Skip to content

පටුනට යන්න

17වෙනි පරිච්ඡේදය

යාච්ඤාවෙන් දෙවිට ළං වන්න

යාච්ඤාවෙන් දෙවිට ළං වන්න
  • අප යෙහෝවා දෙවිට යාච්ඤා කළ යුත්තේ ඇයි?

  • දෙවි පිළිගන්නේ කාගේ යාච්ඤාද?

  • දෙවි අපේ යාච්ඤාවලට උත්තර දෙන්නේ කෙසේද?

‘අහසත් පොළොවත් සෑදූ තැනැත්තා’ අපේ යාච්ඤාවලට සවන් දීමට කැමැත්තෙන් සිටිනවා

1, 2. යාච්ඤාව උතුම් වරප්‍රසාදයක් ලෙස අප සැලකිය යුත්තේ ඇයි? යාච්ඤාව ගැන බයිබලයේ උගන්වා තිබෙන දේවල් අප දැනගත යුත්තේ ඇයි?

අතිවිශාල විශ්වය දෙස බලද්දී පෘථිවිය කොතරම් කුඩාද! ඒ හා සමානව, “අහසත් පොළොවත් සෑදූ” යෙහෝවා දෙවි ඉදිරියේ මිනිස් වර්ගයා, “කළයකින් වැටෙන දිය බිඳක් මෙනි.” (ගීතාවලිය 115:15; යෙසායා 40:15) නමුත්, “යෙහෝවා දෙවි තමාට හඬගසන සියල්ලන්ට සමීපව සිටියි. අවංකකමින් ඔහුට හඬගසන සියල්ලන්ට ඔහු ළංව සිටියි. ඔහුට ගරුබිය දක්වන අයගේ ආශාව ඔහු ඉෂ්ට කරන්නේය. උපකාරය ඉල්ලා ඔවුන් කන්නලව් කරන විට ඔහු ඔවුන්ට සවන් දී ඔවුන්ව බේරාගන්නේය” කියා බයිබලයේ පවසනවා. (ගීතාවලිය 145:18, 19) ඒ ගැන ටිකක් සිතා බලන්න. අතිමහත් බලයක් තිබෙන අපේ නිර්මාතෘ වන දෙවි අපට ළංව සිටිනවා. අප, ‘අවංකකමින් ඔහුට හඬගසනවා’ නම් ඔහු අපට සවන් දෙනවා. දෙවිට යාච්ඤාවෙන් කතා කරන්න ලැබීම ඇත්තෙන්ම මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද!

2 යෙහෝවා දෙවි අපේ යාච්ඤා පිළිගන්නේ ඔහු කැමති ආකාරයට අප යාච්ඤා කළොත් පමණයි. ඒ නිසා යාච්ඤාව ගැන බයිබලයේ උගන්වා තිබෙන දේවල් දැනගැනීම ඉතා වැදගත්. එසේ කිරීමෙන් යෙහෝවා දෙවිට ළං වීමට අපට හැකි වෙනවා.

යෙහෝවා දෙවිට යාච්ඤා කළ යුත්තේ ඇයි?

3. අප දෙවිට යාච්ඤා කළ යුතු එක් හේතුවක් සඳහන් කරන්න.

3 අප යෙහෝවා දෙවිට යාච්ඤා කළ යුත්තේ එසේ කිරීමට ඔහු අපට ආරාධනා කර තිබෙන නිසයි. බයිබලයේ ඒ ගැන මෙසේ පවසනවා. “කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න. ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න. එවිට ක්‍රිස්තුස් යේසුස් තුළින් දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වේ.” (ෆිලිප්පි 4:6, 7) විශ්වයේ පාලකයාණන් වන දෙවි අපට ලබා දී තිබෙන්නේ මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද! අපි එය කිසිවිටකත් සුළු කොට නොසලකමු.

4. නිතිපතා දෙවිට යාච්ඤා කිරීමෙන් ඔහු සමඟ තිබෙන අපේ බැඳීම ශක්තිමත් වන්නේ කෙසේද?

4 යෙහෝවා දෙවිට නිතිපතා යාච්ඤා කිරීමට තවත් හේතුවක් තිබෙනවා. අප එසේ කළ යුත්තේ ඔහු සමඟ තිබෙන අපේ බැඳීම ශක්තිමත් කරගැනීමටයි. හොඳ මිතුරන් කතාබහ කරන්නේ යම් දෙයක් අවශ්‍ය වූ වේලාවට පමණක් නොවෙයි. හොඳ මිතුරන් එකිනෙකා ගැන සැලකිලිමත් වෙනවා. තම සිතුවිලි හා හැඟීම් නොසඟවා එකිනෙකාට පවසද්දී ඔවුන්ගේ මිත්‍රත්වය තව තවත් ශක්තිමත් වෙනවා. යෙහෝවා දෙවි සමඟ තිබෙන අපේ මිත්‍රත්වයත් ඒ හා සමානයි. මේ පොත පාඩම් කරද්දී යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් ඔබ බයිබලයෙන් බොහෝ දේවල් ඉගෙනගත්තා. ඔබ දැන් දෙවිව සැබෑ පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා ඔබේ සියලු සිතුවිලි හා හැඟීම් යාච්ඤාවෙන් ඔබේ පියාණන්ට පවසන්න ඔබට හැකියි. එසේ කරද්දී ඔබ යෙහෝවා දෙවිට තව තවත් ළං වන බව නොඅනුමානයි.—යාකොබ් 4:8.

දෙවි පිළිගන්නේ කාගේ යාච්ඤාද?

5. දෙවි සෑම යාච්ඤාවකටම සවන් දෙනවාද? පැහැදිලි කරන්න.

5 යෙහෝවා දෙවි සෑම යාච්ඤාවකටම සවන් දෙනවාද? දෙවි යෙසායා මාර්ගයෙන් කැරලිකාර ඊශ්‍රායෙල්වරුන්ට පැවසූ මේ වදන් සැලකිල්ලට ගන්න. “ඔබ මොන තරම් යාච්ඤා කළත් මම සවන් නොදෙන්නෙමි. මන්ද ඔබේ දෑත්වලින් ඔබ බොහෝ ලේ වගුරුවා ඇත.” (යෙසායා 1:15) ඉන් පැහැදිලි වන්නේ දෙවි සෑම යාච්ඤාවකටම සවන් නොදෙන බවයි. එසේනම් දෙවි පිළිගන්නේ කාගේ යාච්ඤාද කියා අපි දැන් සලකා බලමු.

6. දෙවි අපේ යාච්ඤා පිළිගැනීමට නම් අප තුළ තිබිය යුත්තේ කුමක්ද? එය අපට පෙන්නුම් කළ හැක්කේ කෙසේද?

6 දෙවි අපේ යාච්ඤා පිළිගැනීමට නම් මුලින්ම අප දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් ඇති අය විය යුතුයි. (මාක් 11:24 කියවන්න.) ඒ ගැන පාවුල් මෙසේ පැවසුවා. “යමෙකු තුළ දෙවි කෙරෙහි විශ්වාසයක් නැත්නම් ඔහුට දෙවිව කිසි ලෙසකින්වත් සතුටු කළ නොහැක. මන්ද දෙවිට නමස්කාර කිරීම සඳහා ඔහු වෙතට ළඟා වන කෙනෙක් ඔහු ජීවමාන බවත් දෙවිගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවකින් පතන අයට ඔහු ආශීර්වාද කරන බවත් විශ්වාස කළ යුතුයි.” (හෙබ්‍රෙව් 11:6) දෙවි කෙරෙහි විශ්වාසයක් ඇතුව සිටීම යන්නෙන් අදහස් කරන්නේ යෙහෝවා දෙවි ජීවමාන කෙනෙකු බවත් ඔහු යාච්ඤාවලට පිළිතුරු දෙන බවත් දැන සිටීම පමණක් නොවෙයි. දෙවි කෙරෙහි විශ්වාසයක් තිබෙන බව අප අපේ ක්‍රියාවලින් පෙන්නුම් කළ යුතුයි. සෑම දවසකම අප කරන කියන දේවලින් ඒ විශ්වාසය දැකගත හැකි විය යුතුයි.—යාකොබ් 2:26.

7. (අ) අප දෙවිට යාච්ඤා කරන විට මහත් ගෞරවයක් පෙන්විය යුත්තේ ඇයි? (ආ) දෙවිට යාච්ඤා කරන විට නිහතමානිකම හා අවංකකම පෙන්විය හැක්කේ කෙසේද?

7 දෙවි අපේ යාච්ඤා පිළිගැනීමට නම් අප නිහතමානී හා අවංක අය විය යුතුයි. උදාහරණයකට ජනාධිපති සමඟ කතා කරන්න කෙනෙකුට අවස්ථාවක් ලැබුණොත් ඔහු කතා කරන්නේ කෙසේද? ජනාධිපතිට හිමි උසස් නිලතල පිළිගනිමින් මහත් ගෞරවයකින් යුතුව ඔහු කතා කරන බවට සැකයක් නැහැ. එසේනම් අප යාච්ඤාවෙන් යෙහෝවා දෙවිට කතා කරන විට ඊට වඩා කොතරම් ගෞරවයක් පෙන්විය යුතුද! (ගීතාවලිය 138:6) ඔහු “සියලු බලැති දෙවි” නිසා ඔහු ඉදිරියෙහි අපේ තත්වය අප නිහතමානීව පිළිගන්නා බව අපේ යාච්ඤාවෙන් පිළිබිඹු විය යුතුයි. (උත්පත්ති 17:1) එවැනි නිහතමානිකමක් අප තුළ තිබෙන විට අපේ සිතේ තිබෙන සෑම දෙයක්ම අවංකව ඔහුට පවසන්න අපි පෙලඹෙනවා. එවිට අපි යාන්ත්‍රිකව එකම දේ නැවත නැවත කියන්නේ නැහැ.—මතෙව් 6:7, 8.

8. යාච්ඤා කරන දේවලට එකඟව අපට ක්‍රියා කළ හැක්කේ කෙසේද?

8 දෙවි අපේ යාච්ඤා පිළිගැනීමට නම් යාච්ඤා කරන දේවලට එකඟව අප ක්‍රියා කිරීමත් අවශ්‍යයි. උදාහරණයකට, “දිනපතා අපට අවශ්‍ය ආහාර අපට ලබා දෙන්න” කියා අප යාච්ඤා කරනවා නම් අපි වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුයි. (මතෙව් 6:11; 2 තෙසලෝනික 3:10) එමෙන්ම අපේ යම් දුර්වලකමක් ජය ගැනීමට උපකාර ඉල්ලා යාච්ඤා කරනවා නම් වරදට පෙලඹවිය හැකි අවස්ථාවලින් අපි වැළකී සිටිය යුතුයි. (කොලොස්සි 3:5) ඇත්තෙන්ම අප යාච්ඤා කරන දේ සම්බන්ධයෙන් අපට කළ හැකි සෑම දෙයක්ම අප කරයි කියා දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. එසේනම් අප මහත් විශ්වාසයකින්, නිහතමානීව හා අවංකකමින් දෙවිට යාච්ඤා කරමින් ඊට එකඟව ක්‍රියා කරනවා නම් දෙවි අපේ යාච්ඤා පිළිගන්නා බවට නිසැක විය හැකියි. දැන් අපි යාච්ඤාව සම්බන්ධයෙන් පැනනඟින ප්‍රශ්න කිහිපයක් සලකා බලමු.

යාච්ඤාව සම්බන්ධයෙන් පැනනඟින ප්‍රශ්නවලට පිළිතුරු

9. අප යාච්ඤා කළ යුත්තේ කාටද? කාගේ නාමයෙන්ද?

9 අප යාච්ඤා කළ යුත්තේ කාටද? යේසුස් ඔහුගේ ගෝලයන්ට ඉගැන්වූයේ, ‘ස්වර්ගයෙහි සිටින අපගේ පියාණන්ට’ යාච්ඤා කරන්න කියායි. (මතෙව් 6:9) ඒ නිසා අප යාච්ඤා කළ යුත්තේ යෙහෝවා දෙවිට පමණයි. එමෙන්ම අප යාච්ඤා කරන විට දෙවිගේ එකම පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් තුළින් ඉටු වන දේ අප පිළිගන්නා බව අපේ යාච්ඤාවෙන් පෙන්නුම් කළ යුතුයි. පස්වෙනි පරිච්ඡේදයෙන් ඉගෙනගත් ලෙස මිනිස් වර්ගයාව පාපයෙන් හා මරණයෙන් ගලවාගැනීමට යේසුස් තම ජීවිතය පූජා කළා. (යොහන් 3:16; රෝම 5:12) එමෙන්ම ඔහු උත්තම පූජකයා හා විනිශ්චයකරු ලෙස කටයුතු කරනවා. (යොහන් 5:22; හෙබ්‍රෙව් 6:20) ඉන් පැහැදිලි වන්නේ ඒ කාරණා සිතේ තබාගෙන යේසුස්ගේ නාමයෙන් අපේ යාච්ඤා දෙවිට ඔප්පු කළ යුතු බවයි. යේසුස්ම ඒ ගැන පැවසුවේ මෙසේයි. “මාර්ගයත් සත්‍යයත් ජීවනයත් මමයි. මා තුළින් මිස කිසිවෙකුට පියාණන් ළඟට යා නොහැකියි.” (යොහන් 14:6) ඒ අනුව අප යාච්ඤා කළ යුත්තේ යෙහෝවා දෙවිට පමණයි. එසේ කළ යුත්තේ යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙනුයි.

10. යාච්ඤා කරන විට යම් විශේෂ ඉරියව්වක් අවශ්‍ය නොවන්නේ ඇයි?

10 යාච්ඤා කරන විට අප යම් විශේෂ ඉරියව්වකින් සිටිය යුතුද? නැහැ. ඕනෑම ඉරියව්වක සිට අප කරන යාච්ඤා දෙවි පිළිගන්නා බව බයිබලයේ සඳහන් වෙනවා. කෙනෙකුට ඉඳගෙන, සිටගෙන, හිස නමාගෙන හෝ දණ ගසාගෙන යාච්ඤා කළ හැකියි. (1 ලේකම් 17:16; නෙහෙමියා 8:6; දානියෙල් 6:10; මාක් 11:25) වැදගත් දේ වන්නේ අප යාච්ඤා කරන ඉරියව්ව නොව මුළු සිතින්ම දෙවිට යාච්ඤා කිරීමයි. අප එසේ කළ යුත්තේ අන් අයගේ අවධානය ඇදගන්නා ආකාරයෙන් නොවෙයි. අප එදිනෙදා වැඩකටයුතුවල නියැලෙන විට හෝ යම් හදිසි අවස්ථාවකදී හෝ අප සිටින ඕනෑම තැනකදී හෝ නිහඬව යාච්ඤා කිරීමට අපට හැකියි. අප එසේ කරන යාච්ඤා අනික් අයගේ අවධානයට ලක් නොවුණත් යෙහෝවා දෙවි ඒවාට සවන් දෙනවා.—නෙහෙමියා 2:1-6.

11. අපට යාච්ඤා කළ හැක්කේ කුමන කාරණා ගැනද?

11 අපට යාච්ඤා කළ හැක්කේ කුමන කාරණා ගැනද? ඒ ගැන බයිබලයේ මෙසේ පවසනවා. ‘දෙවිගේ කැමැත්තට එකඟව අප යමක් ඉල්ලා යාච්ඤා කරන විට දෙවි ඒ සෑම දෙයකටම සවන් දෙනවා.’ (1 යොහන් 5:14) ඒ නිසා දෙවිගේ කැමැත්තට එකඟ ඕනෑම දෙයක් ගැන අපට යාච්ඤා කළ හැකියි. ඊට අපේ පෞද්ගලික කාරණාත් ඇතුළත්ද? ඔව්. යෙහෝවා දෙවිට යාච්ඤා කිරීම කිට්ටු මිතුරෙකු සමඟ කතා කරනවා හා සමානයි. ඒ නිසා, ‘අපේ හදවතේ ඇති සියල්ල දෙවිට පවසන්න’ අපට පුළුවන්. (ගීතාවලිය 62:8) හරි දේ කරන්න දෙවිගේ බලය අපට උපකාරවත් වන නිසා එය අපට ලබා දෙන්න කියාත් යාච්ඤා කිරීම උචිතයි. (ලූක් 11:13) එමෙන්ම නැණවත් තීරණ ගැනීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීමත් ප්‍රශ්න ගැටලුවලට හොඳින් මුහුණ දීම සඳහා අවශ්‍ය ශක්තියත් අපට දෙවිගෙන් ඉල්ලිය හැකියි. (යාකොබ් 1:5) ක්‍රිස්තුස්ගේ ජීවිත පූජාව මගින් අපේ පාපවලට සමාව ලබාගත හැකි නිසා අප අතින් සිදු වන පව්වලට සමාව ඉල්ලා යාච්ඤා කළ යුතුයි. (එෆීස 1:3, 7) අප යාච්ඤා කළ යුත්තේ අපේ පෞද්ගලික කාරණා ගැන පමණක්ම නොවෙයි. අපේ පවුලේ අය හා අප සමඟ දෙවිට සේවය කරන අය වෙනුවෙන්ද අපට යාච්ඤා කළ හැකියි.—ක්‍රියා 12:5; කොලොස්සි 4:12.

12. අප යාච්ඤා කරන විට මුල් තැන දිය යුත්තේ කුමකටද? ඒ ඇයි?

12 අප පෞද්ගලික කාරණා ගැන යාච්ඤා කළත් අපේ යාච්ඤාවලදී මුල් තැන හිමි විය යුත්තේ යෙහෝවා දෙවි හා සම්බන්ධ කාරණාවලටයි. ඒ බව යේසුස් දුන් ආදර්ශ යාච්ඤාවෙන් පැහැදිලියි. (මතෙව් 6:9-13 කියවන්න.) ඔහු මුලින්ම දෙවිගේ නාමය සැමදා ශුද්ධව පවතින්න කියා යාච්ඤා කිරීමට අපට ඉගැන්වූවා. අප එසේ කරද්දී ඉන් අදහස් වන්නේ දෙවිගේ නාමයට ඇති වී තිබෙන කැළැල ඉවත් වෙනවා දැකීමට අප තුළ මහත් ආශාවක් තිබෙන බවයි. ඊළඟට ඔහු අපට ඉගැන්වූයේ දෙවිගේ රාජ්‍යය පැමිණෙන්න කියාත් ඔහුගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවෙහිද ඉටු වන්න කියාත් යාච්ඤා කරන්නයි. යේසුස් අපට අපේ පෞද්ගලික කාරණා ගැන යාච්ඤා කරන්න කියා ඉගැන්වූයේ යෙහෝවා දෙවි හා සම්බන්ධ ඒ වැදගත් කාරණා ගැන සඳහන් කිරීමෙන් පසුවයි. අප යාච්ඤා කරන විට දෙවි හා සම්බන්ධ කාරණාවලට මුල් තැන දෙනවා නම් ඉන් පෙන්වන්නේ අප අපේම යහපත ගැන පමණක් සැලකිලිමත් නොවන බවයි. ඇත්තෙන්ම යෙහෝවා දෙවි අප වෙනුවෙන් කර තිබෙන සෑම දෙයක් වෙනුවෙන්ම අපේ මුළු සිතින් ඔහුට ස්තුති ප්‍රශංසා ඔප්පු කිරීමට අපට හොඳ හේතු තිබෙනවා.—1 ලේකම් 29:10-13.

13. අප කොතරම් වේලාවක් යාච්ඤා කළ යුතුද යන කාරණය ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද?

13 අප කොතරම් වේලාවක් යාච්ඤා කළ යුතුද? පෞද්ගලිකව කරන යාච්ඤා හෝ අනික් අය ඉදිරියෙහි කරන යාච්ඤා කොතරම් දීර්ඝ විය යුතුද කියා බයිබලයේ සඳහන් වන්නේ නැහැ. ඇතැම් අවස්ථාවලදී අපට පෞද්ගලිකව බලපාන දෙයක් ගැන යාච්ඤා කරන විට ඒ සඳහා දීර්ඝ වේලාවක් ගත විය හැකියි. නමුත් කෑමට පෙර කරන යාච්ඤා කෙටි විය හැකියි. (1 සාමුවෙල් 1:12, 15) වැදගත් දේ වන්නේ යාච්ඤා කිරීමට අප ගත කරන වේලාව නොව මුළු සිතින්ම යාච්ඤා කිරීමයි. යේසුස් පවා තමන් ධර්මිෂ්ඨයි කියා අන් අයට පෙන්වීමට දීර්ඝ යාච්ඤා කළ අයව හෙළාදුටුවා. (ලූක් 20:46, 47) එවැනි යාච්ඤාවලට යෙහෝවා දෙවිත් කැමති නැහැ. ඇත්තෙන්ම අප කොතරම් වේලාවක් යාච්ඤා කළ යුතුද කියා තීරණය වන්නේ අපේ අවශ්‍යතාව හා අවස්ථාව අනුවයි.

ඕනෑම අවස්ථාවක ඔබ කරන යාච්ඤාවලට දෙවි සවන් දෙනවා

14. ‘නොකඩවා යාච්ඤා කරන්න’ කියා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? අපට සැනසිල්ලක් වන්නේ කුමක් දැන සිටීමද?

14 දවසට කී වතාවක් යාච්ඤා කළ යුතුද? බයිබලයේ කිහිප වතාවක්ම අපට උනන්දු කරන්නේ, ‘නොකඩවා යාච්ඤා කරන්න’ කියායි. (මතෙව් 26:41; රෝම 12:12; 1 තෙසලෝනික 5:17) ඉන් අදහස් වන්නේ අප මුළු දවසම යාච්ඤා කරමින් ගත කළ යුතු බව නොව අප දෙවිට නිතරම යාච්ඤා කළ යුතු බවයි. දෙවි අප වෙනුවෙන් කර තිබෙන යහපත් දේවලට ඔහුට නිතරම ස්තුති කරන්න අපට හැකියි. එමෙන්ම ඔහුගෙන් මඟ පෙන්වීම්, සැනසිල්ල හා ශක්තිය ඉල්ලමින් ඔහුට නිතරම යාච්ඤා කළ හැකියි. අප දෙවිට කොතරම් වේලාවක් යාච්ඤා කළ යුතුද කියාවත් කී වතාවක් එසේ කළ යුතුද කියාවත් යෙහෝවා දෙවි සීමාවන් පනවා නැහැ. ඒ කාරණය දැනගැනීම අපට මොන තරම් සැනසිල්ලක්ද! දෙවිට යාච්ඤා කිරීම ඇත්තෙන්ම වරප්‍රසාදයක් ලෙස අප සලකනවා නම් අපේ පියාණන්ට කතා කරන්න අපට ලැබෙන සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්නවාට සැකයක් නැහැ.

15. තනිව හෝ අන් අය ඉදිරියෙහි කරන යාච්ඤාවක් අවසානයේදී “ආමෙන්” කියා පැවසිය යුත්තේ ඇයි?

15 යාච්ඤාවක් අවසානයේදී “ආමෙන්” කියා පැවසිය යුත්තේ ඇයි? “ආමෙන්” යන වචනයේ තේරුම “එසේම වේවා” යන්නයි. ඒ ගැන බයිබලයේ සඳහන් වාර්තාවලින් පැහැදිලි වන්නේ තනිව හෝ අන් අය ඉදිරියෙහි කරන යාච්ඤාවක් අවසානයේදී “ආමෙන්” කියා පැවසීම සුදුසු බවයි. (1 ලේකම් 16:36; ගීතාවලිය 41:13) තනිව කරන යාච්ඤාවක අවසානයේදී “ආමෙන්” කියා පැවසීමෙන් තහවුරු කරන්නේ යාච්ඤාවේදී සඳහන් කළ දේවල් අප අවංකවම පැවසූ බවයි. යම් කෙනෙකු කරන යාච්ඤාවක් අවසානයේදී අප නිහඬව හෝ හඬ නඟා “ආමෙන්” කියා පැවසීමෙන් අදහස් කරන්නේ ඒ තැනැත්තා පැවසූ දේවලට අප එකඟ වන බවයි.—1 කොරින්ති 14:16.

දෙවි අපේ යාච්ඤාවලට පිළිතුරු දෙන අයුරු

16. යාච්ඤා සම්බන්ධයෙන් අපට නිසැක විය හැක්කේ කුමක්ද?

16 යෙහෝවා දෙවි අපේ යාච්ඤාවලට පිළිතුරු දෙනවාද? ඔව්. “යාච්ඤා අසන තැනැත්තා” වන දෙවි, මිනිසුන් මිලියන ගණනක් අවංකව ඉදිරිපත් කරන යාච්ඤාවලට පිළිතුරු දෙන බව නිසැකයි. (ගීතාවලිය 65:2) යෙහෝවා දෙවි අපේ යාච්ඤාවලට පිළිතුරු දෙන අන්දම අපි දැන් සලකා බලමු.

17. අපේ යාච්ඤාවලට පිළිතුරු දීම සඳහා දෙවි දේවදූතයන්ව හෝ තම විශ්වාසවන්ත සේවකයන්ව යොදාගන්නේ කෙසේද?

17 අපේ යාච්ඤාවලට පිළිතුරු දීම සඳහා යෙහෝවා දෙවි දේවදූතයන්ව හා ඔහුගේ වෙනත් විශ්වාසවන්ත සේවකයන්ව යොදාගන්නවා. (හෙබ්‍රෙව් 1:13, 14) උදාහරණයකට සමහරුන් බයිබලයේ සඳහන් දේවල් තේරුම්ගැනීමට දෙවිගේ උපකාරය ඉල්ලා යාච්ඤා කරන විට වැඩි කල් ගත වීමට කලින් ඔවුන්ට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමු වී තිබෙනවා. එවැනි අද්දැකීම්වලින් පැහැදිලි වන්නේ ඔවුන්ගේ යාච්ඤාවන්ට පිළිතුරු දීමට දෙවි දේවදූතයන්ව යොදාගන්නා බවයි. මන්ද ශුභාරංචිය දේශනා කරන සාක්ෂිකරුවන්ට අවංක සිත් ඇති අයව සොයාගැනීමට දේවදූතයන් උපකාර කරන බව බයිබලයේ සඳහන් වෙනවා. (එළිදරව් 14:6) එමෙන්ම යම් උපකාරයක් අවශ්‍ය අවස්ථාවක අප දෙවිට යාච්ඤා කරද්දී ඒ උපකාරය අපට ලබා දීමට දෙවි තම සේවකයෙකුගේ හදවත පෙලඹවිය හැකියි.—හිතෝපදේශ 12:25; යාකොබ් 2:16.

අපේ යාච්ඤාවලට පිළිතුරු දීමක් ලෙස අපට උපකාර ලබා දීමට දෙවි තම සේවකයෙකුගේ හදවත පෙලඹවිය හැකියි

18. තම සේවකයන් කරන යාච්ඤාවලට පිළිතුරු දීම සඳහා දෙවි තම බලය හා බයිබලය යොදාගන්නේ කෙසේද?

18 යෙහෝවා දෙවි තම සේවකයන් කරන යාච්ඤාවලට පිළිතුරු දීම සඳහා තම බලය හා තම වචනය වන බයිබලයද යොදාගන්නවා. අප දුක් පීඩා අද්දකින අවස්ථාවලදී දෙවිට කන්නලව් කරන විට ඔහු තම බලය මාර්ගයෙන් අපට මඟ පෙන්වීම් හා ශක්තිය ලබා දෙනවා. (2 කොරින්ති 4:7) අපේ ජීවිතයට අවශ්‍ය නැණවත් උපදෙස් රැසක් බයිබලය පුරා දෙවි සඳහන් කර තිබෙනවා. ඒ නිසා අප පෞද්ගලිකව බයිබලය අධ්‍යයනය කරන විට හෝ බයිබලය මත පදනම් පොත් පත් කියවන විට හෝ අපට අදාළ වන උපදෙස් ඒවායින් සොයාගත හැකියි. මඟ පෙන්වීම් ඉල්ලා අප කරන යාච්ඤාවලට දෙවි එලෙස අපට පිළිතුරු ලබා දෙනවා. එමෙන්ම රැස්වීමකදී ඉදිරිපත් කරන කතාවකින් හෝ අප ගැන සැලකිලිමත් වැඩිමහල්ලෙකු පවසන දෙයකින් අප යාච්ඤා කළ දේට අදාළ වන බයිබලයේ තිබෙන යම් අදහස් වෙතට අපේ අවධානය ලක් විය හැකියි. එයත් අපේ යාච්ඤාවලට පිළිතුරක් විය හැකියි.—ගලාති 6:1.

19. අපේ යාච්ඤාවලට තවමත් පිළිතුරු ලැබුණේ නැහැයි කියා හැඟෙනවා නම් අප මතක තබාගත යුත්තේ කුමක්ද?

19 අපේ යාච්ඤාවලට යෙහෝවා දෙවිගෙන් තවමත් පිළිතුරු ලැබුණේ නැහැ කියා සමහරවිට අපට හැඟෙන්න පුළුවන්. ඉන් අදහස් වන්නේ යෙහෝවා දෙවිට අපේ යාච්ඤාවලට පිළිතුරු දීමට හැකියාවක් නැති බව නොවෙයි. දෙවි යාච්ඤාවලට පිළිතුරු දෙන්නේ නියමිත කාලයේදී බවත් ඔහුගේ කැමැත්තට අනුව බවත් අප නිතරම මතක තබාගත යුතුයි. එමෙන්ම අපට ඇත්තටම අවශ්‍ය දේ කුමක්ද කියාත් ඒවා ලබා දිය යුත්තේ කෙසේද කියාත් අපට වඩා හොඳින්ම දන්නේ දෙවි බව අප මතක තබාගත යුතුයි. බොහෝ අවස්ථාවලදී අපට, ‘නොකඩවා ඉල්ලන්න, නොකඩවා සොයන්න, නොකඩවා තට්ටු කරන්න’ දෙවි ඉඩහරිනවා. (ලූක් 11:5-10) අප දිගටම එසේ ඉල්ලනවා නම් එයින් අප පෙන්වන්නේ පිළිතුරු ලබාගැනීමට අපට මහත් ආශාවක් තිබෙන බවයි. එමෙන්ම අපට දෙවි කෙරෙහි අවංක විශ්වාසයක් තිබෙන බවයි. සමහර අවස්ථාවලදී අපට පැහැදිලිව හඳුනාගත නොහැකි ආකාරවලින් යෙහෝවා දෙවි අපේ යාච්ඤාවලට පිළිතුරු දිය හැකියි. උදාහරණයකට අප යම් පීඩාවකට මුහුණ දෙන විට අප කරන යාච්ඤාවලට සමහරවිට දෙවි පිළිතුරු දෙන්නේ ඒ පීඩාව ඉවත් කිරීමෙන් නොව එය විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය සැපයීමෙනුයි.—ෆිලිප්පි 4:13 කියවන්න.

20. ඔබ නොකඩවා යාච්ඤා කළ යුත්තේ ඇයි?

20 මුළු මහත් විශ්වයේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි තමන් කැමති ආකාරයට යාච්ඤා කරන සියලුදෙනාටම ළංව සිටිනවා. ඒ ගැන අප ඔහුට මොන තරම් ස්තුතිවන්ත විය යුතුද! (ගීතාවලිය 145:18 කියවන්න.) යෙහෝවා දෙවිට යාච්ඤාවෙන් කතා කරන්න ලැබීම අපට ලැබී තිබෙන උතුම් වරප්‍රසාදයක් නිසා නොකඩවා ඔහුට යාච්ඤා කරමු. ඔබ එසේ කරනවා නම් යාච්ඤා අසන තැනැත්තා ලෙස හඳුන්වා තිබෙන යෙහෝවා දෙවිට තව තවත් ළං වීමෙන් ලැබෙන ප්‍රීතිය අද්දකින්න ඔබටත් හැකියි.