Skip to content

පටුනට යන්න

උපග්‍රන්ථය

දෙවිගේ නාමය

දෙවිගේ නාමය

දෙවිගේ නාමය බයිබලයේ සඳහන් වන එක් පදයක් නම් ගීතාවලිය 83:18යි. එහි මෙසේ පවසනවා. “යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවටම මහෝත්තම දෙවි බව සියල්ලන්ට දැනගැනීමට සලස්වන්න.” (‘ශුද්ධ බයිබලය—නව ලොව පරිවර්තනය’) බයිබල් පරිවර්තන ගණනාවක එම පදයෙහි දෙවිගේ නම ඇතුළත් කර තිබෙනවා. නමුත් බොහෝ බයිබල් පරිවර්තනවල යෙහෝවා යන දෙවිගේ නාමය ඉවත් කර ඒ වෙනුවට “සමිඳාණෝ” වැනි පදවි නාම ඇතුළත් කර තිබෙනවා. ගීතාවලිය 83:18හි ඇත්තටම සඳහන් විය යුත්තේ පදවි නාමයක්ද නැත්නම් යෙහෝවා යන දෙවිගේ නාමයද?

දෙවිගේ නාමය හෙබ්‍රෙව් අකුරුවලින්

ඒ පදයේ සඳහන් වන්නේ නාමයක් ගැනයි. මුල් හෙබ්‍රෙව් භාෂාවට අනුව එහි සඳහන් වන්නේ පුද්ගලයෙකුට හිමි අද්විතීය නාමයක් ගැනයි. එම නාමය හෙබ්‍රෙව් අකුරුවලින් ලියන්නේ יהוה ලෙසයි. එම අකුරු සිංහලෙන් ය්හ්ව්හ් ලෙස දැක්විය හැකියි. බොහෝ බයිබල් පරිවර්තනවල එම අකුරු හතර “යෙහෝවා” ලෙස සඳහන් කර තිබෙනවා. දෙවිගේ එම නාමය බයිබලයේ සඳහන් වන්නේ එක් පදයක පමණක්ද? නැහැ. හෙබ්‍රෙව් භාෂාවෙන් ලියා තිබෙන බයිබලයේ මුල් පිටපත්වල දෙවිගේ නාමය 7,000 වාරයක් පමණ සඳහන් වී තිබෙනවා.

අප දෙවිගේ නාමය වැදගත් දෙයක් ලෙස සැලකිය යුතුද? යේසුස් ඒ සම්බන්ධයෙන් හොඳ ආදර්ශයක් තැබුවා. ඔහු තම ගෝලයන්ට ඉගැන්වූ ආදර්ශ යාච්ඤාව ආරම්භ කළේ, “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමය සැමදා ශුද්ධව පවතීවා” යන වචනවලිනුයි. (මතෙව් 6:9) එමෙන්ම පසු අවස්ථාවකදී යේසුස් දෙවිට යාච්ඤා කරමින් මෙසේ පැවසුවා. “පියාණෙනි, ඔබගේ නාමය ගෞරවයට පත් කරන්න!” ඊට පිළිතුරු දෙමින්, “මම එය ගෞරවයට පත් කළෙමි” කියා දෙවි ස්වර්ගයේ සිට පැවසුවා. (යොහන් 12:28) ඉන් පැහැදිලි වන්නේ යේසුස්, දෙවිගේ නාමයට අතිවැදගත් තැනක් දුන් බවයි. එසේනම් ඇතැම් බයිබල් පරිවර්තකයන් දෙවිගේ නාමය ඔවුන්ගේ පරිවර්තනවලින් ඉවත් කර, ඒ වෙනුවට පදවි නම් යොදා තිබෙන්නේ ඇයි?

ඔවුන් එසේ කිරීමට ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. බොහෝදෙනෙකු කියා සිටින්නේ පුරාණයේදී දෙවිගේ නාමය උච්චාරණය කළේ කෙසේද කියා දැනගත නොහැකි නිසා එම නාමය භාවිත නොකළ යුතු බවයි. ඇතැම් බයිබල් පරිවර්තකයන් දෙවිගේ නාමය ඔවුන්ගේ පරිවර්තනවලින් ඉවත් කිරීමට එය එක් හේතුවක්. පුරාණයේ භාවිත කළ හෙබ්‍රෙව් භාෂාව ලියනු ලැබුවේ වචන උච්චාරණය කිරීමට යොදාගන්නා ප්‍රාණාක්ෂර හෙවත් ස්වර නොමැතිවයි. ඒ නිසා බයිබලය ලියනු ලැබූ කාලයේ සිටි මිනිසුන් දෙවිගේ නාමය (ය්හ්ව්හ්) උච්චාරණය කළ ආකාරය අද සිටින කිසි කෙනෙක් හරියටම දන්නේ නැහැ. කෙසේවෙතත් දෙවිගේ නාමය භාවිත නොකිරීමට එය හේතුවක් නොවෙයි. උදාහරණයකට පුරාණයේදී යේසුස් යන නාමය යෙෂුවා කියා හෝ ඇතැම්විට යෙහොෂුවා කියා උච්චාරණය කරන්න ඇති. එහි නිවැරදි උච්චාරණය කුමක්ද කියා කිසි කෙනෙක් හරියටම දන්නේ නැහැ. නමුත් අද ලොව පුරා සිටින මිනිසුන් යේසුස් යන නාමය ඔවුන්ගේ භාෂාවලට ගැළපෙන ආකාරයෙන් උච්චාරණය කරනවා. ඔබ වෙනත් රටකට ගියොත් එහි සිටින අය ඔබේ නම වෙනස් ආකාරයකට උච්චාරණය කරනවා ඔබට අසන්න ලැබෙයි. එසේනම් දෙවිගේ නාමය පුරාණ කාලයේදී උච්චාරණය කළ ආකාරය හරියටම නොදැන සිටි පමණින් එය අද භාවිත නොකර සිටීම සාධාරණ නොවෙයි.

ඇතැම් බයිබල් පරිවර්තකයන් දෙවිගේ නාමය ඔවුන්ගේ පරිවර්තනවලින් ඉවත් කිරීමට බලපා තිබෙන දෙවෙනි හේතුව බොහෝ කාලයක් පුරා පැවතෙන යුදෙව් සම්ප්‍රදායක් හා සම්බන්ධයි. දෙවිගේ නාමය කිසිදාක උච්චාරණය නොකළ යුතුයි කියා යුදෙව්වන් බොහෝදෙනෙකු අතර මතයක් පවතිනවා. ඒ මතයට හේතු වී තිබෙන්නේ බයිබලයේ සඳහන් මෙම නීතිය වැරදි ලෙස තේරුම්ගැනීමයි. “යෙහෝවා යන ඔබේ දෙවිගේ නාමයට අගෞරවයක් ගෙන දෙන ආකාරයෙන් එම නාමය සඳහන් නොකරන්න. යෙහෝවා දෙවි වන මම මාගේ නාමයට අපහාස කරන සියලුදෙනාටම අනිවාර්යයෙන්ම දඬුවම් කරන්නෙමි.”—නික්මයාම 20:7.

එම නීතියෙන් තහනම් කර තිබෙන්නේ අගෞරවයක් ගෙන දෙන ආකාරයෙන් දෙවිගේ නාමය භාවිත කිරීමයි. නමුත් දෙවිගේ නාමය ගෞරවාන්විත ලෙස භාවිත කිරීමට කිසි තහනමක් නැහැ. හෙබ්‍රෙව් ලියවිල්ල (“පුරාණ ගිවිසුම”) ලිවීමට හවුල් වුණේ දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීතියට එකඟව ජීවත් වූ දෙවිගේ විශ්වාසවන්ත සේවකයනුයි. ඔවුන් දෙවිගේ නාමය නිතරම භාවිත කළා. දෙවිට නමස්කාර කිරීමට පැමිණි අවස්ථාවලදී ඔවුන් ගායනා කළ ගීතිකා බොහොමයක දෙවිගේ නාමය ඇතුළත් වුණා. තම නාමය කියා අයැදින ලෙස යෙහෝවා දෙවිම ඔහුට නමස්කාර කරන අයට පැවසුවා. (යෝවෙල් 2:32; ක්‍රියා 2:21) යේසුස් පවා දෙවිගේ නාමය භාවිත කළා. (යොහන් 17:26) ඒ නිසා අද සිටින සැබෑ ක්‍රිස්තියානීන්ද දෙවිගේ නාමය භාවිත කරනවා.

දෙවිගේ නාමය සඳහන් කළ යුතු තැන්වල පදවි නම් යෙදීමෙන් බයිබල් පරිවර්තකයන් කර තිබෙන්නේ බරපතළ වරදක්. එසේ කිරීමෙන් ඔවුන් මිනිසුන්ව දෙවිගෙන් ඈත් කර තිබෙනවා. දෙවිව සෑබෑ පුද්ගලයෙකු ලෙස හඳුනාගන්නත් ඒ නිසා මිනිසුන්ට අපහසු වී තිබෙනවා. නමුත් බයිබලයේ අපට උනන්දු කරන්නේ, ‘යෙහෝවා දෙවිට සමීප වන්න’ කියායි. (ගීතාවලිය 25:14) ඔබේ කිට්ටු මිතුරෙකු ගැන සිතන්න. ඔබ ඔහුගේ නම දැනගෙන සිටියේ නැත්නම් ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න ඔබට හැකි වෙයිද? මිනිසුන් දෙවිගේ නාමය ගැන දැනුවත් වී නැත්නම් දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න ඔවුන්ට හැකි වෙයිද? එමෙන්ම මිනිසුන් යෙහෝවා යන දෙවිගේ නාමය භාවිත කරන්නේ නැත්නම් ඒ නාමයේ ගැඹුරු අර්ථයද ඔවුන් තේරුම්ගන්නේ නැහැ. දෙවිගේ නාමයේ අර්ථය කුමක්ද?

මෝසෙස් දෙවිගේ නාමය ගැන දෙවිගෙන් ඇසූ අවස්ථාවේදී තම නාමයේ අර්ථය පැහැදිලි කර දෙමින් දෙවි මෙසේ පැවසුවා. “තමා කැමති දේ ඉටු කළ හැකි එකම තැනැත්තා මා බව මමම ඔප්පු කර පෙන්වමි.” (නික්මයාම 3:14) එම පදය රොදහම්ගේ පරිවර්තනයේ සඳහන් වන්නේ මෙසේයි. “මා කැමති ඕනෑම දෙයක් ඉටු කරන්නෙමි.” ඒ අනුව තමන් අරමුණු කරන ඕනෑම දෙයක් හෝ තමන් දෙන ඕනෑම පොරොන්දුවක් ඉටු කිරීමට යෙහෝවා දෙවිට හැකියි. ඒ විතරක් නොවෙයි ඔහුගේ අරමුණ ඉටු කරගැනීමට අවශ්‍ය අයුරින් ඔහුගේ නිර්මාණ වුණත් යොදාගන්න දෙවිට හැකියි යන අදහසත් දෙවිගේ නමේ අර්ථයට ඇතුළත් වෙනවා.

ඕනෑම දෙයක් කිරීමේ හැකියාව ඔබටත් තිබුණා කියා සිතන්න. එසේනම් ඔබ ඔබේ මිතුරන් වෙනුවෙන් කුමක් කරාවිද? ඔබේ මිතුරෙකු බරපතළ අසනීපයකින් පෙළෙනවා නම් ඔබ ඔහුව සුව කරන්නේ නැද්ද? තවත් මිතුරෙකු ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටිනවා නම් ඔබ ඔහුට උපකාර කරන්නේ නැද්ද? නමුත් අන් අය වෙනුවෙන් ඔබට කළ හැකි දේවලට සීමාවක් තිබෙනවා. ඔබට පමණක් නොව සෑම කෙනෙකු සම්බන්ධයෙන්ද එය සත්‍යයක්. නමුත් තමා අරමුණු කළ දේවල් ඉටු කිරීම සඳහා අවශ්‍ය ඕනෑම දෙයක් සිදු කිරීමට යෙහෝවා දෙවිට හැකි බව ඔබ බයිබලය අධ්‍යයනය කරන විට තේරුම්ගනීවි. එමෙන්ම ඔහුට ප්‍රේම කරන අයට ඔහුගේ බලය ලබා දී ඔවුන්ට උපකාර කිරීමට ඔහු කැමැත්තෙන් සිටින බවත් ඔබ තේරුම්ගනීවි. (2 ලේකම් 16:9) යෙහෝවා දෙවි සතු එම අද්වීතිය හැකියාව හා ඔහුගේ අනිකුත් ගුණාංග ගැන ඔහුගේ නාමය නොදන්නා අය දන්නේ නැහැ.

අපි සලකා බැලූ කාරණාවලින් පැහැදිලි වන්නේ යෙහෝවා යන දෙවිගේ නාමය අනිවාර්යයෙන්ම බයිබලයේ සඳහන් විය යුතු බවයි. දෙවිගේ නාමයේ අර්ථය දැනගෙන සිටීම හා එය නමස්කාරයේදී භාවිත කිරීම අපේ පියාණන් වන යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට අපට උපකාරවත් වෙනවා. *

^ 12 ඡේ. දෙවිගේ නාමය, එහි අර්ථය හා නමස්කාරයේදී එය භාවිත කිරීමේ වැදගත්කම ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් පළ කරන ලද ‘දේවවචනය අධ්‍යයනයට’ යන පොතේ 1වෙනි කොටස සහ The Divine Name That Will Endure Forever යන සඟරාව බලන්න.