Skip to content

පටුනට යන්න

උපග්‍රන්ථය

අප ආගමික උත්සව හා විශේෂ දිනයන් සැමරිය යුතුද?

අප ආගමික උත්සව හා විශේෂ දිනයන් සැමරිය යුතුද?

අද ලෝකයේ බොහෝ රටවල සමරනු ලබන ප්‍රසිද්ධ ආගමික උත්සව හා විශේෂ දිනයන් සැමරීමට කිසිම පදනමක් බයිබලයෙන් සොයාගත නොහැකියි. එසේනම් ඒ උත්සව ආරම්භ වුණේ කෙසේද? ඔබට පුස්තකාලයකින් තොරතුරු සොයාගත හැකි නම් ජනප්‍රිය උත්සව ආරම්භ වූ ආකාරය ගැන නිවැරදි තොරතුරු දැනගත හැකියි. දැන් අපි උදාහරණ කිහිපයක් සලකා බලමු.

පාස්කු ඉරිදා. “පුරාණයේ ඊශ්‍රායෙල් සෙනඟ පැවැත්වූ පාස්කු උත්සවය ගැන බයිබලයේ සඳහන් වෙනවා. නමුත් පාස්කු ඉරිදා ගැන කිසිම තොරතුරක් අලුත් ගිවිසුමේ සඳහන් වන්නේ නැහැ” කියා එක් විශ්වකෝෂයක පවසනවා. (The Encyclopædia Britannica) එම උත්සවය පවත්වන්නේ යේසුස්ගේ නැවත නැඟිටීම සැමරීම සඳහා කියා සිතුවත් පාස්කු සමයේදී මිනිසුන් කරන චාරිත්‍ර වාරිත්‍ර බයිබල් ඉගැන්වීම්වලට පටහැනියි. ඉන් පැහැදිලි වන්නේ ඒ උත්සවයට අන්‍යාගමික පසුබිමක් තිබෙන බවයි.

අලුත් අවුරුදු උත්සවය. අලුත් අවුරුදු උත්සවය පවත්වන දිනය හා ඒ හා බැඳි චාරිත්‍ර වාරිත්‍ර රටින් රටට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. ඒ උත්සවයේ ආරම්භය ගැන එක් විශ්වකෝෂයක මෙසේ සඳහන් වෙනවා. “රෝමයේ පාලකයාව සිටි ජූලියස් සීසර් ක්‍රි.පූ. 46දී අලුත් අවුරුදු උත්සවය ජනවාරි 1වෙනිදාට යෙදුවා. රෝමවරු එම දිනය ජේනස් නම් දෙවියා වෙනුවෙන් කැප කළා. ජේනස් දෙවියාව දොරටුවලට හා යම් දේවල ආරම්භයට අධිපති දෙවියා ලෙස සලකනු ලබනවා. ජනවාරි යන මාසයට එම නම තැබුවේ ජේනස් නම් එම දෙවියාව සිහි වීම සඳහායි. එම දෙවියාට මුහුණු දෙකක් තිබූ අතර එක් මුහුණකින් ඉදිරියත් අනික් මුහුණින් පිටුපසත් බලා සිටියා.” (The World Book Encyclopedia) ඒ තොරතුරුවලින් පැහැදිලි වන්නේ අලුත් අවුරුදු උත්සවය අන්‍යාගමික චාරිත්‍ර වාරිත්‍ර මත පදනම් වී තිබෙන බවයි.

පෙම්වතුන්ගේ දිනය. “වැලන්ටයින් යන නමින් මරා දැමූ ක්‍රිස්තියානීන් දෙදෙනෙකුව සිහි කිරීම සඳහා විශේෂ මංගල්‍ය දිනයක් පල්ලිවල සමරනු ලැබුවා. පසු කාලයක එම දිනය පෙම්වතුන්ගේ දිනය නැත්නම් වැලන්ටයින් දිනය ලෙස මිනිසුන් අතර ජනප්‍රිය වුණා. නමුත් එම දිනයේදී අනුගමනය කරන චාරිත්‍ර පුරාණ රෝමවරුන් පෙබරවාරි 15වෙනිදා පැවැත්වූ උත්සවයක් හා සම්බන්ධයි. රෝමවරුන් එම උත්සවය පැවැත්වූයේ කාන්තාවන්ගේ හා විවාහයන්වල අධිපති ජූනෝ නම් දේවතාවියට හා ස්වාභාවධර්මයේ අධිපති පෑන් නම් දෙවියාට ගෞරව කිරීම සඳහායි.” (The World Encyclopedia) ඉන් පැහැදිලි වන්නේ පෙම්වතුන්ගේ දිනයට අන්‍යාගමික පසුබිමක් ඇති බවයි.

වෙනත් උත්සව. ලොව පුරා පවත්වනු ලබන සියලුම උත්සව දිනයන් පිළිබඳ තොරතුරු මෙහි සලකා බලන්නේ නැති වුණත් කාරණා කිහිපයක් පැහැදිලියි. එනම් මිනිසුන් හෝ යම් සංවිධාන වෙනුවෙන් විශේෂ දිනයන් සැමරීම යෙහෝවා දෙවි අනුමත නොකරන බවයි. (යෙරෙමියා 17:5-7; ක්‍රියා 10:25, 26) එමෙන්ම යම් ආගමික උත්සවයක් සැමරීම දෙවි අනුමත කරනවාද නැද්ද කියා තීරණය කිරීමට එහි මූලාරම්භය ගැන සොයා බැලිය යුතු බවයි. (යෙසායා 52:11; එළිදරව් 18:4) ආගමික නොවන යම් උත්සවයකට සහභාගි වීම දෙවි අනුමත කරනවාද නැද්ද කියා දැනගැනීමට මේ පොතේ 16වෙනි පරිච්ඡේදයේ සඳහන් බයිබල් ප්‍රතිපත්ති ඔබට උපකාරවත් වෙයි.