Skip to content

පටුනට යන්න

11වෙනි පරිච්ඡේදය

දෙවි දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?

දෙවි දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?
  • මිනිසුන් විඳින දුක් වේදනාවලට වග කිව යුත්තේ දෙවිද?

  • ඒදන් උයනේදී මතු කළ ප්‍රශ්නය කුමක්ද?

  • මිනිසුන් විඳින දුක් වේදනා දෙවි නැති කර දමන්නේ කෙසේද?

1, 2. මිනිසුන් අද්දකින දේවල් නිසා මතු වන ප්‍රශ්නය කුමක්ද?

අප ජීවත් වන ලෝකයේ දුකට හේතු වන බොහෝ දේවල් සිදු වෙනවා. උදාහරණයකට යුද්ධ නිසා මිය ගොස් ඇති අසංඛ්‍යාත පුරුෂයන්, ස්ත්‍රීන් සහ දරුවන් ගැන සිතා බලන්න. යුද්ධ ඇතුළු දුකට හේතු වන වෙනත් දේවල් සිදු වන විට බොහෝදෙනෙකුට මතු වන ප්‍රශ්නය නම් මේ දේවල් සිදු වන්නේ ඇයි කියායි.

2 යෙහෝවා දෙවි සියලු බලැති දෙවි බවත් ඔහු ප්‍රේමයෙන්, ප්‍රඥාවෙන් හා යුක්තිසහගතව ක්‍රියා කරන කෙනෙකු බවත් ඔබ ඉගෙනගත් නිසා මේ ලෝකයේ මෙතරම් දරුණු හා අයුක්තිසහගත දේවල් සිදු වන්නේ ඇයි කියා ඔබත් කල්පනා කරනවා ඇති.

3, 4. (අ) දෙවි දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි කියා ප්‍රශ්න කිරීම වැරදිද? පැහැදිලි කරන්න. (ආ) දුක් වේදනා ගැන දෙවිට හැඟෙන්නේ කෙසේද?

3 ඇතැම් අය සිතන්නේ ඒ ගැන සොයා බැලීම දෙවිට කරන අගෞරවයක් කියායි. නමුත් බයිබලය කියවන විට දෙවිට විශ්වාසවන්තව සේවය කළ අයත් ඒ ගැන දෙවිගෙන් ප්‍රශ්න කළ බව දැනගත හැකියි. උදාහරණයකට බයිබල් ලේඛකයෙක් වූ හබක්කුක් යෙහෝවා දෙවිගෙන් මෙසේ ඇසුවා. “ඔබ මේ නපුරුකම් දෙස බලා සිටින්නේ කෙසේද? මා බලන බලන සෑම තැනම සොරකම්ද මැරවරකම්ද සිදු වෙයි. මගේ දෑසින් මේ දුෂ්ට දේවල් දකින්න ඔබ මට ඉඩහරින්නේ ඇයි? මෙතරම් කෝලහල අඬදබර සිදු වන්නේ මන්ද?”—හබක්කුක් 1:3.

යෙහෝවා දෙවි සියලුම දුක් වේදනා නැති කර දමනවා

4 එසේ ප්‍රශ්න කිරීම ගැන යෙහෝවා දෙවි හබක්කුක් සමඟ උදහස් වුණේ නැහැ. මන්ද ඒ ප්‍රශ්න ඉතා වැදගත් බව දෙවි දැන සිටියා. බයිබලයේ පවා ඒ ගැන වාර්තා කර තිබෙන්නේ ඒ නිසයි. දෙවි තම විශ්වාසවන්ත සේවකයා වූ හබක්කුක් ගැන සැලකිලිමත් වූ නිසා ඔහුට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දී ඔහුව දැනුවත් කළා. එයින් ඔහුගේ විශ්වාසයද ශක්තිමත් වුණා. දෙවි, ‘ඔබ ගැනත් සැලකිලිමත්’ වන නිසා අප ජීවත් වන සමාජයේ මෙතරම් දුක් වේදනා පවතින්නේ ඇයි කියා ඔබව දැනුවත් කරන්නත් ඔහු කැමැත්තෙන් සිටිනවා. (1 පේතෘස් 5:7) එමෙන්ම අද සිදු වන සෑම දෙයක් ගැනම මිනිසුන් වන අපට වඩා දෙවි බොහෝ සෙයින් දුක් වෙනවා. (යෙසායා 55:8, 9) එසේනම් මෙතරම් දුක් වේදනා පවතින්නේ ඇයි? ඊට හේතු දැන් අපි සලකා බලමු.

මෙතරම් දුක් වේදනා පැවතීමට හේතු

5. මිනිසුන් දුක් වේදනා විඳීමට හේතු ගැන ආගමික නායකයන් පවසන්නේ මොනවාද? නමුත් බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද?

5 ඇතැම් අය ආගමික නායකයන්ගෙන් ඒ ගැන විමසන විට ඔවුන් විවිධ මත ඉදිරිපත් කරනවා. ඔවුන් පවසන්නේ සිදු වන සෑම දෙයක්ම දේවකැමැත්තට අනුව සිදු වන බවයි. එමෙන්ම දෙවි ක්‍රියා කරන ආකාරය කිසි කෙනෙකුට තේරුම්ගත නොහැකි බවත් ඔවුන් පවසනවා. කෙනෙකු මිය ගිය විට ඔවුන් පවසන්නේ තමන් සමඟ ස්වර්ගයේ සිටීමට දෙවි ඔහුව ගත් බවයි. ඇතැම් ආගමික නායකයන් සිදු වන සෑම දෙයක්ම කෙනෙකුගේ දෛවයට අනුව සිදු වන බව පවසනවා. නමුත් ඔබ දැනටමත් ඉගෙනගෙන තිබෙන ආකාරයට යෙහෝවා දෙවි කවදාවත් නපුරු දේවල් සිදු කරන්නේ නැහැ. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “සැබෑ දෙවි කවදා හෝ දුෂ්ට ලෙස ක්‍රියා කරයිද? සියලු බලැති දෙවි අයුක්තියක් කරයි කියා සිතිය හැකිද? එවැනි සිතුවිල්ලක්වත් ඔහුගේ සිතට පහළ වන්නේ නැත.”—යෝබ් 34:10.

6. දුක් වේදනාවලට මුහුණ දෙන විට මිනිසුන් දෙවිට දොස් නඟන්නේ ඇයි?

6 ආගමික නායකයන් ඉදිරිපත් කරන බොරු මත නිසාත් සියලු බලැති දෙවි මේ දුෂ්ට ලෝකය පාලනය කරනවා කියා මිනිසුන් සිතන නිසාත් මුහුණ දෙන සෑම දුක් වේදනාවකටම ඔවුන් දොස් නඟන්නේ දෙවිටයි. නමුත් අප තුන්වෙනි පරිච්ඡේදයේ ඉගෙනගත් ආකාරයට මේ දුෂ්ට ලෝකය පාලනය කරන්නේ යෙහෝවා දෙවි නොවෙයි. එය තිබෙන්නේ සාතන් නමැති යක්ෂයාගේ පාලනය යටතේයි.

7, 8. (අ) සාතන්ගේ ගතිලක්ෂණ අද සමාජයේ දක්නට තිබෙන්නේ කෙසේද? (ආ) මිනිසුන්ගේ පව්කාර ස්වභාවයත්, “නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල්” සිදු වීමත් දුක් වේදනාවලට හේතු වන්නේ කෙසේද?

7 බයිබලයේ පැහැදිලිවම සඳහන් වන්නේ, “මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්ව තිබෙන” බවයි. (1 යොහන් 5:19) එමෙන්ම ඔහු, ‘මුළු පොළොවම නොමඟ යවනවා’ කියාත් එහි සඳහන් වෙනවා. (එළිදරව් 12:9) ලෝකයේ සිදු වන දේවල් දෙස බලද්දී එය සත්‍යයක් බව පැහැදිලියි. සාතන් නපුරු, කුරිරු පුද්ගලයෙක්. එමෙන්ම ඔහු ඉතා කපටි කෙනෙක්. අද සමාජය පුරාම දක්නට තිබෙන්නෙත් සාතන්ගේ ඒ නරක ගතිලක්ෂණයි. ඒ අනුව අද ලෝකයේ මෙතරම් දුක් වේදනා පැවතීමට එක් හේතුවක් වන්නේ සාතන් මේ ලෝකයේ පාලකයා වීමයි.

8 මෙතරම් දුක් වේදනා පැවතීමට තවත් හේතුවක් වන්නේ මිනිසුන්ට උරුම වී ඇති පව්කාර ස්වභාවයයි. ඒ නිසා ඔවුන් නිතරම උත්සාහ කරන්නේ අන් අයව තමන් යටතේ තබාගැනීමටයි. යුද්ධ කෝලහල ඇති වන්නෙත් මිනිසුන් හිංසා පීඩාවලට ලක් වන්නෙත් දුක් විඳින්නෙත් එහි ප්‍රතිඵලයක් ලෙසයි. (දේශනාකාරයා 4:1; 8:9) දුක් වේදනා සිදු වීමට හේතු වන තවත් කාරණයක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. එනම්, “නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල්” සිදු වීමයි. (දේශනාකාරයා 9:11 කියවන්න.) ඉන් අදහස් කරන්නේ ඕනෑම කෙනෙකු හදිසි විපතකට මුහුණ දිය හැකි බවයි. මන්ද අද මේ ලෝකය පාලනය කරන්නේ මිනිසුන්ට පූර්ණ ආරක්ෂාවක් සලසා දිය හැකි පාලකයා වන යෙහෝවා දෙවි නොවෙයි.

9. දුක් වේදනා පවතින්න දෙවි ඉඩහැර තිබීමට හොඳ හේතුවක් තිබෙන බව පැවසිය හැක්කේ ඇයි?

9 ලොව පුරා සිදු වන යුද්ධ, අපරාධ, හිංසා පීඩා හා ස්වාභාවික විපත්තිවලට වග කිව යුත්තේ දෙවි නොවෙයි. ඒ ගැන දැනගැනීම මොන තරම් සැනසිල්ලක්ද! නමුත් දෙවි ඒ ගැන කිසිවක් නොකරන්නේ ඇයි? යෙහෝවා දෙවි සියලු බලැති දෙවි වන නිසා මිනිසුන් අද්දකින දුක් වේදනාවලට අවසානයක් ගෙනෙන්න ඔහුට හැකියි. නමුත් මේ වන තුරු ඔහු එසේ නොකිරීමට හොඳ හේතුවක් තිබිය යුතුයි. මන්ද ඔහු ඉතා ප්‍රේමණීය දෙවි කෙනෙක්. (1 යොහන් 4:8) එසේනම් දෙවි මේ දේවලට ඉඩහරින්නේ ඇයි කියා අපි දැන් සලකා බලමු.

අතිවැදගත් ප්‍රශ්නයක් මතු වෙයි

10. සාතන් ප්‍රශ්න කළේ කුමක් ගැනද? පැහැදිලි කරන්න.

10 දෙවි දුක් වේදනාවලට ඉඩහැර තිබෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුරු සොයාගැනීමට නම් ඒදන් උයනේ සිදු වූ දෙය සලකා බැලීම අවශ්‍යයි. සාතන්ගේ බලපෑම නිසා ආදම් සහ ඒව දෙවිට අකීකරු වූ අවස්ථාවේදී යෙහෝවා දෙවි සම්බන්ධයෙන් වැදගත් ප්‍රශ්නයක් මතු වුණා. සාතන් ප්‍රශ්න කළේ යෙහෝවා දෙවිට තිබෙන බලය ගැන නොවෙයි. මන්ද සියලු බලැති දෙවි යෙහෝවා බව සාතන් පවා දන්නවා. ඔහු චෝදනා කළේ දෙවි නපුරු පාලකයෙකු බවයි. දෙවි මිනිසුන්ට බොරු කියන බවත් ඔවුන්ට යහපත් දේවල් ලබා නොදෙන බවත් ඔහු පැවසුවා. එසේ පැවසීමෙන් ඔහු ඇඟවීමට උත්සාහ කළේ දෙවි වැනි නපුරු පාලකයෙකුට මිනිසුන්ව පාලනය කිරීමට අයිතියක් නැති බවයි. (උත්පත්ති 3:2-5 කියවන්න.) ඒ නිසා දෙවිගේ පාලනයට යටත් නොවී ස්වාධීනව කටයුතු කළොත් මිනිසුන්ට වඩා හොඳ ජීවිතයක් ගත කළ හැකි බව ඔහු පැවසුවා. ඒ අනුව සාතන් ප්‍රශ්න කළේ දෙවිට තම යටත්වැසියන්ව පාලනය කිරීමට අයිතියක් තිබෙනවාද යන්නයි.

11. යෙහෝවා දෙවි ඒදන් උයනේදීම කැරලිකරුවන්ව විනාශ නොකළේ ඇයි?

11 ආදම් සහ ඒව යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගැසූ විට ඔවුන් ඇඟෙව්වේ දෙවිගේ පාලනය ඔවුන්ට අවශ්‍ය නැති බවයි. හරි වැරැද්ද කුමක්ද කියා තමන්ට තනිව තීරණය කිරීමට හැකි බවත් ඔවුන් ඇඟෙව්වා. ඔවුන්ගේ ඒ කැරැල්ල නිසා මතු වූ ප්‍රශ්නය විසඳීමට දෙවි පියවර ගත්තේ කෙසේද? ඒ සඳහා කැරලිකරුවන් වැරදි බවත් තමන් යහපත් පාලකයෙකු බවත් ඔප්පු කිරීම අවශ්‍ය වුණා. සමහරුන් සිතන්නේ ඒ කැරලිකරුවන්ව දෙවි ඒ මොහොතේම විනාශ කර දමා තවත් මිනිස් යුවළක් නිර්මාණය කළා නම් ඒ ප්‍රශ්නය එතැනදීම විසඳන්න තිබුණා කියායි. නමුත් යෙහෝවා දෙවිගේ අරමුණ වුණේ ආදම් සහ ඒවගෙන් පැවතෙන අයගෙන් මුළු පොළොවම පිරවීමයි. ඔහුට අවශ්‍ය වුණේ ඔවුන් පාරාදීස පොළොවක සදාකල් ජීවත් වෙනවා දකින්නයි. (උත්පත්ති 1:28) යෙහෝවා දෙවි තම අරමුණු සැමවිටම ඉටු කරන දෙවි කෙනෙක්. (යෙසායා 55:10, 11) ඒ නිසා යෙහෝවා දෙවි ඒ කැරලිකරුවන්ව ඒ මොහොතේම විනාශ කර දැමුවා නම් ඔහුගේ අරමුණ ඉටු නොවන අතර ඔහුගේ පාලනය ගැන මතු වූ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැහැ.

12, 13. ගුරුවරයා හා කැරලිකාර සිසුවා පිළිබඳ උදාහරණය පැහැදිලි කරන්න. එයින් දෙවි කටයුතු කර ඇති ආකාරය ගැන පැහැදිලි වන්නේ කුමක්ද?

12 එම කාරණය තවත් පැහැදිලි කරගැනීමට මේ උදාහරණය සලකා බලන්න. ගුරුවරයෙක් ඔහුගේ සිසුන්ට අමාරු ගණිත ගැටලුවක් විසඳන ආකාරය පෙන්වා දෙනවා කියා සිතමු. දක්ෂ නමුත් කැරලිකාර සිසුවෙක් ඒ ගැටලුව ගුරුතුමා විසඳන ආකාරය වැරදියි කියා පවසනවා. ඒ ගැටලුව විසඳන්න ඊට වඩා හොඳ ක්‍රමයක් තමන් දන්නා බව පවසන මේ කැරලිකාර සිසුවා ඇඟවීමට උත්සාහ කරන්නේ ගුරුවරයා උගන්වන්න දක්ෂ නැති බවයි. ඒ කැරලිකාර සිසුවා හරියි කියා සිතන සමහර සිසුන් ඔහුගේ පැත්ත ගන්නවා. ඒ අවස්ථාවේදී ගුරුවරයා කළ යුත්තේ කුමක්ද? ඔහු ඒ කැරලිකාර සිසුන්ව පන්තියෙන් එළියට දැමුවොත් අනික් සිසුන්ට එය බලපෑ හැකියි. එසේ කළොත් කැරැල්ල පටන්ගත් සිසුවාත් ඔහුට එකතු වූ අයත් හරියි කියා ඔවුන් සිතන්න ඉඩ තිබෙනවා. එමෙන්ම තමන් වැරදි බව ඔප්පු වෙයි කියා ගුරුවරයා බියෙන් සිටිනවා කියාත් සිසුන්ට සිතිය හැකියි. එයින් ඔහුට තිබෙන ගෞරවය නැති වෙන්නත් ඉඩ තිබෙනවා. ඒ නිසා කැරැල්ල ඇති කළ සිසුවාට පන්තියේ අනික් සිසුන් ඉදිරියේ ඒ ගණිත ගැටලුව විසඳීමට ඉඩ දීම ගුරුවරයා කළ යුතු ඥානවන්තම දෙයයි.

සිසුවා ගුරුවරයාට වඩා දක්ෂද?

13 යෙහෝවා දෙවිත් කටයුතු කළේ ඒ හා සමාන ආකාරයකිනුයි. දෙවිගේ පාලනය ගැන මතු කළ ප්‍රශ්නයට සම්බන්ධ වුණේ ඒදන් උයනේදී දෙවිට විරුද්ධව කැරලිගැසූ අය පමණක් නොවෙයි. මිලියන ගණනක් දේවදූතයන්ද ඒ දෙස බලා සිටියා. (යෝබ් 38:7; දානියෙල් 7:10) ඒ නිසා යෙහෝවා දෙවි ඒ ප්‍රශ්නය විසඳන ආකාරය සියලුම දේවදූතයන්ටත් පසු කාලයක මුළු මිනිස් වර්ගයාටත් මහත් බලපෑමක් ඇති කරනවා. ඒ හේතුව නිසා දෙවි සාතන්ට මිනිසුන්ව පාලනය කිරීමට ඉඩහැරියා. ඒ අනුව සාතන් යටතේ තමන්වම පාලනය කරගැනීමට දෙවි මිනිසුන්ට ඉඩ දුන්නා.

14. මිනිසුන්ගේ පාලනයට ඉඩහැරීමෙන් අත් වන ප්‍රයෝජනය කුමක්ද?

14 අප සලකා බැලූ උදාහරණයේ කැරලිකාර සිසුවාත් ඔහුගේ පැත්ත ගත් සිසුනුත් වැරදියි කියා ගුරුවරයා හොඳින්ම දන්නවා. නමුත් ඔහු ඔවුන්ට අවස්ථාවක් ලබා දෙන්නේ ඉන් මුළු පන්තියටම යහපතක් සිදු වන බව ඔහු දන්නා නිසයි. ඒ ගණිත ගැටලුව විසඳීමට කැරලිකාර සිසුන්ට නොහැකි වෙද්දී ඔවුන්ට උගන්වන්න සුදුසුම තැනැත්තා ගුරුවරයා පමණක් බව පන්තියේ සිටින සිසුන් තේරුම්ගන්නවා. ඒ නිසා අවසානයේදී ගුරුවරයා කැරලිකාර සිසුන්ව පන්තියෙන් ඉවත් කරද්දී ඊට කිසිවෙක් විරුද්ධ වන්නේ නැහැ. ඒ හා සමානව සාතන්ට හා ඔහුගේ පැත්ත ගත් කැරලිකරුවන්ට සාර්ථක පාලනයක් කළ නොහැකි බව දෙවි හොඳින්ම දන්නවා. නමුත් දෙවි ඊට ඉඩහැර තිබෙන්නේ ඒ පාලනය කොතරම් අසාර්ථකද කියා දේවදූතයන්ට හා අවංක මිනිසුන්ට තේරුම්ගැනීම සඳහායි. බයිබල් ලේඛකයෙකු වූ යෙරෙමියාගේ මේ වදන් කොතරම් සැබෑද කියා අද ඔප්පු වී තිබෙනවා. “යෙහෝවා දෙවියනි, මිනිසෙකුට තමන් යා යුතු මාර්ගය කුමක්ද කියා තනිව තීරණය කිරීමට අයිතියක් නැති බව මම හොඳින් දනිමි. තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට ඔහුට හැකියාවක්ද නැත.”—යෙරෙමියා 10:23.

ඇයි මෙතරම් කාලයක්?

15, 16. (අ) යෙහෝවා දෙවි මෙතරම් කාලයකට ඉඩහැර තිබෙන්නේ ඇයි? (ආ) මිනිසුන්ගේ පාලනයට දෙවි මැදිහත් නොවන්නේ ඇයි?

15 නමුත් දෙවි ඇයි මෙතරම් කාලයක් දුක් වේදනා පැවතීමට ඉඩහැර තිබෙන්නේ? විපත්ති සිදු වීම ඔහු වළක්වන්නේ නැත්තේ ඇයි? අප කලින් සලකා බැලූ උදාහරණයේ ගුරුවරයා නොකළ දේවල් දෙකක් තිබෙනවා. එකක් නම් කැරලිකාර සිසුවා ගණිත ගැටලුව විසඳද්දී ඔහු එයට බාධා නොකිරීමයි. අනික් එක නම් සිසුවා ඒ ගැටලුව විසඳීමට උත්සාහ දරද්දී ඊට මැදිහත් නොවීමයි. යෙහෝවා දෙවිත් ක්‍රියා කරන්නේ ඒ ආකාරයටයි. සාතන් හා ඔහුගේ පැත්ත ගත් අය, තමන් හරියි කියා ඔප්පු කිරීමට ගන්නා වෑයමට යෙහෝවා දෙවි බාධා කරන්නේ නැහැ. ඒ සඳහා දෙවි යම් කාලයකට ඉඩහැරියා. ගත වී තිබෙන අවුරුදු දහස් ගණන පුරා මිනිසුන් හැකි සෑම පාලන ක්‍රමයක්ම අත්හදා බලා තිබෙනවා. විද්‍යාව හා වෙනත් ක්ෂේත්‍රවලින් මිනිසා යම් දියුණුවක් ලබා තිබුණත් වෙන කවරදාටත් වඩා අප අද දකින්නේ අයුක්තිය, දුප්පත්කම, අපරාධ හා යුද්ධ වැඩි වී තිබෙන ආකාරයයි. ඒ අනුව මිනිස් පාලන අසාර්ථක බව දැන් ඔප්පු වී හමාරයි.

16 ඊට අමතරව සාතන් මේ ලෝකය පාලනය කරද්දී යෙහෝවා දෙවි මැදහත් වන්නේ නැහැ. අද සිදු වන දරුණු අපරාධ වැළැක්වීමට දෙවි මැදිහත් වුණා නම් එය කැරලිකරුවන්ට සහයෝගය දැක්වීමක් වන්නේ නැද්ද? දෙවි එසේ කළා නම් කිසිම අනතුරක් ඇති නොවන ආකාරයෙන් මිනිසුන්ට තමන්වම පාලනය කිරීමට හැකි බව මිනිසුන් සිතනවාට සැකයක් නැහැ. එමෙන්ම යෙහෝවා දෙවි කැරලිකරුවන්ට සහයෝගය දැක්වූවා නම් ඔහුත් ඔවුන්ගේ බොරුවට හවුල් වෙනවා. බයිබලයේ සඳහන් වන්නේ, “දෙවි කිසි ලෙසකින්වත් බොරු නොකියන” බවයි.—හෙබ්‍රෙව් 6:18.

17, 18. මිනිස් වර්ගයාට මුහුණ දීමට සිදු වී තිබෙන සෑම දෙයකම හානිකර ප්‍රතිඵල දෙවි නැති කර දමන්නේ කෙසේද?

17 සාතන් යටතේ මිනිසුන් දැන් බොහෝ කාලයක් පුරා පාලනය කරමින් සිටිනවා. ඒ කාලය පුරාම මිනිසුන් කොතරම් දුක් වේදනාවලට මුහුණ දී තිබෙනවාද! නමුත් යෙහෝවා දෙවි සියලු බලැති දෙවි නිසා මිනිස් වර්ගයාට මුහුණ දීමට සිදු වී තිබෙන සෑම දෙයකම හානිකර ප්‍රතිඵල නැති කර දමන්න ඔහුට පුළුවන්. ඔහු ඒ දේ අනිවාර්යයෙන්ම කරනවා. මිනිසුන් විසින් විනාශ කර තිබෙන මේ පොළොව අනාගතයේදී පාරාදීසයක් බවට පත් කරනු ලබනවා. යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි දිගටම විශ්වාසය තබන අය පව්කාර ස්වභාවයේ ප්‍රතිඵල තවදුරටත් අද්දකින්නේ නැහැ. මිය ගිය අය නැවත නැඟිටින නිසා මරණය නමැති සතුරාගෙන් ඔවුන් නිදහස ලබනවා. යේසුස් මාර්ගයෙන් දෙවි, ‘යක්ෂයාගේ ක්‍රියා සහමුලින්ම නැති කර දමනවා.’ (1 යොහන් 3:8) යෙහෝවා දෙවි ඒ සෑම දෙයක්ම නියමිත කාලයේදී ඉටු කරන බව නිසැකයි. දෙවි ඉක්මන් වී ක්‍රියා නොකිරීම ගැන ඇත්තෙන්ම අප සතුටු විය යුතුයි. මන්ද දෙවි ගැන දැනගෙන ඔහුට සේවය කරන්න අපට අවස්ථාව ලැබී තිබෙන්නේ ඒ නිසයි. (2 පේතෘස් 3:9, 10 කියවන්න.) මිනිසුන්ට පාලනය කිරීම සඳහා දෙවි ඉඩහැර තිබෙන මේ කාලයේදී තමාට අවංකව නමස්කාර කරන්න කැමති අයව දෙවි සොයමින් සිටිනවා. එමෙන්ම මේ දරුණු ලෝකයේ මුහුණ දීමට සිදු වන දුක් වේදනා විඳදරාගන්නත් දෙවි එවැනි අයට උපකාර කරනවා.—යොහන් 4:23; 1 කොරින්ති 10:13.

18 නමුත් සමහරුන් පවසන්නේ දෙවි ආදම් සහ ඒවව තමන්ට අකීකරු නොවන ආකාරයකින් සෑදුවා නම් අද අපට මෙවැනි දුක් වේදනාවලට මුහුණ දීමට සිදු නොවන බවයි. දෙවි එසේ නොකිරීමට හේතුව දැනගැනීම සඳහා දෙවි මිනිසාව සෑදූ විට ඔහු ඔවුන්ට දුන් වටිනා තෑග්ගක් ගැන අප අවබෝධ කරගත යුතුයි.

දෙවිගෙන් ලැබී තිබෙන තෑග්ග

දුක් වේදනා විඳදරාගැනීමට දෙවි ඔබට උපකාර කරනවා

19. දෙවි අපට දී තිබෙන වටිනා තෑග්ග කුමක්ද? අප ඒ ගැන සතුටු විය යුත්තේ ඇයි?

19 අප පස්වෙනි පරිච්ඡේදයේදී ඉගෙනගත් ආකාරයට දෙවි මිනිසාව සෑදුවේ තීරණ ගැනීමේ නිදහස ඇතුවයි. එය ඇත්තෙන්ම මිනිසාට ලැබුණු ඉතා වටිනා තෑග්ගක්. නමුත් දෙවි සෑදූ අසංඛ්‍යාත සතුන්ට ඔහු ඒ තෑග්ග ලබා දුන්නේ නැහැ. උන් සෑම දෙයක්ම කරන්නේ සහජයෙන්ම උරුම වී තිබෙන හැකියාවන්ට අනුවයි. (හිතෝපදේශ 30:24) දෙවි අපවත් එලෙස සෑදුවා නම් යම් විශේෂ කාර්යයක් කිරීමට සාදා තිබෙන යන්ත්‍රයකට අප සමාන වෙනවා. ඒ ගැන අප සතුටු වෙයිද? කොහෙත්ම නැහැ. ඒ වෙනුවට දෙවි අපව සාදා තිබෙන්නේ විවිධ තේරීම් කිරීමටත් විවිධ සැලසුම් යෙදීමටත් හැකි වන අයුරින්. එමෙන්ම අපේ පෞද්ගලිකත්වය අපට කැමති ආකාරයකින් ගොඩනඟා ගැනීමටත් කැමති අයව ඇසුරු කිරීමටත් අපට පුළුවන්. එවැනි නිදහසක් භුක්ති විඳීමට අප කවුරුත් කැමතියි. දෙවි අපට ඒ නිදහස ලබා දීම ගැන අප කොතරම් සතුටු විය යුතුද!

20, 21. තීරණ ගැනීමේ නිදහස පාවිච්චි කළ හැකි හොඳම ආකාරය කුමක්ද? අප එසේ කළ යුත්තේ ඇයි?

20 දෙවි අපට ඒ නිදහස ලබා දී තිබෙන නිසා කිසිවෙකුගේ බල කිරීමක් නැතුව කැමැත්තෙන්ම දෙවිට සේවය කරන්න අපට තීරණය කළ හැකියි. දෙවි කැමති වන්නෙත් අප ඔහුට එසේ සේවය කරනවා දකින්නයි. (2 කොරින්ති 9:7) උදාහරණයකට දෙමාපියන්ද කැමති වන්නේ දරුවන්ගේ ආදරය වෙන කෙනෙකුගේ බල කිරීම මත නොව දරුවාගේ සිතේ කැමැත්තෙන්ම ලබාගන්නයි. එසේනම් මතු වන ප්‍රශ්නය වන්නේ දෙවි සතුටු වන අයුරින් ඒ නිදහස ඔබ පාවිච්චි කරනවාද නැද්ද යන්නයි. සාතන් සහ මුල් මිනිස් යුවළ ඔවුන්ට තිබූ නිදහස දෙවිව සතුටට පත් කරන අයුරින් භාවිත කළේ නැහැ. ඔවුන් යෙහෝවා දෙවිට පිටු පෑවා.

21 නමුත් ඔබ දැන් ගන්නා තීරණය කුමක්ද? යෙහෝවා දෙවිව සතුටට පත් කිරීමට ඔබටත් අවස්ථාවක් තිබෙනවා. දෙවි ලබා දී තිබෙන නිදහස ඥානවන්ත අයුරින් භාවිත කළොත් මිලියන ගණනක් සමඟ එක්ව දෙවිට සේවය කරන්න ඔබටත් හැකි වෙයි. ඔවුන් සියලුදෙනාම දෙවිව සතුටට පත් කරමින් සාතන් බොරුකාරයෙකු බව ඔප්පු කිරීමට දායක වෙනවා. (හිතෝපදේශ 27:11) ඔබටත් ඒ දේම කළ හැකියි. ඒ ගැන තවදුරටත් ඊළඟ පරිච්ඡේදයේදී සලකා බලමු.