Skip to content

පටුනට යන්න

16වෙනි පරිච්ඡේදය

සැබෑ දෙවිට ඔබ පක්ෂව සිටින බව පැහැදිලිව ඔප්පු කරන්න

සැබෑ දෙවිට ඔබ පක්ෂව සිටින බව පැහැදිලිව ඔප්පු කරන්න
  • පිළිම නමස්කාරය හා මිය ගිය අයට ගරු බුහුමන් දැක්වීම ගැන බයිබලයේ උගන්වන්නේ කුමක්ද?

  • සැබෑ ක්‍රිස්තියානීන් ආගමික නිවාඩු දින සලකන්නේ කෙසේද?

  • ඔබේ විශ්වාසයන් ගැන අන් අයට පැහැදිලි කර දිය හැක්කේ කෙසේද?

1, 2. ඔබ දැන් සලකා බැලිය යුතු ප්‍රශ්නය කුමක්ද? එසේ කිරීම වැදගත් වන්නේ ඇයි?

ඔබ ජීවත් වන ප්‍රදේශයේ තිබෙන කර්මාන්ත ශාලාවක් විෂ සහිත රසායනික ද්‍රව්‍යයක් අනවසරයෙන් ඉවත දමනවා කියා සිතන්න. ඒ නිසා ඔබ අවට පරිසරය දූෂණය වෙලා. ඔබේ ජීවිතය අනතුරේ තිබෙන නිසා ඔබ කරන්නේ කුමක්ද? හැකි නම් ඔබ විගස එම ප්‍රදේශයෙන් ඉවත්ව යන්නේ නැද්ද? ඔබ එම ප්‍රදේශය අත්හැර ගියත් එම විෂ ද්‍රව්‍ය දැනටමත් ඔබේ ශරීරයට හානියක් කර ඇද්ද කියා පරීක්ෂා කර බැලීම නුවණට හුරුයි.

2 අසත්‍යය උගන්වන ආගම්වල බලපෑමත් ඒ හා සමානයි. මන්ද බයිබලයේ පවසන්නේ බොරු ඉගැන්වීම් හා පිළිකුල්සහගත වත්පිළිවෙත්වලින් එම ආගම් දූෂ්‍ය වී ඇති බවයි. (2 කොරින්ති 6:17) ‘මහ බැබිලෝනිය’ එනම් ලොව පුරා අධිරාජ්‍යයක් හා සමානව තම අණසක පතුරුවන අසත්‍යය උගන්වන සියලුම ආගම් අත්හැර පිටතට ඒම වැදගත් වන්නේ ඒ නිසයි. (එළිදරව් 18:2, 4) ඔබ දැනටමත් එවැනි ආගමක සාමාජිකත්වයෙන් ඉවත් වීමට කටයුතු කර තිබෙනවා නම් ඒ ගැන ඔබට සතුටු විය හැකියි. නමුත් එසේ කිරීම පමණක් මදි. මන්ද මහ බැබිලෝනිය අත්හැර පිටතට එනවා කීමෙන් එහි සියලුම බලපෑම්වලින් නිදහස් වීම අදහස් වෙනවා. ඒ නිසා අසත්‍යය උගන්වන ආගම්වල සියලුම බලපෑම්වලින් නිදහස්ද කියා ඔබ ඔබ ගැනම සෝදිසි කර බැලීම වැදගත්. එවැනි බලපෑම්වලින් කිහිපයක් අපි දැන් සලකා බලමු.

පිළිම නමස්කාරය හා මිය ගිය අයට ගරු බුහුමන් දැක්වීම හරිද?

3. (අ) පිළිම භාවිතය ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද? ඊට කීකරු වීම සමහරුන්ට අමාරු දෙයක් විය හැක්කේ ඇයි? (ආ) අසත්‍යය උගන්වන ආගමකට සම්බන්ධ දෙයක් ඔබ ළඟ තිබෙනවා නම් ඔබ කළ යුත්තේ කුමක්ද?

3 බොහෝදෙනෙක් අවුරුදු ගණනාවක් පුරා පිළිම තම නිවෙස්වල තබාගෙන සිටිනවා. සමහර නිවෙස්වල ඒ සඳහා විශේෂ ස්ථානයක් පවා වෙන් කර තිබෙනවා. ඔබේ නිවසෙත් එවැනි දේවල් තිබෙනවාද? පිළිමයක් නැතුව නමස්කාර කටයුතුවල යෙදීම අමාරු දෙයක් කියා ඔබ සිතනවා විය හැකියි. එවැනි දේවල් ඔබ මහත් භක්තියකින් සලකනවාත් ඇති. නමුත් අප නමස්කාර කළ යුතු ආකාරය ගැන අපට කියා දෙන්නේ දෙවියි. බයිබලයේ පැහැදිලිවම පවසන්නේ නමස්කාරය සඳහා අප පිළිම භාවිත කරනවාට දෙවි කැමති නැති බවයි. (නික්මයාම 20:4, 5 කියවන්න; ගීතාවලිය 115:4-8; යෙසායා 42:8; 1 යොහන් 5:21) එසේනම් දෙවිව සතුටු කිරීම සඳහා ඔබ අසත්‍යය උගන්වන ආගම්වලට සම්බන්ධ සෑම දෙයක්ම සම්පූර්ණයෙන් විනාශ කළ යුතුයි. මන්ද යෙහෝවා දෙවි ඒවා සලකන්නේ ‘පිළිකුල්’ දේවල් ලෙසයි. සැබෑ දෙවිට පක්ෂව සිටින බව ඔප්පු කිරීමට ඔබ සූදානම්ද?—ද්විතීය කතාව 27:15.

4. (අ) මිය ගිය අයට ගරු බුහුමන් දැක්වීම නිෂ්ඵල දෙයක් කියා අප දන්නේ කෙසේද? (ආ) අද්භූත දේවලට හවුල් වීම දෙවි ඊශ්‍රායෙල්වරුන්ට තහනම් කළේ ඇයි?

4 ආගම් බොහොමයක මිය ගිය අයට ගරු බුහුමන් දක්වනවා. මිය ගිය අය ගැන සත්‍යය බයිබලයෙන් ඉගෙනගැනීමට කලින් සමහරුන් විශ්වාස කළේ ඔවුන් යම් ස්ථානයක ජීවත්ව සිටින බවයි. එමෙන්ම ජීවත්ව සිටින අයට උපකාර කරන්න හෝ හානි කරන්න ඔවුන්ට හැකි බවයි. සමහරවිට මිය ගොස් සිටින අයව සතුටු කිරීම සඳහා ඔබත් බොහෝ දේවල් කරන්න ඇති. නමුත් ඔබ හයවෙනි පරිච්ඡේදයෙන් ඉගෙනගත් ලෙස මිය ගිය අය කොතැනකවත් ජීවත් වන්නේ නැහැ. ඒ නිසා ඔවුන් වෙනුවෙන් දේවල් කිරීම නිෂ්ඵල දෙයක්. මිය ගොස් සිටින ඔබේ පවුලේ කෙනෙකුගේ කටහඬ සමහරවිට ඔබට ඇසෙන්න පුළුවන්. ඔවුන්ගෙන් යම් පණිවිඩ ඔබට ලැබෙන්නත් පුළුවන්. නමුත් ඒ කටහඬවල් ඇසෙන්නෙත් පණිවිඩ ලැබෙන්නෙත් ඔවුන්ගෙන් නොව භූතයන්ගෙනුයි. මිය ගිය අය සමඟ කතා කිරීමට උත්සාහ කිරීම හෝ වෙනත් ඕනෑම අද්භූත දෙයකට හවුල් වීම යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට තහනම් කළේ ඒ නිසයි.—ද්විතීය කතාව 18:10-12 කියවන්න.

5. ඔබ තවමත් පිළිමවලට නමස්කාර කරනවා නම් හෝ මිය ගිය අයට ගරු බුහුමන් දක්වනවා නම් ඔබට කළ හැක්කේ කුමක්ද?

5 ඔබ තවමත් පිළිමවලට නමස්කාර කරනවා නම් හෝ මිය ගිය අයට ගරු බුහුමන් දක්වනවා නම් ඔබට කළ හැක්කේ කුමක්ද? ඒ දේවල් ගැන බයිබලයේ දෙවි පවසන දේ කියවා ඒවා ගැන ගැඹුරින් සිතා බලන්න. සැබෑ දෙවි වන යෙහෝවාට පක්ෂව සිටීමට ඔබට තිබෙන ආශාව ගැන දෙවිට දිනපතා යාච්ඤා කරන්න. ඔහු සිතන ආකාරයට සිතන්න ඔහුගෙන් උපකාර ඉල්ලන්න.—යෙසායා 55:9.

මුල් ක්‍රිස්තියානීන් නත්තල පැවැත්වූවාද?

6, 7. (අ) බොහෝදෙනෙකු නත්තල පවත්වන්නේ කුමන හේතුවකටද? යේසුස්ගේ ගෝලයන් නත්තල පැවැත්වූවාද? (ආ) යේසුස්ගේ ගෝලයන් ජීවත් වූ කාලයේදී උපන් දින සැලකුවේ කෙසේද?

6 බොහෝ ආගම්වල විශේෂ උත්සව දිනයන් වෙන් කර තිබෙනවා. ඒවා උත්සවාකාරයෙන් සැමරීම බැතිමතුන්ගෙන් අපේක්ෂා කරනවා. අසත්‍යය උගන්වන ආගම් හඳුන්වා දී තිබෙන එවැනි උත්සවවලට හවුල් වීමෙන් දෙවිව සතුටට පත් කළ නොහැකියි. උදාහරණයකට නත්තල ගැන සිතා බලන්න. සෑම ක්‍රිස්තියානි ආගමක්ම නත්තල පවත්වන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ උපත සමරනවා කියා සිතාගෙනයි. නමුත් යේසුස්ගේ ගෝලයන් එවැනි උත්සවයක් පැවැත්වූ බවට කිසිම සාක්ෂියක් නැහැ. ඒ ගැන එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “යේසුස් ඉපදී අවුරුදු 200ක පමණ කාලයක් ගත වන තුරු ඔහුගේ උපන් දිනය ගැන කිසි කෙනෙක් දැන සිටියේ නැහැ. ඒ ගැන දැනගැනීමට මිනිසුන් කිසි උනන්දුවක් දැක්වූවෙත් නැහැ.”—Sacred Origins of Profound Things.

7 යේසුස්ගේ ගෝලයන් ඔහුගේ උපන් දිනය කවදාද කියා දැනගෙන සිටියත් ඔවුන් එය සැමරුවේ නැති බව නම් ස්ථිරයි. මන්ද එක් විශ්වකෝෂයක මෙවැනි දෙයක් සඳහන් වෙනවා. ‘මුල් ක්‍රිස්තියානීන් උපන් දින සැමරීම සැලකුවේ අන්‍යාගමික චාරිත්‍රයක් ලෙසයි.’ (The World Book Encyclopedia) බයිබලයේ සඳහන් වන්නේ උපන් දින උත්සව දෙකක් ගැන පමණයි. ඒ උත්සව දෙකම පැවැත්වූයේ යෙහෝවා දෙවිට නමස්කාර නොකළ අයයි. (උත්පත්ති 40:20; මාක් 6:21) එමෙන්ම අතීතයේදී දෙවි දේවතාවන්ට ගරු බුහුමන් දැක්වීම සඳහා උපන් දින සැමරූ බවට සාක්ෂි තිබෙනවා. උදාහරණයකට රෝමවරුන් මැයි 24වෙනිදා ඩයනා නමැති දේවතාවියගේ උපන් දිනය සැමරුවා. ඊටපසු දවසේදී ඇපලෝ කියා ඔවුන් ඇදහූ සූර්ය දෙවියාගේ උපන් දිනය සැමරුවා. ඒ සෑම දෙයකින්ම පැහැදිලි වන්නේ උපන් දින සැමරීම සැබෑ ක්‍රිස්තියානීන්ගේ චාරිත්‍රයක් නොව අසත්‍යය උගන්වන ආගම් මගින් ආරම්භ කළ චාරිත්‍රයක් බවයි.

8. උපන් දින උත්සව මිථ්‍යා විශ්වාසයන් සමඟ සම්බන්ධ වී ඇති ආකාරය පැහැදිලි කරන්න.

8 මුල් ක්‍රිස්තියානීන් යේසුස්ගේ උපන් දිනය නොපැවැත්වීමට තවත් හේතුවක් තිබෙනවා. එනම් උපන් දින උත්සවවලට මිථ්‍යා විශ්වාසයන් සම්බන්ධ බව ඔවුන් දැන සිටීමයි. කෙනෙකු ඉපදෙන විට ඔහුගේ ජීවිත කාලය පුරා ඔහුට ආරක්ෂාව සලසා දීමට යම් දේවතාවක් ඉදිරිපත් වන බව ඉපැරණි ග්‍රීක හා රෝම වැසියන් බොහෝදෙනෙක් විශ්වාස කළා. ඒ ගැන එක් පොතක සඳහන් වන්නේ මෙසේයි. “දරුවෙකු ඉපදෙන දවසට යම් දෙවි කෙනෙකුගේ උපන් දිනයත් යෙදී තිබෙනවා. දරුවාට ආරක්ෂාව සලසා දීමට ඉදිරිපත් වන දේවතාව හා එම දෙවියා අතර යම් සම්බන්ධයක් ඇති බව මිනිසුන් විශ්වාස කළා. ඒ නිසා එම දෙවියාගේ ආශීර්වාදය දරුවාට ලබා දුන්නේ ඒ දේවතාව මාර්ගයෙනුයි.” (The Lore of Birthdays) එවැනි මිථ්‍යා විශ්වාසයන් සමඟ යේසුස්ව සම්බන්ධ කර පවත්වන උත්සව ගැන යෙහෝවා දෙවි සතුටු වන්නේ නැහැ. (යෙසායා 65:11, 12) මුල් ක්‍රිස්තියානීන් යේසුස්ගේ උපත සැමරුවේ නැත්නම් නත්තල ආරම්භ වුණේ කෙසේද?

නත්තල ආරම්භ වුණේ කෙසේද?

9. යේසුස්ගේ උපත සැමරීමට දෙසැම්බර් 25වෙනිදා තෝරාගත්තේ ඇයි?

9 යේසුස්ගේ උපත දෙසැම්බර් 25වෙනිදා සමරන්න පටන්ගත්තේ ඔහු මිය ගොස් අවුරුදු සිය ගණනක් ගත වීමෙන් පසුවයි. නමුත් යේසුස් ඇත්තටම ඉපදුණේ ඒ දවසේ නොවෙයි. ඔහු ඉපදුණේ ඔක්තෝබර් මාසයේයි. * එසේනම් යේසුස්ගේ උපත දෙසැම්බර් 25වෙනිදා සමරන්නේ ඇයි? එක් විශ්වකෝෂයක පවසන්නේ, “රෝමවරුන් ‘අපරාජිත හිරුගේ උපන් දිනය’ සැමරූ දවසේදීම යේසුස්ගේ උපන් දිනය සැමරීමට” ආගමික නායකයන් පිරිසක් තීරණය කළ බවයි. (The New Encyclopædia Britannica) ඒ කාලයේ සිටි මිනිසුන් ශීත කාලයේදී හිරු බොහෝ දුර ගමනක් ගොස් ඇති බව විශ්වාස කළා. ඒ නිසා මිනිසාට ආලෝකය හා උණුසුම ලබා දීමට හිරුව නැවත ගෙන්වාගැනීමේ අදහසින් ඔවුන් හිරු වෙනුවෙන් ඒ උත්සවය පැවැත්වූවා. ඔවුන් විශ්වාස කළේ හිරු නැවතත් නියමිත ස්ථානයට පැමිණෙන්නේ දෙසැම්බර් 25වෙනිදා බවයි. අන්‍යාගමිකයන්ව ක්‍රිස්තියානි ආගමට හරවාගැනීමේ අරමුණින් එම ආගමික නායකයන් මෙම උත්සවයට ක්‍රිස්තියානි මුහුණුවරක් දුන්නා. *

10. අතීතයේදී සමහරුන් නත්තල නොපැවැත්වූයේ ඇයි?

10 නත්තල ශුද්ධ ලියවිල්ලට පටහැනි උත්සවයක් බව සෑහෙන කාලයකට පෙර සිට මිනිසුන් දැනගෙන සිටියා. දාහත්වෙනි සියවසේදී එංගලන්තයේ හා සමහර අමෙරිකානු යටත්විජිතවල එය පැවැත්වීම තහනම් කර තිබුණේ ඒ නිසයි. නත්තල් දවසේදී රැකියාවට නොගොස් නිවසේ නතර වූ සෑම කෙනෙකුටම දඩයක් ගෙවන්න සිදු වුණා. නමුත් වැඩි කල් නොගොස් මිනිසුන් නැවතත් නත්තල හා බැඳි චාරිත්‍ර වාරිත්‍ර පවත්වන්න පටන්ගත් අතර ඒවාට අලුත් චාරිත්‍රත් එකතු කළා. එසේ නත්තල නැවතත් ප්‍රසිද්ධ ආගමික උත්සවයක් බවට පත් වුණා. අදත් බොහෝ රටවල නත්තල ඉතා ජනප්‍රිය උත්සවයක්. නත්තලට අසත්‍ය ආගමික චාරිත්‍ර වාරිත්‍ර සම්බන්ධ නිසා දෙවිව සතුටු කරන්න කැමති අය එය පවත්වන්නේ නැහැ. එමෙන්ම අසත්‍යය උගන්වන ආගම්වලට සම්බන්ධ වෙනත් උත්සවවලට ඔවුන් කිසි ලෙසකින්වත් සහභාගි වන්නේ නැහැ. *

මූලාරම්භය ඇත්තටම වැදගත්ද?

11. සමහර අය ආගමික උත්සව පවත්වන්නේ ඇයි? අප වැදගත් දෙය ලෙස සැලකිය යුත්තේ කුමක්ද?

11 නත්තල වැනි ආගමික උත්සවවලට මිථ්‍යා විශ්වාසයන් හා බැඳි ආරම්භයක් තිබෙන බව සමහරුන් පිළිගත්තත් ඔවුන් සිතන්නේ එවැනි උත්සව පැවැත්වීමේ වරදක් නැති බවයි. බොහෝදෙනෙකු ආගමික උත්සව පවත්වන විට ඒවා අසත්‍යය උගන්වන ආගම්වලට සම්බන්ධයි කියා සිතන්නේ නැහැ. ඔවුන් කියා සිටින්නේ එවැනි උත්සවවලදී පවුලේ අයට හා නෑදෑයන්ට එකට එකතු වීමට අවස්ථාවක් ලැබෙන බවයි. එවැනි උත්සව ගැන ඔබටත් හැඟෙන්නේ එලෙසද? සමහරවිට ඔබට එසේ හැඟෙනවා ඇත්තේ අසත්‍යය උගන්වන ආගම්වලට තිබෙන ඇලුම්කම නිසා නොව පවුලේ අයට තිබෙන ඇලුම්කම නිසයි. එවැනි අවස්ථාවකදී සැබෑ දෙවිට පක්ෂව සිටීම අමාරු දෙයක් විය හැකියි. පවුල පිහිටෙවූ තැනැත්තා වන යෙහෝවා දෙවිත් කැමති වන්නේ ඔබේ පවුලේ අය හා නෑදෑයන් සමඟ ඔබ හොඳ බැඳීමක් ඇති කරගෙන සිටිනවා දකින්නයි. (එෆීස 3:14, 15) නමුත් එවැනි බැඳීම් ශක්තිමත් කරගත යුත්තේ දෙවි අනුමත කරන ආකාරයට පමණයි. බයිබලයේ පවසන්නේ, “ස්වාමීන්ට ප්‍රසන්න වන්නේ කුමක්ද කියා නිතරම සොයා බලා එය ඔබටම තහවුරු කරගන්න” කියායි.—එෆීස 5:10.

කුණු ගොඩක වැටී තිබෙන දෙයක් ඔබ අහුලාගෙන කනවාද?

12. අපවිත්‍ර මූලාරම්භයක් තිබෙන උත්සව හා චාරිත්‍ර වාරිත්‍රවලින් අප වැළකී සිටිය යුත්තේ ඇයි? පැහැදිලි කරන්න.

12 ආගමික උත්සවවල මූලාරම්භය එතරම් වැදගත් නැති බව ඔබට හැඟෙන්න පුළුවන්. නමුත් එසේ සිතීම ඥානවන්තද? මේ උදාහරණය ගැන සිතා බලන්න. ටොපියක් කුණු ගොඩක වැටී තිබෙනවා ඔබ දැක්කා. ඔබ එය අහුලාගෙන කනවාද? නැහැ. ඒකේ කුණු ගෑවිලා. ඒ හා සමානව ආගමික උත්සව ප්‍රීතිමත් අවස්ථා ලෙස පෙනුණත් ඒවායේ මූලාරම්භය දෙස බලන විට ඒවාට බොහෝ මිථ්‍යා විශ්වාසයන් සම්බන්ධ බව පැහැදිලියි. සැබෑ ක්‍රිස්තියානීන් එවැනි උත්සවවලට සම්බන්ධ නොවන්නේ ඒ නිසයි. සැබෑ දෙවිට පක්ෂව සිටීමට ඔබත් කැමති නම් බයිබල් ලේඛක යෙසායා මෙන්, “කිසිම අපවිත්‍ර දෙයකට අත නොගසන්න” ඔබ අදිටන් කරගත යුතුයි.—යෙසායා 52:11.

අන් අය සමඟ අවබෝධයෙන් කටයුතු කරන්නේ කෙසේද?

13. ඔබ ආගමික උත්සවවලට හවුල් නොවන විට මතු විය හැකි ගැටලු මොනවාද?

13 ඔබ ආගමික උත්සවවලට හවුල් නොවන විට යම් ගැටලු මතු විය හැකියි. උදාහරණයකට ඔබේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව ඔබේ ආගමික විශ්වාසයන් පිළි නොගන්නා කෙනෙකු නම් එවැනි අවස්ථාවකදී ඔබ ක්‍රියා කරන්නේ කෙසේද? එවැනි උත්සවවලට සහභාගි නොවීම නිසා තමන්ට හොඳ දේවල් අහිමි වෙනවා යන හැඟීම දරුවන් තුළ ඇති නොවීමට ඔබට කළ හැක්කේ මොනවාද? ඔබේ රැකියා ස්ථානයේ පවත්වනු ලබන එවැනි උත්සවයකට ඔබ සහභාගි නොවන්නේ ඇයි කියා කෙනෙකු ඇසුවොත් ඔබ ඔහුට පවසන්නේ කුමක්ද? කෙනෙකු ඔබට නත්තල් තෑග්ගක් දුන්නොත් ඔබ කරන්නේ කුමක්ද? එය පිළිගැනීම වැරදිද?

14, 15. විශේෂ උත්සවයකදී යම් කෙනෙකු ඔබට සුබ පැතුවොත් හෝ තෑග්ගක් දුන්නොත් ඔබට කළ හැක්කේ මොනවාද?

14 ඒ එක් එක් අවස්ථාවේදී ඔබ කටයුතු කරන ආකාරය අවස්ථාවට අනුව වෙනස් විය හැකියි. එමනිසා ඔබ අවබෝධයෙන් කටයුතු කිරීම ඉතා වැදගත්. ඉඳහිට හමු වන කෙනෙකු විශේෂ සැමරීමක් වෙනුවෙන් ඔබට සුබ පැතුවොත් ඒ සඳහා ඔබට ස්තුතිය පළ කළ හැකියි. නමුත් නිතරම ඔබට හමු වන කෙනෙකු හෝ ඔබ සමඟ වැඩ කරන කෙනෙකු එවැනි සුබ පැතීමක් කළොත් ඒ අවස්ථාවේදී ඔබේ ස්ථාවරය ගැන යමක් පැවසීම සුදුසුයි කියා ඔබට හැඟෙන්න පුළුවන්. කෙසේවෙතත් ඔබ ඔහු සමඟ කතා කළ යුතු ආකාරය ගැන බයිබලයේ පවසන්නේ මෙසේයි. “නිතරම කාරුණිකව කතා කිරීමට පුරුදු වන්න. ඔබේ කතාව ලුණෙන් රස කළ ආහාරයකට සමාන විය යුතුයි. එසේ කළොත් එකිනෙකාට පිළිතුරු දිය යුතු අන්දම ගැන අවබෝධයෙන් ක්‍රියා කිරීමට ඔබට හැකි වේ.” (කොලොස්සි 4:6) අන් අයට අගෞරවයක් වන ආකාරයෙන් කතා නොකිරීමට වගබලා ගන්න. ඔවුන්ගේ සිත් රිදවන්නේ නැතුව ඔබේ ස්ථාවරය ගැන පහදා දෙන්න. එමෙන්ම තෑගිබෝග දීමට හා එකට එකතු වී විනෝද වීමට ඔබ අකමැති නැති බවත් වෙනත් සුදුසු අවස්ථාවලදී එසේ කිරීමට ඔබ කැමති බවත් පැවසිය හැකියි.

15 යම් කෙනෙකු ඔබට තෑග්ගක් දුන්නොත් ඔබ කරන්නේ කුමක්ද? මෙහිදී ඔබ කරන දේ තීරණය වන්නේ ඒ ඒ අවස්ථාවට අනුවයි. තෑග්ග දෙන කෙනා මෙවැනි දෙයක් පවසනවා කියා සිතන්න. “මම දන්නවා ඔයා මේ උත්සවය පවත්වන්නේ නැහැ කියලා. ඒත් මම කැමතියි ඔයාට මේ තෑග්ග දෙන්න.” ඒ තෑග්ග භාරගැනීම ඒ උත්සවයට සහභාගි වීමක් නොවෙයි කියා ඔබ සිතිය හැකියි. ඔබට තෑග්ග දෙන පුද්ගලයා ඔබේ විශ්වාසයන් ගැන එතරම් දන්නේ නැති කෙනෙකු නම් ඔබ ඒ උත්සවය පවත්වන්නේ නැති හේතුව ඔහුට පැහැදිලි කර දිය හැකියි. එවිට ඔහු දෙන තෑග්ග ඔබ භාරගත්තොත් ඊට හේතුවත් ඔබ ඔහුට තෑග්ගක් නොදෙන්නේ ඇයි කියාත් ඔහු තේරුම්ගනියි. ඇතැම් අවස්ථාවලදී ඔබට යම් කෙනෙකු තෑග්ගක් දෙන්නේ ඔබේ විශ්වාසයන්ට අනුව ඔබ කටයුතු කරනවාද නැද්ද කියා සෝදිසි කර බැලීමට විය හැකියි. එසේ නැත්නම් තෑග්ගක් ලබාගැනීමට තිබෙන ආශාව නිසා ඔබ ඔබේ ප්‍රතිපත්ති කඩ කරනවාද නැද්ද කියා දැනගැනීමට විය හැකියි. ඒ නිසා එවැනි අවස්ථාවකදී තෑග්ග භාරගැනීම ඥානවන්ත දෙයක් නොවෙයි.

පවුලේ අය සමඟ කටයුතු කරන්නේ කෙසේද?

16. සැබෑ දෙවි අනුමත නොකරන උත්සවයකදී අන් අයගේ සිත් රිදවන්නේ නැතුව කටයුතු කළ හැක්කේ කෙසේද?

16 පවුලේ සාමාජිකයන් ඔබේ ආගමික විශ්වාසයන් පිළි නොගන්නා අය නම් උත්සවයන් පවත්වන අවස්ථාවලදී ඔවුන්ගේ සිත් රිදවන්නේ නැතුව කටයුතු කිරීමට වගබලා ගන්න. ඔබේ පවුලේ අය හෝ නෑදෑයන් පවත්වන උත්සව හා ඔවුන් කරන සෑම චාරිත්‍රයක් ගැනම වාදවිවාද ඇති කරගැනීමට අවශ්‍ය නැහැ. ඔබේ විශ්වාසයන්ට ඔවුන් ගරු කරනවා දකින්න ඔබ කැමති ලෙසම ඔවුන්ගේ විශ්වාසයන්ටත් ඔබ ගරු කරන්න. (මතෙව් 7:12 කියවන්න.) කෙසේවෙතත් සැබෑ දෙවි අනුමත නොකරන ආගමික උත්සවයකට කිසිම ආකාරයකින් සහභාගි නොවීමට වගබලා ගන්න. ඒ වුණත් එවැනි උත්සවයකට කෙළින්ම සම්බන්ධ නොවන අවස්ථාවලදී සාධාරණව කටයුතු කරන්න ඔබට හැකියි. දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සිටීමට හැකි වන අයුරින් සැමවිටම කටයුතු කරන්න.—1 තිමෝති 1:18, 19 කියවන්න.

17. ඔබේ දරුවන් වෙනුවෙන් ඔබට කළ හැක්කේ මොනවාද?

17 ශුද්ධ ලියවිල්ලට පටහැනි උත්සවවලට සහභාගි නොවීම නිසා තමන්ට හොඳ දේවල් අහිමි වෙනවා යන හැඟීම දරුවන් තුළ ඇති නොවීමට ඔබට කළ හැක්කේ මොනවාද? වෙනත් අවස්ථාවලදී ඔවුන් සමඟ එක්ව විනෝද වීමට ඔබට හැකියි. විවිධ අවස්ථාවලදී ඔවුන්ට තෑගිබෝග ලබා දීමටද කටයුතු කළ හැකියි. තෑගි අතරින් ඔබේ දරුවන්ට දිය හැකි හොඳම තැග්ගක් වන්නේ ඔබේ කාලය හා ආදරයයි.

සැබෑ දෙවිට නමස්කාර කරන කෙනෙකු වන්න

සැබෑ දෙවිට නමස්කාර කරන කෙනෙකු වීමෙන් ඔබට මහත් ප්‍රීතියක් අද්දැකිය හැකියි

18. සැබෑ දෙවිට පක්ෂව සිටීමට රැස්වීම් උපකාරවත් වන්නේ කෙසේද?

18 දෙවිව සතුටු කිරීමට ඔබ අසත්‍යය උගන්වන ආගම්වලට සම්බන්ධ සෑම දෙයක්ම ප්‍රතික්ෂේප කළ යුතු බව පැහැදිලියි. එමෙන්ම සැබෑ දෙවිට ඔබ පක්ෂව සිටින බව පැහැදිලිව පෙන්නුම් කළ යුතුයි. එසේ කළ හැකි එක් ආකාරයක් ගැන බයිබලයේ මෙසේ පවසනවා. “අපි එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට එකිනෙකාව පොලඹවමු. සමහරුන් පුරුදු වී සිටින ආකාරයට එකට රැස්වීම සඳහා අපට තිබෙන අවස්ථාවන් අතපසු නොකිරීමටද අප වගබලා ගත යුතුයි. එලෙසම අපි එකිනෙකාව දිරිගන්වමු. ඒ මහත් දවස ළඟා වන බව අපට පැහැදිලිව පෙනෙන නිසා වැඩි වැඩියෙන් එසේ කරමු.” (හෙබ්‍රෙව් 10:24, 25) සැබෑ දෙවිට ඔබ පක්ෂව සිටින බව පැහැදිලිව පෙන්වීම සඳහා දෙවිට සේවය කරන අය පවත්වන රැස්වීම් ඔබට කදිම අවස්ථාවක්. ඒවාට සහභාගි වන විට ඔබට මහත් ප්‍රීතියක් අද්දැකිය හැකියි. (ගීතාවලිය 22:22; 122:1) එමෙන්ම, “එකිනෙකාව දිරිගැන්වීමටත්” අවස්ථාව උදා වෙනවා.—රෝම 1:12.

19. බයිබලයෙන් ඉගෙනගෙන තිබෙන දේවල් ගැන අනික් අයත් සමඟ බෙදාගැනීම වැදගත් වන්නේ ඇයි?

19 සැබෑ දෙවිට ඔබ පක්ෂව සිටින බව පැහැදිලිව පෙන්නුම් කළ හැකි තවත් ආකාරයක් නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමෙන් ඔබ ඉගෙනගන්නා දේවල් අනික් අය සමඟ බෙදාගැනීමයි. අද ලෝකයේ සිදු වන දුෂ්ටකම් ගැන බොහෝදෙනෙක්, ‘දුක් වෙමින් සුසුම්ලනවා.’ (එසකියෙල් 9:4) සුසුම්ලමින් සිටින එවැනි අයව සමහරවිට ඔබ දන්නවා විය හැකියි. අනාගතය ගැන ඔබ බයිබලයෙන් ඉගෙනගෙන තිබෙන දේවල් ඔවුන් සමඟ කතා කිරීම යහපත් දෙයක් කියා ඔබ සිතන්නේ නැද්ද? අසත්‍යය උගන්වන ආගම්වලට සම්බන්ධ උත්සව හා චාරිත්‍ර වාරිත්‍ර පැවැත්වීමට ඔබ තුළ තවමත් යම් ආශාවක් තිබිය හැකියි. එසේනම් සැබෑ දෙවිට නමස්කාර කරන අය සමඟ නිතරම ආශ්‍රය කරන්න. බයිබලයෙන් ඉගෙනගෙන තිබෙන සත්‍යයන් ගැන අනික් අය සමඟ කතා කරන්න. ඔබ එසේ කරන විට එම ආශාව ක්‍රමානුකූලව නැති කරගැනීමට ඔබට හැකි වෙයි. සැබෑ දෙවිට පක්ෂව සිටින බව පැහැදිලිව පෙන්නුම් කිරීමෙන් ඔබ බොහෝ ආශීර්වාද ලබන බව නිසැකයි.—මලාකි 3:10.

^ 9 ඡේ. උපග්‍රන්ථයේ “යේසුස් ඉපදුණේ දෙසැම්බර් මාසයේද?” කියන ලිපිය බලන්න.

^ 9 ඡේ. දෙසැම්බර් 25වෙනිදා තෝරාගැනීමට සැටනේලියා නමැති උත්සවයත් හේතු වී තිබෙනවා. දෙසැම්බර් 17 සිට 24 දක්වා යෙදී තිබූ ඒ උත්සවය පැවැත්වූයේ කෘෂිකර්මයට අධිපති ලෙස රෝමවරුන් ඇදහූ දෙවියාට ගරු බුහුමන් දැක්වීම සඳහායි. එම උත්සවය පැවති කාලයේදී කෑමට බීමට, විනෝද වීමට හා තෑගිබෝග දීමට සියලුදෙනා පුරුදුව සිටියා.

^ 10 ඡේ. වැඩි විස්තර දැනගන්න උපග්‍රන්ථයේ “අප ආගමික උත්සව හා විශේෂ දිනයන් සැමරිය යුතුද?” කියන ලිපිය බලන්න.