Skip to content

පටුනට යන්න

18වෙනි පරිච්ඡේදය

බව්තීස්මය - ඔබ ගත යුතු අත්‍යවශ්‍ය පියවරක්

බව්තීස්මය - ඔබ ගත යුතු අත්‍යවශ්‍ය පියවරක්
  • ක්‍රිස්තියානියෙකු ලෙස කෙනෙකුව බව්තීස්ම කරන්නේ කෙසේද?

  • බව්තීස්මයට පෙර ඔබ ගත යුතු පියවර මොනවාද?

  • කෙනෙකු දෙවිට කැප වන්නේ කෙසේද?

  • බව්තීස්ම වීම සඳහා තිබෙන ප්‍රධානතම හේතුව කුමක්ද?

1. තමාව බව්තීස්ම කරන්න කියා ඉතියෝපියානු නිලධාරියෙකු ඉල්ලා සිටියේ ඇයි?

ක්‍රිස්තු වර්ෂ පළමුවෙනි සියවසේ සිටි ක්‍රිස්තියානියෙක් වූ ෆිලිප්, පොරොන්දු වූ ගැලවුම්කරු යේසුස් බව ඉතියෝපියානු නිලධාරියෙකුට ශුද්ධ ලියවිල්ලෙන් පැහැදිලි කර දුන්නා. ඔහු ඉගෙනගත් දේවල් ඔහුගේ හදවතට තදින් කාවැදුණු නිසා ඊට එකඟව ක්‍රියා කිරීමට ඔහු තුළ මහත් ආශාවක් ඇති වුණා. “මෙන්න වතුර තිබෙන තැනක්! මට දැන් බව්තීස්ම වෙන්න මොකක්ද තිබෙන බාධාව” කියා ඔහු ෆිලිප්ට පැවසුවේ ඒ නිසයි. එලෙස බව්තීස්ම වීමට තීරණය කළේ ඔහුමයි.—ක්‍රියා 8:26-36.

2. ඉතියෝපියානු නිලධාරියාට සමානව ඔබටත් හැඟෙනවාද? ඒ ඇයි?

2 ඔබටත් ඒ ඉතියෝපියානු නිලධාරියාට සමානව හැඟෙනවාද? ඔබ මේ වන විට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ මේ පොතේ තිබෙන පරිච්ඡේද බොහොමයක් සාකච්ඡා කර තිබෙනවා. පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීම ගැන බයිබලයේ දී තිබෙන පොරොන්දුව ඔබ දැන් දන්නවා. (ලූක් 23:43; එළිදරව් 21:3, 4) මරණයේදී සිදු වන්නේ කුමක්ද යන්න ගැනත් නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැනත් ඔබ ඉගෙනගෙන තිබෙනවා. (දේශනාකාරයා 9:5; යොහන් 5:28, 29) සමහරවිට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට ඔබ සහභාගි වෙනවාත් ඇති. ඔවුන් බයිබලයෙන් ඉගෙනගන්නා දේවල් පිළිපදිමින් දෙවි අනුමත කරන අයුරින් ඔහුට නමස්කාර කරන ආකාරය ඔබ දැක ඇති. (යොහන් 13:35) වඩා වැදගත් දේ නම් යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට ඔබ පටන්ගෙන තිබීමයි. ඒ නිසා දෙවිට සේවය කරන්න ඔබ තුළ ආශාවක් තිබෙනවා විය හැකියි.

3. (අ) යේසුස් ඔහුගේ ගෝලයන්ට දුන් ආඥාව කුමක්ද? (ආ) කෙනෙකුව බව්තීස්ම කළ යුත්තේ කෙසේද?

3 දෙවිට සේවය කිරීමට ඔබ කැමති බව ඔබට පෙන්විය හැක්කේ කෙසේද? යේසුස් තම ගෝලයන්ට පැවසුවේ, ‘ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. ඔවුන්ව බව්තීස්ම කරන්න’ කියායි. (මතෙව් 28:19) ඉන් පැහැදිලි වන්නේ කෙනෙකු දෙවිට සේවය කිරීමට කැමති නම් ඔහු බව්තීස්ම විය යුතු බවයි. ඊට හොඳම ආදර්ශය තැබුවේ යේසුස්මයි. “බව්තීස්මය” යනු ග්‍රීක භාෂාවෙන් ගත් වචනයක්. එහි තේරුම වන්නේ “ජලයේ ගිල්වීම” යන්නයි. යේසුස්ව බව්තීස්ම කළ අවස්ථාවේදී ඔහු මතට වතුර ඉසුවේවත් ඔහුගේ හිසට වතුර වත් කළේවත් නැහැ. ඔහුව බව්තීස්ම කළේ ජලයේ ගිල්වීමෙනුයි. (මතෙව් 3:16) ඒ නිසා යමෙකුව බව්තීස්ම කරන විට ඔහුව සම්පූර්ණයෙන්ම ජලයේ ගිල්වා නැවත එසවිය යුතුයි.

4. බව්තීස්ම වීමෙන් කෙනෙකු පෙන්වන්නේ කුමක්ද?

4 යෙහෝවා දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය දිගටම පවත්වාගැනීමට කැමති සෑම කෙනෙකුම බව්තීස්ම විය යුතුයි. බව්තීස්ම වීමෙන් ඔබ ප්‍රසිද්ධියේ පෙන්වන්නේ දෙවිගේ කැමැත්ත ඉටු කරමින් දිගටම ඔහුට සේවය කිරීමට ඔබට මහත් ආශාවක් තිබෙන බවයි. (ගීතාවලිය 40:7, 8) නමුත් බව්තීස්ම වීමට සුදුසුකම් ලබාගැනීම සඳහා ඔබ ගත යුතු පියවර කිහිපයක් තිබෙනවා. අපි දැන් ඒවා සලකා බලමු.

දැනුම හා විශ්වාසය අවශ්‍යයි

5. (අ) බව්තීස්ම වීම සඳහා ගත යුතු මුල්ම පියවර කුමක්ද? (ආ) රැස්වීම්වලට සහභාගි වීම වැදගත් වන්නේ ඇයි?

5 බව්තීස්ම වීම සඳහා ගත යුතු මුල්ම පියවර වන්නේ යෙහෝවා දෙවිව සහ යේසුස් ක්‍රිස්තුස්ව දැන හඳුනා ගැනීමයි. (යොහන් 17:3 කියවන්න.) බයිබලය ක්‍රමානුකූලව අධ්‍යයනය කිරීමෙන් ඔබ දැනටමත් එසේ කරමින් සිටිනවා. නමුත් ඔබ තව බොහෝ දේවල් ඉගෙනගත යුතුයි. මන්ද ක්‍රිස්තියානීන්, “දෙවිගේ කැමැත්ත පිළිබඳ පූර්ණ හා නිවැරදි දැනුමක්” ලබාගත යුතු බව බයිබලයේ සඳහන් වෙනවා. (කොලොස්සි 1:9) එසේ කිරීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවල පවත්වන රැස්වීම් ඔබට බොහෝ සෙයින් උපකාරවත් වෙයි. (හෙබ්‍රෙව් 10:24, 25) නිතිපතා රැස්වීම්වලට සහභාගි වීමෙන් දෙවිව තව තවත් වැඩියෙන් දැන හඳුනා ගත හැකියි.

දේවවචනය පිළිබඳ නිවැරදි දැනුම ලබාගැනීම බව්තීස්ම වීමට පෙර ඔබ ගත යුතු එක් වැදගත් පියවරක්

6. බව්තීස්ම වීම සඳහා ඔබට බයිබලය ගැන කොතරම් දැනුමක් තිබිය යුතුද?

6 බව්තීස්ම වීම සඳහා සුදුසුකම් ලැබීමට කෙනෙකුට බයිබලය ගැන කොතරම් පුළුල් දැනුමක් තිබිය යුතුද? මුලින් සඳහන් කළ ඉතියෝපියානු නිලධාරියාට තිබුණේ ශුද්ධ ලියවිල්ල ගැන යම් ප්‍රමාණයක දැනුමක් පමණයි. එහි ඇතැම් කාරණා තේරුම්ගැනීමට ඔහුට උපකාර අවශ්‍ය වුණේ ඒ නිසයි. (ක්‍රියා 8:30, 31) ඉන් පැහැදිලි වන්නේ බව්තීස්ම වීමට ඔබ බයිබලයේ සඳහන් සෑම දෙයක් ගැනම දැනගැනීම අවශ්‍ය නැති බවයි. නමුත් බයිබලයේ සඳහන් මූලික ඉගැන්වීම් ගැන ඔබට දැනුමක් තිබිය යුතු අතර ඒ ඉගැන්වීම් සත්‍යය බව ඔබ පිළිගත යුතුයි. (හෙබ්‍රෙව් 5:12) උදාහරණයකට මරණයේදී සිදු වන්නේ කුමක්ද යන්න ගැනත් දෙවිගේ නාමයේ වැදගත්කම ගැනත් ඔහුගේ රාජ්‍යය තුළින් ඉටු වන දේ ගැනත් ඔබ දැන් ඉගෙනගෙන තිබෙන දේ සත්‍යය බව ඔබ පිළිගත යුතුයි. නමුත් ඉගෙනගැනීමට තවත් බොහෝ දේවල් තිබෙනවා. ඇත්තෙන්ම දෙවි ගැන ඉගෙනගන්නා දේවලට සීමාවක් නැහැ.—දේශනාකාරයා 3:11.

7. බයිබලය අධ්‍යයනය කිරීමේ ප්‍රතිඵලය කුමක්ද?

7 බව්තීස්ම වීම සඳහා දැනුම පමණක් ලබාගැනීම ප්‍රමාණවත් නොවෙයි. දෙවි කෙරෙහි විශ්වාසයක්ද ඔබ ඇති කරගත යුතුයි. මන්ද, “යමෙකු තුළ දෙවි කෙරෙහි විශ්වාසයක් නැත්නම් ඔහුට දෙවිව කිසි ලෙසකින්වත් සතුටු කළ නොහැක” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හෙබ්‍රෙව් 11:6) යේසුස්ගේ ගෝලයන් දේශනා කළ පණිවිඩයට කොරින්ති නගරයේ විසූ සමහර අය සවන් දුන් පසු, ‘ඔවුන් තුළ විශ්වාසයක් ඇති වී බව්තීස්ම වූ’ බව බයිබලයේ සඳහන් වෙනවා. (ක්‍රියා 18:8) ඒ හා සමානව දෙවි කෙරෙහි විශ්වාසයක් ඇති කරගැනීමට ඔබ බයිබලය දිගටම අධ්‍යයනය කළ යුතුයි. ඔබ එසේ කරද්දී බයිබලය දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියා තිබෙන බවට ඔබ තුළ විශ්වාසයක් ඇති වෙයි. එමෙන්ම දෙවිගේ පොරොන්දු ගැනත් ගැලවීමට මඟ සලසා තිබෙන යේසුස්ගේ ජීවිත පූජාව ගැනත් මහත් විශ්වාසයක් ගොඩනඟා ගැනීමට ඔබට හැකි වෙයි.—යොෂුවා 23:14; ක්‍රියා 4:12; 2 තිමෝති 3:16, 17.

බයිබල් සත්‍යයන් අන් අය සමඟ බෙදාගන්න

8. ඔබ ඉගෙනගෙන තිබෙන දේවල් අන් අය සමඟ බෙදාගැනීමට ඔබ තුළ පෙලඹීමක් ඇති කරන්නේ කුමක්ද?

8 දෙවි කෙරෙහි ඔබට තිබෙන විශ්වාසය වැඩි වන විට ඔබ ඉගෙනගෙන තිබෙන දේවල් අන් අය සමඟ බෙදාගැනීමට ඔබ තුළ මහත් ආශාවක් ඇති වෙනවා. (යෙරෙමියා 20:9) දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් අන් අයට පැවසීමට ඔබව පොලඹවන්නේ දෙවි කෙරෙහි ඔබට තිබෙන ඒ විශ්වාසයයි.—2 කොරින්ති 4:13 කියවන්න.

දෙවි කෙරෙහි ඔබට ඇති විශ්වාසය ඔබ ඉගෙනගෙන තිබෙන දේවල් අන් අය සමඟ බෙදාගැනීමට ඔබව පොලඹවයි

9, 10. (අ) ඔබ බයිබලයෙන් ඉගෙනගෙන තිබෙන සත්‍යයන් මුලින්ම බෙදාගත හැක්කේ කවුරුන් සමඟද? (ආ) සාක්ෂිකරුවන් සැලසුම්සහගතව කරන සේවයේ හවුල් වීමට කැමති නම් ඔබ කළ යුත්තේ කුමක්ද?

9 මුලින්ම බයිබලයෙන් ඔබ ඉගෙනගෙන තිබෙන සත්‍යයන් සුදුසු අවස්ථාවලදී ඔබේ නෑදෑයන්, හිතමිතුරන්, අසල්වාසීන් හා රැකියා ස්ථානයේ සිටින අය සමඟ බෙදාගන්න ඔබට හැකියි. නමුත් යම් කලක් ගත වූ පසු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සැලසුම්සහගතව කරන දේවසේවයේ හවුල් වීමට ඔබ තුළ කැමැත්තක් ඇති වෙයි. ඔබ සමඟ බයිබලය සාකච්ඡා කරන පුද්ගලයාට ඒ ගැන පවසන්න. දේශනා සේවයේ හවුල් වීමට ඔබට සුදුසුකම් තිබෙනවා කියා පැහැදිලි නම් සභාවේ වැඩිමහල්ලන් දෙදෙනෙකු ඔබත් ඔබ එක්ක බයිබලය සාකච්ඡා කරන කෙනාත් සමඟ යම් කාරණා සාකච්ඡා කිරීමට සැලසුම් යොදයි.

10 සභාවේ වැඩිමහල්ලන් කිහිපදෙනෙකුව වඩාත් හොඳින් දැන හඳුනා ගැනීමට එවිට ඔබට අවස්ථාවක් ලැබෙයි. ඔවුන්ගේ වගකීම වන්නේ දෙවිට අයිති සභාවේ සියලුදෙනාව ප්‍රේමණීයව රැකබලා ගැනීමයි. (ක්‍රියා 20:28; 1 පේතෘස් 5:2, 3) බයිබලයේ මූලික ඉගැන්වීම් ගැන ඔබට අවබෝධයක් හා විශ්වාසයක් තිබෙන බවත් දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව ඔබ ජීවත් වන බවත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙකු වීමට ඔබ ඇත්තටම කැමති බවත් එම වැඩිමහල්ලන්ට පැහැදිලි වුණොත් බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙකු ලෙස දේශනා සේවයේ හවුල් වීමට ඔබ සුදුසුකම් ලබා තිබෙන බව ඔවුන් ඔබට දන්වයි.

11. දේශනා සේවයේ හවුල් වීමට පෙර කෙනෙකු කළ යුතු වෙනස්කම් මොනවාද?

11 කෙසේවෙතත් ඔබ මේ දේ මතක තබාගත යුතුයි. එනම් කෙනෙකු දේශනා සේවයේ හවුල් වීමට පෙර ඔහුගේ ජීවිතයේ යම් වෙනස්කම් කරගත යුතු බවයි. උදාහරණයකට කෙනෙකු රහසින් යම් නරක ක්‍රියාවල නියැලෙනවා නම් ඔහු ඒවා සම්පූර්ණයෙන්ම අත්හැර දැමිය යුතුයි. ඊට අනාචාරය, බේබදුකම හා මත්ද්‍රව්‍ය භාවිතය වැනි බරපතළ වැරදි ක්‍රියාවන් ඇතුළත්.—1 කොරින්ති 6:9, 10; ගලාති 5:19-21 කියවන්න.

පසුතැවිලි වී ජීවිතය වෙනස් කරගන්න

12. පසුතැවිලි වීම අවශ්‍ය වන්නේ ඇයි?

12 බව්තීස්මයට පෙර ඔබ ගත යුතු තවත් පියවර කිහිපයක් තිබෙනවා. ඒ ගැන පේතෘස් පැවසුවේ මෙසේයි. “දැන් පසුතැවිලි වෙන්න. ඔබ ගත කරන ජීවිතය වෙනස් කරගෙන පව්වලට සමාව ලබාගන්න.” (ක්‍රියා 3:19) පසුතැවිලි වෙනවා කීමෙන් අදහස් කරන්නේ ඔබ කර තිබෙන වැරදි දේවල් ගැන අවංකව කනගාටු වීමයි. යම් කෙනෙකු නරක ජීවිතයක් ගත කර තිබෙනවා නම් තමන් ඒ ගැන පසුතැවිලි විය යුතුයි කියා තේරුම්ගැනීම වැදගත්. යහපත් ජීවිතයක් ගත කර තිබෙන කෙනෙක් වුණත් පසුතැවිලි විය යුතුයි. මන්ද අප සියලුදෙනාම පව්කාරයන් කියා බයිබලයේ පවසනවා. ඒ නිසා අප සියලුදෙනාම දෙවිගෙන් සමාව ලබාගැනීම අවශ්‍යයි. (රෝම 3:23; 5:12) බයිබලය අධ්‍යයනය කිරීමට කලින් දෙවිගේ කැමැත්ත කුමක්ද කියා ඔබ නොදැන සිටි නිසා දෙවිගේ කැමැත්තට එකඟව ජීවත් වීමට ඔබට හැකි වුණේ නැහැ. ඒ ගැනත් ඔබ පසුතැවිලි විය යුතුයි.

13. ‘ජීවිතය වෙනස් කරගැනීම’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

13 පසුතැවිලි වීමත් සමඟම ඔබ ගත යුතු පියවරක් නම්, ‘ජීවිතය වෙනස් කරගැනීමයි.’ ඉන් අදහස් කරන්නේ ඔබ කලින් ගත කළ ජීවිතය අත්හැර දමා එතැන් සිට හරි දේ කිරීමට අධිෂ්ඨාන කරගැනීමයි. පසුතැවිලි වීම හා කලින් ගත කළ ජීවිතය වෙනස් කරගැනීම ඔබ බව්තීස්ම වීමට කලින් ගත යුතු අත්‍යවශ්‍ය පියවර දෙකක්.

දෙවිට කැප වීම

14. බව්තීස්ම වීමට කලින් ඔබ ගත යුතු ඊළඟ වැදගත් පියවර කුමක්ද?

14 බව්තීස්ම වීමට කලින් ඔබ ගත යුතු තවත් වැදගත් පියවරක් වන්නේ යෙහෝවා දෙවිට කැප වීමයි.

ඔබ යාච්ඤාව තුළින් ඔබේ ජීවිතය දෙවිට කැප කර තිබෙනවාද?

15, 16. දෙවිට කැප වෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? දෙවිට කැප වීමට කෙනෙකු පෙලඹෙන්නේ ඇයි?

15 ඔබ යෙහෝවා දෙවිට කැප වන්නේ ඔබේ මුළු හදවතින් ඔහුට කරන යාච්ඤාවක් මගිනුයි. ඒ අවස්ථාවේදී ඔහුට පමණක් සදහටම නමස්කාර කිරීමට ඔබ පොරොන්දු වෙනවා. (ද්විතීය කතාව 6:15) කෙනෙකු එවැනි පොරොන්දුවක් දෙන්නේ ඇයි? උදාහරණයකට තරුණයෙකු තරුණියකට ආදරය කරනවා කියා සිතන්න. ඔහු ඇයව වඩාත් හොඳින් දැන හඳුනා ගනිද්දී ඇගේ යහපත් ගතිගුණ දැක ඔහුගේ සිත වඩ වඩා ඇය කෙරෙහි ඇදී යනවා. කාලයක් ගත වන විට ඇයව විවාහ කරගැනීමට ඔහු කැමැත්ත පළ කරනවා. විවාහ වීමෙන් පසු අමතර වගකීම් තමාට භාරගැනීමට සිදු වන බව ඔහු හොඳින්ම දන්නවා. නමුත් ඒ වැදගත් මෙන්ම බැරෑරුම් තීරණය ගැනීමට ඔහු පෙලඹෙන්නේ ඇයට තිබෙන ආදරය නිසයි.

16 ඒ හා සමානව ඔබ යෙහෝවා දෙවිව වඩාත් හොඳින් දැන හඳුනා ගනිමින් ඔහු කෙරෙහි ප්‍රේමයක් ඇති කරගන්නා විට මුළු හදවතින්ම ඔහුට සේවය කිරීමටත් නමස්කාරයේදී ඔහු ඉල්ලා සිටින සෑම දෙයක්ම කිරීමටත් ඔබ තුළ පෙලඹීමක් ඇති වෙනවා. ඇත්තෙන්ම දෙවිගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ව අනුගමනය කිරීමට කැමති සෑම කෙනෙක්ම, ‘තම ජීවිතය දෙවි වෙනුවෙන් කැප කළ’ යුතුයි. (මාක් 8:34) ජීවිතය දෙවි වෙනුවෙන් කැප කරනවා කීමෙන් අදහස් කරන්නේ අප දෙවිට සම්පූර්ණයෙන්ම කීකරු වන බවයි. අපේ ආශාවන් හා අරමුණු ඊට බාධාවක් වීමට අප ඉඩ දෙන්නේ නැහැ. ඉන් පැහැදිලි වන්නේ බව්තීස්ම වීමට කලින් යෙහෝවා දෙවිගේ කැමැත්ත කිරීම ඔබේ ජීවිතයේ ප්‍රධානතම අරමුණ විය යුතු බවයි.—1 පේතෘස් 4:2 කියවන්න.

පසුබට නොවන්න

17. යෙහෝවා දෙවිට කැප වීමට සමහරුන් පසුබට වන්නේ ඇයි?

17 නමුත් එවැනි බැරෑරුම් තීරණයක් ගැනීමට සමහරුන් තුළ බියක් තිබෙන නිසා යෙහෝවා දෙවිට කැප වීමට ඔවුන් පසුබට වෙනවා. ඔවුන්ට එවැනි බියක් ඇති වන්නේ දෙවිගේ ප්‍රමිති නිසි ලෙස රැකීමට නොහැකි වුණොත් දෙවිට කැප වූ කෙනෙකු ලෙස තමන් කරන දේවල් ගැන දෙවිට ගණන් දිය යුතු බව ඔවුන් දන්නා නිසයි. එමෙන්ම දෙවිට දුකක් ගෙන දීමටද ඔවුන් අකමැතියි.

18. යෙහෝවා දෙවිට කැප වීමට ඔබ තුළ පෙලඹීමක් ඇති කරන්නේ කුමක්ද?

18 එවැනි සිතුවිලි ජය ගැනීමට උපකාරවත් වන්නේ යෙහෝවා දෙවි කෙරෙහි ඔබට තිබෙන ප්‍රේමයයි. දෙවි ගැන ඉගෙනගනිද්දී ඒ ප්‍රේමය තව තවත් වැඩි වෙනවා. ඔබේ ජීවිතය දෙවිට කැප කර එම කැප වීමට එකඟව ජීවත් වීමට ඔබ තුළ පෙලඹීමක් ඇති කරන්නේ ඒ ප්‍රේමයයි. (දේශනාකාරයා 5:4) ඔබේ ආශාව වන්නෙත්, ‘යෙහෝවා දෙවිව සියල්ලේදී සතුටු කිරීමයි.’ (කොලොස්සි 1:10) දෙවිට තිබෙන ඔබේ ප්‍රේමය නිසා ඔහුගේ කැමැත්ත කිරීම අසීරු දෙයක් කියා ඔබ කවදාවත් සිතන්නේ නැහැ. බයිබල් ලේඛක යොහන්ද මෙසේ පැවසුවා. “දෙවිට ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය. ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නොවේ.”—1 යොහන් 5:3.

19. දෙවිට කැප වීමට ඔබ බිය නොවිය යුත්තේ ඇයි?

19 දෙවිට කැප වීම සඳහා ඔබ කිසිම අඩුපාඩුවක් නැතුව සෑම දෙයක්ම හරියටම කරන පුද්ගලයෙකු විය යුතු නැහැ. ඔබට කළ හැකි දේවල් හා කළ නොහැකි දේවල් මොනවාද කියා යෙහෝවා දෙවි හොඳින් දන්නවා. ඒ නිසා දෙවි කවදාවත් ඔබට කළ නොහැකි දේවල් ඔබෙන් බලාපොරොත්තු වන්නේ නැහැ. (ගීතාවලිය 103:14) දෙවි කැමති වන්නේ ඔහුගේ කැමැත්තට එකඟව ක්‍රියා කිරීමට අප දරන උත්සාහය සාර්ථක වෙනවා දකින්නයි. ඒ සඳහා අවශ්‍ය සෑම උපකාරයක්ම ඔහු අපට ලබා දෙනවා. (යෙසායා 41:10 කියවන්න.) ඔබ මුළු සිතින්ම යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබමින් කටයුතු කරනවා නම් දෙවි ඔබට, “යා යුතු හරි මඟ පෙන්වා දී ඔබේ දිවිය සාර්ථක කර” දෙන බව ස්ථිරයි.—හිතෝපදේශ 3:5, 6.

බව්තීස්මය ඔබේ කැප වීමට සාක්ෂියක්

20. කැප වීමට අමතරව ඔබ කළ යුත්තේ කුමක්ද? ඒ ඇයි?

20 පෞද්ගලිකව කරන යාච්ඤාවක් මගින් ඔබේ ජීවිතය යෙහෝවා දෙවිට කැප කිරීම සඳහා අප සලකා බැලූ ඒ කාරණා ඔබට උපකාරවත් වෙයි. ඇත්තෙන්ම කෙනෙකු දෙවිට ප්‍රේම කරන විට, ‘තම විශ්වාසය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ’ යුතුයි. එසේ කිරීම ‘ගැලවීමට’ මඟ පාදනවා. (රෝම 10:10) කෙනෙකු තම විශ්වාසය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ කෙසේද?

බව්තීස්මය යනු කෙනෙකු කලින් ගත කළ ජීවිතය අවසන් කර දෙවිගේ කැමැත්තට මුල් තැන දෙන අලුත් ජීවිතයක ආරම්භයයි

21, 22. ඔබේ විශ්වාසය ‘ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ’ හැක්කේ කෙසේද?

21 බව්තීස්ම වීමට ඔබට තිබෙන කැමැත්ත ඔබේ සභාවේ වැඩිමහල් මණ්ඩලයේ සම්බන්ධීකාරක සහෝදරයාට පවසන්න. එවිට බයිබලයේ මූලික ඉගැන්වීම් ඇතුළත් ප්‍රශ්න ඔබ සමඟ සාකච්ඡා කිරීම සඳහා වැඩිමහල්ලන් කිහිපදෙනෙකුව ඔහු සූදානම් කරයි. ඔබ බව්තීස්ම වීමට සුදුසු බව ඒ වැඩිමහල්ලන්ට පැහැදිලිව පෙනී යනවා නම් ඔබට බව්තීස්ම විය හැකි බව ඔවුන් ඔබට දන්වයි. * ඔබ බව්තීස්ම වන අවස්ථාවේදී බව්තීස්ම වීමේ වැදගත්කම කාවද්දන කතාවක් ඉදිරිපත් කරනු ලබනවා. එහිදී සරල ප්‍රශ්න දෙකකට ප්‍රසිද්ධියේ පිළිතුරු දීමට බව්තීස්ම වන සියලුදෙනාටම ආරාධනා කරනවා. තම විශ්වාසය ‘ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන’ එක් ආකාරයක් නම් එම ප්‍රශ්න දෙකට පිළිතුරු දීමයි.

22 තමන් දෙවිට කැප වී සිටින බවත් තමන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙකු බවත් කෙනෙකු ප්‍රසිද්ධියේ පෙන්වන්නේ බව්තීස්ම වන අවස්ථාවේදීයි. බව්තීස්ම වන සෑම කෙනෙකුවම ජලයේ සම්පූර්ණයෙන්ම ගිල්වා නැවත එසවිය යුතුයි.

ඔබේ බව්තීස්මයෙන් අදහස් කරන දෙය

23. බව්තීස්ම වන අය, ‘පියාණන්වත් පුත්‍රයාවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගන්නවා’ කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

23 “පියාණන්වත් පුත්‍රයාවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගන්නා අයව” බව්තීස්ම කරනු ලබන බව යේසුස් පැවසුවා. (මතෙව් 28:19) ඉන් අදහස් කරන්නේ බව්තීස්ම වන අය යෙහෝවා දෙවිට හා යේසුස් ක්‍රිස්තුස්ට හිමි බලතල පිළිගන්නා බවයි. (ගීතාවලිය 83:18; මතෙව් 28:18) එමෙන්ම ඔවුන් දෙවිගේ බලය ක්‍රියාත්මක වන ආකාරයද තේරුම්ගෙන සිටිනවා.—ගලාති 5:22, 23; 2 පේතෘස් 1:21.

24, 25. (අ) බව්තීස්මය යනු කුමක්ද? (ආ) අප සලකා බලන වැදගත් ප්‍රශ්නය කුමක්ද?

24 බව්තීස්මය යනු කිසිම අර්ථයක් නැති චාරිත්‍රයක් නොවෙයි. කෙනෙකුව ජලයේ ගිල්වන විට ඉන් අදහස් කරන්නේ ඔහු කලින් ගත කළ ජීවිතය එතැනින් අවසන් බවයි. ඔහුව ජලයෙන් ඔසවන විට ඉන් අදහස් කරන්නේ දෙවිගේ කැමැත්තට මුල් තැන දෙමින් අලුත් ජීවිතයක් ඔහු එතැන් සිට ආරම්භ කරන බවයි. කෙනෙකු කැප වන්නේ යෙහෝවා දෙවිට මිස යම් සේවයකටවත් යම් මිනිසෙකුටවත් යම් ආයතනයකටවත් නොවන බව මතක තබාගත යුතුයි. කෙනෙකු කැප වී බව්තීස්ම වන විට ඔහු යෙහෝවා දෙවි සමඟ ඉතා කිට්ටු මිත්‍රත්වයක් ආරම්භ කරනවා.—ගීතාවලිය 25:14.

25 නමුත් බව්තීස්ම වූ පමණින් කෙනෙකු ගැලවෙන බව පැවසිය නොහැකියි. “දේවගරුබියක් ඇතුව ඔබ ගැන ඕනෑවට වඩා විශ්වාසයක් නොතබමින් ඔබේ ගැලවීම ස්ථිර කරගැනීමට උත්සාහ කරන්න” කියා පාවුල් පැවසුවේ ඒ නිසයි. (ෆිලිප්පි 2:12) ඇත්තෙන්ම බව්තීස්මය කියන්නේ අප දෙවිට කරන සේවයේ ආරම්භයක් පමණයි. එසේනම් කෙනෙකුට සැමදා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් භුක්ති විඳිමින් තම ගැලවීම ස්ථිර කරගත හැක්කේ කෙසේද? ඒ වැදගත් ප්‍රශ්නයට පිළිතුරු අවසාන පරිච්ඡේදයේදී සලකා බලමු.

^ 21 ඡේ. සාමාන්‍යයෙන් බව්තීස්මය සිදු කරන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වාර්ෂිකව පවත්වන එක්රැස්වීම්වලදී හා සමුළුවලදීයි.