Skip to content

පටුනට යන්න

6වෙනි පරිච්ඡේදය

මිය ගිය අය කොහේද?

මිය ගිය අය කොහේද?
  • මරණයේදී සිදු වන්නේ කුමක්ද?

  • අප මිය යන්නේ ඇයි?

  • ඇත්තටම මරණයේදී සිදු වන්නේ කුමක්ද කියා දැනගැනීම වැදගත්ද?

1-3. මරණය ගැන මතු වන ප්‍රශ්න මොනවාද? විවිධ ආගම්වල උගන්වන්නේ මොනවාද?

ලෝකයේ සෑම තැනකම ජීවත් වන මිනිසුන් අවුරුදු දහස් ගණනක් පුරා ඒ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවා. මේ පරිච්ඡේදයේදී අපි ඒ ප්‍රශ්නවලට පිළිතුරු පිළිවෙළින් සලකා බලමු.

2 යේසුස්ගේ ජීවිත පූජාව නිසා සදාකාල ජීවනයට මඟ විවෘත වූ බව අපි කලින් පරිච්ඡේදයේදී ඉගෙනගත්තා. ‘මරණය තවත් සිදු නොවන’ කාලයක් ඉතාමත් ළඟදී පැමිණෙනවා කියා බයිබලයේ පවසන්නේ ඒ නිසයි. (එළිදරව් 21:4) කොහොමවුණත් මිනිසුන් හැටියට අපි හැමෝම මරණය නමැති යථාර්ථයට මුහුණ දෙනවා. ඒ නිසයි බයිබලයේ මෙවැනි දෙයක් පවසා තිබෙන්නේ. “ජීවත්ව සිටින අය තමන් කවදා හෝ මිය යන බව දනිති.” (දේශනාකාරයා 9:5) නමුත් අපි කවුරුත් මැරෙන්න කැමති නැහැ. අපේ ආශාව වන්නේ පුළුවන් තරම් කාලයක් ජීවත් වෙන්නයි. මරණය නමැති යථාර්ථයට මුහුණ දීමට සිදු වන විට ඒ ගැන දහසකුත් ප්‍රශ්න අපේ මනසට නැඟෙන්නේ ඒ නිසයි.

3 එවැනි ප්‍රශ්න කිහිපයක් දැන් අපි සලකා බලමු. මිය යන විට සිදු වන්නේ කුමක්ද? මිය ගිය අය කොහේ හරි තැනක දුක් විඳිනවාද? ඔවුන් කොහේ හරි තැනක සිට අප දිහා බලා සිටිනවාද? ඔවුන් වෙනුවෙන් අපට යම් දේවල් කළ හැකිද? නැවත කවදා හරි දවසක අපට ඔවුන්ව දකින්න ලැබේවිද? මිනිසුන් කල්පනා කරන එවැනි ප්‍රශ්නවලට විවිධ ආගම්වලින් විවිධ පිළිතුරු දී තිබෙනවා. හොඳ දේවල් කර තිබුණොත් ස්වර්ගයට යන බවත් නරක ජීවිතයක් ගත කර තිබුණොත් අපාය, නිරය වැනි වධ හිංසා විඳින ස්ථානයකට යන බවත් සමහර ආගම්වල උගන්වනවා. තවත් ආගම්වල උගන්වන්නේ කෙනෙකු මිය ගිය පසු ඔහු වෙනත් භවයක් ලබන බවයි. ඔවුන් ඒ භවය ලබන්නේ ජීවත්ව සිටියදී කළ පව් පින් අනුව බව ඔවුන් උගන්වනවා.

4. බොහෝ ආගම්වල උගන්වන දේවල් අතර තිබෙන පොදු ලක්ෂණය කුමක්ද?

4 මරණය සම්බන්ධයෙන් විවිධ ආගම්වල විවිධ දේවල් ඉගැන්වූවත් ඒවා අතර පොදු ලක්ෂණයක් තිබෙනවා. එනම් මරණයෙන් පසු නොනැසී පවතින යමක් තිබෙන බවට වූ ඉගැන්වීමයි. නොනැසී පවතින ඒ දෙයට ඇසීමට, දැකීමට හා සිතීමට හැකියාවක් තිබෙන බව ඔවුන්ගේ මතයයි. නමුත් එවැනි දෙයක් සිදු වන්නේ කෙසේද? අපේ සිතුවිලි, හැඟීම් දැනීම් යනාදි සෑම දෙයක්ම පාලනය වන්නේ මොළයෙන්. නමුත් මරණයේදී කෙනෙකුගේ මොළයේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම නතර වෙනවා. කාලයක් ගත වෙද්දී එය පස් බවට පත් වෙනවා. නොනැසී පවතින යමක් තිබෙනවා නම් මොළයක් නැතුව ඒ දෙයට හැඟීම් දැනීම්, සිතුවිලි හා මතකයන් තිබිය හැකිද? එවැනි දෙයක් ඇත්තටම තිබෙනවාද නැද්ද කියා දැනගැනීමට නම් මරණයේදී සිදු වන්නේ කුමක්ද කියා දැනගැනීම වැදගත්. දැන් අපි ඒ ගැන සලකා බලමු.

මරණයේදී සිදු වන්නේ කුමක්ද?

5, 6. මරණයේදී සිදු වන දේ ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද?

5 සියල්ලේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිට මරණයේදී සිදු වන දෙය අභිරහසක් නොවෙයි. ඔහුගේ වචනය වන බයිබලයේ සරලව ඉතා පැහැදිලිව පවසන්නේ පුද්ගලයෙකු මිය ගිය පසු ඔහුගේ පැවැත්ම සම්පූර්ණයෙන්ම අවසන් වන බවයි. ඒ නිසා මිය ගිය අයට පෙනෙන්නේ නැහැ. කිසි දෙයක් ඇසෙන්නේ නැහැ. ඔවුන්ට සිතන්න බැහැ. අමරණීය ආත්මය * කියා දෙයක්ද නැහැ. නොනැසී පවතින කිසිම දෙයක් ඉතුරු වන්නෙත් නැහැ.

දැල්ල ගියේ කොහේටද?

6 ජීවත්ව සිටින අය තමන් කවදා හෝ මිය යන බව දන්නවා කියා පැවසීමෙන් පසු බයිබලයේ මෙසේ පවසනවා. “මිය ගිය අය කිසිවක් දන්නේ නැත.” ඒ කාරණය තවදුරටත් පැහැදිලි කරමින් බයිබලයේ පවසන්නේ මිය ගිය අයට අන් අයට ප්‍රේම කරන්නවත් වෛර කරන්නවත් බැරි බවයි. එමෙන්ම, “මිනී වළේදී කිසි වැඩක් කරන්නවත් කිසි දෙයක් ගැන කල්පනා කරන්නවත් . . . නොහැක. එහි දැනුමද ප්‍රඥාවද නැත” කියා එහි සඳහන් වෙනවා. (දේශනාකාරයා 9:5, 6, 10 කියවන්න.) ගීතාවලිය 146:4හිද පවසන්නේ කෙනෙකු මිය යන විට, ‘ඔහුගේ කල්පනාව නැති වී යන’ බවයි. ඉන් අදහස් වන්නේ කෙනෙකු මිය ගිය විට ඉතුරු වන්නේ මළ සිරුරක් පමණක් බවයි. එයද කල් යත්ම පස් බවට හැරී යනවා. එය තේරුම්ගැනීමට මේ උදාහරණය ගැන සිතා බලන්න. ඉටිපන්දමක දැල්ල නිවී ගිය විට ඒ දැල්ල කොහේවත් යන්නේ නැහැ. ඒ හා සමානව කෙනෙකු මිය ගිය පසු දිගටම පවතින කිසිම දෙයක් ඉතුරු වන්නේ නැහැ. කිසිම දෙයක් කොහේවත් යන්නෙත් නැහැ.

යේසුස් පැවසුවේ කුමක්ද?

7. යේසුස් මරණය ගැන පැවසුවේ කුමක්ද?

7 යේසුස් පොළොව මත සිටින කාලයේදී මරණයේදී සිදු වන දේ ගැන පැවසුවා. එක් අවස්ථාවකදී තම මිත්‍ර ලාසරුස් මිය ගොස් ඇති බව දැනගත් යේසුස්, ගෝලයන්ට පැවසුවේ, “අපේ මිත්‍ර ලාසරුස් නිදාගෙන සිටියි” කියායි. එවිට ඔහුගේ ගෝලයන් සිතුවේ ලාසරුස් අසනීපයක් නිසා විවේක ගැනීමට නිදාගෙන සිටින බවයි. තමා පැවසූ දේ ඔවුන් වරදවා වටහාගත් බව තේරුම්ගත් යේසුස්, “ලාසරුස් ඇත්තටම මැරිලා” කියා ඔවුන්ට පැවසුවා. (යොහන් 11:11-14 කියවන්න.) ඒ අවස්ථාවේදී යේසුස් මරණය සුව නින්දකට සමාන කළා. යේසුස් පැවසූ ලෙස මරණය සුව නින්දකට සමාන වන නිසා මිය ගොස් සිටි ලාසරුස් ස්වර්ගයටවත් අපායටවත් ගියේ නැහැ. ඔහු වෙනත් භවයක ඉපදුණෙත් නැහැ. ඔහු සිටියේ කිසිම දෙයක් නොදැනෙන තද නින්දකයි. යේසුස් මරණය සුව නින්දකට සමාන කළ තවත් අවස්ථාවක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. යායිරස් නම් තැනැත්තාගේ දියණිය මිය ගොස් සිටි අවස්ථාවේදී යේසුස් පැවසුවේ, ‘ඇය නිදාගෙන සිටින’ බවයි. (ලූක් 8:52, 53) මරණය නින්දකට සමාන කර තිබෙන තවත් අවස්ථා බයිබලයේ අපට දැකගත හැකියි. ඒ සඳහා ගීතාවලිය 13:3 හා යෙසායා 26:19 බලන්න.

යෙහෝවා දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ පොළොව මත සැමදා ජීවත් වීමටයි

8. දෙවි මිනිසාව සෑදුවේ මිය යෑමටද? පැහැදිලි කරන්න.

8 නමුත් මිනිසුන් ලෙස අප කවුරුත් මැරෙන්න කැමති නැහැ. මන්ද අප සියලුදෙනා තුළ දිගටම ජීවත් වීමේ සහජ ආශාව තිබෙනවා. එය සනාථ කරමින් බයිබලයේ පවසන්නේ, ‘දෙවි සදාකල් ජීවත් වීමේ ආශාව මිනිසාගේ සිතෙහි තබා ඇත’ කියායි. (දේශනාකාරයා 3:11) එයින් පැහැදිලි වන්නේ දෙවි මිනිසාව නිර්මාණය කළේ පොළොව මත සදාකල් ජීවත් වීම සඳහා බවයි. ඔහු මුල් මිනිස් යුවළට නිරෝගී සෞඛ්‍යයක් ලබා දී ඔවුන්ව අලංකාර උයනක පදිංචි කළේ ඒ නිසයි. ප්‍රේමණීය පියෙකු ලෙස දෙවි තම මුල් අරමුණ ඉටු කරන බවට කිසිම සැකයක් නැහැ.

මිනිසුන් මිය යන්නේ ඇයි?

9. යෙහෝවා දෙවි ආදම්ට පැනවූ සීමාව කුමක්ද? ඊට කීකරු වීම අමාරු දෙයක් නොවුණේ ඇයි?

9 දෙවි ආදම් සහ ඒවව සදාකල් ජීවත් වීම සඳහා නිර්මාණය කළා නම් ඔවුන් මිය ගියේ ඇයි? ඊට පිළිතුරු සොයාගැනීමට ඒදන් උයනේ සිදු වූ දෙය සලකා බැලිය යුතුයි. බයිබලයේ පවසන්නේ, “යෙහෝවා දෙවි ඇසට ප්‍රිය වූ කෑමට හොඳ වූ සියලු ගස් ඒ උයනේ හටගන්න සැලැස්වූවේය” කියායි. (උත්පත්ති 2:9) නමුත් යෙහෝවා දෙවි ආදම්ට යම් සීමාවක් පැනෙව්වා. ඒ ගැන බයිබලයේ පවසන්නේ, “ඔබට උයනේ සියලු ගස්වලින් ඕනෑ තරම් කන්න පුළුවන. නමුත්, ‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වෙන ගසෙන් ඔබ නොකෑ යුතුය. මන්ද එයින් කෑ දවසේදීම ඔබ අනිවාර්යයෙන්ම මැරෙන්නෙහිය” කියායි. (උත්පත්ති 2:16, 17) එය කීකරු වීමට අමාරු ආඥාවක් නොවෙයි. මන්ද පල කෑම සඳහා ඒ ගස හැර උයනේ ඕනෑ තරම් ගස් තිබුණා. දෙවි දුන් ඒ ආඥාවට කීකරු වීමෙන් කිසිම අඩුවක් නැති ජීවිතයක් ඇතුළු සෑම දෙයක්ම ලබා දුන් තැනැත්තාට අගය පෙන්වීමට ඔවුන්ට අවස්ථාව තිබුණා. එමෙන්ම දෙවිගේ පාලනයට යටත් වන බවත් දෙවිගේ ප්‍රේමණීය මඟ පෙන්වීම් යටතේ ජීවත් වීමට තමන් කැමති බවත් පෙන්වීමට ඔවුන්ට හැකිකම තිබුණා.

10, 11. (අ) ආදම් හා ඒව දෙවිට අකීකරු වුණේ කෙසේද? (ආ) ඔවුන් කළ දෙය බරපතළ දෙයක් වුණේ ඇයි?

10 නමුත් කනගාටුදායක ලෙස ආදම් සහ ඒව යෙහෝවා දෙවි දුන් ආඥාවට අකීකරු වුණා. එය සිදු වූ ආකාරයද බයිබලයේ විස්තර කර තිබෙනවා. සාතන් සර්පයෙකුව යොදාගෙන ඒවට කතා කර, “උයනේ ගස්වලින් කන්න එපා කියා දෙවි ඔබට පැවසූ බව ඇත්තද” කියා ඇසුවා. ඒවද ඔහුට මෙසේ පිළිතුරු දුන්නා. “උයනේ ගස්වල පලතුරු කන්න අපිට පුළුවන්. නමුත් උයන මැද තියෙන ගහේ පලතුරු කන්න අපිට බැහැ. ‘ඒ ගහට අත තබන්නවත් එහි පලතුරු කන්නවත් එපා. එසේ කළොත් ඔබ මිය යනවා’ කියා දෙවි අපිට පැවසුවා.”—උත්පත්ති 3:1-3.

11 එවිට සාතන්, “ඔබ කවදාවත් මිය යන්නේ නැහැ. එයින් කන දවසේම ඔබේ ඇස් ඇරෙන බවත් ඔබ හොඳ හා නරක දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය” කියා පැවසුවා. (උත්පත්ති 3:4, 5) සාතන්ට අවශ්‍ය වුණේ දෙවි නොකන්න කියා අණ කළ ගහේ ගෙඩි කෑවොත් තමන්ට යම් ප්‍රයෝජනයක් අත් වන බව ඒව විශ්වාස කරනවා දැකීමයි. එමෙන්ම සාතන් ඒවට කියා සිටියේ හරි වැරැද්ද තීරණය කිරීමට ඇයට හැකි බවයි. ඔහු ඉන් අදහස් කළේ ඇයට කැමති දෙයක් කිරීමට හැකිකම තිබෙන බවයි. සාතන් තවදුරටත් දෙවි බොරුකාරයෙකු බවට චෝදනා කළා. සාතන් පැවසූ සෑම දෙයක්ම විශ්වාස කළ ඒව, දෙවි නොකන්න කියා අණ කළ ගහෙන් ගෙඩි කෑවා. ඉන්පසු ඇය ඇගේ ස්වාමිපුරුෂයාටත් එය දුන්නා. ඔහුත් ඒ ගෙඩි කෑවා. ඔවුන් දෙවිගේ ආඥාව එසේ කඩ කළේ නොදැනුවත්කමින් නොවෙයි. දෙවි කරන්න එපා කියා පැවසූ දෙයක් තමන් කරන බව ඔවුන් හොඳටම දැන සිටියා. එලෙස දෙවිගේ ආඥාව හිතාමතාම කඩ කිරීමෙන් ඔවුන් පෙන්වූයේ දෙවිටවත් දෙවිගේ අධිකාරියටවත් ඔවුන් කිසිම ගෞරවයක් නොදක්වන බවයි. හිතාමතාම කළ ඒ දේට නිදහසට කිසිම කරුණක් ඔවුන්ට ඉදිරිපත් කළ නොහැකියි.

12. ආදම් සහ ඒව දෙවිට අකීකරු වූ අවස්ථාවේදී ඒ ගැන දෙවිට හැඟුණේ කෙසේද? පැහැදිලි කරන්න.

12 ආදම් සහ ඒව කළ ඒ දෙයින් යෙහෝවා දෙවිට කොතරම් වේදනාවක් දැනෙන්න ඇද්ද! උදාහරණයකට ඔබ පියෙකු නම් ඔබ ආදරයෙන් හදා වඩා ගත් ඔබේ දරුවා හිතුවක්කාර ලෙස ක්‍රියා කරමින් ඔබට කිසි ගෞරවයක් හා ප්‍රේමයක් පෙන්වන්නේ නැත්නම් ඔබට කොතරම් වේදනාවක් දැනෙනවාද කියා සිතා බලන්න. යෙහෝවා දෙවිටත් එදා ඒ හා සමාන වේදනාවක් දැනුණා.

ආදම්ව සෑදුවේ දූවිල්ලෙන්. ඔහු ආපසු හැරී ගියෙත් දූවිල්ලටයි

13. මරණයේදී ආදම්ට සිදු වන දෙය ගැන දෙවි පැවසුවේ කුමක්ද? දෙවි පැවසූ දෙයින් අදහස් වන්නේ කුමක්ද?

13 හිතාමතාම තමන්ට අකීකරු වූ ආදම් හා ඒවට සදහටම ජීවත් වීමට ඉඩහරින්න යෙහෝවා දෙවිට කිසිම සාධාරණ හේතුවක් තිබුණේ නැහැ. අකීකරු වූ ඔවුන්ට දෙවි පැවසුවේ, ‘භූමියෙන් ගන්නා ලද ඔබ භූමියට හැරී යන’ බවයි. එමෙන්ම දෙවි, “ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය” කියා ඔවුන්ට පැවසුවා. (උත්පත්ති 3:19) දෙවි ආදම්ව සෑදුවේ දූවිල්ලෙන්. (උත්පත්ති 2:7) ඒ නිසා ඔහු මිය ගිය පසු දූවිල්ලටම හැරී ගියා. ආදම්ව සෑදීමට කලින් ඔහු කොහේවත් සිටියේ නැහැ. ඒ නිසා ඔහු මිය ගිය පසුත් වෙන කොහේටවත් ගියේ නැහැ. ඔහු නැවත පස් බවට පත් වුණා.

14. මිනිසුන් මිය යන්නේ ඇයි?

14 ආදම් සහ ඒව දෙවිට කීකරු වුණා නම් ඔවුන්ට අද දක්වාම ජීවත් වෙන්න තිබුණා. නමුත් ඔවුන් දෙවිට අකීකරු වූ නිසා ඔවුන්ටත් ඔවුන්ගෙන් පැවතෙන්නන්ටත් පව්කාර ස්වභාවය උරුම වුණා. (රෝම 5:12 කියවන්න.) පව්කාර ස්වභාවය පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන දරුණු රෝගයක් වගෙයි. එහි ප්‍රතිඵලය මරණයයි. මරණය සතුරෙක් මිස මිතුරෙක් නොවෙයි. (1 කොරින්ති 15:26) නමුත් ඒ භයානක සතුරාගෙන් අපව ගලවාගැනීමට දෙවි පියවර ගත්තා. ඒ ගැන අප දෙවිට කොතරම් ස්තුතිවන්ත විය යුතුද!

මරණයේදී සිදු වන දේ ගැන දැනගැනීම වැදගත්ද?

15. ඇත්තටම මරණයේදී සිදු වන දේ ගැන දැනගැනීම ආරක්ෂාවක් වන්නේ කෙසේද?

15 මරණයේදී සිදු වන දේ ගැන දැනගැනීම අපට මහත් ආරක්ෂාවක්. අප ඉගෙනගත් ආකාරයට කෙනෙකු මිය ගිය විට ඔහු කිසි වේදනාවක් විඳින්නේ නැහැ. එමෙන්ම ඔහුට ජීවත්ව සිටින අයට කිසිම හානියක් කළ නොහැකියි. ඒ නිසා මිය ගිය අයට බිය වීමට කිසිම හේතුවක් නැහැ. අපේ උපකාරය ඔවුන්ට අවශ්‍ය නැහැ. එමෙන්ම අපට උපකාර කරන්නත් ඔවුන්ට බැහැ. ඔවුන්ට අප සමඟවත් අපට ඔවුන් සමඟවත් කතා කරන්න බැහැ. මන්ද ඔවුන්ට කිසි හැඟීමක් දැනීමක් නැහැ. නමුත් මිය ගොස් සිටින අයට උපකාර කරන්න තමන්ට හැකි බව බොහෝ ආගමික නායකයෝ පවසනවා. ඒ බොරුව විශ්වාස කරන බොහෝදෙනෙක්, ඒ වෙනුවෙන් බොහෝ මුදල් වියදම් කරනවා. නමුත් ඇත්තටම මරණයේදී සිදු වන දේ ගැන දැනගැනීමෙන් එවැනි බොරුවලට හසු නොවී සිටීමට අපට හැකියි.

16. බොහෝ ආගම්වල උගන්වන දේවලට බලපෑම් කර තිබෙන්නේ කවුද? ඔහුගේ අරමුණ කුමක්ද?

16 මරණයේදී සිදු වන දේ ගැන බොහෝ ආගම්වල උගන්වන්නේ බයිබලයේ උගන්වන දෙයට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. ඊට හේතුව ඒ ආගම්වල ඉගැන්වීම්වලට සාතන්ගේ බලපෑම තිබීමයි. සාතන් අසත්‍ය දේවල් උගන්වන ආගම් අතකොළුවක් ලෙස යොදාගනිමින් මිනිසුන්ව මුළා කරනවා. ඔහුගේ අරමුණ වන්නේ මිනිසුන්ව යෙහෝවා දෙවිගෙන් ඈත් කිරීමයි. බොහෝ ආගම්වල උගන්වන බොරු ඉගැන්වීම් නිසා මිනිසුන් සැබෑ දෙවිගෙන් ඈත් වන අයුරු දැන් අපි සලකා බලමු.

17. කෙනෙකු මිය ගිය පසු අපාය වැනි ස්ථානයකට යන බවට වූ ඉගැන්වීමෙන් දෙවිව අගෞරවයට පත් වන්නේ කෙසේද?

17 ඇතැම් ආගම්වල උගන්වන්නේ යම් කෙනෙකු නරක ජීවිතයක් ගත කළොත් ඊට දඬුවමක් ලෙස ඔහු මිය ගිය විට අපාය වැනි වධ හිංසා විඳින ස්ථානයකට යන බවයි. එම ඉගැන්වීමෙන් දෙවිට මහත් අගෞරවයක් සිදු වෙනවා. මන්ද බොහෝදෙනෙකු තර්ක කරන්නේ යෙහෝවා දෙවි ප්‍රේමණීය දෙවි කෙනෙකු නම් ඔහු මිනිසුන්ට එලෙස සදහටම වධ හිංසා පමුණුවන්නේ කෙසේද යන්නයි. (1 යොහන් 4:8 කියවන්න.) උදාහරණයකට යම් කෙනෙක් තම දරුවා අකීකරු වූ විට ඊට දඬුවමක් ලෙස දරුවාගේ අත පුච්චනවා නම් ඔබට ඒ පුද්ගලයා ගැන හැඟෙන්නේ කෙසේද? එවැනි කුරිරු පුද්ගලයෙකුට කිට්ටු වෙන්නවත් ඔහුව දැන හඳුනා ගන්නවත් ඔබ කැමති වන්නේ නැහැ. යෙහෝවා දෙවිත් එවැනි කුරිරු දෙවි කෙනෙකු කියා මිනිසුන් තුළ විශ්වාසයක් ඇති කිරීම සාතන්ගේ අරමුණයි. එවිට දෙවිට ළං වීමට මිනිසුන් තුළ කිසිම ආශාවක් ඇති වන්නේ නැහැ. ඒ නිසයි මිය ගිය පසු කෙනෙකු අපාය වැනි ස්ථානයකට යන බව සාතන් ආගම් මගින් උගන්වන්නේ.

18. සමහර අය මිය ගිය අයට නමස්කාර කරන්නේ ඇයි?

18 තවත් සමහර ආගම්වල උගන්වන්නේ මිය ගිය අයගෙන් අපට යම් පිහිටක් ලබාගත හැකි බව හෝ ඔවුන්ගෙන් යම් හිරිහැර විඳීමට සිදු වන බවයි. ඒ නිසා බොහෝදෙනෙක් මිය ගොස් සිටින අයට ගරු බුහුමන් දක්වනවා. මන්ද එසේ නොකළොත් තමන්ට බොහෝ හිරිහැර විඳින්න සිදු වෙයි කියා ඔවුන් බිය වෙනවා. සාතන් ඒ ඉගැන්වීම යොදාගෙන එකම සැබෑ දෙවි වන යෙහෝවාට පමණක් හිමි විය යුතු නමස්කාරය මිය ගිය අය වෙතට යොමු කර තිබෙනවා.—එළිදරව් 4:11.

19. මරණයේදී සිදු වන්නේ කුමක්ද කියා දැනගැනීම අපට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

19 ඇත්තටම මරණයේදී සිදු වන්නේ කුමක්ද කියා දැනගැනීමෙන් එවැනි බොරු ඉගැන්වීම්වලින් මුළා නොවී සිටීමට අපට හැකි වෙනවා. එමෙන්ම පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීම නමැති දෙවි දී තිබෙන පොරොන්දුව කෙරෙහි මහත් ආශාවකින් බලා සිටීමට අප තුළ පෙලඹීමක් ඇති වෙනවා.

20. ඊළඟ පරිච්ඡේදයේදී සලකා බලන ප්‍රශ්නය කුමක්ද?

20 බොහෝ කාලයකට පෙර ජීවත් වූ ධර්මිෂ්ඨ පුද්ගලයෙක් වන යෝබ් මෙවැනි ප්‍රශ්නයක් ඇසුවා. “මිනිසෙකු මිය ගිය පසු ඔහු යළි ජීවත් වනු ඇද්ද?” (යෝබ් 14:14) මරණය නමැති නින්දේ සැතපී සිටින කෙනෙකුව නැවත ජීවත් කරවන්න පුළුවන්ද? ඒ ගැන බයිබලයේ පවසන දෙයින් මහත් සැනසිල්ලක් ලබාගත හැකියි. ඊළඟ පරිච්ඡේදයේදී අපි ඒ ගැන සලකා බලමු.

^ 5 ඡේ. වැඩි විස්තර දැනගන්න උපග්‍රන්ථයේ “මිනිසුන් තුළ ආත්මයක් තිබේද?” කියන ලිපිය බලන්න.