Skip to content

පටුනට යන්න

උපග්‍රන්ථය

මිකායෙල් යනු කවුද?

මිකායෙල් යනු කවුද?

මිකායෙල් කියා හඳුන්වනු ලබන දේවදූතයා ගැන බයිබලයේ සඳහන් වන්නේ ස්ථාන කිහිපයක පමණයි. ඔහු ගැන සඳහන් ඒ ස්ථානවලින් ඔහු ක්‍රියාශීලී කෙනෙකු බව පැහැදිලියි. උදාහරණයකට දානියෙල්ගේ වාර්තාවට අනුව ඔහු සාතන් ඇතුළු භූතයන්ට විරුද්ධව සටන් කරනවා. එමෙන්ම මිකායෙල් හා සාතන් අතර මතභේදයක් ඇති වූ බව යූද් සඳහන් කර තිබෙනවා. මිකායෙල්, සාතන් හා භූතයන් සමඟ යුද්ධ කරන බව එළිදරව් පොතේ සඳහන් වෙනවා. මිකායෙල් යන නමේ අර්ථය “දෙවිට සමාන කවුද” යන්නයි. දෙවිගේ පාලනය යුක්තිසහගත බව තහවුරු කිරීමට පියවර ගනිමින් දෙවිගේ සතුරන්ට විරුද්ධව ඔහු සටන් කරන නිසා එම නාමය ඔහුට කොතරම් හොඳින් ගැළපෙනවාද! ඇත්තෙන්ම මිකායෙල් යන නමින් හඳුන්වන්නේ කාවද?

සමහර අවස්ථාවලදී එකම පුද්ගලයාව නම් කිහිපයකින් හඳුන්වනවා. උදාහරණයකට යාකොබ්ව ඊශ්‍රායෙල් යන නමින්ද පේතෘස්ව සීමොන් යන නමින්ද බයිබලයේ හඳුන්වා තිබෙනවා. (උත්පත්ති 49:1, 2; මතෙව් 10:2) බයිබලයේ සඳහන් විස්තරවලින් පැහැදිලි වන්නේ මිකායෙල් යන නම යේසුස්ව හඳුන්වන තවත් නමක් බවයි. යේසුස් පොළොවට පැමිණීමට පෙරත් පසුවත් ඔහුව එම නමින් හඳුන්වා තිබෙනවා. මිකායෙල් යන නමින් හඳුන්වන්නේ යේසුස්ව බව තහවුරු කරගැනීමට දැන් අපි බයිබලයේ සඳහන් තොරතුරු කිහිපයක් සලකා බලමු.

අග්‍රදේවදූතයා. මිකායෙල්ව ‘අග්‍රදේවදූතයා’ ලෙස බයිබලයේ හඳුන්වා තිබෙනවා. (යූද් 9) ඉන් අදහස් කරන්නේ ඔහු ‘ප්‍රධාන දේවදූතයා’ බවයි. එම පදයේ මිකායෙල් ලෙස හඳුන්වා තිබෙන්නේ එක් දේවදූතයෙකුව පමණයි. එමෙන්ම බයිබලයේ ‘අග්‍රදේවදූතයා’ යන වචනය සෑමවිටම භාවිත කර තිබෙන්නේ ඒක වචන ස්වරූපයෙනුයි. අග්‍රදේවදූතයාට හිමි කාර්යභාරය ගැන බයිබලයේ සඳහන් විස්තරය යේසුස්ට හොඳින් ගැළපෙනවා. මන්ද නැවත නැඟිටුවන ලද ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් ගැන 1 තෙසලෝනික 4:16හි මෙසේ සඳහන් වෙනවා. “ස්වාමීන්, දෙවිගේ හොරණෑව අතැතිව ස්වර්ගයෙන් බැස එයි. ඒ අවස්ථාවේදී අග්‍රදේවදූතයා වන ඔහුගේ හඬද ඔහු නිකුත් කරන අණද ඇසෙයි.” එම පදයෙහි ස්වාමි වූ යේසුස්ව අග්‍රදේවදූතයා ලෙස හඳුන්වා තිබෙනවා. ඉන් පැහැදිලි වන්නේ අග්‍රදේවදූතයා වන යේසුස්ව මිකායෙල් යන නමින් හඳුන්වන බවයි.

සෙන්පති. “මිකායෙල් සහ ඔහුගේ දූතයෝ මකරාට විරුද්ධව යුද්ධ කළෝය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (එළිදරව් 12:7) එම පදයට අනුව මිකායෙල්, විශ්වාසවන්ත දේවදූත සේනාවක සෙන්පතියා ලෙස කටයුතු කරනවා. එළිදරව් පොතේම තවත් ස්ථානයක යේසුස්වත් විශ්වාසවන්ත දේවදූත සේනාවක සෙන්පතියා ලෙස විස්තර කර තිබෙනවා. (එළිදරව් 19:14-16) පාවුල්ද එක් අවස්ථාවක “ස්වාමීන් වන යේසුස්” හා ‘ඔහුගේ බලවත් දේවදූතයන්’ ගැන සඳහන් කර තිබෙනවා. (2 තෙසලෝනික 1:7) ඒ අනුව මිකායෙල් හා ‘ඔහුගේ දූතයන්’ ගැනත් යේසුස් හා ‘ඔහුගේ දූතයන්’ ගැනත් බයිබලයේ සඳහන් වෙනවා. (මතෙව් 13:41; 16:27; 24:31; 1 පේතෘස් 3:22) නමුත් මිකායෙල් හා යේසුස්ගේ නායකත්වය යටතේ වෙන වෙනම ක්‍රියාත්මක වන දේවදූත සේනා දෙකක් ස්වර්ගයේ සිටින බව බයිබලයේ කිසිම ස්ථානයක සඳහන් වන්නේ නැහැ. ඉන් පැහැදිලි වන්නේ මිකායෙල් යනු ස්වර්ගයේ සිට තම කාර්යයන් ඉටු කරන යේසුස් ක්‍රිස්තුස් මිස වෙන කිසිවෙකු නොවන බවයි. *

^ 6 ඡේ. වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් පළ කරන ලද Insight on the Scriptures යන පොතේ 2වෙනි වෙළුමේ 393-394 දක්වා පිටු බලන්න.