Skip to content

පටුනට යන්න

13වෙනි පරිච්ඡේදය

ජීවිතය අනර්ඝ දෙයක් ලෙස සලකන්න

ජීවිතය අනර්ඝ දෙයක් ලෙස සලකන්න
  • දෙවි ජීවිතය සලකන්නේ කෙසේද?

  • ගබ්සා කිරීම දෙවි සලකන්නේ කෙසේද?

  • අප ජීවිතය අනර්ඝ දෙයක් ලෙස සලකන බව පෙන්වන්නේ කෙසේද?

1. සෑම දෙයක්ම සෑදුවේ කවුද?

“එකම සැබෑ දෙවි යෙහෝවාය. ජීවමාන දෙවිත් ඔහුය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (යෙරෙමියා 10:10) ඔහු ගැන දේවදූතයන් සමූහයක් පැවසුවේ, “සෑම දෙයක්ම සෑදුවේ ඔබය. ඒවා සෑදුවෙත් ඒවා දිගටම පවතින්නෙත් ඔබේ කැමැත්ත නිසාය” කියායි. (එළිදරව් 4:11) එමෙන්ම, “ජීවිතයේ උල්පත” ඔහු බව දාවිත් රජ පැවසුවා. (ගීතාවලිය 36:9) ඒ සෑම දෙයකින්ම පැහැදිලි වන්නේ අපට ජීවිතය ලැබී තිබෙන්නේ දෙවිගෙන් බවයි. එය ඇත්තටම දෙවිගෙන් ලැබී තිබෙන තෑග්ගක්.

2. අපේ පැවැත්මට දෙවි සපයා ඇති දේවල් මොනවාද?

2 අපේ ජීවිතය රඳා පවතින්නෙත් දෙවි මතයි. (ක්‍රියා 17:28) මන්ද අපට අවශ්‍ය කෑම බීම, හුස්ම ගැනීමට අවශ්‍ය වාතය හා අප ජීවත් වන පොළොව අපට ලබා දී තිබෙන්නේ ඔහුයි. (ක්‍රියා 14:15-17 කියවන්න.) යෙහෝවා දෙවි ඒ සෑම දෙයක්ම අපට දී තිබෙන්නේ ජීවිතය ප්‍රීතියෙන් භුක්ති විඳීම සඳහායි. නමුත් ජීවිතයේ සැබෑ ප්‍රීතිය අද්දැකීමට නම් අප දෙවිගේ ආඥා ඉගෙනගෙන ඒවාට කීකරුව ජීවත් විය යුතුයි.—යෙසායා 48:17, 18.

ජීවිතය අනර්ඝ දෙයක් ලෙස සලකන්න

3. දෙවි කායින් කළ දේ සැලකුවේ කෙසේද?

3 අපේ ජීවිතයත් අන් අයගේ ජීවිතත් අනර්ඝ ලෙස සැලකීම දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒ බව ආදම් සහ ඒව ජීවත් වූ කාලයේ සිදු වූ දෙයකින් පැහැදිලියි. ඔවුන්ගේ පුත් කායින් තම සහෝදරයා වූ ආබෙල් සමඟ දැඩි කෝපයකින් සිටියා. කායින්ගේ ඒ කෝපය නිසා ඔහු අතින් දරුණු පාපයක් විය හැකි බව යෙහෝවා දෙවි අනතුරු ඇඟෙව්වා. නමුත් ඒ අනතුරු ඇඟවීම නොසලකාහැරිය කායින්, ‘තමාගේ සහෝදරයා වූ ආබෙල්ට පහර දී ඔහුව මරා දැමුවා.’ (උත්පත්ති 4:3-8) කායින් තම සහෝදරයාගේ ජීවිතය අනර්ඝ දෙයක් ලෙස නොසලකා ඔහුව මරා දැමූ නිසා යෙහෝවා දෙවි ඔහුට දඬුවම් කළා.—උත්පත්ති 4:9-11.

4. ජීවිත අනර්ඝ දෙයක් ලෙස සැලකීම ගැන මෝසෙස්ට දුන් නීතියෙන් දෙවි කාවැද්දුවේ කෙසේද?

4 ඒ සිද්ධියෙන් වසර දහස් ගණනකට පසු යෙහෝවා දෙවි මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල් සෙනඟට නීති මාලාවක් දුන්නා. ඒ නීති ඔවුන්ට ලබා දුන්නේ දෙවිට පිළිගත හැකි සේවයක් කිරීමට ඔවුන්ට උපකාර කිරීම සඳහායි. ඒ නීති අතරින් එක් නීතියක, “මිනී නොමරන්න” කියා සඳහන් වෙනවා. (ද්විතීය කතාව 5:17) දෙවි මිනිස් ජීවිත අනර්ඝ දෙයක් ලෙස සලකන බවත් ඊශ්‍රායෙල්වරුන්ද අන් අයගේ ජීවිත අනර්ඝ දෙයක් ලෙස සැලකිය යුතු බවත් ඒ නීතියෙන් පෙන්වා දෙනු ලැබුවා.

5. ගබ්සා කිරීම අප සැලකිය යුත්තේ කෙසේද?

5 මෝසෙස්ට දුන් නීතියට අනුව නූපන් දරුවෙකුගේ ජීවිතය පවා අනර්ඝ දෙයක් ලෙස සැලකිය යුතුයි. මන්ද එහි සඳහන් එක් නීතියකට අනුව යම් කෙනෙකු කළ දෙයක් නිසා නූපන් දරුවෙකුගේ ජීවිතය අහිමි වුණොත් ඒ පුද්ගලයාට මරණ දණ්ඩනය හිමි වෙනවා. ඉන් පැහැදිලි වන්නේ නූපන් දරුවෙකුගේ ජීවිතය පවා යෙහෝවා දෙවිට ඉතා අනර්ඝ බවයි. (නික්මයාම 21:22, 23; ගීතාවලිය 127:3 කියවන්න.) ඒ අනුව ගබ්සා කිරීම බරපතළ වරදක්.

6. අප අන් අයට වෛර නොකළ යුත්තේ ඇයි?

6 ජීවිතය අප අනර්ඝ දෙයක් ලෙස සලකනවා නම් අප අන් අයට සලකන ආකාරයෙන් එය දක්නට තිබිය යුතුයි. අපට කෙනෙකු ගැන වෛරයක් තිබෙනවා නම් අප ඒ පුද්ගලයාගේ ජීවිතය අනර්ඝ දෙයක් ලෙස සලකනවා කියා පැවසිය නොහැකියි. “තම සහෝදරයාට වෛර කරන සෑම කෙනෙක්ම මිනී මරන්නෙකි. මිනී මරන කිසිවෙකුට සදාකාල ජීවනය හිමි නොවන බව ඔබ දන්නහුය” කියා බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසයි. (1 යොහන් 3:15) බොහෝ අපරාධවලට මුල් වන්නේ වෛරයයි. ඒ නිසා සදාකාල ජීවනය ලබාගැනීමට නම් අප තුළ තිබෙන වෛරය සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමිය යුතුයි. (1 යොහන් 3:11, 12) එසේනම් අන් අයට ප්‍රේමය දැක්වීමට පුරුදු වීම කොතරම් වැදගත්ද!

7. අප වැළකී සිටිය යුතු සමහර පුරුදු මොනවාද?

7 අපේ ජීවිතය අප අනර්ඝ දෙයක් ලෙස සලකන බව පෙන්විය හැක්කේ කෙසේද? සාමාන්‍යයෙන් අපි කවුරුත් මැරෙන්න කැමති නැහැ. නමුත් සමහරුන් තම ජීවිතය අවදානම් තත්වයකට ගෙනෙන බොහෝ පුරුදුවල නිරත වෙනවා. උදාහරණයකට දුම්පානය, බුලත්විට කෑම හා මත්ද්‍රව්‍ය භාවිතය සඳහන් කළ හැකියි. එවැනි පුරුදුවලින් ශරීරයට හානියක් සිදු වෙනවා පමණක් නොව ජීවිතය පවා අහිමි වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා එවැනි පුරුදුවල නිරත වන අය තම ජීවිතය අනර්ඝ දෙයක් ලෙස සලකනවා කියා පැවසිය නොහැකියි. දෙවි ඒ දේවල් සලකන්නේ අපවිත්‍ර පුරුදු ලෙසයි. (රෝම 6:19; 12:1; 2 කොරින්ති 7:1 කියවන්න.) ඒ නිසා දෙවිව සතුටු කිරීමට නම් අප එවැනි පුරුදු අත්හැර දැමිය යුතුයි. ඇතැම්විට එසේ කිරීම අමාරු දෙයක් වුණත් යෙහෝවා දෙවිගේ උපකාරයෙන් අපට එසේ කළ හැකියි. ජීවිතය දෙවිගෙන් ලැබී තිබෙන අනර්ඝ තෑග්ගක් ලෙස සැලකීමට අප දරන උත්සාහය ඔහු අගය කරන බව නිසැකයි.

8. අනතුරුදායක දේවලින් වැළකී සිටීමට අප උත්සාහ කළ යුත්තේ ඇයි?

8 ජීවිතය අප අනර්ඝ දෙයක් ලෙස සලකනවා නම් අනතුරුදායක දේවලින් වැළකී සිටීමටද අපි උත්සාහ කරනවා. එදිනෙදා ජීවිතයේ කටයුතුවලදීත් විනෝදය සඳහා කරන දේවලදීත් ඒ ගැන අපි සැලකිලිමත් විය යුතුයි. උදාහරණයකට අපි නොසැලකිලිමත්ව රිය පදවන්නේවත් අනතුරුදායක ක්‍රීඩාවල යෙදෙන්නේවත් නැහැ. (ගීතාවලිය 11:5) දෙවි ඊශ්‍රායෙල් සෙනඟට දුන් නීතියෙනුත් අනතුරුදායක දේවලින් වැළකී සිටීමේ වැදගත්කම කාවද්දා තිබුණා. දෙවි මෙසේ පැවසුවා. “ඔබ අලුතෙන් නිවසක් ඉදි කරනවා නම් ඒ නිවසේ තිබෙන සඳලුතලය වටා කුඩා තාප්පයක් බැඳිය යුතුයි. එසේ නොකළොත් යම් කෙනෙක් එයින් වැටී මිය යා හැකියි. එවිට ඒ පුද්ගලයාගේ ජීවිතයට වග කිව යුත්තේ ඔබේ නිවසේ සිටින අයයි.” (ද්විතීය කතාව 22:8) එම නීතියේ සඳහන් ප්‍රතිපත්තිය අදටත් අදාළයි. නිවසක් ඉදි කරන විට එය නිසි ප්‍රමිතියකට අනුව ඉදි කළ යුතුයි. එමෙන්ම අපට වාහනයක් ඇත්නම් එය ධාවනයට සුදුසු තත්වයක තිබිය යුතුයි. අප එවැනි කාරණා ගැන සැලකිලිමත් නොවුණොත් අපේ ජීවිතයටත් අන් අයගේ ජීවිතයටත් අනතුරක් සිදු විය හැකියි.

9. අප සතුන්ට සැලකිය යුත්තේ කෙසේද?

9 අප සතුන්ගේ ජීවිත ගැනත් සැලකිලිමත් විය යුතුද? ආහාර සඳහා හෝ ඇඳුම් පැළඳුම් සඳහා හෝ අපට යම් අනතුරක් සිදු විය හැකි අවස්ථාවලදී හෝ සතුන්ව මැරීමට දෙවි අවසර දී තිබුණත් සතුන්ගේ ජීවිත අපේ නිර්මාතෘ වන දෙවිට අනර්ඝ බව අපි මතක තබාගත යුතුයි. (උත්පත්ති 3:21; 9:3; නික්මයාම 21:28) සතුන්ට වධ හිංසා කිරීම හා විනෝදයට සතුන්ව මැරීම වැරදියි. කෙනෙකු එවැනි දේවල් කරනවා නම් ඉන් පෙනී යන්නේ ඔහු ජීවිතය අනර්ඝ දෙයක් ලෙස නොසලකන බවයි.—හිතෝපදේශ 12:10.

රුධිරය අනර්ඝ දෙයක් ලෙස සලකන්න

10. ජීවිතය හා රුධිරය අතර ඉතා කිට්ටු සම්බන්ධයක් තිබෙන බව දෙවි පෙන්වා දුන්නේ කෙසේද?

10 ජීවිතය හා රුධිරය අතර ඉතා කිට්ටු සම්බන්ධයක් තිබෙන බව යෙහෝවා දෙවි අවස්ථා කිහිපයකදීම පැහැදිලිව පැවසුවා. උදාහරණයකට කායින් ආබෙල්ව මරා දැමූ විට දෙවි කායින්ට පැවසුවේ, “ඔබේ සහෝදරයාගේ ලේ භූමියේ සිට මට හඬගසන්නේය” කියායි. (උත්පත්ති 4:10) ආබෙල්ගේ ලේ දෙවිට හඬගසනවා කියද්දී ඉන් අදහස් කළේ නැති වූ ආබෙල්ගේ ජීවිතය වෙනුවෙන් යුක්තිය ඉටු විය යුතු බවයි. එහිදී දෙවි ආබෙල්ගේ ලේ ඔහුට අහිමි වූ ජීවිතයට සමාන කළා. ඒ නිසා කායින් දඬුවම් ලැබුවා. නෝවාගේ කාලයේ සිදු වූ ජලගැල්මෙන් පසුවත් දෙවි ඒ කාරණය නැවත පැහැදිලි කළා. ජලගැල්මට කලින් මිනිසුන් ආහාරයට ගත්තේ පලතුරු, එළවළු හා ධාන්‍ය වර්ග පමණයි. නමුත් ජලගැල්මෙන් පසු දෙවි නෝවාට හා ඔහුගේ පුතුන්ට මෙසේ පැවසුවා. “සියලු පලා වර්ගවලට අමතරව දැන් පොළොවේ ජීවත් වන සතුන්වද මම ඔබට ආහාර වශයෙන් දෙන්නෙමි.” මස් කෑමට දෙවි ඔවුන්ට අවසර දුන්නත්, “ජීවය වන ලේ සමඟ ඔබ මස් නොකෑ යුතුයි” යන ආඥාව ඔවුන්ට දුන්නා.—උත්පත්ති 1:29; 9:3, 4.

11. නෝවාගේ කාලයේ සිට රුධිරය සම්බන්ධයෙන් දෙවි දුන් ආඥාව කුමක්ද?

11 දෙවි නෝවාට සහ ඔහුගේ පවුලේ අයට දුන් ආඥාව ඔවුන්ට පමණක් සීමා වුණේ නැහැ. මන්ද ඊට අවුරුදු 800කට පමණ පසුව යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීතියේ මෙසේ සඳහන් වුණා. ‘සෙනඟගෙන් කෙනෙකු කෑමට ගත හැකි සතෙකුව හෝ කුරුල්ලෙකුව හෝ දඩයම් කරගත්තොත් ඔහු උගේ ලේ බිමට වත් කර පස්වලින් වසා දැමිය යුතුයි. “මොනම සතෙකුගේවත් ලේ නොකන්න” කියා මම ඊශ්‍රායෙල් සෙනඟට කීවෙමි.’ (ලෙවී කතාව 17:13, 14) ඉන් පැහැදිලි වුණේ යෙහෝවා දෙවි රුධිරය ගැන දුන් ආඥාව ඒ වන විටත් වලංගු වූ බවයි. මස් කෑමට අවසර තිබුණත් එය පිළියෙල කිරීමට පෙර රුධිරය පොළොවට වත් කළ යුතු වුණා. එසේ කිරීමෙන් ඔවුන් පෙන්නුම් කළේ මැරූ සතාගේ ජීවිතය දෙවිට අයිතියි කියා ඔවුන් පිළිගත් බවයි.

12. රුධිරය ගැන දුන් ආඥාව කුමක්ද?

12 ක්‍රිස්තියානීන්ටත් ඒ හා සමාන ආඥාවක් දෙනු ලැබුවා. ක්‍රිස්තියානි සභාවේ සියලුදෙනාම කීකරු විය යුත්තේ කුමන නීතිවලටද කියා තීරණය කිරීම සඳහා එක් අවස්ථාවකදී යේසුස්ගේ ගෝලයන් අතරේ සිටි අද්දැකීම් ලත් පුරුෂයන් කිහිපදෙනෙක් රැස් වුණා. ඔවුන්ගේ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් සභාවන්ට මෙසේ දන්වා යැව්වා. “දෙවිගේ බලයේ උපකාරයෙන් අප තීරණය කළේ ඔබ මතට අනවශ්‍ය බරක් පැටවීම සුදුසු නොවන බවයි. ඔබ වැළකී සිටිය යුත්තේ මේ අත්‍යවශ්‍ය දේවලින් පමණි. ඒවා නම් දේවතා රූපවලට පූජා කළ දේවලින්, ලේවලින්, බෙල්ල මිරිකා මැරූ සතුන්ගේ මස් ආහාරයට ගැනීමෙන් සහ වේශ්‍යාකමින්ය.” (ක්‍රියා 15:28, 29; 21:25) ඒ නිසා අපිද, ‘ලෙයින් වැළකී සිටිය’ යුතුයි. ලෙයින් වැළකී සිටීම දෙවි සලකන්නේ රූප නමස්කාරයෙන් හා දුරාචාරයෙන් වැළකී සිටීම තරම්ම වැදගත් දෙයක් ලෙසයි.

මත්පැන්වලින් වළකින්න කියා වෛද්‍යවරයෙකු ඔබට පැවසුවා නම් ඔබ එය ශරීරගත කරගන්නවාද?

13. රුධිරයෙන් වැළකී සිටින්න යන ආඥාවට රුධිරය ශරීරගත කිරීමෙන් වැළකී සිටීමත් ඇතුළත්ද? පැහැදිලි කරන්න.

13 රුධිරයෙන් වැළකී සිටින්න කියා දී තිබෙන ආඥාවට රුධිරය ශරීරගත කිරීමෙන් වැළකී සිටීමත් ඇතුළත් වෙනවාද? ඔව්. උදාහරණයකට වෛද්‍යවරයෙකු ඔබට මත්පැන්වලින් වැළකී සිටින්න කියා පැවසුවායයි සිතන්න. ඔබ මත්පැන් නොබී සිටියත් වෙනත් ක්‍රමයකින් එය ශරීරගත කළ හැකි බව ඉන් අදහස් කරනවාද? කොහෙත්ම නැහැ. ඒ හා සමානව රුධිරයෙන් වැළකී සිටින්න යන ආඥාවෙන් අදහස් කරන්නෙත් රුධිරය කිසිම ආකාරයකින් ශරීරගත නොකළ යුතු බවයි.

14, 15. රුධිරය ගැනීමට වෛද්‍යවරුන් බලපෑම් කරන අවස්ථාවකදී සැබෑ ක්‍රිස්තියානීන් ක්‍රියා කරන්නේ කෙසේද? එසේ කිරීමට හේතුව කුමක්ද?

14 ක්‍රිස්තියානියෙකු දරුණු අනතුරකට ලක් වූ විට හෝ ඔහුට බරපතළ සැත්කමක් කිරීමට සිදු වූ විට හෝ ඔහුගේ ජීවිතය බේරාගැනීමට නම් රුධිරය ලබා දිය යුතුමයි කියා ඇතැම්විට වෛද්‍යවරුන් පැවසිය හැකියි. එවැනි අවස්ථාවකදී කළ යුත්තේ කුමක්ද? රුධිරය හෝ රුධිරය අඩංගු වෙනත් ප්‍රතිකාර ක්‍රිස්තියානීන් කිසිසේත් පිළිගන්නේ නැහැ. ඉන් අදහස් කරන්නේ ඔවුන් ජීවිතය අනර්ඝ දෙයක් ලෙස නොසලකන බව නොවෙයි. ඔවුන්ගේ ජීවිතය ඔවුන්ට වටිනවා. ඒ නිසා තම ජීවිතය රැකගැනීම සඳහා ඔවුන් රුධිරය අඩංගු නොවන වෙනත් ප්‍රතිකාර පිළිගැනීමට කැමැත්තෙන් සිටිනවා. ඒ සඳහා ඔවුන් වෛද්‍යවරුන්ගේ සහය ලබාගැනීමටද හැකි සෑම උත්සාහයක්ම දරනවා.

15 දෙවිගේ ආඥාවක් කඩ කර තම ජීවිතය කෙටි කාලයකට දිගු කරගැනීමට උත්සාහ කිරීම සැබෑ ක්‍රිස්තියානීන් සලකන්නේ නිෂ්ඵල දෙයක් ලෙසයි. මන්ද යේසුස් මෙසේ පැවසුවා. “යමෙකු තම ජීවිතය ගලවාගන්න කැමැත්තෙන් සිටියොත් ඔහුට එය නැති වෙයි. නමුත් මා නිසා තම ජීවිතය නැති කරගන්නාට එය ලැබෙයි.” (මතෙව් 16:25) දෙවිගේ ආඥාවක් කඩ කර අපේ ජීවිතය රැකගැනීමට උත්සාහ කරනවා නම් දෙවිගේ අනුමැතිය අපට නැති වී සදාකාල ජීවනය පවා අපට අහිමි විය හැකියි. දෙවි දී තිබෙන ආඥා සැමවිටම සාධාරණයි, නිවැරදියි කියා මතක තබාගනිමු. මන්ද රුධිරය නොගැනීම නිසා අප මිය ගියත් ජීවිතයේ උල්පත වන යෙහෝවා දෙවිට අප විශ්වාසවන්තව සිටි නිසා ඔහු නැවතත් අපට ජීවිතය නමැති අනර්ඝ තෑග්ග ලබා දෙන බව නිසැකයි.—යොහන් 5:28, 29; හෙබ්‍රෙව් 11:6.

16. දෙවිගේ සේවකයන් රුධිරය සම්බන්ධයෙන් ගෙන තිබෙන අධිෂ්ඨානය කුමක්ද?

16 දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් රුධිරය සම්බන්ධයෙන් දෙවි දී තිබෙන ආඥාව පිළිපැදීමට දැඩි අධිෂ්ඨානයක් ගෙන තිබෙනවා. ඔවුන් කිසිම ආකාරයකින් රුධිරය ආහාරයට ගන්නේවත් ප්‍රතිකාරයක් වශයෙන් රුධිරය ශරීරගත කරන්නේවත් නැහැ. * මන්ද ජීවිතයේ උල්පත වන යෙහෝවා දෙවි දී තිබෙන මඟ පෙන්වීම් සාධාරණ හා නිවැරදි ඒවා බව ඔවුන්ට විශ්වාසයි. ඔබටත් එවැනි විශ්වාසයක් තිබෙනවාද?

රුධිරය අනර්ඝ දෙයක් වීමට හේතුව

17. රුධිරය භාවිත කිරීමට දෙවි අවසර දුන්නේ කුමක් සඳහාද?

17 යෙහෝවා දෙවි රුධිරය භාවිත කිරීමට අවසර දුන්නේ එක දෙයකට පමණයි. ඒ ගැන මෝසෙස්ට දුන් නීතියේ පැහැදිලි කර තිබුණා. දෙවි ඊශ්‍රායෙල්වරුන්ට මෙසේ අණ කළා. “පණ ඇති සියල්ලන්ගේ ජීවය රැඳී තිබෙන්නේ ලේවලය. නමුත් මා සමඟ සාමකාමී සබඳතාවක් ඇති කරගැනීමට හැකි වන පිණිස පූජාසනය මත ලේ ඔප්පු කරන මෙන් මම ඔබට නියම කරන්නෙමි. මන්ද . . . පව්වලට සමාව ලබාගත හැක්කේ ලේ මාර්ගයෙන් පමණි.” (ලෙවී කතාව 17:11) ඊශ්‍රායෙල්වරුන් පව් කළ අවස්ථාවලදී සමාව ලබාගැනීම සඳහා සතුන්ව පූජාවන් ලෙස ඔප්පු කර, උන්ගේ ලේවලින් ටිකක් ගෙන පූජාසනය මත ඉසිය යුතු වුණා. ඒ අනුව රුධිරය භාවිත කිරීමට දෙවි අවසර දුන්නේ එවැනි පූජා සඳහා පමණයි.

18. යේසුස් තම ජීවිතය පූජා කිරීමෙන් වැගිරෙවූ රුධිරය නිසා අපට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

18 සැබෑ ක්‍රිස්තියානීන් මෝසෙස්ට දුන් නීතිය යටතේ දැන් නොසිටින නිසා ඔවුන් සතුන්ව පූජාවන් ලෙස ඔප්පු කරන්නේවත් උන්ගේ ලේ පූජාසනයක් මත ඉසින්නේවත් නැහැ. (හෙබ්‍රෙව් 10:1) නමුත් එදා පූජා සඳහා රුධිරය භාවිත කිරීමට අවසර දුන් හේතුව ඔවුන් හොඳින් අවබෝධ කරගෙන තිබෙනවා. පව්වලට සමාව ලබාගැනීම සඳහා ඔප්පු කළ සත්ව පූජාවලින් දෙවිගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් සදහටම සරිලන ලෙස ඔප්පු කිරීමට නියමිතව තිබූ ජීවිත පූජාව සංකේතවත් කළා. අපි පස්වෙනි පරිච්ඡේදයේදී ඉගෙනගත් ලෙස යේසුස් තම ජීවිතය පූජා කළේ මුළු මිනිස් වර්ගයාගේම පව් වෙනුවෙනුයි. පසුව ඔහු ස්වර්ගයට ගොස් දෙවි ඉදිරියේ පෙනී සිටියා. යේසුස් තම ජීවිතය පූජා කිරීමෙන් වැගිරෙවූ රුධිරය පදනමක් ලෙස යොදාගෙන මිනිස් වර්ගයාව පාපයෙන් ගලවාගැනීම සඳහා පියවර ගැනීමට එතැන් සිට දෙවිට හැකි වුණා. (හෙබ්‍රෙව් 9:11, 12) ඒ නිසා යේසුස්ගේ ජීවිත පූජාවෙන් අපේ පව්වලට සමාව ලබාගත හැකි අතර සදාකල් ජීවත් වීමේ ප්‍රස්තාවද අපට විවෘත වී තිබෙනවා. (මතෙව් 20:28; යොහන් 3:16) ඇත්තෙන්ම සියලුම පූජා අතරින් අනර්ඝතම පූජාව වන්නේ එයයි. යේසුස් වැගිරෙවූ රුධිරය කොතරම් වැදගත් අරමුණක් සඳහා භාවිත කර තිබෙනවාද කියා ඉන් පැහැදිලි වෙනවා. (1 පේතෘස් 1:18, 19) අපට පාපයෙන් හා මරණයෙන් ගැලවීම ලබාගත හැක්කේ යේසුස් වැගිරෙවූ අනර්ඝ රුධිරයේ වටිනාකම කෙරෙහි විශ්වාසය තැබීමෙන් පමණයි.

ජීවිතය හා රුධිරය අනර්ඝ දෙයක් ලෙස සලකන බව ඔබට පෙන්විය හැක්කේ කෙසේද?

19. “සියලුදෙනාගේ ලෙයින් නිදහස්” වීමට නම් අප කළ යුත්තේ කුමක්ද?

19 යෙහෝවා දෙවි අපට ලබා දී තිබෙන ජීවිතය නමැති තෑග්ග අප කොතරම් අගය කළ යුතුද! යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි විශ්වාසය තැබීමෙන් සදාකාල ජීවනය ලබාගත හැකි බව අන් අයට පැවසීම මගින් අපට එම අගය පෙන්විය හැකියි. එමෙන්ම දෙවි මෙන් අපටත් මිනිසුන්ගේ ජීවිත ගැන මහත් සැලකිල්ලක් තිබෙන නිසා අප එම කාර්යයට හවුල් වන්නේ මහත් උද්‍යෝගයකිනුයි. (එසකියෙල් 3:17-21 කියවන්න.) අප එසේ කරනවා නම් පාවුල් මෙන් අපටත් මෙසේ පැවසිය හැකියි. “මම සියලුදෙනාගේ ලෙයින් නිදහස්. . . . දෙවිගේ කැමැත්ත ගැන මම ඔබට කිසිම දෙයක් නොසඟවා හැම දෙයක්ම හොඳින් අවබෝධ කර දුන්නා.” (ක්‍රියා 20:26, 27) ඒ අනුව ජීවිතය හා රුධිරය අප ඉතා අනර්ඝ දෙයක් ලෙස සලකන බව පෙන්විය හැකි කදිම ක්‍රමයක් වන්නේ මිනිසුන්ට දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් කියා දීමයි.

^ 16 ඡේ. රුධිරය වෙනුවට ලබා දිය හැකි වෙනත් ප්‍රතිකාර ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් පළ කරන ලද 2006 අගෝස්තු 8 ‘පිබිදෙව්!’ කලාපයේ මුල් ලිපි පෙළ හා 2004 ජූනි 15 ‘මුරටැඹ’ කලාපයේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” බලන්න.