Skip to content

පටුනට යන්න

14වෙනි පරිච්ඡේදය

ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරමු

ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරමු
  • හොඳ ස්වාමිපුරුෂයෙක් වන්නේ කෙසේද?

  • හොඳ භාර්යාවක් වන්නේ කෙසේද?

  • හොඳ දෙමාපියන් වන්නේ කෙසේද?

  • හොඳ දරුවෙක් වන්නේ කෙසේද?

1. ප්‍රීතිමත් පවුල් ජීවිතයකට රහස කුමක්ද?

යෙහෝවා දෙවි කැමති වන්නේ අප අපේ පවුල් ජීවිතය ප්‍රීතියෙන් ගත කරනවා දකින්නයි. ඒ නිසා ඔහු පවුලේ සෑම සාමාජිකයෙකුටම බයිබලය මගින් මඟ පෙන්වීම් සපයා දී තිබෙනවා. පවුලේ සියලුදෙනාම ඒ මඟ පෙන්වීම්වලට එකඟව තම වගකීම් නිසි ලෙස ඉටු කළොත් පවුලක් ලෙස ඔවුන්ට සැබෑ ප්‍රීතිය අද්දැකිය හැකියි. “ඇත්තටම සන්තෝෂවත් වන්නේ දෙවි පවසන දේ අසා එය පිළිපදින අයයි” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි.—ලූක් 11:28.

2. අප සියලුදෙනාම පිළිගත යුත්තේ කුමක්ද? ඒ ඇයි?

2 පවුලක් ලෙස ජීවත් වීමේ සැලැස්ම ඇති කළේ ස්වර්ගයේ සිටින ‘අපගේ පියාණන්’ වන යෙහෝවා දෙවියි. (මතෙව් 6:9) ඒ නිසා ප්‍රීතිමත් පවුල් ජීවිතයක් සඳහා අවශ්‍ය මඟ පෙන්වීම් දීමට සුදුසුම තැනැත්තා ඔහු බව අප සියලුදෙනාම පිළිගත යුතුයි. (එෆීස 3:14, 15) පවුලේ සිටින සියලුදෙනා සඳහා බයිබලයේ දී තිබෙන මඟ පෙන්වීම් මොනවාද?

පවුල් ජීවිතයේ ආරම්භය

3. පවුල් ජීවිතයේ ආරම්භය ගැන බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද? එම වාර්තාව විශ්වාස කළ හැක්කේ ඇයි?

3 යෙහෝවා දෙවි ආදම් සහ ඒවව නිර්මාණය කළ පසු ඔවුන් දෙදෙනාව විවාහක යුවළක් ලෙස එක් කළා. ඔවුන්ව ඒදන් උයනේ පදිංචි කළ දෙවි, ඔවුන්ට මෙසේ ආඥා කළා. “දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න.” (උත්පත්ති 1:26-28; 2:18, 21-24) ඉන් පැහැදිලි වන්නේ ඔවුන් දරුවන් බිහි කර සතුටින් ජීවිතය ගත කරනවා දැකීම යෙහෝවා දෙවිගේ කැමැත්ත වූ බවයි. පවුල් ජීවිතයේ ආරම්භය ගැන සඳහන් වන එම වාර්තාව ප්‍රබන්ධ කථාවක් නොවෙයි. මන්ද එය සත්‍යයක් බව පසු කාලයක යේසුස් පවා සනාථ කළා. (මතෙව් 19:4, 5) කෙසේවෙතත් දෙවි මුලින් අරමුණු කළ ආකාරයට ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කිරීම අද ලෙහෙසි දෙයක් නොවෙයි. මන්ද අපි බොහෝ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙනවා. ඒ වුණත් අප උත්සාහ කළොත් පවුල තුළ ප්‍රීතිය අද්දැකීමට අපට හැකියි. ඒ කෙසේද කියා දැන් අපි සලකා බලමු.

4. (අ) පවුල තුළ ප්‍රීතිය අද්දැකීමට නම් සෑම කෙනෙකුම කළ යුත්තේ කුමක්ද? (ආ) යේසුස්ව ආදර්ශයට ගැනීම වැදගත් වන්නේ ඇයි?

4 පවුල තුළ ප්‍රීතිය අද්දැකීමට නම් පවුලක සිටින සෑම කෙනෙකුම දෙවිව අනුකරණය කරමින් එකිනෙකාට ප්‍රේමය පෙන්විය යුතුයි. (එෆීස 5:1, 2) දෙවිව දැකිය නොහැකි නිසා අපට ඔහුව අනුකරණය කළ හැක්කේ කෙසේද? අපට එසේ කළ හැක්කේ දෙවි මේ පොළොවට එවූ තම කුලුඳුල් පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ව ආදර්ශයට ගැනීමෙනුයි. (යොහන් 1:14, 18) මන්ද යේසුස් යෙහෝවා දෙවිගේ ගතිලක්ෂණ ඒ අයුරින්ම විදහාපෙන්වූවා. ඒ නිසා යේසුස්ව ආදර්ශයට ගනිද්දී අප ඇත්තෙන්ම අනුකරණය කරන්නේ යෙහෝවා දෙවිවයි. (යොහන් 14:9) යේසුස් අන් අය සමඟ කටයුතු කළ ආකාරයෙන් ස්වාමිපුරුෂයන්ට, භාර්යාවන්ට, දෙමාපියන්ට හා දරුවන්ට එකිනෙකා සමඟ ප්‍රේමණීය ලෙස කටයුතු කරන්නේ කෙසේද කියා ඉගෙනගත හැකියි.

ස්වාමිපුරුෂයන්ට ඉගෙනගත හැකි දේ

5, 6. (අ) යේසුස් සභාවට ප්‍රේමය පෙන්වූ ආකාරය ස්වාමිපුරුෂයන්ට හොඳ ආදර්ශයක් වන්නේ කෙසේද? (ආ) වැරදිවලට දෙවිගෙන් සමාව ලබාගැනීමට කළ යුත්තේ කුමක්ද?

5 බයිබලයේ පවසන ආකාරයට ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ට සැලකිය යුත්තේ යේසුස් තම ගෝලයන්ට සැලකූ ආකාරයටයි. එහි පවසන්නේ මෙසේයි. “ස්වාමිපුරුෂයෙනි, ඔබේ භාර්යාවන්ට දිගටම ප්‍රේම කරන්න. ක්‍රිස්තුස් සභාවට ප්‍රේම කර ඒ වෙනුවෙන් තම ජීවිතය දුන් අයුරින්ම ඔබත් ඔවුන්ට ප්‍රේම කරන්න. . . . එයාකාරයෙන්ම ස්වාමිපුරුෂයන්ද තම ශරීර ගැන සැලකිලිමත් වෙනවා වගේ තම භාර්යාවන්ට ප්‍රේම කළ යුතුයි. තම භාර්යාවට ප්‍රේම කරන තැනැත්තා තමාටම ප්‍රේම කරන බව කිව හැකියි. මන්ද කිසි මිනිසෙක් කිසිදාක තමාගේම ශරීරයට වෛර කළේ නැත. ඒ වෙනුවට ඔහු තම ශරීරයට අවශ්‍ය පෝෂණය සහ සැලකිල්ල මහත් ආදරයකින් ලබා දෙයි. එය ක්‍රිස්තුස් සභාව වෙනුවෙන් දක්වන සැලකිල්ලට සමාන සැලකිල්ලක් විය යුතුයි.”එෆීස 5:23, 25-29.

6 යේසුස් තම ගෝලයන්ගෙන් සෑදුණු සභාවට ප්‍රේමය පෙන්වූ ආකාරය ස්වාමිපුරුෂයන්ට ආදර්ශයට ගත හැකියි. ඔහුගේ ගෝලයන් තුළ බොහෝ අඩුපාඩුකම් තිබුණත් ඔහු ඔවුන්ට, ‘අවසානය දක්වා මහත් සේ ප්‍රේම කළ’ බව බයිබලයේ සඳහන් වෙනවා. අන්තිමේදී ඔහු ඔවුන් වෙනුවෙන් තම ජීවිතය පවා පූජා කළා. (යොහන් 13:1; 15:13) ඒ හා සමානව ස්වාමිපුරුෂයන්ගෙන්ද ඉල්ලා සිටින්නේ, “ඔබේ භාර්යාවන් සමඟ අධික ලෙස කෝප නොවී ඔවුන්ට දිගටම ප්‍රේම කරන්න” කියායි. (කොලොස්සි 3:19) භාර්යාවක් අනුවණ ලෙස ක්‍රියා කරන අවස්ථාවලදී එම උපදෙස අදාළ කරගැනීම ලෙහෙසි දෙයක් නොවෙයි. නමුත් තමන් අතින්ද වැරදි සිදු වන බවත් දෙවිගෙන් සමාව ලබාගැනීම සඳහා තම භාර්යාව ඇතුළු අන් අයට තමන්ද සමාව දිය යුතු බවත් මතකයේ තබාගැනීමෙන් ඇය සමඟ කෝප නොවී ඇයට දිගටම ප්‍රේම කරන්න ඔහුට හැකියි. (මතෙව් 6:12, 14, 15 කියවන්න.) ඇත්තෙන්ම විවාහ ජීවිතය සාර්ථක කරගැනීමට නම් දෙදෙනාම එකිනෙකාට සමාව දෙන්න සූදානම් විය යුතුයි.

7. යේසුස් තම ගෝලයන්ට සැලකූ ආකාරය ස්වාමිපුරුෂයන්ට අනුකරණය කළ හැක්කේ කෙසේද?

7 යේසුස් නිතරම තම ගෝලයන් කෙරෙහි සැලකිල්ල දැක්වූ බවත් ස්වාමිපුරුෂයන් මතක තබාගත යුතුයි. ඔහු ඔවුන්ගේ සීමාවන් හොඳින් තේරුම්ගත් අතර ඔවුන්ගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වුණා. උදාහරණයකට ඔවුන් වෙහෙසට පත්ව සිටි අවස්ථාවකදී යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවා. “එන්න, අපි පාළු තැනකට යමු. අපිට පුළුවන් ටිකකට විවේක ගන්න.” (මාක් 6:30-32) භාර්යාවන්ද එලෙස සැලකිල්ල ලැබීමට වටිනවා. බයිබලයේ ඔවුන්ව විස්තර කරන්නේ, “ඔබට [එනම් පුරුෂයන්ට] වඩා දුර්වල අය” ලෙසයි. එමෙන්ම භාර්යාවන් “ගෞරවය” ලැබීමටද වටිනවා. මන්ද බයිබලයේ පවසන්නේ පුරුෂයා සහ භාර්යාව යන දෙදෙනාම, “ජීවනය නමැති මහත් වරප්‍රසාදයට උරුමකම් කියන” බවයි. (1 පේතෘස් 3:7) දෙවිට වැදගත් වන්නේ කෙනෙක් ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද යන කාරණය නොවෙයි. දෙවිට වැදගත් වන්නේ කෙනෙකුගේ විශ්වාසවන්තකමයි. ඒ කාරණය මතක තබාගැනීම තම භාර්යාවට ගෞරවයෙන් සැලකීමට පුරුෂයන්ට උපකාරවත් වෙනවා.—ගීතාවලිය 101:6.

8. (අ) “තම භාර්යාවට ප්‍රේම කරන තැනැත්තා තමාටම ප්‍රේම කරන” බව පැවසිය හැක්කේ ඇයි? (ආ) ස්වාමිපුරුෂයා හා ඔහුගේ භාර්යාව, “එක් කෙනෙකු” බව පැවසීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

8 යේසුස් පැවසුවේ ස්වාමිපුරුෂයා සහ ඔහුගේ භාර්යාව, “දෙදෙනෙකු නොව එක් කෙනෙකු” වන බවයි. (මතෙව් 19:6) “තම භාර්යාවට ප්‍රේම කරන තැනැත්තා තමාටම ප්‍රේම කරන බව” බයිබලයේ පවසන්නේ ඒ නිසයි. ඒ අනුව ලිංගික ඇසුර ඔවුන් දෙදෙනාට පමණක් සීමා විය යුතුයි. (හිතෝපදේශ 5:15-21; හෙබ්‍රෙව් 13:4) එමෙන්ම තමා ගැන පමණක් නොසිතා අනික් කෙනාගේ ලිංගික අවශ්‍යතා ගැන ඔවුන් සැලකිලිමත් විය යුතුයි. (1 කොරින්ති 7:3-5) “කිසි මිනිසෙක් කිසිදාක තමාගේම ශරීරයට වෛර කළේ නැත. ඒ වෙනුවට ඔහු තම ශරීරයට අවශ්‍ය පෝෂණය සහ සැලකිල්ල මහත් ආදරයකින් ලබා දෙයි” යන උපදෙසත් සිතට ගැනීම වැදගත්. ස්වාමිපුරුෂයෙකු තමන් ගැන සැලකිලිමත් වන ආකාරයටම තම භාර්යාව ගැනත් සැලකිලිමත් විය යුතුයි. මන්ද තම භාර්යාවට සලකන ආකාරය සම්බන්ධයෙන් ඔහුගේ හිස වන යේසුස් ක්‍රිස්තුස්ට ඔහු ගණන් දිය යුතුයි.—එෆීස 5:29; 1 කොරින්ති 11:3.

9. ෆිලිප්පි 1:8හි සඳහන් වන්නේ යේසුස් පෙන්වූ කුමන ගුණාංගයද? ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ට එම ගුණාංගය විදහාපෙන්විය යුත්තේ ඇයි?

9 තම භාර්යාවගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වන පුරුෂයෙක් ඇයට ගැඹුරු සෙනෙහසක්ද පෙන්වනවා. ඒ සම්බන්ධයෙන්ද යේසුස් කදිම ආදර්ශයක් තැබුවා. ‘ක්‍රිස්තුස් යේසුස්ට අප [එනම් ඔහුගේ ගෝලයන්] සඳහා සෙනෙහසක් තිබෙන’ බව පාවුල් පැවසුවේ ඒ නිසයි. (ෆිලිප්පි 1:8) යේසුස් අන් අයට පෙන්වූ සෙනෙහස නිසා කාන්තාවන් බොහෝදෙනෙක් ඔහුගේ අනුගාමිකයන් බවට පත් වුණා. (යොහන් 20:1, 11-13, 16) තම පුරුෂයන්ගෙන් එවැනි සෙනෙහසක් ලබාගැනීම භාර්යාවන්ගේ ආශාව නිසා ස්වාමිපුරුෂයන් ඔවුන්ට සෙනෙහස පෙන්විය යුතුයි.

භාර්යාවන්ට ඉගෙනගත හැකි දේ

10. යේසුස් භාර්යාවන්ට කදිම ආදර්ශයක් තැබුවේ කෙසේද?

10 යේසුස්ගෙන් භාර්යාවන්ට ඉගෙනගත හැක්කේ මොනවාද? බයිබලයේ පවසන්නේ, “ක්‍රිස්තුස්ගේ හිස දෙවි” බවයි. (1 කොරින්ති 11:3) යේසුස් තම හිස වන දෙවිට නිතරම යටත්ව සිටින ආකාරය ගැන බයිබලයේ විස්තර කර තිබෙනවා. යේසුස්ගේ එම ආදර්ශය භාර්යාවන්ටත් අනුගමනය කළ හැකියි. මන්ද බයිබලයේ පවසන්නේ, “ස්ත්‍රියකගේ හිස පුරුෂයා” බවයි. එසේනම් පවුලක කටයුතු නිසි පිළිවෙළකට සිදු වීම සඳහා භාර්යාව පවුලේ මූලිකයා වන තම පුරුෂයාට යටත්ව සිටිය යුතුයි.

11. තම පුරුෂයා ගැන භාර්යාවකට තිබිය යුතු ආකල්පය කුමක්ද? ඇගේ යහපත් ආදර්ශයේ ප්‍රතිඵලය කුමක් විය හැකිද?

11 ස්වාමිපුරුෂයන් මූලිකයන් ලෙස කටයුතු කළත් ඔවුන් අතින්ද අඩුපාඩුකම් සිදු වන බව භාර්යාවන් මතක තබාගත යුතුයි. නමුත් තම පුරුෂයා කරන සෑම දෙයක්ම සුළුවට ගැනීමටවත් මූලිකත්වය තම අතට ගැනීමටවත් එය හේතුවක් නොවෙයි. භාර්යාවක් නිතරම උත්සාහ කළ යුත්තේ ඇතුළාන්තයෙන්ම තැන්පත් හා මෘදු ස්වභාවයක් ඇති කෙනෙකු වීමටයි. මන්ද දෙවිට බොහෝ සෙයින් වටින්නේ එවැනි කෙනෙකුවයි. (1 පේතෘස් 3:4) ඇය තුළ එවැනි ස්වභාවයක් තිබෙන විට යම් අසීරු අවස්ථාවලදී පවා පුරුෂයාට යටත්ව කටයුතු කරන්න ඇයට හැකි වෙනවා. “භාර්යාව තම ස්වාමිපුරුෂයාට ගැඹුරු ගෞරවයක් දැක්විය යුතුයි” කියාත් බයිබලයේ සඳහන් වෙනවා. (එෆීස 5:33) නමුත් යේසුස් ක්‍රිස්තුස්ව තම හිස ලෙස පිළි නොගන්නා පුරුෂයෙකු සමඟ භාර්යාවක් කටයුතු කළ යුත්තේ කෙසේද? එවැනි තත්වයකදී භාර්යාව කටයුතු කළ යුතු ආකාරය ගැන බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “ඔබේ ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න. එවිට ඔවුන්ගෙන් සමහරෙකු දෙවිගේ පණිවිඩයට කීකරු වී නොසිටියත් ඔවුන්ට ඒ ගැන වචනයක්වත් නොපවසා ඔබේ ආදර්ශයෙන් ඔවුන්ව දිනාගැනීමට හැකි වේ. මන්ද ඔවුහු ඔබේ නිර්මල හැසිරීම සහ ඔබ දක්වන ගැඹුරු ගෞරවය දකිනු ඇත.”—1 පේතෘස් 3:1, 2.

12. භාර්යාවක් තමන්ගේ අදහස් ගෞරවනීය ලෙස පැවසීම වරදක් නොවන්නේ ඇයි?

12 තම පුරුෂයාට ගරු කරනවා කීමෙන් අදහස් කරන්නේ භාර්යාවකට තම අදහස් ඉදිරිපත් කළ නොහැකි බවද? නැහැ. පවුල සම්බන්ධයෙන් ගන්නා තීරණවලදී ඇගේ අදහස් කාරුණිකව ඉදිරිපත් කිරීමට ඇයට හැකියි. නමුත් ඇතැම් අවස්ථාවලදී පුරුෂයාගේ අදහසට වඩා වෙනස් අදහසක් භාර්යාවට තිබිය හැකියි. එය නිවැරදි වෙන්නත් පුළුවන්. එවැනි අවස්ථාවකදීත් ඇය තම අදහස ඉදිරිපත් කළ යුත්තේ කාරුණිකවයි. පුරුෂයා ඇගේ අදහස්වලටත් ඇහුම්කන් දෙනවා නම් එයින් යහපතක් සිදු වන්නේ මුළු පවුලටමයි. උදාහරණයකට ආබ්‍රහම්ගේ පවුල තුළ ගැටලුවක් මතු වූ අවස්ථාවකදී සාරා ඊට විසඳුමක් යෝජනා කළත් ආබ්‍රහම් ඇගේ යෝජනාවට එකඟ වුණේ නැහැ. නමුත් දෙවි ඔහුට පැවසුවේ, “ඇයට සවන් දෙන්න” කියායි. (උත්පත්ති 21:9-12 කියවන්න.) කෙසේවෙතත් අවසන් තීරණය ගන්නේ ස්වාමිපුරුෂයා බව මතක තබාගත යුතුයි. ඔහු ගන්නා තීරණය බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි නැත්නම් ඊට සහය දැක්වීමෙන් භාර්යාවකට යටත්කම පෙන්විය හැකියි.—ක්‍රියා 5:29; එෆීස 5:24.

සාරා භාර්යාවන්ට කදිම ආදර්ශයක් තැබුවේ කෙසේද?

13. (අ) තීතස් 2:4, 5හි භාර්යාවන්ව දිරිගන්වා තිබෙන්නේ කුමක් කිරීමටද? (ආ) වෙන් වීම සහ දික්කසාදය ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද?

13 භාර්යාවක් තම වගකීම් ඉටු කරද්දී ඇයට පවුල වෙනුවෙන් බොහෝ දේ කළ හැකියි. උදාහරණයකට භාර්යාවන්ට, “තම ස්වාමිපුරුෂයන්ට ප්‍රේම කිරීමටත් තම දරුවන්ට ප්‍රේම කිරීමටත්, හොඳ සිහිකල්පනාවෙන් වැඩ කිරීමටත් පවිත්‍ර චරිතයක් ඇතුව සිටීමටත් ගෙදරදොරේ වැඩකටයුතු සාර්ථකව ඉටු කිරීමටත් යහපත්කමින් ක්‍රියා කිරීමටත් තම ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටීමටත්” බයිබලයේ දිරිගන්වා තිබෙනවා. (තීතස් 2:4, 5) එලෙස කටයුතු කරන භාර්යාවකට හා මවකට තම පවුලේ ආදරය හා ගෞරවය සැමදා හිමි වෙයි. (හිතෝපදේශ 31:10, 28 කියවන්න.) නමුත් සමහර අවස්ථාවලදී විවාහයක් තුළ බරපතළ ප්‍රශ්න ගැටලු මතු විය හැකියි. එහි ප්‍රතිඵලයක් ලෙස එකිනෙකාගෙන් වෙන් වීමට හෝ දික්කසාද වීමට යුවළක් තීරණය කිරීමට ඉඩ තිබෙනවා. බයිබලයට අනුව විවාහක යුවළකට වෙන් විය හැක්කේ හේතු කිහිපයක් මත පමණයි. ඒ නිසා එය සැහැල්ලුවට ගත යුතු තීරණයක් නොවෙයි. බයිබලයේ පවසා තිබෙන්නේ, “භාර්යාවක් ඇගේ ස්වාමිපුරුෂයාව අත් නොහැරිය යුතුයි. . . . ස්වාමිපුරුෂයෙක්ද ඔහුගේ භාර්යාවව අත් නොහැරිය යුතුයි” කියායි. (1 කොරින්ති 7:10, 11) දික්කසාද වීම සඳහා බයිබලයේ අවසර දී තිබෙන්නේ එක හේතුවක් මත පමණයි. එය නම් පුරුෂයා හෝ භාර්යාව අනාචාරයේ යෙදීමයි.—මතෙව් 19:9.

දෙමාපියන්ට ඉගෙනගත හැකි දේ

14. යේසුස් දරුවන්ට සැලකුවේ කෙසේද? දරුවන්ට දෙමාපියන්ගෙන් අවශ්‍ය වන්නේ කුමක්ද?

14 දරුවන්ට සැලකිය යුතු ආකාරය සම්බන්ධයෙන්ද දෙමාපියන්ට හොඳම ආදර්ශය තැබුවේ යේසුස්. කුඩා දරුවන් පිරිසක් යේසුස් ළඟට පැමිණෙන විට ඔවුන්ව වැළැක්වීමට උත්සාහ කළ අයට යේසුස් මෙසේ පැවසුවා. “එහෙම කරන්න එපා. මේ කුඩා දරුවන්ට මා ළඟට එන්න ඉඩහරින්න.” එසේ පැවසීමෙන් පසු, “ඔහු දරුවන්ව තමන් ළඟට ගෙන ඔවුන්ව තුරුලු කරගෙන ඔවුන් පිට අත් තබා ආශීර්වාද කළේය” කියා තවදුරටත් බයිබලයේ සඳහන් වෙනවා. (මාක් 10:13-16) යේසුස් කාර්යබහුල ජීවිතයක් ගත කළත් කුඩා දරුවන් සමඟ කාලය ගත කළා. ඔබත් ඔබේ දරුවන් වෙනුවෙන් කාලයක් වෙන් කළ යුතු නැද්ද? ඉන් අදහස් කරන්නේ ඉඳහිට කෙටි වේලාවක් ඔවුන් සමඟ ගත කිරීම නොවෙයි. ඔබ ඔවුන් සමඟ නිතරම කාලය ගත කළ යුතුයි. දරුවන්ට අවශ්‍ය පුහුණුව ලබා දීමට දෙවි අණ කර තිබෙන්නේ දෙමාපියන්ටයි. ඒ සඳහාද ඔබ කාලය සොයාගත යුතුයි.—ද්විතීය කතාව 6:4-9 කියවන්න.

15. තම දරුවන්ව ආරක්ෂා කරගැනීම සඳහා දෙමාපියන්ට කළ හැක්කේ කුමක්ද?

15 යක්ෂයාගේ බලපෑම යටතේ තිබෙන මේ සමාජය දිනෙන් දින දරුණු වන බව දෙමාපියන් කිසිවිටකත් අමතක නොකළ යුතුයි. මේ සමාජයේ සිටින සිත්පිත් නැති මිනිසුන් දරුවන්ට අතවර කිරීමට හෝ වෙනත් ආකාරවලින් හිරිහැර කිරීමට මාන බලමින් සිටිනවා. ඒ නිසා නිතරම දෙමාපියන්ගේ රැකවරණය දරුවන්ට අත්‍යවශ්‍යයි. ‘ආදරණීය දරුවන්’ ලෙස සැලකූ තම ගෝලයන්ව යේසුස් ආරක්ෂා කළ ආකාරය සැලකිල්ලට ගන්න. ඔහුව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු තම ගෝලයන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙමින් ඔවුන්ට ගැලවී යෑමට මඟ සැලැස්වූවා. (යොහන් 13:33; 18:7-9) ඔබේ කුඩා දරුවන්ට හානි කිරීමට යක්ෂයා දරන උත්සාහයන් ගැන දෙමාපියන් ලෙස ඔබ නිතරම කල්පනාවෙන් සිටිය යුතුයි. ඒ නිසා සිදු විය හැකි අනතුරු ගැන කල් ඇතුව ඔවුන්ව දැනුවත් කරන්න. * (1 පේතෘස් 5:8) ඔබේ දරුවන්ට සෑම අතින්ම සිදු විය හැකි අනතුරු වෙන කවරදාකටත් වඩා මේ කාලයේදී වැඩියි. යක්ෂයා උත්සාහ කරන්නේ ඔවුන්ව යෙහෝවා දෙවිගෙන් ඈත් කිරීමටයි. ඒ නිසා දරුවන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම කොතරම් වැදගත්ද!

යේසුස් දරුවන්ට සැලකූ ආකාරයෙන් දෙමාපියන්ට ඉගෙනගත හැක්කේ කුමක්ද?

16. යේසුස් තම ගෝලයන් සමඟ කටයුතු කළ ආකාරයෙන් දෙමාපියන්ට ඉගෙනගත හැක්කේ කුමක්ද?

16 කුඩා කාලයේ සිටම දරුවන්ට හික්මවීම් අවශ්‍යයි. යේසුස්ගේ ආදර්ශය සැලකිල්ලට ගෙන ඔබටත් ඔබේ දරුවාව නිවැරදි කළ හැක්කේ කෙසේද? යේසුස් මිය යෑමට කලින් රාත්‍රියේදී තමන් අතරේ උතුම්ම තැනැත්තා කවුද කියා ඔහුගේ ගෝලයන් අතර විවාදයක් ඇති වුණා. ඒ අවස්ථාවේදී ඔහු ඔවුන් සමඟ කෝප නොවී ප්‍රේමණීය ලෙස ඔවුන්ට සලකමින් වචනයෙන් සහ ක්‍රියාවෙන් ආදර්ශයක් තැබුවා. (ලූක් 22:24-27; යොහන් 13:3-8) ඒ හා සමානව දරුවන්ට අවශ්‍ය හික්මවීම් ලබා දිය යුත්තේ ‘සුදුසු ප්‍රමාණයටයි.’ කවදාවත් කෝපයෙන් එසේ නොකළ යුතුයි. සිතන්නේ බලන්නේ නැතුව, “කඩුවෙන් අනින්නාක් මෙන්” වචන කියන්න එපා. (යෙරෙමියා 30:11; හිතෝපදේශ 12:18) හික්මවීම් දිය යුත්තේ එහි වැදගත්කම දරුවාට අවබෝධ වන ආකාරයකිනුයි.—එෆීස 6:4; හෙබ්‍රෙව් 12:9-11.

දරුවන්ට ඉගෙනගත හැකි දේ

17. යේසුස් දරුවන් සඳහා කදිම ආදර්ශයක් තැබුවේ කෙසේද?

17 දරුවන්ට යේසුස්ගෙන් ඉගෙනගත හැක්කේ මොනවාද? යේසුස්ගේ ආදර්ශයෙන් දෙමාපියන්ට කීකරු වීමේ වැදගත්කම දරුවන්ට ඉගෙනගත හැකියි. “පියාණන් මට ඉගැන්වූ ආකාරයටම මම ඔබට දේවල් කියා දුන් බව” ඔහු තම ගෝලයන්ට පැවසුවා. එමෙන්ම ඔහු පැවසුවේ, “මගේ එකම ආශාව ඔහුට ප්‍රසන්න දේවල් කිරීම” බවයි. (යොහන් 8:28, 29) යේසුස් ඔහුගේ පියාණන්ට සැමවිටම කීකරුව සිටියා. දරුවන්ටත් බයිබලයේ පවසන්නේ තම දෙමාපියන්ට කීකරු වන්න කියායි. (එෆීස 6:1-3 කියවන්න.) පරිපූර්ණ දරුවෙකු වූ යේසුස් අතින් කිසිම වරදක් හෝ අඩුපාඩුවක් සිදු නොවුණත් අසම්පූර්ණකම් ඇති ඔහුගේ දෙමාපියන් වන යෝසෙප් හා මරියා අතින් අඩුපාඩුකම් සිදු වුණා. නමුත් යේසුස් ඔවුන්ට කීකරුව සිටියා. එසේ කීකරුව සිටීම ඔහුගේ පවුලේ සිටි සෑම කෙනෙකුගේම සතුටට දායක වූ බවට සැකයක් නැහැ.—ලූක් 2:4, 5, 51, 52.

18. යේසුස් සැමවිටම තම පියාණන්ට කීකරු වුණේ ඇයි? දරුවන් දෙමාපියන්ට කීකරු වන විට එයින් සතුටු වන්නේ කවුද?

18 යේසුස්ව ආදර්ශයට ගනිමින් තම දෙමාපියන්ව සතුටු කළ හැකි ආකාරය ගැන දරුවන්ද සිතා බැලිය යුතුයි. සමහර අවස්ථාවලදී තම දෙමාපියන්ට කීකරු වීම අසීරුයි කියා දරුවන්ට සිතුණත් දෙවි දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ තම දෙමාපියන්ට කීකරු වන්න කියායි. (හිතෝපදේශ 1:8; 6:20) කීකරු වීමට අසීරු වූ අවස්ථාවලදී පවා යේසුස් ඔහුගේ පියාණන්ට කීකරු වුණා. එවැනි එක් අවස්ථාවකදී යේසුස් මෙසේ පැවසුවා. “පියාණෙනි, ඔබ කැමති නම් මේ කුසලානය [එනම් ඔබ ඉල්ලා සිටින දෙය] මගෙන් ඉවත් කරන්න.” කෙසේවෙතත් කළ යුතු සුදුසුම දෙය කුමක්ද කියා තම පියාණන් දන්නා බව විශ්වාස කළ යේසුස්, දෙවි ඉල්ලා සිටි දෙය එලෙසම ඉටු කළා. (ලූක් 22:42) යේසුස් මෙන් කීකරු වීමට ඉගෙනගැනීමෙන් දෙමාපියන්වද ස්වර්ගයේ සිටින පියාණන්වද සතුටු කිරීමට දරුවන්ට හැකියි. *හිතෝපදේශ 23:22-25.

වැරදි දේවල් කිරීමට බලපෑම් කරන විට දරුවන් සිතට ගත යුත්තේ කුමක්ද?

19. (අ) සාතන් දරුවන්ට බලපෑම් කරන්නේ කෙසේද? (ආ) දරුවෙකු අනාචාරයේ යෙදුණොත් එය පවුලේ අයට බලපාන්නේ කෙසේද?

19 සාතන් වැරදි දේවල් කිරීමට අද දරුවන්ව පොලඹවනවා. යේසුස්ව පවා වරදට පොලඹවන්න ඔහු උත්සාහ කළ බව මතක තබාගන්න. (මතෙව් 4:1-10) මිතුරන්ව යොදාගනිමින් සාතන් දරුවන්ට වැරදි දේවල් කිරීමට දැඩි ලෙස බලපෑම් කරනවා. ඒ බලපෑමට එරෙහිව සිටීම අසීරු දෙයක් විය හැකියි. ඒ නිසා වැරදි දේවල් කරන අයව ඇසුරු නොකිරීම කොතරම් ඥානවන්ත දෙයක්ද! (1 කොරින්ති 15:33) යාකොබ්ගේ දියණිය වූ දීනා, යෙහෝවා දෙවිට නමස්කාර නොකළ අයව ඇසුරු කළ නිසා මහත් කරදරයක වැටුණා. (උත්පත්ති 34:1, 2) දරුවෙකු අනාචාරයේ යෙදුණොත් එය පවුලේ අයට කොතරම් සිත් වේදනාවක්ද කියා සිතා බලන්න.—හිතෝපදේශ 17:21, 25.

ප්‍රීතිමත් පවුල් ජීවිතයකට මඟ

20. ප්‍රීතිමත් පවුල් ජීවිතයක් සඳහා පවුලේ සියලුදෙනා කළ යුත්තේ මොනවාද?

20 බයිබලයේ සඳහන් උපදෙස් අදාළ කරගන්නා විට පවුල තුළ ඇති වන ප්‍රශ්න විසඳාගැනීම එතරම් අමාරු දෙයක් නොවෙයි. එහි සඳහන් උපදෙස් පිළිපැදීම ඇත්තෙන්ම ප්‍රීතිමත් පවුල් ජීවිතයකට මඟයි. ඒ නිසා ස්වාමිපුරුෂයෙනි, ඔබේ භාර්යාවට ප්‍රේමය පෙන්වන්න. යේසුස් ඔහුගේ සභාව ගැන සැලකිලිමත් වූ ලෙසම ඇය ගැන සැලකිලිමත් වන්න. භාර්යාවෙනි, ඔබේ පුරුෂයාගේ මූලිකත්වයට යටත් වන්න. හිතෝපදේශ 31:10-31හි විස්තර කර තිබෙන ගුණවත් භාර්යාවකගේ ආදර්ශය අනුකරණය කරන්න. දෙමාපියෙනි, ඔබේ දරුවන්ව පුහුණු කරන්න. (හිතෝපදේශ 22:6) පියවරුනි, ‘ඔබගේ නිවසේ සිටින අයව හොඳින් හසුරුවන්න.’ (1 තිමෝති 3:4, 5; 5:8) දරුවෙනි, ඔබේ දෙමාපියන්ට කීකරු වන්න. (කොලොස්සි 3:20) තමා ඇතුළුව පවුලේ සෑම කෙනෙකු අතින්ම අඩුපාඩුකම් සිදු වන බව මතක තබාගන්න. ඒ නිසා නිහතමානීව එකිනෙකාගෙන් සමාව ඉල්ලා සිටින්න.

21. අප ඉදිරියෙහි තිබෙන්නේ මොන වගේ ප්‍රීතිමත් බලාපොරොත්තුවක්ද? පවුල් ජීවිතය දැන් පවා ප්‍රීතියෙන් ගත කළ හැක්කේ කෙසේද?

21 ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කිරීමට උපකාරවත් වන වටිනා උපදෙස් හා මඟ පෙන්වීම් රැසක් බයිබලයේ සඳහන් වෙනවා. එමෙන්ම යෙහෝවා දෙවිට නමස්කාර කරන අය පාරාදීස පොළොවක ප්‍රීතියෙන් ජීවිතය ගත කරන ආකාරය ගැන එහි පවසනවා. (එළිදරව් 21:3, 4) ඇත්තෙන්ම අප ඉදිරියෙහි තිබෙන්නේ මොන තරම් ප්‍රීතිමත් බලාපොරොත්තුවක්ද! දෙවිගේ වචනය වන බයිබලයේ සඳහන් උපදෙස් අදාළ කරගැනීමෙන් දැන් පවා අපේ පවුල් ජීවිතය ප්‍රීතියෙන් ගත කිරීමට අපට හැකියි.

^ 15 ඡේ. වැඩි විස්තර යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් පළ කරන ලද ‘උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු’ නමැති පොතේ 32වෙනි පරිච්ඡේදයෙන් දැනගත හැකියි.

^ 18 ඡේ. දෙවිගේ නීතියක් කඩ වන ආකාරයේ දෙයක් කරන්න කියා දරුවන්ගෙන් ඉල්ලා සිටින අවස්ථාවලදී මිස අනිකුත් සෑම අවස්ථාවකදීම තම දෙමාපියන්ට කීකරුව සිටීමට දරුවන් බැඳී සිටිනවා.—ක්‍රියා 5:29.