Skip to content

පටුනට යන්න

උපග්‍රන්ථය

සැබෑ ක්‍රිස්තියානීන් නමස්කාරයේදී කුරුසය භාවිත නොකරන්නේ ඇයි?

සැබෑ ක්‍රිස්තියානීන් නමස්කාරයේදී කුරුසය භාවිත නොකරන්නේ ඇයි?

ලොව පුරා බොහෝදෙනෙක් කුරුසයට ගෞරව කරනවා. එය “ක්‍රිස්තියානි ආගම්වල ප්‍රධාන සංකේතය” ලෙස සලකන බව එක් විශ්වකෝෂයක සඳහන් වෙනවා. (The Encyclopædia Britannica) නමුත් සැබෑ ක්‍රිස්තියානීන් දෙවිට කරන නමස්කාරයේදී කුරුසය භාවිත කරන්නේ නැහැ. එයට හේතුව කුමක්ද?

එක් වැදගත් හේතුවක් නම් යේසුස් ක්‍රිස්තුස් කුරුසයක් මත මිය නොයෑමයි. බොහෝ බයිබල්වල ස්ටාව්රොස් යන ග්‍රීක වචනය පරිවර්තනය කර තිබෙන්නේ “කුරුසය” ලෙසයි. නමුත් එම ග්‍රීක වචනයේ නියම අර්ථය වන්නේ “කෙළින් සිටුවන ලද කණුවක්” යන්නයි. එක් බයිබලයක උපග්‍රන්ථයේ මෙසේ සඳහන් වෙනවා. “[ස්ටාව්රොස් යන ග්‍රීක වචනයෙන්] කණුවක් හරහා තවත් කණුවක් බැඳ තැබීම අදහස් කරන්නේ නැත. . . . එවැනි අදහසක් [අලුත් ගිවිසුමේ] කිසිම තැනක සොයාගත නොහැක.”—The Companion Bible.

බයිබල් ලේඛකයන් යේසුස්ව මරණයට පත් කළ ආකාරය ගැන ස්ථාන කිහිපයකම විස්තර කරන විට ස්ටාව්රොස් යන වචනය වෙනුවට ක්සිලොන් නමැති ග්‍රීක වචනයත් භාවිත කර තිබෙනවා. (ක්‍රියා 5:30; 10:39; 13:29; ගලාති 3:13; 1 පේතෘස් 2:24) එම වචනයේ අර්ථයත් “ලීයක්,” “පොල්ලක්” හෝ “ගසක්” යන්නයි.

බොහෝ අවස්ථාවලදී ප්‍රසිද්ධියේ දුන් මරණ දණ්ඩනය සඳහා කණුවක් යොදාගැනීමට හේතුව ගැන හේර්මාන් ෆුල්ඩා නමැති ලේඛකයා පැහැදිලි කර තිබෙනවා. ඒ ගැන කුරුසය සහ කුරුසයේ ඇණ ගැසීම නමැති ඔහු විසින් ජර්මන් බසින් පළ කරන ලද පොතේ මෙසේ සඳහන් වෙනවා. “අපරාධකරුවන්ව ප්‍රසිද්ධියේ එල්ලා මරා දැමූ සෑම අවස්ථාවකදීම ගස් සොයාගත නොහැකි වූ නිසා කණු භාවිත කරන ලදි. අපරාධකරුවන්ගේ අත් දෙක ඔසවා කණුවට ඇණ ගසන ලදි. ඉන්පසු එම කණුව වළක් හාරා පොළොවේ සිටුවනු ලැබේ.”

යේසුස්ව කුරුසයක ඇණ ගසනු නොලැබූ බවට තිබෙන සියලුම සාක්ෂි අතරින් ප්‍රබලම සාක්ෂිය සොයාගත හැක්කේ බයිබලයෙනුයි. ඒ ගැන පාවුල් මෙසේ පවසනවා. “නීතියෙන් ඇති වූ ශාපයෙන් අපව නිදහස් කළේ ක්‍රිස්තුස්ය. ඔහු එසේ කළේ අප වෙනුවෙන් ශාපයට ලක් වී අපව මිල දී ගැනීමෙනි. ‘කණුවක [“ගසක,” පැ.අ.] එල්ලා තබන සෑම කෙනෙක්ම ශාප ලැබූ කෙනෙකි’ කියා සඳහන් වී තිබෙන්නේ ඒ නිසාය.” (ගලාති 3:13) එහිදී පාවුල් උපුටා දක්වන්නේ ද්විතීය කතාව 21:22 හා 23හි සඳහන් වචනයි. එහි සඳහන් වන්නේ කුරුසයක් ගැන නොව කණුවක් හෝ ගසක් ගැනයි. එලෙස කණුවක එල්ලා මරණයට පත් කරන ලද අපරාධකරුවෙකුව සැලකුවේ, ‘ශාප ලැබූ කෙනෙකු’ ලෙසයි. ඒ නිසා වධකණුවක් පවා සංකේතයක් ලෙස භාවිත කිරීම ක්‍රිස්තියානීන්ට සුදුසු නැහැ.

යේසුස් මරණයට පත් වී අවුරුදු 300ක් ගත වන තුරුත් තමන් ක්‍රිස්තියානීන් බව පැවසූ අය නමස්කාරයේදී කුරුසය භාවිත කළ බවට කිසිම සාක්ෂියක් නැහැ. නමුත් හතරවෙනි සියවසේදී කොන්ස්ටන්ටයින් නමැති අධිරාජ්‍යයා, සැබෑ ක්‍රිස්තියානි මාර්ගයෙන් බැහැර වූ ක්‍රිස්තියානි ධර්මයක් ඇදහීමට පටන්ගත් අතර ඔහු එම ධර්මයේ සංකේතය ලෙස කුරුසය සියලුදෙනාට හඳුන්වා දුන්නා. එසේ කිරීමෙන් කොන්ස්ටන්ටයින් බලාපොරොත්තු වූ දෙය කුමක් වුණත් කුරුසය යේසුස්ට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ. කුරුසය මුලින්ම භාවිත කළේ වෙනත් ආගම් ඇදහූ අයයි. එක් කතෝලික විශ්වකෝෂයක මෙසේ සඳහන් වෙනවා. “ක්‍රිස්තියානි ධර්මයේ ආරම්භයට කලින් සිටි අය හා ක්‍රිස්තියානි නොවන අය කුරුසය භාවිත කර තිබෙනවා.” (New Catholic Encyclopedia) බොරු දෙවිවරුන්ට නමස්කාර කළ සමහරුන් නමස්කාරයේදී ලිංගික ක්‍රියාවල යෙදුණා. තවත් අය ගස් ගල්වලට වැඳුම්පිදුම් කළා. ඔවුන් තම නමස්කාරයේ සංකේතය ලෙස කුරුසය භාවිත කළා. ඒ බව විවිධ පොත් පත්වල සඳහන් වෙනවා.

කුරුසය සැබෑ ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ දෙයක් නොවෙයි නම් එය භාවිත කිරීමට දිරිගන්වනු ලැබුවේ ඇයි? ඊට හේතු වී තිබෙන්නේ කුරුසය ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ කරගැනීමෙන් වෙනත් ආගම් ඇදහූ අය පහසුවෙන්ම ක්‍රිස්තියානි ආගම පිළිගනියි කියා සිතූ නිසයි. ඒ කෙසේවෙතත් ඕනෑම අන්‍යාගමික සංකේතයක් නමස්කාරය සඳහා යොදාගැනීම බයිබලයේ හෙළාදැක තිබෙනවා. (2 කොරින්ති 6:14-18) රූප නමස්කාරය හා සම්බන්ධ සෑම දෙයක්ම බයිබලයේ සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. (නික්මයාම 20:4, 5; 1 කොරින්ති 10:14) සැබෑ ක්‍රිස්තියානීන් නමස්කාරයේදී කුරුසය භාවිත නොකරන්නේ හොඳ හේතු ඇතුවයි. *

^ 9 ඡේ. වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් පළ කරන ලද Reasoning From the Scriptures නමැති පොතේ 89-93 දක්වා පිටු බලන්න.