Skip to content

පටුනට යන්න

12වෙනි පරිච්ඡේදය

දෙවිව සතුටු කරන අයුරින් ජීවත් වන්න

දෙවිව සතුටු කරන අයුරින් ජීවත් වන්න
  • ඔබට දෙවිගේ මිතුරෙකු විය හැක්කේ කෙසේද?

  • සාතන් කළ චෝදනාවට ඔබ සම්බන්ධ වන්නේ කෙසේද?

  • දෙවිව අසතුටු කරන දේවල් මොනවාද?

  • දෙවිව සතුටු කරන අයුරින් ජීවත් වීමට ඔබට හැක්කේ කෙසේද?

1, 2. දෙවි තම කිට්ටු මිතුරන් ලෙස සැලකූ කිහිපදෙනෙකුව සඳහන් කරන්න.

ඔබේ මිතුරා ලෙස ඔබ තෝරාගන්නේ මොන වගේ කෙනෙකුවද? සාමාන්‍යයෙන් අප හැමෝම මිතුරන් ලෙස තෝරාගන්නේ අපේ අදහස්වලට සමාන අදහස් දරන අයවයි. එමෙන්ම අප කිට්ටු බැඳීම් ඇති කරගැනීමට සතුටු වන්නේ අවංක, කරුණාවන්ත අය සමඟයි.

2 බයිබලයේ පවසන්නේ යෙහෝවා දෙවිත් මිත්‍රත්වයන් ඇති කරගැනීමට කැමති දෙවි කෙනෙකු බවයි. උදාහරණයකට යෙහෝවා දෙවි ආබ්‍රහම්ව තම මිතුරා ලෙස හැඳින්වූවා. (යෙසායා 41:8; යාකොබ් 2:23 කියවන්න.) දෙවි දාවිත් ගැන පැවසුවේ ඔහු, “මාගේ සිත සතුටු කරන මිනිසෙකු” බවයි. (ක්‍රියා 13:22) ඔහු තුළ තමන් ප්‍රිය කරන ගුණාංග තිබූ නිසයි දෙවි ඔහුව එලෙස හැඳින්වූයේ. දෙවි දානියෙල්ව සැලකුවේ, ‘බොහෝ ප්‍රේම ලත් තැනැත්තෙකු’ ලෙසයි.—දානියෙල් 9:23.

3. දෙවි තම මිතුරන් ලෙස තෝරාගන්නේ කාවද?

3 යෙහෝවා දෙවි ඔවුන්ව තම මිතුරන් ලෙස පිළිගත්තේ ඇයි? ඊට හේතුව දෙවි ආබ්‍රහම් සමඟ කතා කළ එක් අවස්ථාවකදී ඔහුට පැවසූ දෙයකින් පැහැදිලි වෙනවා. දෙවි පැවසුවේ, ‘ඔබ මාගේ හඬට සවන් දුන්නා’ කියායි. (උත්පත්ති 22:18) එසේනම් තම මිතුරන් ලෙස දෙවි පිළිගන්නේ ඔහු බලාපොරොත්තු වන දේවල් කැමැත්තෙන්ම ඉටු කරන අයවයි. දෙවි ඊශ්‍රායෙල් සෙනඟට පැවසූ මේ දෙයින් එය තවත් තහවුරු වෙනවා. “මාගේ හඬට කීකරු වන්න. ඔබ එසේ කළොත් මම ඔබේ දෙවි වන්නෙමි. ඔබව මාගේ සෙනඟ ලෙස පිළිගන්නෙමි.” (යෙරෙමියා 7:23) ඒ අනුව ඔබත් දෙවිට කීකරු වෙනවා නම් දෙවිගේ මිතුරෙකු වීමට ඔබටත් හැකියි.

දෙවි තම මිතුරන්ට උපකාර කරයි

4, 5. දෙවි තම සේවකයන්ට උපකාර කරන්නේ කෙසේද?

4 දෙවිගේ මිතුරෙකු වීම මොන තරම් ආශීර්වාදයක්ද කියා සිතා බලන්න. බයිබලයේ පවසන්නේ, “ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට තම බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරන්න” යෙහෝවා දෙවි කැමැත්තෙන් සිටින බවයි. (2 ලේකම් 16:9) දෙවි ඔබට උපකාර කරන්නේ කෙසේද? ඔහු එසේ කරන එක් ආකාරයක් ගැන ගීතාවලිය 32:8හි මෙසේ පවසනවා. “ඔබ යා යුතු මාර්ගය ගැන මම ඔබට කියා දෙන්නෙමි. වටහාගැනීමේ හැකියාවද මම ඔබට ලබා දෙන්නෙමි. මම ඔබ දෙස හොඳින් බලා ඔබට අවවාද කරන්නෙමි.”

5 යෙහෝවා දෙවි ඔබේ ජීවිතයට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙන බව ඉන් පැහැදිලියි. ඔබ එම මඟ පෙන්වීම්වලට එකඟව ක්‍රියා කරන විට ඔහුගේ රැකවරණය ඔබට බලාපොරොත්තු විය හැකියි. ඔබ විවිධ අභියෝග හා ගැටලුවලට මුහුණ දෙන විට ඔබට උපකාර කරන්න ඔහු කැමැත්තෙන් සිටිනවා. (ගීතාවලිය 55:22 කියවන්න.) ඇත්තෙන්ම ඔහු මොන තරම් සැලකිලිමත් දෙවි කෙනෙක්ද! පූර්ණ හදවතකින් ඔබ යෙහෝවා දෙවිට සේවය කරනවා නම් දාවිත් මෙන් ඔබටත් මහත් නිසැකකමින් මෙසේ පැවසිය හැකියි. “යෙහෝවා දෙවි සැමවිටම මා ඉදිරියේ සිටිනවා කියා මම විශ්වාස කරමි. ඔහු මාගේ දකුණු පැත්තේ සිටින නිසා මම නොසැලී සිටිමි.” (ගීතාවලිය 16:8; 63:8) ඒ අනුව යෙහෝවා දෙවිව සතුටට පත් කරන අයුරින් ජීවත් වීමට ඔබට උපකාර කරන්න දෙවිට පුළුවන්. නමුත් දෙවිට සතුරෙකු සිටින බව ඔබ දන්නවා. ඔහු නිතරම උත්සාහ කරන්නේ දෙවිව අසතුටට පත් කරන දේවල් කිරීමට ඔබව පෙලඹවීමටයි.

සාතන් කළ චෝදනාව

6. මිනිසුන් සම්බන්ධයෙන් සාතන් කළ චෝදනාව කුමක්ද?

6 අප කලින් පරිච්ඡේදයේ ඉගෙනගත් ආකාරයට දෙවි බොරුකාරයෙකු බවත් ආදම් සහ ඒවට හරි වැරැද්ද තෝරාගැනීමට ඉඩ නොදෙන අසාධාරණ පාලකයෙකු බවත් සාතන් චෝදනා කළා. එයින් ඔහු ඇඟෙව්වේ දෙවිට තම යටත්වැසියන්ව පාලනය කරන්න අයිතියක් නැති බවයි. දෙවිට විරුද්ධව කැරලිගැසූ ආදම් සහ ඒවගෙන් බිහි වූ අය පොළොව පුරාම පැතිර ගියා. ඔවුන් සම්බන්ධයෙන්ද සාතන් චෝදනාවක් එල්ල කළා. ඔහු චෝදනා කළේ මිනිසුන් දෙවිට සේවය කරන්නේ දෙවිට තිබෙන ප්‍රේමය නිසා නොවන බවයි. තමාට අවස්ථාවක් දුන්නොත් ඕනෑම කෙනෙකුව දෙවිගෙන් ඈත් කිරීමට තමාට හැකි බවත් සාතන් කියා සිටියා. බයිබලයේ යෝබ් නමැති මිනිසා ගැන සඳහන් වී ඇති සිද්ධිය සලකා බැලීමෙන් සාතන් නැඟූ ඒ චෝදනාව ගැන අපට පැහැදිලි අවබෝධයක් ලබාගත හැකියි. ඇත්තටම යෝබ් කියන්නේ කවුද? සාතන් නැඟූ චෝදනාවට ඔහු සම්බන්ධ වුණේ කෙසේද?

7, 8. (අ) යෝබ් යහපත් කෙනෙකු බව දෙවි පැවසුවේ ඇයි? (ආ) යෝබ් දෙවිට සේවය කළ හේතුව ගැන සාතන් පැවසුවේ කුමක්ද?

7 යෝබ් ජීවත් වුණේ මීට අවුරුදු 3,600කට පමණ පෙරයි. ඔහු යහපත් කෙනෙකු බව යෙහෝවා දෙවි පැවසූ මේ වචනවලින් පැහැදිලියි. “ඔහු මෙන් අවංක, නිර්දෝෂව හැසිරෙන, මට ගරුබිය දක්වන, වැරදි දෙයින් ඈත් වී සිටින කෙනෙක් පොළොවේ තවත් නැත.” (යෝබ් 1:8) යෝබ් ජීවත් වුණේ දෙවිව සතුටු කරන ආකාරයෙනුයි.

8 නමුත් යෝබ් දෙවිට සේවය කරන්නේ යම් වාසි ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් කියා සාතන් චෝදනා කළා. ඒ බව සාතන් දෙවිට පැවසූ මේ වදන්වලින් පැහැදිලි වෙනවා. “ඔබ ඔහුගේ [එනම් යෝබ්ගේ] නිවස හා ඔහු සතු සියල්ල වටා ආරක්ෂක පවුරක් දමා තිබෙනවා නොවේද? ඔහු කරන සෑම දෙයකටම ඔබ ආශීර්වාද කර ඇත. ඔහුගේ සත්ව රැළ දේශය පුරා පැතිර තිබෙන්නේ ඒ නිසයි. එහෙත් දැන් ඔහුට විරුද්ධව ඔබේ බලය පාවිච්චි කර ඔහුට අයිති සියල්ල විනාශ කර දමන්න. එවිට ඔහු ඔබේ මුහුණටම ශාප කරන්නේ නැද්ද කියා බලන්න.”—යෝබ් 1:10, 11.

9. සාතන් එල්ල කළ චෝදනාව ගැන දෙවි කළේ කුමක්ද? එසේ කිරීමට හේතුව කුමක්ද?

9 සාතන් තරයේම කියා සිටියේ යෝබ් දෙවිට සේවය කරන්නේ යම් වාසි ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් කියායි. යෝබ් යම් පීඩාවකට මුහුණ දුන්නොත් ඔහු දෙවිව අත්හරින බවත් සාතන් පැවසුවා. සාතන් එල්ල කළ ඒ චෝදනාව ගැන යෙහෝවා දෙවි කළේ කුමක්ද? යෝබ්ට පීඩා කිරීමට දෙවි සාතන්ට ඉඩහැරියා. එහි ප්‍රතිඵලයක් ලෙස යෝබ් දෙවිට ඇත්තටම ප්‍රේම කරනවාද නැද්ද කියා ඔප්පු කිරීමට අවස්ථාවක් ලැබෙනවා.

යෝබ් පීඩා රැසකට මුහුණ දෙයි

10. යෝබ්ට මුහුණ දීමට සිදු වූ පීඩා මොනවාද? ඒ පීඩා හමුවේ ඔහු ක්‍රියා කළේ කෙසේද?

10 යෝබ්ට විවිධාකාරවලින් පීඩා කිරීමට සාතන් වහාම පියවර ගත්තා. සොරුන් ඇවිත් යෝබ්ට අයිතිව තිබූ සමහරක් සතුන්ව සොරාගත් අතර තවත් සමහරක් සතුන්ව මරා දැමුවා. ඔහුගේ සේවකයන්ගෙන් බොහෝදෙනෙකුවද මරා දමනු ලැබුවා. ප්‍රතිඵලයක් ලෙස ආර්ථික ප්‍රශ්න බොහොමයකට මුහුණ දෙන්න ඔහුට සිදු වුණා. යෝබ්ගේ දරුවන් දසදෙනා කුණාටුවකින් මරණයට පත් වුණා. ඔහුට මොන තරම් ශෝකයක් දැනෙන්න ඇද්ද! එවැනි දරුණු පීඩාවලට මුහුණ දෙන්න සිදු වුණත්, “යෝබ් වචනයකින්වත් පව් කළේ නැත. දෙවිට දොස් පැවරුවේද නැත” කියා බයිබලයේ සඳහන් වෙනවා.—යෝබ් 1:22.

11. (අ) සාතන් තවත් ක්‍රමයකින් යෝබ්ට පීඩා කරන්න තීරණය කළේ ඇයි? (ආ) යෝබ්ට දරුණු රෝගයක් වැලඳුණු විට ඔහු කළේ කුමක්ද?

11 නමුත් සාතන් ඔහුගේ උත්සාහය අත්හැරියේ නැහැ. යෝබ්ට ඔහුගේ වස්තුව, සේවකයන් හා දරුදැරියන් අහිමි වීම දරාගැනීමට හැකි වුණත් ඔහුට යම් අසනීපයක් වැලඳුණොත් ඔහු අනිවාර්යයෙන්ම දෙවිව අත්හරින බව සාතන් කියා සිටියා. ඉතා වේදනාකාරී මෙන්ම පිළිකුල්සහගත රෝගයකින් යෝබ්ට පහර දීමට යෙහෝවා දෙවි සාතන්ට ඉඩහැරියේ ඒ නිසයි. ඒ වුණත් යෝබ්ට දෙවි කෙරෙහි තිබූ විශ්වාසය අඩු වුණේ නැහැ. ඔහු ස්ථිරව පැවසුවේ, “මා අවසන් හුස්ම හෙළන තුරු මම දෙවිට විශ්වාසවන්තව සිටිමි” කියායි.—යෝබ් 27:5.

යෝබ් දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීමෙන් ආශීර්වාද ලැබුවා

12. සාතන් කළ චෝදනාව බොරු බව යෝබ් ඔප්පු කළේ කෙසේද?

12 තමන්ට මෙසේ පීඩා කරන්නේ සාතන් බව යෝබ් දැනගෙන සිටියේ නැහැ. දෙවි පාලනය කරන ආකාරය ගැන සාතන් කළ චෝදනාව හරි හැටි නොදැන සිටි යෝබ් සිතුවේ ඒ සෑම පීඩාවක්ම ගෙනාවේ දෙවි කියායි. (යෝබ් 6:4; 16:11-14) නමුත් ඔහු දිගටම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටියා. එසේ කිරීමෙන් තමන් දෙවිට සේවය කරන්නේ වාසි ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් කියා සාතන් කළ චෝදනාව බොරු බව යෝබ් ඔප්පු කළා.

13. යෝබ් දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීමේ ප්‍රතිඵලය කුමක්ද?

13 යෝබ් දෙවිට දිගටම විශ්වාසවන්තව සිටි නිසා සාතන් කළ අපහසාත්මක චෝදනාවට ප්‍රබල පිළිතුරක් දෙන්න යෙහෝවා දෙවිට හැකි වුණා. ඇත්තෙන්ම යෝබ් කටයුතු කළේ යෙහෝවා දෙවිගේ මිතුරෙකු ලෙසයි. ඒ නිසා දෙවි ඔහුට බොහෝ සෙයින් ආශීර්වාද කළා.—යෝබ් 42:12-17.

ඔබත් ඒ චෝදනාවට සම්බන්ධයි

14, 15. සාතන් කළ චෝදනාව සියලුම මිනිසුන්ට බලපාන බව පැහැදිලි වන්නේ කෙසේද?

14 පීඩා හමුවේ දෙවිට විශ්වාසවන්තව සිටින්නේ නැහැ කියා සාතන් කළ චෝදනාවට යෝබ් පමණක් නොව අප සෑම කෙනෙකුම සම්බන්ධයි. යෝබ් මිය ගොස් වසර සිය ගණනකට පසු ලියන ලද මේ වදන්වලින් ඒ බව පැහැදිලියි. “මාගේ පුත්‍රය, මට නින්දා කරන්නාට මා උත්තර දෙන පිණිස ඔබ ප්‍රඥාවන්තව ක්‍රියා කර මාගේ සිත සතුටු කරන්න.” (හිතෝපදේශ 27:11) ඉන් පෙනී යන්නේ ඒ වන විටත් සාතන් දෙවිට අපහාස කරමින් ඔහුගේ සේවකයන්ට විරුද්ධව චෝදනා කරමින් සිටි බවයි. නමුත් යෙහෝවා දෙවිව සතුටට පත් කරන අයුරින් අප ජීවත් වන විට සාතන් කළ චෝදනාවට ප්‍රබල පිළිතුරක් දීමට අප යෙහෝවා දෙවිට අවස්ථාව ලබා දෙනවා. අප එසේ කරන විට දෙවිට දැනෙන්නේ මහත් ප්‍රීතියක්. සාතන් බොරුකාරයෙකු කියා ඔප්පු කිරීම සැමවිටම ලෙහෙසි දෙයක් නොවෙයි. ඒ සඳහා අපේ ජීවිතයේ යම් වෙනස්කම් කිරීමට පවා සිදු විය හැකියි. නමුත් එසේ කර යෙහෝවා දෙවි සතුටට පත් කිරීම මොන තරම් වරප්‍රසාදයක්ද!

15 සාතන් එල්ල කළ චෝදනාව යෝබ්ට පමණක් නොව සියලුම මිනිසුන්ට බලපාන බව ඔහු යෝබ් සම්බන්ධයෙන් චෝදනා කළ අවස්ථාවේදී පැවසූ මේ වචනවලින්ද පැහැදිලියි. “මිනිසෙකු තම ජීවිතය බේරාගන්න මොනවාද නොකරන්නේ? ඔහු තමා සතු සියල්ල වුවත් ඒ වෙනුවෙන් පරිත්‍යාග කරයි.” (යෝබ් 2:4) එහිදී ඔහු “මිනිසෙකු” කියා පැවසීමෙන් ඔහු කළ චෝදනාව සියලුම මිනිසුන්ට අදාළ වන බව ඇඟෙව්වා. ඉන් පැහැදිලි වන්නේ අප එක් එක් කෙනා පීඩා හමුවේ දෙවිට විශ්වාසවන්තව සිටිනවාද නැද්ද යන්න ගැන ඔහු ප්‍රශ්න කළ බවයි. පීඩා අද්දකින විට ඔබ දෙවිට අකීකරු වී දෙවිගෙන් ඈත් වෙනවා දකින්න සාතන් කැමතියි. ඔහු එය ඉටු කරගැනීමට ක්‍රම කිහිපයක් යොදාගන්නවා.

16. (අ) මිනිසුන්ව දෙවිගෙන් ඈත් කිරීමට සාතන් යොදාගන්නා ක්‍රම මොනවාද? (ආ) සාතන් ඒ ක්‍රම යොදාගන්නේ කෙසේද?

16 ඒ සඳහා ඔහු යොදාගන්නා එක් ක්‍රමයක් නම් දෙවිට සේවය කරන අයට කෙළින්ම ප්‍රහාර එල්ල කිරීමයි. සාතන්, “ගොරවන සිංහයෙකු මෙන් කවරෙකුව හෝ ගිල දැමීමට සොයමින්” සිටිනවා කියා බයිබලයේ පවසන්නේ ඒ නිසයි. (1 පේතෘස් 5:8) ඒ අනුව ඔබ බයිබලය පාඩම් කරමින් ඉගෙනගන්නා දේවල් අදාළ කරගැනීමට උත්සාහ කරන විට සාතන්ගේ බලපෑම නිසා නෑදෑ හිතමිතුරන් හෝ වෙනත් අය ඊට විරුද්ධ විය හැකියි. * (යොහන් 15:19, 20) තවත් අවස්ථාවලදී සාතන් වඩාත් කූට උපක්‍රම යොදාගන්නවා. ‘සාතන් ආලෝකය ලබා දෙන දූතයෙකු ලෙස පෙනී සිටියි’ කියා බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසයි. (2 කොරින්ති 11:14) දෙවිව සතුටු කරන අයුරින් ජීවත් වීමට උත්සාහ කරන අයව නොමඟ යවා වැරදි දේවලට පොලඹවාගැනීමෙන් ඔහු එසේ කරනවා. එමෙන්ම දෙවිව සතුටු කිරීමට මිනිසුන් ලෙස අපට නොහැකි බව දැනෙන්න සලස්වමින් සාතන් අපව අධෛර්යය කරනවා. (හිතෝපදේශ 24:10) “ගොරවන සිංහයෙකු” ලෙස හෝ “ආලෝකය ලබා දෙන දූතයෙකු” ලෙස හෝ පෙනී සිටින සාතන්ට තිබෙන්නේ එකම අරමුණයි. එනම් පීඩා හෝ දුෂ්කරතාවලට මුහුණ දෙන විට ඔබ දෙවිට කරන සේවය නතර කරනවා කියා ඔප්පු කර පෙන්වීමයි. නමුත් යෝබ් මෙන් දෙවිට විශ්වාසවන්තව සිටිමින් සාතන්ගේ චෝදනාව බොරුයි කියා ඔබටත් පෙන්විය හැකියි. එසේ කළ හැක්කේ කෙසේද?

යෙහෝවා දෙවිගේ ආඥා පිළිපදිමු

17. දෙවිගේ ආඥාවලට අප කීකරු වන්නේ ඇයි?

17 බයිබලයේ පවසන්නේ, “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ උපරිමය කරමින් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න” කියායි. (ද්විතීය කතාව 6:5) ඒ අනුව දෙවිට විශ්වාසවන්තව සිටීමට නම් අපට දෙවි කෙරෙහි ගැඹුරු ප්‍රේමයක් තිබිය යුතුයි. දෙවි කෙරෙහි අපට තිබෙන ප්‍රේමය ක්‍රමානුකූලව වැඩි වෙද්දී ඔහු අපෙන් බලාපොරොත්තු වන දේවල් කිරීමට අප තුළ මහත් පෙලඹීමක් ඇති වෙනවා. “දෙවිට ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය” කියා බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසයි. අප මුළු හදවතින්ම දෙවිට ප්‍රේම කරනවා නම් අපට, “ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නොවේ.”—1 යොහන් 5:3.

18, 19. (අ) දෙවිගේ ආඥාවලට අයත් වන්නේ මොනවාද? (“ දෙවි පිළිකුල් කරන ක්‍රියාවලට පිළිකුල් කරමු” නමැති කොටුව බලන්න.) (ආ) අපට කළ නොහැකි දේවල් දෙවි අපෙන් බලාපොරොත්තු නොවන බව අප දන්නේ කෙසේද?

18 දෙවිගේ ආඥා පිළිපැදීමට නම් ඔහු අපට නොකරන්න කියා පවසන දේවලින් වැළකී සිටිය යුතුයි. ඒවායින් කිහිපයක් ගැන අපි සලකා බලමු. ඒ සඳහා “ දෙවි පිළිකුල් කරන ක්‍රියාවලට පිළිකුල් කරමු” නමැති කොටුවේ තොරතුරු සෝදිසි කර බලන්න. බයිබලයේ කෙළින්ම හෙළාදැක තිබෙන ක්‍රියා එහි සඳහන් වෙනවා. එම ක්‍රියා අතරින් සමහරක් එතරම් නරක ක්‍රියා නොවෙයි කියා ඔබට සිතෙන්න පුළුවන්. නමුත් එහි සඳහන් වී ඇති බයිබල් පද කියවා ගැඹුරින් කල්පනා කර බලන විට යෙහෝවා දෙවි ඒ ක්‍රියා පිළිකුල් කිරීමට හේතුව ඔබට තේරුම්ගත හැකි වෙයි. එම ක්‍රියාවලින් සමහරක් ඔබ කරමින් සිටිනවා නම් ඒවා අත්හැරීම ඔබට මුහුණ දීමට සිදු වන ලොකුම අභියෝගය විය හැකියි. නමුත් එසේ කළොත් දෙවි සතුටට පත් වෙනවා පමණක් නොව ඔබටත් බොහෝ ප්‍රයෝජන අත් වෙනවා. (යෙසායා 48:17, 18) ඒ බව දැන සිටීම එම අභියෝගය ජය ගැනීමට ඔබ තුළ මහත් පෙලඹීමක් ඇති කරනවාට සැකයක් නැහැ. එම අභියෝගය ඔබට ජය ගත නොහැකි දෙයක් නොවන බවත් මතක තබාගන්න.

19 යෙහෝවා දෙවි අපට කළ නොහැකි දේවල් අපෙන් කවදාවත් බලාපොරොත්තු වන්නේ නැහැ. (ද්විතීය කතාව 30:11-14 කියවන්න.) අපටත් වඩා අපේ සීමාවන් හා හැකියාවන් ගැන හොඳින්ම දන්නේ ඔහුයි. (ගීතාවලිය 103:14) එමෙන්ම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටීම සඳහා අපට අවශ්‍ය ශක්තියද ඔහු සපයනවා. ඒ ගැන බයිබලයේ පවසන්නේ මෙසේයි. “දෙවි විශ්වාසවන්තය. එහෙයින් එවැනි පෙලඹීම්වලට සම්පූර්ණයෙන්ම හසු වී ඒවායින් යටපත් වී යෑමට ඔහු ඉඩ දෙන්නේ නැත. මන්ද වැරදි දේවල් කිරීමට පෙලඹීමක් ඔබ තුළ ඇති වන විට එයින් ගොඩ ඒමට මඟක් ඔහු සලසා දෙයි. එමනිසා ඊට හොඳින් මුහුණ දීමට ඔබට හැකි වේ.” (1 කොරින්ති 10:13) පීඩා පැමිණෙන විට ඒවා විඳදරාගැනීම සඳහා යෙහෝවා දෙවි, “සාමාන්‍යය ඉක්මවූ බලය” ඔබට ලබා දෙනවා. (2 කොරින්ති 4:7) “මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ” කියා බොහෝ පීඩා විඳදරාගත් පාවුල් පැවසුවේ ඒ නිසයි.—ෆිලිප්පි 4:13.

දෙවි ඇලුම් කරන ගුණාංග වර්ධනය කරගනිමු

20. ඔබ වර්ධනය කරගත යුතු ගුණාංග මොනවාද? ඒවා ඉතා වැදගත් වන්නේ ඇයි?

20 දෙවිගේ ආඥා පිළිපැදීමට නම් ඔහු අපට නොකරන්න කියා පවසන දේවලින් වැළකී සිටීමට අමතරව ඔහු ඇලුම් කරන දේවලට අපත් ඇලුම් කළ යුතුයි. (රෝම 12:9) අප එසේ කරන විට යෙහෝවා දෙවිගේ කිට්ටු මිතුරෙකු වීමට අපට හැකියි. ගීතාවලිය 15හි දෙවිගේ මිතුරෙකු කටයුතු කරන ආකාරය පැති කිහිපයකින් විස්තර කර තිබෙනවා. (ගීතාවලිය 15:1-5 කියවන්න.) එමෙන්ම යෙහෝවා දෙවිගේ මිතුරන් තුළ, “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසය, මෘදුකම, තමාව පාලනය කරගැනීම යන ගුණාංග” දැකගත හැකි බව බයිබලයේ සඳහන් වෙනවා. (ගලාති 5:22, 23) ඒ නිසා ඔබත් යෙහෝවා දෙවිගේ මිතුරෙකු වීමට කැමති නම් දෙවි ඇලුම් කරන දේවලට ඇලුම් කරන්න ඉගෙනගත යුතුයි.

21. දෙවි කැමති ආකාරයට ඔබේ ජීවිතය හැඩගස්වා ගැනීමට ඔබට හැක්කේ කෙසේද?

21 නිතිපතා බයිබලය කියවා අධ්‍යයනය කිරීමෙන් දෙවි ඇලුම් කරන දේවල් හඳුනාගෙන ඊට එකඟව ඔබේ ජීවිතය හැඩගස්වා ගැනීමට ඔබට හැකි වෙනවා. එමෙන්ම දෙවි සිතන ආකාරයට සිතන්නත් ඔබ පුරුදු වෙනවා. (යෙසායා 30:20, 21) යෙහෝවා දෙවි කෙරෙහි ඔබේ ප්‍රේමය වැඩි වන තරමට දෙවිව සතුටට පත් කරන අයුරින් ජීවත් වීමට ඔබට තිබෙන ආශාවද වැඩි වනවාට සැකයක් නැහැ.

22. දෙවිව සතුටට පත් කරන අයුරින් ජීවත් වීමෙන් අත් වන ප්‍රතිඵල මොනවාද?

22 යෙහෝවා දෙවිව සතුටට පත් කරන අයුරින් ජීවත් වීම සඳහා අප මහත් වෑයමක් දරන්න අවශ්‍යයි. ඒ සඳහා ඔබ ඔබේ ජීවිතය වෙනස් කරගැනීම බයිබලයේ සමාන කර තිබෙන්නේ පරණ පෞද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම ඉවත් කර අලුත් පෞද්ගලිකත්වයක් පැළඳගැනීමකටයි. (කොලොස්සි 3:9, 10) එසේ කිරීම ඇත්තෙන්ම ප්‍රයෝජනදායකයි. මන්ද බයිබලයේ පවසන්නේ දෙවිගේ ආඥා, “පිළිපැදීමෙන් බොහෝ ආශීර්වාද ලැබෙන්නේය” කියායි. (ගීතාවලිය 19:11) එමෙන්ම එසේ කිරීමෙන් සාතන් කළ චෝදනාවට ප්‍රබල පිළිතුරක් දී යෙහෝවා දෙවිගේ සිත සතුටු කරන්නත් ඔබට හැකි වෙයි.

^ 16 ඡේ. ඔබට විරුද්ධ වන අය සාතන්ගේ බලපෑමට කෙළින්ම හසු නොවී සිටියත් ඔවුන් ජීවත් වන මේ සමාජයේ දෙවියා සාතන් බවත් මුළු ලෝකයම තිබෙන්නේ ඔහුගේ බලපෑම යටතේ බවත් අප මතක තබාගත යුතුයි. (2 කොරින්ති 4:4; 1 යොහන් 5:19) ඒ නිසා යමෙකු දෙවිව සතුටට පත් කරන අයුරින් ජීවත් වීමට උත්සාහ දරන විට මේ සමාජයේ සිටින වැඩිදෙනෙකු ඊට විරුද්ධ වෙයි කියා බලාපොරොත්තු විය හැකියි.