Skip to content

පටුනට යන්න

උපග්‍රන්ථය

දෙවිව ගෞරවයට පත් කරන සැමරීමක් - ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය

දෙවිව ගෞරවයට පත් කරන සැමරීමක් - ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය

යේසුස් ක්‍රිස්තුස්ගේ මරණය සිහි කරන ලෙස ක්‍රිස්තියානීන්ට ආඥාවක් දී තිබෙනවා. එම සැමරීම බයිබලයේ හඳුන්වා තිබෙන්නේ, “ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය” ලෙසයි. (1 කොරින්ති 11:20) එහි ඇති වැදගත්කම කුමක්ද? එය සැමරිය යුත්තේ කවදාද? කෙසේද?

යේසුස් මේ සැමරීම මුලින්ම හඳුන්වා දුන්නේ ක්‍රි.ව. 33 පාස්කු දින රාත්‍රියේයි. යුදෙව්වන් පාස්කු උත්සවය සෑම වසරකම එක් වතාවක් එනම් යුදෙව් දිනදර්ශනයට අනුව නීසාන් මාසයේ 14වෙනිදා පැවැත්වූවා. එම දිනය යෙදෙන්නේ කවදාටද කියා යුදෙව්වන් ගණන් බැලුවේ මේ ආකාරයටයි. වසන්ත සමයේ එක් දිනක දවාල පවතින කාලයත් රාත්‍රිය පවතින කාලයත් එක හා සමාන වෙනවා. ඒ දිනය “විෂුවය” ලෙස හඳුන්වනවා. එම දවසට පසු මුලින්ම නව සඳ පායන දවස ඔවුන් සැලකුවේ නීසාන් මාසයේ 1වෙනිදා ලෙසයි. නව සඳ පායන දවස යනු අමාවක දවසින් පසු මුලින්ම සඳ දකින දිනයයි. පාස්කු උත්සවය පැවැත්වූයේ එතැන් සිට දින 13ක් ගණන් කිරීමෙන් පසුවයි.

යේසුස් ක්‍රි.ව. 33දී තම ගෝලයන් සමඟ පාස්කු උත්සවය පැවැත්වූ පසු යූදස් ඉස්කාරියොත්ව එතැනින් පිටත් කර හැරියා. ඔහු අනිකුත් ගෝලයන්ට ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය හඳුන්වා දුන්නේ ඉන්පසුවයි. යුදෙව්වන් වාර්ෂිකව සැමරූ පාස්කු උත්සවය වෙනුවට එතැන් සිට ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය ක්‍රිස්තියානීන් සැමරිය යුතු වුණා. එයද සැමරිය යුත්තේ අවුරුද්දකට එක් වතාවයි.

යේසුස් එය පැවැත්වූ ආකාරය මතෙව් වාර්තා කරන්නේ මෙසේයි. “ඔවුන් කමින් සිටියදී යේසුස් රොටියක් ගෙන යාච්ඤා කර, එය කඩා ගෝලයන්ට දුන්නේය. ඔහුද, ‘රැගෙන කන්න. මෙයින් නියෝජනය වන්නේ මගේ ශරීරයයි’ කියා කීවේය. ඉන්පසු ඔහු කුසලානයක් ගෙන ඒ සඳහා ස්තුති යාච්ඤාවක් කළ පසු ඔවුන්ට එය දෙමින් මෙසේ කීවේය. ‘ඔබ සියල්ලන්ම මෙයින් බොන්න. මන්ද මෙයින් නියෝජනය වන්නේ පව් සමාව සඳහා බොහෝදෙනා උදෙසා වගුරුවනු ලබන මගේ රුධිරයයි. ගිවිසුම ස්ථිර වන්නේ මේ රුධිරයෙනුයි.’”—මතෙව් 26:26-28.

යේසුස් එම රොටිය ඔහුගේ ශරීරය බවටත් වයින් ඔහුගේ රුධිරය බවටත් හැරෙවූ බව සමහරුන් විශ්වාස කරනවා. නමුත් යේසුස් එම රොටිය අතිනත යවන අවස්ථාවේදී ඔහුගේ ශරීරයට කිසිම හානියක් සිදු වී තිබුණේ නැහැ. ඇත්තෙන්ම යේසුස්ගේ ගෝලයන් ඔහුගේ ශරීරය කෑමට ගත්තේවත් ඔහුගේ රුධිරය පානය කළේවත් නැහැ. මන්ද ඔවුන් එසේ කළා නම් එය මිනී මස් කෑමක් වන අතර එය දෙවිගේ නීතිය කඩ කිරීමක්ද වෙනවා.—උත්පත්ති 9:3, 4; ලෙවී කතාව 17:10.

එසේනම් යේසුස් අතිනත යැවූ රොටි සහ රතු වයින්වලින් යම් දේවල් සංකේතවත් වන බව පැහැදිලියි. රොටියෙන් සංකේතවත් කළේ පව්කාර ස්වභාවයක් උරුම කර නොගත් යේසුස්ගේ නිකැළැල් ශරීරයයි. ඔහු ඒ සඳහා පාවිච්චි කළේ පාස්කු උත්සවයෙන් පසු ඉතිරි වූ රොටියක්. පාස්කු උත්සවය සඳහා සාදන රොටිවලට මුහුන් (යීස්ට්) මිශ්‍ර කරන්නේ නැහැ. (නික්මයාම 12:8) බයිබලයේ බොහෝ අවස්ථාවලදී මුහුන් භාවිත කරන්නේ පව්කාර ස්වභාවය සංකේතවත් කිරීමටයි. ඒ අනුව රොටියෙන් නියෝජනය කළේ යේසුස් පූජා කළ පාපයෙන් තොර නිකැළැල් ශරීරයයි.—මතෙව් 16:11, 12; 1 කොරින්ති 5:6, 7; 1 පේතෘස් 2:22; 1 යොහන් 2:1, 2.

රතු වයින්වලින් සංකේතවත් කළේ යේසුස්ගේ රුධිරයයි. තම රුධිරය “පව් සමාව සඳහා” වගුරුවන බව යේසුස් පැවසුවා. අලුත් ගිවිසුම ස්ථිර වුණේ ඔහු වැගිරෙවූ රුධිරය මගිනුයි. පව්කාර මිනිසුන් වූ ඔවුන්ට දෙවි ඉදිරියෙහි පවිත්‍ර තත්වයක සිටීමට එමගින් අවස්ථාව උදා වුණා. (හෙබ්‍රෙව් 9:14; 10:16, 17) ඒ ගිවිසුම නිසා ඔවුන් ඇතුළුව විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් 1,44,000දෙනෙකුට ස්වර්ගයට යෑමට අවස්ථාව ලැබී තිබෙනවා. ඔවුන් ස්වර්ගයේදී මිනිස් වර්ගයාට ආශීර්වාද ලබා දෙමින් රජවරුන් හා පූජකයන් ලෙස සේවය කරනවා.—උත්පත්ති 22:18; යෙරෙමියා 31:31-33; 1 පේතෘස් 2:9; එළිදරව් 5:9, 10; 14:1-3.

යේසුස්ගේ මරණය සිහි කරන විට රොටි කෑමට ගන්නෙත් වයින් පානය කරන්නෙත් කවුද? රොටි හා වයින් ගත යුත්තේ අලුත් ගිවිසුමට ඇතුළත් වන සාමාජිකයන් පමණයි. එනම් ස්වර්ගයට යෑම සඳහා තෝරාගෙන තිබෙන අය පමණයි. ඔවුන්ව එසේ තෝරාගෙන තිබෙන බව දෙවි තම බලය මාර්ගයෙන් ඔවුන්ට දන්වනවා. ඒ නිසා ඔවුන්ට තම බලාපොරොත්තුව ගැන කිසිම සැකයක් නැහැ. (රෝම 8:16) යේසුස් රාජ්‍යයක් සඳහා ගිවිසුමක් ඇති කරගෙන තිබෙන්නෙත් ඔවුන් සමඟයි.—ලූක් 22:29.

එසේනම් පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව තිබෙන අය ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයට සහභාගි වීම වැදගත් වන්නේ ඇයි? ඔවුන් ඒ භෝජනයට සහභාගි විය යුත්තේ යේසුස්ගේ ආඥාවකට කීකරු වීමක් ලෙසයි. ඔවුන් රොටි කන්නේවත් වයින් බොන්නේවත් නැහැ. ඔවුන් නිරීක්ෂකයන් පමණයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සෑම වසරකම නීසාන් මාසයේ 14වෙනිදා හිරු බැස යෑමෙන් පසු ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පවත්වනවා. ස්වර්ගයේ ජීවත් වීමට බලාපොරොත්තුවක් තිබෙන්නේ මෙයට පැමිණෙන අයගෙන් ඉතා ස්වල්පදෙනෙකුට වුණත් සියලුම ක්‍රිස්තියානීන් මේ සැමරීම ඉතා උතුම් දෙයක් ලෙස සලකනවා. යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් පෙන්වා තිබෙන අතිමහත් ප්‍රේමය ගැන ගැඹුරින් සිතා බැලීමට මෙය සියලුදෙනාටම හොඳ අවස්ථාවක්!—යොහන් 3:16.