Skip to content

පටුනට යන්න

10වෙනි පරිච්ඡේදය

දේවදූතයන් හා භූතයන් ගැන ඔබ දැනගත යුතු දේ

දේවදූතයන් හා භූතයන් ගැන ඔබ දැනගත යුතු දේ
  • දේවදූතයන්ගෙන් මිනිසුන්ට උපකාර ලැබෙනවාද?

  • භූතයන් මිනිසුන්ට බලපෑම් කරන්නේ කෙසේද?

  • අප භූතයන්ට බිය විය යුතුද?

1. අප දේවදූතයන් ගැන දැනගත යුත්තේ ඇයි?

අප සාමාන්‍යයෙන් කෙනෙකුව හඳුනාගන්නා විට ඔහුගේ පවුල ගැන විස්තරත් අසා දැනගන්නවා. ඒ හා සමානව අප යෙහෝවා දෙවිව හඳුනාගන්නා විට ස්වර්ගයේ සිටින ඔහුගේ පවුල ගැන විස්තර දැනගත යුතුයි. ඔහුගේ පවුලට දේවදූතයන්ද ඇතුළත්. බයිබලයේ ඔවුන්ව හඳුන්වා තිබෙන්නේ, “දෙවිගේ පුත්‍රයෝ” ලෙසයි. (යෝබ් 38:7) දෙවි දේවදූතයන්ව තම අරමුණ ඉටු කිරීමට යොදාගන්නේ කෙසේද? අතීතයේ සිටි අයට ඔවුන්ගෙන් යම් උපකාර ලැබුණාද? ඔබටත් ඔවුන්ගෙන් උපකාර බලාපොරොත්තු විය හැකිද?

2. දේවදූතයන්ගේ ආරම්භය ගැන සඳහන් වන්නේ කුමක්ද? ඔවුන් කොපමණ සංඛ්‍යාවක් සිටිනවාද?

2 බයිබලය මාර්ගයෙන් අපට දේවදූතයන් ගැන බොහෝ දේ දැනගත හැකියි. උදාහරණයකට කොලොස්සි 1:16හි මෙසේ පවසනවා. “ස්වර්ගයෙහි හා පොළොවෙහි . . . සියල්ල සෑදීමට දෙවි හවුල් කරගත්තේ ඔහුවය [එනම් යේසුස්වය].” ඉන් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවි ඔහුගේ කුලුඳුල් පුත්‍රයා මාර්ගයෙන් ස්වර්ගයේ සිටින සියලුම දේවදූතයන්ව සෑදූ බවයි. එමෙන්ම බයිබලයේ පවසන්නේ දේවදූතයන් මිලියන ගණනක් සිටින බවයි. ඔවුන් සියලුදෙනාම ඉතා බලවත්.—ගීතාවලිය 103:20. *

3. යෝබ් 38:4-7හි පවසන දෙයින් දේවදූතයන් ගැන අපට පැහැදිලි වන්නේ මොනවාද?

3 පොළොව නිර්මාණය කළ අවස්ථාවේදී, “දෙවිගේ සියලු පුත්‍රයෝ සතුටු සිතින් ප්‍රශංසා කළ” බව බයිබලයේ පවසනවා. (යෝබ් 38:4-7) පොළොව හා මිනිසුන්ව නිර්මාණය කිරීමටත් කලින්, දේවදූතයන් සිටි බව ඉන් පැහැදිලි වෙනවා. එමෙන්ම දේවදූතයන් ඒ අවස්ථාවේදී, “එක්ව ප්‍රීතියෙන් ගී ගැයූ” නිසා ඉන් පෙනී යන්නේ ඔවුන්ට හැඟීම් දැනීම් තිබෙන බවයි. ඒ කාලයේදී “සියලු” දේවදූතයන් යෙහෝවා දෙවිට සේවය කරමින් සිටියේ එක්සත් පවුලක සාමාජිකයන් ලෙසයි.

දේවදූතයන්ගෙන් ලැබෙන උපකාර හා රැකවරණය

4. දේවදූතයන් මිනිසුන් ගැන සැලකිලිමත් වන බව පැවසිය හැක්කේ ඇයි?

4 දෙවි මිනිසුන්ව සෑදූ දා සිට ඔහුගේ විශ්වාසවන්ත දේවදූතයන් මිනිස් වර්ගයා ගැන මහත් සැලකිල්ලක් දක්වා තිබෙනවා. එමෙන්ම දෙවිගේ අරමුණ ඉටු වන ආකාරය ගැන ඔවුන් මහත් උනන්දුවෙන් බලා සිටිනවා. (හිතෝපදේශ 8:30, 31; 1 පේතෘස් 1:11, 12) නමුත් මිනිසුන් බොහෝදෙනෙකු තම ප්‍රේමණීය නිර්මාතෘට පිටු පා ඔහුගෙන් ඈත්ව ගිය බව දේවදූතයන් දුටුවා. ඒ ගැන දේවදූතයන් කනගාටු වූ බවට සැකයක් නැහැ. ඒ නිසයි යෙහෝවා දෙවිව අත්හැර ගිය එක මිනිසෙකු වුණත් නැවත දෙවි වෙතට හැරී එන විට, ‘දෙවිගේ දූතයන් ප්‍රීති වෙනවා’ කියා බයිබලයේ සඳහන් වන්නේ. (ලූක් 15:10) දෙවිට සේවය කරන මිනිසුන් ගැන දේවදූතයන් ඉමහත් සැලකිල්ලක් දක්වන නිසා බොහෝ අවස්ථාවලදී තම සේවකයන්ව ශක්තිමත් කිරීමට හා ආරක්ෂා කිරීමට දෙවි ඔවුන්ව යොදාගෙන තිබෙනවා. (හෙබ්‍රෙව් 1:7, 14 කියවන්න.) එවැනි අවස්ථා කිහිපයක් දැන් අපි සලකා බලමු.

“මාගේ දෙවි ඔහුගේ දූතයෙකුව එවා සිංහයන්ගේ කටවල් වසා දැමුවා.”—දානියෙල් 6:22

5. දේවදූතයන් මිනිසුන්ට උපකාර කළ බවට තිබෙන සාක්ෂි මොනවාද?

5 දුෂ්ට මිනිසුන්ගෙන් පිරුණු නගර දෙකක් වන සොදොම සහ ගොමෝරාව විනාශ කළ අවස්ථාවේදී ධර්මිෂ්ඨ මිනිසෙකු වූ ලොත්ට සහ ඔහුගේ දූවරුන්ට ඒ ප්‍රදේශයෙන් පිට වී යෑමට උපකාර කළේ දේවදූතයන් දෙදෙනෙක්. (උත්පත්ති 19:15, 16) එම සිද්ධියෙන් සියවස් කිහිපයකට පසු දෙවිගේ සේවකයෙකු වූ දානියෙල්ටත් දේවදූතයෙකුගෙන් උපකාර ලැබුණා. දානියෙල්ව සිංහ ගුහාවකට දමනු ලැබුවත් ඔහුට කිසිම අනතුරක් සිදු නොවුණේ ඒ නිසයි. ඒ ගැන ඔහුම පැවසුවේ මෙසේයි. “මගේ දෙවි ඔහුගේ දූතයෙකුව එවා සිංහයන්ගේ කටවල් වසා දැමුවා.” (දානියෙල් 6:22) යේසුස් පොළොවේ සේවය ආරම්භ කළ කාලයේදී දේවදූතයන් ඔහුට උපකාර කළ බවත් බයිබලයේ සඳහන් වෙනවා. (මාක් 1:13) ඔහු මිය යෑමට පෙර දින රාත්‍රියෙත් දේවදූතයෙක් පැමිණ, “ඔහුව ශක්තිමත්” කළා. (ලූක් 22:43) යේසුස්ගේ ජීවිතයේ ඉතා තීරණාත්මක අවස්ථාවන්වලදී එසේ දේවදූතයන්ගෙන් ලැබුණු උපකාර ඔහුට මොන තරම් සැනසිල්ලක් වන්න ඇද්ද! පසු කාලයක යේසුස්ගේ ගෝලයෙකු වූ පේතෘස් සිරගතව සිටියදී දේවදූතයෙක් පැමිණ ඔහුව එයින් නිදහස් කළා.—ක්‍රියා 12:6-11.

6. (අ) දේවදූතයන් දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ව ආරක්ෂා කරන්නේ කෙසේද? (ආ) අප දැන් සලකා බලන්නේ කුමන ප්‍රශ්නය ගැනද?

6 දෙවිගේ සේවකයන්ට මේ කාලයේදී දේවදූතයන්ව දකින්න නොලැබුණත් ඔවුන් තවමත් දෙවිගේ සේවකයන්ව ආරක්ෂා කරනවා. මන්ද, “යෙහෝවා දෙවිගේ දූතයා දෙවි කෙරෙහි ගරුබිය ඇති අය වටා කඳවුරු බැඳ ඔවුන්ව ගලවාගන්නේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 34:7) දේවදූතයන් දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ව ආරක්ෂා කරන්නේ කෙසේද? දෙවි සමඟ ඔවුන්ට තිබෙන මිත්‍රත්වයට හානි පමුණුවන දේවලින් ඔවුන්ව ආරක්ෂා කිරීමෙන් හා දෙවිට විශ්වාසවන්තව සිටීමට ඔවුන්ට උපකාර කිරීමෙනුයි. එය දැන සිටීම අපට මොන තරම් සැනසීමක්ද! මන්ද දෙවිට විශ්වාසවන්තව සිටින අයව සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට උත්සාහ දරන බලවත් පිරිසක් සිටිනවා. බයිබලයේ ඔවුන්ව හඳුන්වන්නේ භූතයන් ලෙසයි. ඔවුන්ගේ ආරම්භය ගැන බයිබලය පවසන්නේ කුමක්ද? එම ප්‍රශ්නයට පිළිතුරක් ලබාගැනීම සඳහා දැන් අපි මිනිස් ඉතිහාසයේ ආරම්භයේ සිදු වූ දෙයක් සලකා බලමු.

මිනිසුන්ව නොමඟ යැවීමට මාන බලන භූතයෝ

7. මිනිසුන්ව දෙවිගෙන් ඈත් කිරීමේදී සාතන් කොතරම් දුරට සාර්ථක වුණාද?

7 එක් දේවදූතයෙකුට අන් අයව පාලනය කිරීමට ඇති වූ ආශාව නිසා ඔහු දෙවිට විරුද්ධව කැරලිගැසුවා. සාතන් නමැති යක්ෂයා බවට පත් වුණේ ඔහුයි. (එළිදරව් 12:9) මුල් මිනිස් යුවළව තම කැරැල්ලට හවුල් කරගත් දවසේ සිට ගත වූ අවුරුදු 1,600ක කාලය පුරා ආබෙල්, ඒනොක් සහ නෝවා වැනි විශ්වාසවන්ත කිහිපදෙනෙකු හැර අන් සියලුම මිනිසුන්ව දෙවිගෙන් ඈත් කිරීමට ඔහු සමත් වුණා.—හෙබ්‍රෙව් 11:4, 5, 7.

8. (අ) භූතයන්ගේ ආරම්භය ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද? (ආ) නෝවාගේ කාලයේ සිදු වූ ජලගැල්මෙන් බේරීමට භූතයන් කළේ කුමක්ද?

8 නෝවා ජීවත් වූ කාලයේදී තවත් දේවදූතයන් පිරිසක් යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගැසුවා. ඔවුන් ස්වර්ගයේ තමන්ට පවරා තිබූ වැඩ කොටස අත්හැර දමා පොළොවට පැමිණ මිනිස් වෙස් ගෙන පොළොවෙහි වාසය කළා. ඊට හේතුව උත්පත්ති 6:2හි පවසන්නේ මෙසේයි. “සැබෑ දෙවිගේ පුත්‍රයෝ මනුෂ්‍යයන්ගේ දූවරුන් ඉතා ලස්සන බව දුටුවෝය. ඔවුහු හිතුමනාපෙට ස්ත්‍රීන්ව තෝරාගෙන ඔවුන්ව විවාහ කරගත්හ.” නමුත් යෙහෝවා දෙවි තමාට විරුද්ධ වූ ඒ දේවදූතයන්ට දිගටම එලෙස ක්‍රියා කිරීමට ඉඩ දුන්නේ නැහැ. එමෙන්ම ඔවුන්ගේ බලපෑම නිසා පිරිහුණු මිනිස් සමාජයට අවසානයක් ගෙන ඒමටත් ඔහු තීරණය කළා. ඔවුන්ව පොළොවෙන් සහමුලින්ම ඉවත් කර දැමීමට දෙවි ජලගැල්මක් ඇති කළේ ඒ නිසයි. ඒ මහා ජලගැල්මෙන් ඔහු ආරක්ෂා කළේ ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ව පමණයි. (උත්පත්ති 7:17, 23) පොළොවේ තවදුරටත් ජීවත් වීමට නොහැකි වූ නිසා ඒ කැරලිකාර දේවදූතයන් මිනිස් වෙස් අත්හැර නැවතත් ස්වර්ගයට ගියා. භූතයන් ලෙස හඳුන්වනු ලබන්නේ ඔවුන්වයි. ඔවුන් යක්ෂයාගේ පැත්ත ගත් නිසා යක්ෂයා, “භූතයන්ගේ පාලකයා” බවට පත් වුණා.—මතෙව් 9:34.

9. (අ) භූතයන් නැවත ස්වර්ගයට ගිය විට සිදු වූයේ කුමක්ද? (ආ) භූතයන් ගැන අප දැනුවත් විය යුත්තේ ඇයි?

9 භූතයන් නැවතත් ස්වර්ගයට ගිය විට දෙවි ඔවුන්ව පිළිගත්තේ නැහැ. ඔවුන්වත් ඔවුන්ගේ පාලකයා වන සාතන්වත් දෙවි තම පවුලෙන් ඉවත් කළා. (2 පේතෘස් 2:4) දැන් ඔවුන්ට මිනිස් වෙස් ගැනීමට හැකියාවක් නැහැ. ඒ වුණත් ඔවුන් තවමත් මිනිසුන්ට දරුණු ලෙස බලපෑම් කරනවා. භූතයන්ගේ සහයෝගය ඇතුව සාතන්, ‘මුළු පොළොවම නොමඟ යවනවා’ කියා බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසයි. (එළිදරව් 12:9; 1 යොහන් 5:19) මිනිසුන්ව නොමඟ යවා දෙවිගෙන් ඈත් කිරීමට සාතන් සහ භූතයන් විවිධ උපක්‍රම යොදාගන්නවා. (2 කොරින්ති 2:11 කියවන්න.) ඒවායින් ආරක්ෂා වීමට නම් එම උපක්‍රම අප හඳුනාගත යුතුයි.

භූතයන් මිනිසුන්ව නොමඟ යවන ආකාර

10. භූතවාදය යනු කුමක්ද?

10 බොහෝ මිනිසුන් භූතයන්ගේ උපක්‍රම නිසා නොමඟ ගොස් කෙළින්ම හෝ වක්‍රාකාරව ඔවුන්ගේ ග්‍රහණයට හසු වෙනවා. භූතයන් සමඟ සම්බන්ධ වීමට යොදාගන්නා සෑම ක්‍රමයක්ම හඳුන්වන්නේ “භූතවාදය” ලෙසයි. බයිබලයේ භූතවාදය හෙළාදකින අතර ඊට සම්බන්ධ සෑම දෙයකින්ම ඈත්ව සිටින ලෙස අනතුරු අඟවා තිබෙනවා. (ගලාති 5:19-21) ඇත්තටම භූතවාදය ඇමකට සමාන කළ හැකියි. මාළු අල්ලන්නෙකු විවිධ වර්ගයේ මාළු අල්ලාගැනීමට විවිධ ඇම භාවිත කරනවා හා සමානව භූතයෝද මිනිසුන්ව නොමඟ යැවීමට විවිධ ක්‍රම යොදාගන්නවා.

11. පේන කීමේදී කරන්නේ කුමක්ද? අප එයින් වැළකී සිටිය යුත්තේ ඇයි?

11 භූතයන් මිනිසුන්ව නොමඟ යැවීමට යොදාගන්නා එක් ඇමක් වන්නේ පේන කීමයි. පේන කීමේදී සිදු වන්නේ ආවේශ වී හෝ වෙනත් ගුප්ත ක්‍රමයකින් යම් කෙනෙක් තොරතුරු ප්‍රකාශ කිරීමයි. ඊට විශේෂයෙන් අංජනම් බැලීම ඇතුළත් වෙනවා. එහිදී පහන් දැල්ලක්, අඳුනක් හෝ වතුර වීදුරුවක් යොදාගනිමින් අවශ්‍ය තොරතුරු දැනගත හැකියි. ඊට අමතරව අනාගතය ගැන දැනගැනීමට හෝ නොදන්නා දෙයක් ගැන සොයා බැලීමට සමහරුන් හඳහන් බැලීම, ශාස්ත්‍ර බැලීම වැනි දේවල් කරනවා. එවැනි ක්‍රියාවලට හවුල් වීමෙන් කිසිම හානියක් සිදු නොවන බව බොහෝදෙනෙකු සිතුවත් බයිබලයේ පෙන්වා දී තිබෙන්නේ ඒ දේවල් කරන අයට භූතයන් සමඟ කිට්ටු සම්බන්ධයක් තිබෙන බවයි. උදාහරණයකට ගැහැනු ළමයෙකුට, “භූතයෙකු වැහී සිටි නිසා ඇයට පේන කීමේ හැකියාවක්” තිබූ බව බයිබලයේ සඳහන් වෙනවා. ඒ භූතයාව ඇගෙන් දුරු කළ පසු ඇයට ඒ හැකියාව නැති වුණා.—ක්‍රියා 16:16-18.

භූතයන් මිනිසුන්ව නොමඟ යැවීමට විවිධ උපක්‍රම යොදාගන්නවා

12. මිය ගිය අයගෙන් තොරතුරු විමසීම අනතුරුදායක දෙයක් වන්නේ ඇයි?

12 මිය ගිය අය ඇත්තටම මිය ගොස් නැති බව සිතීමට මිනිසුන්ව පෙලඹවීම භූතයන් මිනිසුන්ව නොමඟ යවන තවත් ක්‍රමයක්. ඒ නිසා බොහෝදෙනෙක් මිය ගිය අය සමඟ කතා කිරීමට තැත් කරනවා. බොහෝවිට එසේ කිරීමට පෙලඹෙන්නේ වියෝදුකින් පෙළෙන අයයි. මළවුන්ව ගෙන්වනවා කියා පවසන ශාස්ත්‍ර කියන අය වෙතට ඔවුන් ගොස් මිය ගිය පුද්ගලයා ගැන තොරතුරු විමසනවා. එවැනි අවස්ථාවලදී මිය ගිය කෙනාගේ කටහඬට සමාන කටහඬක් ඇසෙන්න පුළුවන්. එසේ නැත්නම් මිය ගිය තැනැත්තාගෙන් කියා යම් පණිවිඩයක් ලැබෙන්න පුළුවන්. බොහෝදෙනෙකු සිතන්නේ මිය ගිය අය සමඟ එලෙස සම්බන්ධ වීමෙන් සැනසිල්ලක් ලබාගත හැකි බවයි. නමුත් සැනසිල්ලකට වඩා එයින් සිදු වන්නේ මහත් අනතුරක්. මන්ද අප හයවෙනි පරිච්ඡේදයේ ඉගෙනගත් ආකාරයට මිය ගිය අය කොතැනකවත් ජීවත් වන්නේ නැහැ. ඔවුන්ට මිනිසුන් සමඟ කිසිම ආකාරයකින් සම්බන්ධ වීමට හැකියාවක්ද නැහැ. (ගීතාවලිය 115:17) ඒ නිසා මිය ගිය කෙනා ලෙස පෙනී සිටින්නේ භූතයෙක්. (1 සාමුවෙල් 28:3-19) ඒ අනුව යමෙකු, ‘මළවුන්ගෙන් තොරතුරු විචාරනවා’ නම් ඒ තැනැත්තා හසු වන්නේ භූතයන්ගේ බලපෑමටයි. එමෙන්ම ඔහු කරමින් සිටින්නේ දෙවිගේ කැමැත්තට විරුද්ධ දෙයක්. (ද්විතීය කතාව 18:10, 11 කියවන්න; යෙසායා 8:19) භූතයන් භාවිත කරන ඒ ඇමවලට හසු නොවී සිටීම සඳහා අප කල්පනාකාරී විය යුතුයි.

13. භූතයන්ට බියෙන් සිටි බොහෝදෙනෙකුට කිරීමට හැකි වී තිබෙන්නේ කුමක්ද?

13 සාතන් හා භූතයන් මිනිසුන්ව නොමඟ යවනවාට අමතරව ඔවුන්ව බියගන්වනවා. ඔවුන් පෙරටත් වඩා දරුණු ආකාරයකින් එසේ කරනවා. මන්ද තමන්ට ඉතුරුව තිබෙන්නේ, “ඉතා කෙටි කාල පරිච්ඡේදයක්” බව ඔවුන් හොඳින් දන්නවා. (එළිදරව් 12:12, 17) නමුත් අප ඔවුන්ට බිය විය යුතු නැහැ. කාලයක් පුරා භූතයන්ගේ බලපෑම්වලට බියෙන් ජීවත් වූ දහස් ගණනකට පවා එම බලපෑම්වලින් නිදහස් වීමට හැකි වී තිබෙනවා. යම් කෙනෙකු භූතයන්ගේ බලපෑම්වලට හසු වී සිටිනවා නම් එයින් නිදහස් වීමට ඔහුට කළ හැක්කේ මොනවාද?

භූත බලපෑම්වලට හසු නොවී සිටිය හැකි ආකාර

14. එෆීසයේ සිටි ක්‍රිස්තියානීන් මෙන් අපටත් භූත බලපෑම්වලින් නිදහස් විය හැක්කේ කෙසේද?

14 භූත බලපෑම්වලට හසු වී සිටින අයට ඉන් නිදහස් විය හැකි ආකාරය ගැන එෆීස නගරයේ විසූ ක්‍රිස්තියානීන්ගේ ආදර්ශයෙන් යමක් ඉගෙනගත හැකියි. ඔවුන්ගෙන් සමහරදෙනෙක් ක්‍රිස්තියානීන් වීමට කලින් භූතයන් සමඟ සම්බන්ධ වෙමින් විවිධ දේවල නියැලුණා. ඒ දේවලින් ඉවත් වීමට ඔවුන් තීරණය කළ විට ඔවුන් කළේ කුමක්ද? ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඔවුන් අතර සිටි මන්තර ගුරුකම්වල නියැලී සිටි බොහෝදෙනෙක් ගුරුකම් සඳහා භාවිත කළ පොත් පත් ගෙනැවිත් සියලුදෙනා ඉදිරියෙහි පුලුස්සා දැමුවෝය.” (ක්‍රියා 19:19) ඉන් පැහැදිලි වන්නේ කෙනෙකු භූතයන්ගේ ග්‍රහණයෙන් මිදී යෙහෝවා දෙවිට සේවය කිරීමට කැමති නම් ඔහු භූතවාදය සඳහා යොදාගන්නා සෑම දෙයක්ම ඉවත් කර දැමිය යුතු බවයි. හඳහන්, යන්ත්‍ර, සුර හෝ වෙනත් ආයිත්තම් ඒවාට ඇතුළත් වෙනවා. අද මාධ්‍යය තුළින් අද්භූත දේවල් සිත් ඇදගන්නා, සාමාන්‍ය දෙයක් ලෙස ඉදිරිපත් කරන නිසා අප ළඟ තිබෙන පොත් පත්, සඟරා, චිත්‍රපටි, පත්‍රිකා හා සංගීත තැටි යනාදිය ගැන අප සැලකිලිමත් විය යුතුයි.—1 කොරින්ති 10:21.

15. භූතයන්ගේ බලපෑම්වලට විරුද්ධව සිටීම සඳහා අප තුළ තිබිය යුත්තේ කුමක්ද?

15 එෆීසයේ සිටි ක්‍රිස්තියානීන් ගුරුකම් සඳහා භාවිත කළ පොත් පත් විනාශ කර අවුරුදු කිහිපයක් ගත වූ පසු බයිබල් ලේඛක පාවුල් ඔවුන්ට මෙසේ පැවසුවා. “අපට පොරබැදීමට සිදු වී තිබෙන්නේ . . . භූත සේනාවන්ට විරුද්ධවය.” (එෆීස 6:12) ඉන් පැහැදිලි වන්නේ භූතයන් එම ක්‍රිස්තියානීන්ව තම බලපෑමට නැවත හසු කරගැනීමට උත්සාහ කරමින් සිටි බවයි. ඒ බලපෑමට විරුද්ධ වීම සඳහා, “සියල්ලට පළමුවෙන් විශ්වාසය නමැති විශාල පලිහ ඔබේ අතට ගන්න” කියා පාවුල් පැවසුවා. මන්ද දෙවි කෙරෙහි කෙනෙකුට තිබෙන විශ්වාසය ශක්තිමත් වන තරමටම භූතයන්ගේ බලපෑම්වලට එරෙහිව සිටීමට ඔහුට තිබෙන ශක්තියද වැඩි වෙනවා. “එයින් දුෂ්ටයා [එනම් සාතන්] ඔබ දෙසට විදින සියලුම ගිනිමය ඊතල නිවා දැමීමට ඔබට හැකි වේ” කියා පාවුල් තවදුරටත් ඔවුන්ට පැවසුවේ ඒ නිසයි.—එෆීස 6:16; මතෙව් 17:20.

16. අපේ විශ්වාසය ශක්තිමත් කරගත හැක්කේ කෙසේද?

16 දෙවි කෙරෙහි අපට තිබෙන විශ්වාසය ශක්තිමත් කරගැනීමට නම් බයිබලය දිනපතා අධ්‍යයනය කිරීම අවශ්‍යයි. උදාහරණයකට පවුරක් කොතරම් ශක්තිමත්ද යන්න රඳා පවතින්නේ එහි අත්තිවාරමේ ශක්තිය මතයි. ඒ හා සමානව අපේ විශ්වාසය නමැති පවුර ශක්තිමත්ව තබාගැනීමට අපට බයිබලය පිළිබඳ නිවැරදි දැනුමක් තිබිය යුතුයි. අපේ විශ්වාසයට අත්තිවාරම එයයි. අපට ශක්තිමත් විශ්වාසයක් තිබෙනවා නම් භූතයන්ගේ බලපෑම්වලට දිගටම එරෙහිව සිටින්න අපට හැකියි.—1 යොහන් 5:5.

17. භූතයන්ගේ බලපෑම්වලට විරුද්ධව සිටීමට අප කළ යුත්තේ කුමක්ද?

17 එෆීසයේ සිටි ඒ ක්‍රිස්තියානීන්ට භූතයන්ගේ බලපෑම්වලට විරුද්ධව සිටීමට තවත් දෙයක් කිරීමට සිදු වුණා. ඔවුන් ජීවත් වූ නගරය භූතවාදයට සම්බන්ධ දේවලින් පිරී තිබුණු නිසා පාවුල් ඔවුන්ට මෙසේ පැවසුවා. “සෑම අවස්ථාවකදීම [දෙවිට] යාච්ඤා කරන්න. හැකි සෑම ආකාරයකින්ම යාච්ඤා කිරීමටත් කන්නලව් කිරීමටත් වගබලා ගන්න.” (එෆීස 6:18) අපත් ජීවත් වන්නේ භූතවාදයට සම්බන්ධ දේවල් පිරී පවතින ලෝකයකයි. ඒ නිසා ඒවාට එරෙහිව සිටීමට යෙහෝවා දෙවිගේ උපකාර පතමින්, “දුෂ්ටයාගෙන් [එනම් සාතන්ගෙන්] අපව ගලවාගන්න” කියා ඔහුට මහත් ඕනෑකමින් යාච්ඤා කිරීම අත්‍යවශ්‍යයි. (මතෙව් 6:13) එසේ යාච්ඤා කරන විට දෙවිගේ නම සඳහන් කළ යුතුයි. (හිතෝපදේශ 18:10 කියවන්න.) අප කරන ඒ යාච්ඤාවලට යෙහෝවා දෙවි සවන් දී අපට උපකාර කරන බවට සැකයක් නැහැ.—ගීතාවලිය 145:19.

18, 19. (අ) භූතයන්ට විරුද්ධව කරන සටනින් අපට ජය ලැබිය හැකි බවට නිසැක විය හැක්කේ ඇයි? (ආ) ඊළඟ පරිච්ඡේදයේදී සලකා බලන ප්‍රශ්න මොනවාද?

18 භූතයන් භයානක පිරිසක් වුණත් අප ඔවුන්ට බියෙන් ජීවත් විය යුතු නැහැ. මන්ද අප ඔවුන්ට විරුද්ධව සිටිමින් දෙවිට ළං වී ඔහුගේ කැමැත්ත කරනවා නම් අපට හානියක් කිරීමට ඔවුන්ට නොහැකියි. (යාකොබ් 4:7, 8 කියවන්න.) ඇත්තෙන්ම දෙවිගේ බලය හා සසඳද්දී භූතයන්ට තිබෙන්නේ සීමිත බලයක්. නෝවාගේ කාලයේදී ඔවුන්ට දඬුවම් ලැබුණු අතර අනාගතයේදී අවසන් විනිශ්චයකට මුහුණ දීමට ඔවුන්ට සිදු වෙනවා. (යූද් 6) එමෙන්ම දේවදූතයන්ගේ ආරක්ෂාව අපට ලැබෙන නිසා අප බියෙන් ජීවත් විය යුතු නැහැ. (2 රාජාවලිය 6:15-17) අප භූතයන්ට එරෙහිව සිටිනවා දකින්න ඔවුන් කැමතියි. එසේ කිරීමට ඔවුන් අපට අතහිත දෙනවා. ඒ නිසා අපි යෙහෝවා දෙවිටත් දේවදූතයන්ගෙන් සමන්විත ඔහුගේ පවුලටත් ළංව සිටිමු. භූතවාදයට සම්බන්ධ සෑම දෙයකින්ම වැළකී සිටිමින් බයිබලයේ දී තිබෙන උපදෙස් නිතරම පිළිපදිමු. (1 පේතෘස් 5:6, 7; 2 පේතෘස් 2:9) එසේ කිරීමෙන් භූතයන්ට විරුද්ධව කරන සටනින් අපට නිසැකවම ජය ලබාගත හැකියි.

19 නමුත් මිනිසුන්ට බලපෑම් කිරීමට දෙවි භූතයන්ට ඉඩහැර තිබෙන්නේ ඇයි? එමෙන්ම පොළොව පුරා මෙතරම් දුෂ්ටකම් පැවතීමට දෙවි ඉඩහැර තිබෙන්නේ ඇයි? ඒ ප්‍රශ්නවලට පිළිතුරු ඊළඟ පරිච්ඡේදයේදී සලකා බලමු.

^ 2 ඡේ. දේවදූතයන් ගැන එළිදරව් 5:11හි මෙසේ සඳහන් වෙනවා. “ඔවුන්ගේ ගණන දසදහස් වර දසදහසක්ද දහස් වර දහසක්ද විය.” ඉන් පැහැදිලි වන්නේ දේවදූතයන් මිලියන සිය ගණනක් සිටින බවයි.