Skip to content

පටුනට යන්න

උපග්‍රන්ථය

“මහ බැබිලෝනිය,” එය කුමක්ද?

“මහ බැබිලෝනිය,” එය කුමක්ද?

බයිබලයේ එළිදරව් පොතේ සඳහන් සමහර ප්‍රකාශයන් වචනාර්ථයෙන්ම තේරුම්ගත නොහැකියි. (එළිදරව් 1:1) උදාහරණයකට “මහ බැබිලෝනිය” යන නමින් හඳුන්වන ස්ත්‍රියක් ගැන එහි සඳහන් වෙනවා. ඒ ස්ත්‍රිය “සමූහයන්ද ජාතීන්ද” මත ඉඳගෙන සිටිනවා. (එළිදරව් 17:1, 5, 15) සාමාන්‍ය ස්ත්‍රියකට එවැනි දෙයක් කළ නොහැකි නිසා මහ බැබිලෝනිය යන නම ඇති ඒ ස්ත්‍රිය සැබෑ කෙනෙක් විය නොහැකියි. ඇත්තෙන්ම ඇගෙන් යමක් නියෝජනය වෙනවා. ඒ කුමක්ද?

එළිදරව් 17:18හි ඒ ස්ත්‍රියව විස්තර කර තිබෙන්නේ “පොළොවේ රජවරුන්ව පාලනය කරන මහත් නුවර” කියායි. “නුවර” යන වචනයෙන් සංවිධානය වූ කණ්ඩායමක් අදහස් වෙනවා. ඒ ‘මහත් නුවරට’ “පොළොවේ රජවරුන්ව” පාලනය කරන්න තරම් හැකියාවක් තිබෙන නිසා මහ බැබිලෝනිය කියා හඳුන්වන ඒ ස්ත්‍රියගෙන් තම අණසක ලොව පුරා පතුරුවන සංවිධානයක් නියෝජනය විය යුතුයි. එය ලෝක අධිරාජ්‍යයක් ලෙසද හැඳින්විය හැකියි. ඇත්තෙන්ම එය ආගමික අධිරාජ්‍යයක්. එසේ පැවසීමට හේතු දැනගැනීම සඳහා එළිදරව් පොතේ ඒ ස්ත්‍රිය ගැන සඳහන් වෙනත් පද සෝදිසි කර බලමු.

අධිරාජ්‍යය යන වචනය දේශපාලනික, වාණිජ්‍ය හෝ ආගමික සංවිධානයක් විස්තර කිරීමට යොදාගත හැකියි. නමුත් මහ බැබිලෝනිය කියා හඳුන්වන ස්ත්‍රිය දේශපාලනික අධිරාජ්‍යයක් විය නොහැකියි. මන්ද “පොළොවේ රජවරු” එනම් ලෝකයේ පාලකයන් ඇය සමඟ ‘වේශ්‍යාකම් කළා’ කියා එහි සඳහන් වෙනවා. ඇයව වේශ්‍යාවක් කියා හඳුන්වන්නේ ඔවුන් සමඟ ඇය ඇති කරගෙන තිබෙන අයථා සම්බන්ධකම නිසයි. ඇයව “මහා ගණිකාව” කියාද හඳුන්වන්නේ ඒ නිසයි.—එළිදරව් 17:1, 2; යාකොබ් 4:4.

රජවරුන් හා වෙළෙඳුන් “දුරින් සිටගෙන” මහ බැබිලෝනිය දෙස බලා සිටිනවා කියාද එළිදරව් පොතේ සඳහන් වෙනවා. එහි “වෙළෙන්දෝ” යන වචනය භාවිත කර තිබෙන්නේ ලෝකයේ වාණිජ්‍යමය කටයුතුවලට සම්බන්ධ අයව විස්තර කිරීමටයි. ඔවුන් මහ බැබිලෝනිය විනාශ වෙද්දී ඒ ගැන හඬා වැලපෙනවා. (එළිදරව් 18:3, 9, 10, 15-17) ඒ අනුව මහ බැබිලෝනියෙන් දේශපාලනික හෝ වාණිජ්‍ය අධිරාජ්‍යයක් නොව ආගමික අධිරාජ්‍යයක් නියෝජනය වන බව පැහැදිලියි.

මහ බැබිලෝනිය “භූතවාදී ක්‍රියා” යොදාගනිමින් සියලුම ජාතීන්ව නොමඟ යවන බව එළිදරව් 18:23හි සඳහන් වෙනවා. එය “භූතයන්ගේ වාසස්ථානයක්” කියාද හඳුන්වා තිබෙන්නේ ඒ නිසයි. (එළිදරව් 18:2; ද්විතීය කතාව 18:10-12) සාමාන්‍යයෙන් භුතවාදී ක්‍රියාවලට ආගමික වතාවන් සම්බන්ධ නිසා එය ආගමික අධිරාජ්‍යයක් බව එයින්ද තහවුරු වෙනවා. ඒ අධිරාජ්‍යය සැබෑ ආගමට දැඩි ලෙස විරුද්ධ වෙමින් ‘අනාගතවක්තෘවරුන්ට’ හා ‘ශුද්ධ තැනැත්තන්ට’ පීඩා කරනවා. (එළිදරව් 18:24) මහ බැබිලෝනිය සැබෑ ආගමට කොතරම් වෛර කරනවාද කිවහොත් එය ‘යේසුස්ගේ සාක්ෂිකරුවන්ට’ දරුණු ලෙස හිංසා පීඩා කරනවා පමණක් නොව සමහරුන්ව මරණයට පවා පත් කරනවා. (එළිදරව් 17:6) ඒ සෑම දෙයකින්ම පැහැදිලි වන්නේ මහ බැබිලෝනිය කියා හඳුන්වන මේ ස්ත්‍රියගෙන් අසත්‍යය උගන්වන සියලුම ආගම් නියෝජනය වන බවයි. යෙහෝවා දෙවිට විරුද්ධව ක්‍රියා කරන සියලුම ආගම් ඊට ඇතුළත්.