 15) ඉන් පැහැදිලි වන්නේ මිනිසුන් දරුවන් බිහි කරමින් ඒ ලස්සන උයන පොළොව පුරාම ව්‍යාප්ත කරනවා දැකීම දෙවිගේ අරමුණ වූ බවයි. ඔවුන් සියලුම සතුන්ව රැකබලා ගැනීමද ඊට ඇතුළත් වුණා. යෙහෝවා දෙවි කැමති වුණේ මිනිසුන් ප්‍රීතියෙන් හා නිරෝගීව මේ පොළොව පුරාම ජීවත් වෙනවා දකින්නයි. එය මොන තරම් විශිෂ්ට අරමුණක්ද!

2. (අ) දෙවි අරමුණු කළ දේ ඉටු වන බවට ස්ථිර විය හැක්කේ කෙසේද? (ආ) බයිබලයේ සඳහන් ආකාරයට සදාකල් ජීවත් වීමට සුදුස්සන් වන්නේ මොන වගේ අයද?

2 යෙහෝවා දෙවි අරමුණු කළ ඒ දේ ඉටු වන බව නිසැකයි. මන්ද දෙවිම ඒ ගැන පවසන්නේ මෙසේයි. “මා කියූ දේ මම ඒ අයුරින්ම ඉටු කරන්නෙමි.” (යෙසායා 46:9-11; 55:11) “[දෙවි] පොළොව සෑදුවේ හිස්, පාළු ස්ථානයක් වීමට නොව, මිනිසුන්ගේ වාසය සඳහා” බවත් බයිබලයේ සඳහන් වෙනවා. (යෙසායා 45:18) ඒ කාරණා දෙකෙන්ම පැහැදිලි වන්නේ දෙවි පොළොව නිර්මාණය කළ අරමුණ ඉටු වන බවයි. නමුත් දෙවි කැමති වන්නේ පොළොවේ මොන වගේ මිනිසුන් ජීවත් වෙනවාටද? එමෙන්ම ඔවුන් කොතරම් කාලයක් ජීවත් වෙනවාටද? බයිබලයේ ඊට පිළිතුරු දෙන්නේ මෙසේයි. “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”ගීතාවලිය 37:29; එළිදරව් 21:3, 4.

3. පොළොවේ සිදු වන කනගාටුදායක දේවල් නිසා මතු වන ප්‍රශ්නය කුමක්ද?

3 අද මිනිසුන්ට ලෙඩ රෝග හැදෙනවා. ඔවුන් මිය යනවා. මිනිසුන් යුද්ධ කරමින් එකිනෙකාව මරා දමනවා. ඒ සෑම දෙයකින්ම පැහැදිලි වන්නේ දෙවි අරමුණු කළ දේ තවමත් ඉටු වී නැති බවයි. දෙවිගේ අරමුණ ඉටු නොවීමට හේතුව කුමක්ද? ඒ ප්‍රශ්නයට පිළිතුර මිනිසුන් ලියා තිබෙන කිසිම පොතකින් සොයාගත නොහැකියි. මන්ද දෙවිගේ අරමුණට හරස් වූ තැනැත්තා මිහිපිට කෙනෙකු නොවීමයි. ඔහු ගැන වාර්තා වන්නේ බයිබලයේ පමණයි.

දෙවිගේ අරමුණට හරස් වූ තැනැත්තා

4, 5. (අ) ඇත්තටම ඒවට කතා කළේ කවුද? (ආ) කෙනෙකු සොරෙකු බවට පත් වන්නේ කෙසේද?

4 බයිබලයේ මුල්ම පොතෙහි සඳහන් වන්නේ ඒ තැනැත්තා ඒදන් උයනේදී දෙවිට විරුද්ධව නැඟී සිටි බවයි. ඔහු එසේ කළේ ආදම් සහ ඒවව වරදට පෙලඹවීමෙනුයි. එහි ඔහුව හඳුන්වන්නේ, “සර්පයා” ලෙසයි. නමුත් ඔහු ඇත්තටම සර්පයෙක් නොවෙයි. ඔහු සාතන් නමැති යක්ෂයායි. ඒ කාරණය බයිබලයේ අවසන් පොතේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. එහි පවසන්නේ, “යක්ෂයා කියාද සාතන් කියාද හඳුන්වන, මුළු පොළොවම නොමඟ යවන” තැනැත්තා, “මුල් සර්පයා” බවයි. (උත්පත්ති 3:1; එළිදරව් 12:9) එසේනම් සාතන්ව සර්පයෙකු ලෙස හඳුන්වා තිබෙන්නේ ඇයි? ඔහු ඒව සමඟ කතා කරන්න යොදාගත්තේ සර්පයෙකුවයි. එය හරියට පුද්ගලයෙකු රූකඩයක් මාර්ගයෙන් කතා කරනවා වගෙයි. දෙවි පොළොව මිනිස් වාසය සඳහා සූදානම් කළ කාලයේදීත් ඔහු ස්වර්ගයේ සිටියා.—යෝබ් 38:4, 7.

5 යෙහෝවා දෙවි සෑදූ සෑම දෙයක්ම යහපත්. එසේනම් සාතන් නමැති යක්ෂයා ඇති වුණේ කෙසේද? යක්ෂයා බවට පත් වුණේ දෙවි ස්වර්ගයේ ජීවත් වීමට සෑදූ බලවත් දේවදූතයන්ගෙන් කෙනෙක්. නමුත් දේවදූතයෙක් යක්ෂයෙකු බවට පත් වුණේ කෙසේද? සොරෙකු ගැන සිතන්න. ඔහු උපතින්ම සොරෙක් නොවෙයි. නමුත් සොරකම් කිරීමට ඔහු පෙලඹුණේ ඔහු තුළ ඇති වූ වැරදි ආශාවක් පාලනය නොකර ඔහු ඒ ගැන දිගින් දිගටම සිතූ නිසයි.—යාකොබ් 1:13-15 කියවන්න.

6. බලවත් දේවදූතයෙකු සාතන් නමැති යක්ෂයා බවට පත් වුණේ කෙසේද?

6 සාතන්ටත් සිදු වුණේ ඒ හා සමාන දෙයක්. දරුවන් බිහි කරමින් පොළොව පුරා පැතිර යන්න කියා දෙවි ආදම් සහ ඒවට පැවසූ දේ සාතන් අසාගෙන සිටින්න ඇති. (උත්පත්ති 1:27, 28) ඒ සියලුදෙනාම දෙවිට කරන නමස්කාරය තමාට ලබාගැනීමට ඔහු තුළ ආශාවක් ඇති වුණා. ඒ වැරදි ආශාව ඔහුගේ සිතේ වැඩෙන්න ඔහු ඉඩහැරියා. අවසානයේදී ඔහු දෙවි ගැන ඒවට බොරු කියා ඇයව රැවටීමට උපක්‍රමයක් යෙදුවා. (උත්පත්ති 3:1-5 කියවන්න.) දේවදූතයෙකුව සිටි ඔහු, ‘සාතන් නමැති යක්ෂයා’ බවට පත් වුණේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. ඔහුව එලෙස හැඳින්වීම උචිතයි. මන්ද “සාතන්” යන නමේ තේරුම “විරුද්ධකාරයා” යන්නයි. “යක්ෂයා” ලෙස පරිවර්තනය කර තිබෙන ග්‍රීක වචනයෙන් අදහස් කරන්නේ “අපහාස කරන්නා” යන්නයි.

7. (අ) ආදම් සහ ඒව මිය ගියේ ඇයි? (ආ) ආදම්ගෙන් පැවතෙන සෑම කෙනෙකුම මහලු වී මිය යන්නේ ඇයි?

7 සාතන් නමැති යක්ෂයා බොරු කියමින් ඉතා කපටි ලෙස ආදම් සහ ඒවව දෙවිට අකීකරු වීමට පෙලඹුවා. (උත්පත්ති 2:17; 3:6) දෙවිට අකීකරු වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට මරණය උරුම වුණා. මන්ද අකීකරු වුණොත් ඔවුන් අනිවාර්යයෙන්ම මැරෙන බව දෙවි කලින්ම පවසා තිබුණා. (උත්පත්ති 3:17-19) දෙවිට අකීකරු වීමෙන් ඔවුන් පව්කාරයන් බවට පත් වූ අතර ඔවුන්ගෙන් පැවතෙන සෑම කෙනෙකුටම පව්කාර ස්වභාවය උරුම වුණා. (රෝම 5:12 කියවන්න.) එය පැහැදිලි කරගැනීමට මේ උදාහරණය සලකා බලමු. පාන් පිලිස්සීමට භාවිත කරන අච්චුවක කඩතොල්ලක් ඇත්නම් එයින් පුලුස්සන සෑම පාන් ගෙඩියකම ඒ කඩතොල්ල දැකිය හැකියි. එලෙසම “කඩතොල්ලක්” හා සමාන ආදම්ගේ පව්කාර ස්වභාවය ඔහුගෙන් පැවතෙන සෑම කෙනෙකුටම උරුම වුණා. මිනිසුන් මහලු වී මිය යන්නේ ඒ නිසයි.—රෝම 3:23.

8, 9. (අ) සාතන් කළ චෝදනාව කුමක්ද? (ආ) දෙවි කැරලිකරුවන්ව ඒ මොහොතේම විනාශ නොකළේ මන්ද?

8 සාතන්, ආදම් සහ ඒවව පව් කිරීමට පෙලඹවීමෙන් ඔහු දෙවිට විරුද්ධව කැරැල්ලක් ඇති කළා. යෙහෝවා දෙවි පාලනය කරන ආකාරය වැරදි බව ඔහු කියා සිටියා. ඔහු ඒවට පැවසූ දේවලින් දෙවි නපුරු පාලකයෙකු බවත් දෙවි බොරු කියන බවත් හැකියාව තිබුණත් ඔහු යටතේ සිටින අයට හොඳ දේවල් නොදෙන බවත් ඇඟෙව්වා. එමෙන්ම ඔහු කියා සිටියේ මිනිසුන්ට දෙවිගේ පාලනය අවශ්‍ය නැති බවයි. හරි වැරැද්ද කුමක්ද කියා තමන්ටම තීරණය කිරීමට මිනිසුන්ට හැකි බවයි. ඔහු ඇඟවීමට උත්සාහ කළේ ඔහු පැවසූ දේවල් කළොත් ආදම් සහ ඒවට මීට වඩා හොඳ ජීවිතයක් ගත කළ හැකි බවයි. සාතන් දෙවිට කළ ඒ අපහාසය හමුවේ දෙවි කටයුතු කළේ කෙසේද? සමහරුන් සිතන්නේ දෙවිට ඒ මොහොතේම කැරලිකරුවන්ව මරණයට පත් කරන්න තිබුණා කියායි. නමුත් දෙවි එසේ කළා නම් සාතන් ඇඟවීමට උත්සාහ කළ දේවල් හරිද වැරදිද කියා ඔප්පු කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එමෙන්ම වඩාත් හොඳ කාගේ පාලනයද කියා පැහැදිලිව දැකගැනීමට හැකි වන්නේ නැහැ.

9 යෙහෝවා දෙවි යුක්තිසහගතව ක්‍රියා කරන කෙනෙක් නිසා ඒ මොහොතේම කැරලිකරුවන්ව විනාශ කර දැමුවේ නැහැ. දෙවි තීරණය කළේ සාතන් පැවසූ දේවලට හොඳ පිළිතුරක් දීමට හා ඔහු බොරුකාරයෙකු බව ඔප්පු කිරීමට නම් යම් කාලයක් අවශ්‍ය බවයි. ඒ නිසා සාතන් පැවසූ ලෙස යම් කාලයකට මිනිසුන්ට මිනිසුන්වම පාලනය කිරීමට දෙවි ඉඩහැරියා. * මේ ගැන සිතා බලන්න. ආදම් සහ ඒව ඔවුන්ගේ යහපත වෙනුවෙන් කවදාවත් කිසිම දෙයක් නොකළ සාතන්ව විශ්වාස කිරීම සාධාරණද? ඔවුන් භුක්ති විඳි සෑම දෙයක්ම ඔවුන්ට දී තිබූ යෙහෝවා දෙවි බොරුකාරයෙකු කියා විශ්වාස කිරීම හරිද? එදා ඔබ එතැන සිටියා නම් ඔබ කරන්නේ කුමක්ද?

10. දෙවිගේ පැත්ත ගනිමින් සාතන් පැවසූ දේ බොරු බව ඔප්පු කිරීමට ඔබටත් හැක්කේ කෙසේද?

10 ඉහත සඳහන් කළ ප්‍රශ්න ගැන සිතා බැලීම ඉතා වැදගත්. මන්ද ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අප සියලුදෙනාටම සිදු වෙනවා. යෙහෝවා දෙවිගේ පැත්ත ගනිමින් සාතන් පැවසූ දේ බොරු බව ඔප්පු කිරීමට ඔබටත් අවස්ථාවක් තිබෙනවා. ඔබට පුළුවන් යෙහෝවා දෙවිව ඔබේ පාලකයා ලෙස පිළිගන්නා බව පෙන්වන්න. (ගීතාවලිය 73:28; හිතෝපදේශ 27:11 කියවන්න.) නමුත් ලොව පුරා වෙසෙන මිනිසුන් බිලියන ගණනක් අතරින් එසේ කිරීමට කැමැත්තෙන්ම තීරණය කර තිබෙන්නේ ටිකදෙනෙකු පමණයි. වැඩිදෙනෙක් දෙවිව තම පාලකයා ලෙස පිළිගෙන නැහැ. එසේනම් ඔවුන් සිටින්නේ කාගේ පාලනය යටතේද? ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද?

මේ මිනිස් සමාජය පාලනය කරන්නේ කවුද?

සියලුම රාජ්‍යයන් යේසුස්ට ලබා දෙන බව සාතන් පැවසීමෙන් අප තේරුම්ගන්නේ කුමක්ද?

11, 12. (අ) මිනිස් සමාජයේ පාලකයා සාතන් බව පැහැදිලි වන්නේ කුමකින්ද? (ආ) සාතන් මිනිස් සමාජයේ පාලකයා කියා පැවසීමට තිබෙන තවත් සාක්ෂි මොනවාද?

11 යේසුස් පොළොවේ සිටියදී සිදු වූ දෙයකින් ඒ ගැන දැනගත හැකියි. සාතන් එක් අවස්ථාවක, “ලෝකයේ සියලු රාජ්‍යයන්ද ඒවායේ තේජසද” යේසුස්ට දකින්න සැලැස්වූවා. ඉන්පසු ඔහු, “ඔබ වැඳ වැටී මට එක් වරක් නමස්කාර කළොත් මම මේ සියල්ල ඔබට දෙනවා” කියා යේසුස්ට පොරොන්දු වුණා. (මතෙව් 4:8, 9; ලූක් 4:5, 6) සියලුම රාජ්‍යයන්වල පාලකයා සාතන් නොවෙයි නම් යේසුස්ට එවැනි දේවල් ඉදිරිපත් කිරීමට සාතන්ට පුළුවන්ද? මන්ද සාතන් තමාට අයිති නැති දෙයක් ඉදිරිපත් කර යේසුස්ව වරදට පෙලඹවීමට උත්සාහ කළා නම් ඉන් පලක් නැහැ. ඒ අවස්ථාවේදී සාතන් ඉදිරිපත් කළ දේවල් ගැන යේසුස් කිසිවක් පැවසුවේ නැහැ. මන්ද මිනිස් සමාජයත් එහි සියලු රාජ්‍යයනුත් තිබෙන්නේ සාතන්ගේ පාලනය යටතේ බව යේසුස් හොඳින් දැන සිටියා.

12 මුළු විශ්වයේ නිර්මාතෘ යෙහෝවා දෙවියි. සියලු බලැති දෙවිත් ඔහුයි. (එළිදරව් 4:11) නමුත් මේ මිනිස් සමාජය තිබෙන්නේ යෙහෝවා දෙවිගේ හෝ යේසුස්ගේ පාලනය යටතේ බව බයිබලයේ කිසිම තැනක සඳහන් වී නැහැ. ඒ වෙනුවට අවස්ථා කිහිපයකදීම යේසුස්, “මේ ලෝකයේ පාලකයා” ලෙස සාතන්ව හැඳින්වූ බව බයිබලයේ සඳහන් වෙනවා. (යොහන් 12:31; 14:30; 16:11) එමෙන්ම ඔහුව, “මේ සමාජයේ දෙවියා” කියාද හඳුන්වා තිබෙනවා. (2 කොරින්ති 4:3, 4) “මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්ව තිබෙන බවත්” බයිබලයේ තවදුරටත් සඳහන් වෙනවා.—1 යොහන් 5:19.

පාලනයේ වෙනසක්

13. පාලනයේ වෙනසක් අවශ්‍ය වන්නේ ඇයි?

13 දවසින් දවස මේ මිනිස් සමාජය තව තවත් දරුණු වෙනවා. ලෝකයේ සෑම තැනකම පාහේ යුද්ධ දකින්න තිබෙනවා. වංක පාලකයන් හා කුහක ආගමික නායකයන් නිසා මිනිසුන් අසරණ වෙලා. දරුණු අපරාධකරුවන් නැති තැනක් නැහැ. මේ මිනිස් සමාජය ගොඩගැනීමට නොහැකි තරමටම පිරිහිලා. බයිබලයේ සඳහන් වන්නේ මේ දුෂ්ට සමාජය පහ කර දැමීමට දෙවි ඉතාමත් ළඟදී පියවර ගන්නා බවයි. එම අවස්ථාව, “සියලු බලැති දෙවිගේ මහත් දවසේදී සිදු වන යුද්ධය” ලෙස හඳුන්වා තිබෙනවා. ඉන්පසු මේ පොළොව මත ධර්මිෂ්ඨ මිනිස් සමාජයක් ඇති කිරීමට දෙවි කටයුතු කරනවා.—එළිදරව් 16:14-16.

14. පාලකයා ලෙස දෙවි තෝරාගෙන තිබෙන්නේ කාවද? ඒ ගැන කලින් පවසා තිබුණේ කුමක්ද?

14 ඒ සෑම දෙයක්ම ඉටු කිරීමට දෙවි දැනටමත් පියවර ගෙන හමාරයි. ඔහු ස්වර්ගයේ පාලනයක් පිහිටුවා එහි පාලකයා ලෙස යේසුස්ව පත් කර තිබෙනවා. එසේ කිරීමට බොහෝ කලකට පෙර ඒ ගැන මෙසේ සඳහන් වී තිබුණා. “අපට ළදරුවෙක් උපන්නේය. අපට පුත්‍රයෙකු දෙන ලද්දේය. රාජ්‍ය බලය ඔහුට භාර දෙනු ලබන්නේය. ඔහුව . . . සමාදානයේ කුමාරයා ලෙස හඳුන්වනු ඇත. . . . ඔහුගේ රාජ්‍ය බලයට සීමාවක් නොතිබෙයි. සමාදානය සදහටම පවතිනු ඇත.” (යෙසායා 9:6, 7) යේසුස් ඔහුගේ ගෝලයන්ට, “[දෙවිගේ] රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියා යාච්ඤා කිරීමට ඉගැන්වූවා. එමගින් ඒ රාජ්‍යයේ වැදගත්කම ගැන ඔහු ඔවුන්ට කාවැද්දුවා. (මතෙව් 6:10) බයිබලයේ සඳහන් වන්නේ ළඟදීම ඒ රාජ්‍යය දැන් පවතින සියලුම පාලනයන් සහමුලින්ම නැති කර දමා මුළු ලෝකයම එහි පාලනය යටතට ගන්නා බවයි. (දානියෙල් 2:44 කියවන්න.) දෙවිගේ එම පාලනය යටතේ මුළු පොළොවම පාරාදීසයක් බවට පත් වෙයි.

පාරාදීස පොළොවක් අත ළඟයි

15. “අලුත් පොළොවක්” කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

15 බයිබලයේ ස්ථිර ලෙස මෙසේ පවසා තිබෙනවා. “[දෙවි] දී ඇති පොරොන්දුවට එකඟව සැමදා ධර්මිෂ්ඨකම රජයන අලුත් අහසක් සහ අලුත් පොළොවක් පැමිණෙන තුරු අපි බලා සිටින්නෙමු.” (2 පේතෘස් 3:13; යෙසායා 65:17) බයිබලයේ “පොළොව” කියා සඳහන් කර තිබෙන ඇතැම් අවස්ථාවලදී ඉන් අදහස් කරන්නේ පොළොවේ ජීවත් වන මිනිසුන්වයි. (උත්පත්ති 11:1) ඒ අනුව ධර්මිෂ්ඨකම රජයන “අලුත් පොළොවක්” කියන්නේ දෙවි කැමති ආකාරයට ජීවත් වන මිනිස් සමාජයකටයි.

16. දෙවි ලබා දෙන වටිනා තෑග්ග කුමක්ද? එය ලබාගැනීමට නම් අප කළ යුත්තේ කුමක්ද?

16 දෙවි කැමති ආකාරයට ජීවත් වන අයට “සදාකාල ජීවනය” ලැබෙන බව යේසුස් පැවසුවා. (මාක් 10:30) දෙවි කැමති අයුරින් ජීවත් වීමට නම් අප මුලින්ම කළ යුතු දේවල් ගැන යේසුස් පැහැදිලි කළා. ඒ ගැන දැනගැනීමට යොහන් 3:16 සහ 17:3 කියවා බලමු. පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමට ලැබීම දෙවිගෙන් ලැබෙන මොන තරම් වටිනා තෑග්ගක්ද! ඒ කාලයේදී මිනිස් වර්ගයා අද්දකින ආශීර්වාද ගැන බයිබලයේ සඳහන් දේ දැන් සලකා බලමු.

17, 18. සාමය හා සුරක්ෂිතභාවය ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද?

17 දුෂ්ටකම, යුද්ධ, අපරාධ හා ප්‍රචණ්ඩත්වයට අවසානයක්. “තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය. . . . නමුත් නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය.” (ගීතාවලිය 37:10, 11) ‘පොළොවේ සිදු වන සියලු යුද්ධ දෙවි නවත්වා දමන්නේය.’ ඒ නිසා පොළොවට සාමය උදා වෙයි. (ගීතාවලිය 46:9; යෙසායා 2:4) ඒ කාලයේදී, “ධර්මිෂ්ඨයා සාර්ථක වන්නේය. සඳ පවතින තෙක් [එනම් සදහටම] බොහෝ සමාදානය තිබෙන්නේය.”—ගීතාවලිය 72:7.

18 බියක් සැකක් නැති ජීවිතයක්. පුරාණයේ සිටි ඊශ්‍රායෙල්වරුන් දෙවිට කීකරුව සිටි කාලයේදී සුරක්ෂිතව ජීවත් වුණා. (ලෙවී කතාව 25:18, 19) ඒ හා සමානව දෙවිට කීකරු වන අයට කිසි බියක් සැකක් නැතුව සුරක්ෂිතව පාරාදීස පොළොවක ජීවත් වීමට හැකි වෙනවා.—යෙසායා 32:18 කියවන්න; මීකා 4:4.

19. ඒ කාලයේදී කෑමවලින් කිසි හිඟයක් නැති බව පැවසිය හැක්කේ කෙසේද?

19 කෑම හිඟයක් නැති කාලයක්. “පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යයි. කඳු මුදුන් ධාන්‍යවලින් වැසී යයි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 72:16) යෙහෝවා දෙවි සියලුදෙනාටම ආශීර්වාද කරන නිසා, “භූමිය බොහෝ පල දරනු ඇත.”—ගීතාවලිය 67:6.

20. මුළු පොළොවම පාරාදීසයක් වන බවට නිසැක විය හැක්කේ ඇයි?

20 මුළු පොළොවම පාරාදීසයක්. මිනිසුන් විනාශ කර තිබෙන මේ පොළොව පුරාම අලංකාර නිවෙස් හා උද්‍යාන ඉදිරියේදී දැකගත හැකියි. (යෙසායා 65:21-24 කියවන්න; එළිදරව් 11:18) කල් යත්ම මුළු පොළොවම ඒදන් උයන මෙන් ලස්සන පාරාදීසයක් වෙනවා. දෙවි නොවරදවාම, ‘ඔහුගේ හස්තය විදහා ජීවමාන සියල්ලන්ගේ ආශාව තෘප්තිමත් කරන්නේය.’—ගීතාවලිය 145:16.

21. මිනිසුන් සහ සතුන් අතර ඇති වන සාමය ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද?

21 මිනිසුන් සහ සතුන් අතර සාමයක්. වනසතුන් සහ හීලෑ සතුන් අතර කිසි ගැටුමක් ඇති වන්නේ නැහැ. දරුණු සතුන්ට කුඩා දරුවන්වත් භය වන්නේ නැහැ.—යෙසායා 11:6-9 කියවන්න; 65:25.

22. අසනීප වී සිටින අයට සිදු වන්නේ කුමක්ද?

22 අසනීපවලට කෙළවරක්. යේසුස් පොළොවේ සිටි කාලයේදී බොහෝ අසනීප සුව කළා. දෙවි පත් කර ඇති පාලකයා ලෙස ඊටත් වඩා මහා පරිමාණයෙන් ඔහු මිනිසුන්ට සුවයක් ගෙන දෙයි. (මතෙව් 9:35; මාක් 1:40-42; යොහන් 5:5-9) ඒ කාලයේදී “කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත.”—යෙසායා 33:24; 35:5, 6.

23. නැවත නැඟිටීමේ බලාපොරොත්තුව අපට සැනසීමක් වන්නේ ඇයි?

23 මිය ගිය අය නැවත නැඟිටින කාලයක්. මරණය නමැති නින්දෙහි පසු වුණත් දෙවි මතකයේ තබාගන්නා සෑම කෙනෙකුවම ඔහු නැවත නැඟිටුවනවා. “ධර්මිෂ්ඨ අය වගේම අධර්මිෂ්ඨ අයත් නැවත නැඟිටින බව” බයිබලයේ සඳහන් වෙනවා.—ක්‍රියා 24:15; යොහන් 5:28, 29 කියවන්න.

24. පාරාදීස පොළොවේ ජීවිතය ගැන ඔබ සිතන්නේ කුමක්ද?

24 අපගේ ශ්‍රේෂ්ඨ නිර්මාතෘ වන යෙහෝවා දෙවි ගැන ඉගෙනගනිමින් ඔහුට නමස්කාර කිරීමට තීරණය කරන අයට තිබෙන්නේ මොන තරම් දීප්තිමත් අනාගතයක්ද! යේසුස් ඔහු සමඟ මිය ගිය මිනිසාට පැවසුවේ මෙයයි. “ඔබ මා සමඟ පාරාදීසයේ සිටින බවට අද මම ඔබට සහතිකවම පොරොන්දු වෙනවා.” (ලූක් 23:43) ඒ අවස්ථාවේදී යේසුස් සඳහන් කළේ අනාගතයේදී පැමිණෙන පාරාදීස පොළොව ගැනයි. අප මෙතෙක් සලකා බැලූ සියලු ආශීර්වාද දෙවි අපට ලබා දෙන්නේ යේසුස් මාර්ගයෙනුයි. ඒ නිසා ඔහු ගැන තවදුරටත් ඉගෙනගැනීම අත්‍යවශ්‍යයි.

^ 9 ඡේ. දෙවි ඒ සඳහා මෙතරම් කාලයක් ඉඩහැරීමට හේතුව ගැන 11වෙනි පරිච්ඡේදයේ සාකච්ඡා කරනවා.