Skip to content

පටුනට යන්න

1වෙනි පරිච්ඡේදය

‘දෙවිට ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන දේ’

‘දෙවිට ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන දේ’

“දෙවිට ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය. ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නොවේ.”—1 යොහන් 5:3.

1, 2. යෙහෝවා දෙවිට ප්‍රේම කිරීමට ඔබ පෙලඹෙන්නේ ඇයි?

ඔබ යම් කාලයක් පුරා යෙහෝවා දෙවිව දැන හඳුනා ගැනීමට උත්සාහයක් දරා ඇති බවට සැකයක් නැහැ. සමහරවිට එහි ප්‍රතිඵලයක් ලෙස ඔබ දැනටමත් දෙවිට කැප වී ඇති. ඒ සෑම දෙයකින්ම පැහැදිලි වන්නේ ඔබට දෙවි කෙරෙහි ප්‍රේමයක් ඇති බවයි. ඇත්තෙන්ම අප දෙවිට ප්‍රේම කරන්නේ දෙවි අපට පෙන්වා තිබෙන ප්‍රේමයට ප්‍රතිප්‍රේමයක් ලෙසයි. ඒ බව බයිබලයේ පවසන මේ දෙයින්ද පැහැදිලියි. “අප අන් අයට ප්‍රේම කරන්නේ දෙවි මුලින්ම අපට ප්‍රේම කළ නිසාය.”—1 යොහන් 4:19.

2 දෙවි අපට ප්‍රේමය පෙන්වා තිබෙන ආකාර කිහිපයක් දැන් අපි සලකා බලමු. මුලින්ම දෙවි අපට ජීවත් වීම සඳහා අලංකාරවත් පොළොවක් නිර්මාණය කළා. අපේ මූලික අවශ්‍යතා සපුරාගැනීමට අවශ්‍ය සෑම දෙයක්මද ඔහු සපයා දී තිබෙනවා. (මතෙව් 5:45) එමෙන්ම අපට මඟ පෙන්වීම් ලබා දීම සඳහා ඔහු තම වචනය වන බයිබලය ලබා දුන්නා. යාච්ඤාව මගින් ඔහු සමඟ කතා කිරීමට අපට අවස්ථාවද දී තිබෙන අතර අප කරන යාච්ඤාවලට ඔහු සවන් දෙන බවටත් ඔහුගේ බලය අපට ලබා දෙන බවටත් ඔහු පොරොන්දු වී තිබෙනවා. (ගීතාවලිය 65:2; ලූක් 11:13) එමෙන්ම දෙවි තම එකම පුත්‍රයාව පොළොවට එවා අපව පාපයෙන් හා මරණයෙන් ගලවාගැනීමට මඟ සැලැස්වූවා. ඇත්තෙන්ම යෙහෝවා දෙවි අපට පෙන්වා තිබෙන ප්‍රේමය මොන තරම්ද!—යොහන් 3:16; රෝම 5:8 කියවන්න.

3. (අ) දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගත හැක්කේ කෙසේද? (ආ) මතු වන ප්‍රශ්නය කුමක්ද? ඊට පිළිතුරු සොයාගත හැක්කේ කොහෙන්ද?

3 දෙවි පෙන්වන ප්‍රේමය අප සැමදාටම භුක්ති විඳිනවා දකින්න දෙවි කැමතියි. නමුත් එය සැමදාටම භුක්ති විඳිනවාද නැද්ද යන කාරණය රඳා පවතින්නේ අප මතයි. මන්ද බයිබලයේ මෙසේ පවසනවා. ‘සදාකාල ජීවනය ගැන අපේක්ෂාවෙන් සිටිමින් දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න.’ (යූද් 21) ඉන් පැහැදිලි වන්නේ දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට නම් අපේ පැත්තෙනුත් යම් දේවල් කළ යුතු බවයි. එනම් අපටත් දෙවි කෙරෙහි ප්‍රේමයක් තිබෙන බව අප පැහැදිලිව පෙන්විය යුතුයි. දැන් මතු වන ප්‍රශ්නය නම් ඒ සඳහා අප කළ යුත්තේ මොනවාද යන්නයි. ඊට පිළිතුරු යොහන් පැවසූ මේ දෙයින් සොයාගත හැකියි. “දෙවිට ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය. ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නොවේ.” (1 යොහන් 5:3) ඇත්තෙන්ම එම බයිබල් පදයේ සඳහන් තොරතුරු ගැඹුරින් සෝදිසි කර බැලීම අත්‍යවශ්‍යයි. මන්ද අප සෑම කෙනෙකුගේම ආශාව වන්නේ දෙවිට ප්‍රේම කරමින් ඔහුගේ ප්‍රේමය සැමදා ලබන්නයි.

‘දෙවිට ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන දේ’

4, 5. (අ) ප්‍රේමය යනු කුමක්ද? (ආ) දෙවි කෙරෙහි ප්‍රේමයක් ඔබ තුළ ඇති වීමට පටන්ගත්තේ කෙසේද?

4 ප්‍රේමය යනු කෙනෙකුගේ හදවතේ ඇති වන ගැඹුරු හැඟීමක්. “දෙවිට ප්‍රේම කරනවා” කියා යොහන් පැවසූ විට ඔහු අදහස් කළෙත් දෙවි කෙරෙහි ඇති වන ගැඹුරු හැඟීමයි. ඔබ තුළත් දෙවි කෙරෙහි එවැනි ගැඹුරු හැඟීමක් ඇති වීමට පටන්ගත් ආකාරය මතකද?

කෙනෙකු දෙවිට කැප වී බව්තීස්ම වන්නේ දෙවිට කීකරු වී ජීවත් වීමට මුළු හදවතින්ම කැමති නිසයි

5 යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් ඔබ ඉගෙනගන්නා විට මුලින්ම ඔබට දෙවි කෙරෙහි විශ්වාසයක් ඇති වුණා. තව තවත් ඔබ දෙවි ගැන ඉගෙනගනිද්දී පව්කාර ස්වභාවය උරුම කරගෙන ඔබ ඉපදුණත් දෙවි තම එකම පුත්‍රයා වන යේසුස් මාර්ගයෙන් ඉන් ගොඩ ඒමට මඟ සැලැස්වූ බව ඔබ තේරුම්ගත්තා. එමෙන්ම යේසුස්ගේ අනගි ජීවිත පූජාව නිසා ආදම්ගෙන් උරුම කරගත් ඒ පව්කාර ස්වභාවයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වී සදාකල් ජීවත් වීමේ ප්‍රස්තාව අප සෑම කෙනෙකුටම තිබෙන බවත් ඔබ දැනගත්තා. (මතෙව් 20:28; රෝම 5:12, 18) ඒ සෑම දෙයක්ම දැනගැනීමෙන් දෙවි අප වෙනුවෙන් කොතරම් මහත් පරිත්‍යාගයක් කර තිබෙනවාද කියා ඔබ තේරුම්ගත්තා. එතරම් ප්‍රේමයක් පෙන්වා තිබෙන දෙවි කෙරෙහි ගැඹුරු හැඟීමක් ඔබ තුළ ඇති වීමට පටන්ගත්තේ ඒ නිසයි.—1 යොහන් 4:9, 10 කියවන්න.

6. (අ) කෙනෙකු තුළ සැබෑ ප්‍රේමයක් තිබෙන බව පැහැදිලි වන්නේ කුමකින්ද? (ආ) දෙවි කෙරෙහි තිබෙන ප්‍රේමය ඔබව පෙලඹුවේ කුමක් කිරීමටද?

6 සැබෑ ප්‍රේමය නිකම්ම හැඟීමකට හෝ වචනවලට පමණක් සීමා නොවිය යුතුයි. කෙනෙකු තුළ යම් විශ්වාසයක් ඇති වූ විට ඒ විශ්වාසය ඔහුව ක්‍රියාවට පොලඹවනවා හා සමානව සැබෑ ප්‍රේමයත් කෙනෙකුගේ ක්‍රියාවලින් දැකිය හැකියි. (යාකොබ් 2:26) සාමාන්‍යයෙන් අප කෙනෙකුට ආදරය කරන විට නිතරම ඔහුව සතුටට පත් කරන දේවල් කිරීමට අප පෙලඹෙනවා. යෙහෝවා දෙවි කෙරෙහි ඔබ තුළත් ගැඹුරු ප්‍රේමයක් වර්ධනය වීමට පටන්ගත් විට ඔහුව සතුටට පත් කරන ආකාරයෙන් ඔබේ ජීවිතය ගත කිරීමට ඔබට ආශාවක් ඇති වුණා. ඒ නිසා දෙවිගේ කැමැත්ත සදහටම කිරීමට පොරොන්දු වෙමින් ඔබ ඔබේ ජීවිතය දැනටමත් දෙවිට කැප කර බව්තීස්මය මගින් එය සංකේතවත් කර ඇති. (රෝම 14:7, 8 කියවන්න.) මේ වන විට ඔබ ඒ පොරොන්දුව දී තිබුණත් නැතත් දෙවිගේ කැමැත්ත සදහටම කිරීමට ඔබ තුළ ආශාවක් තිබෙන බවට සැකයක් නැහැ. ඒ නිසා යොහන් ඊළඟට පැවසූ දේ සලකා බැලීම ප්‍රයෝජනවත්.

“ඔහුගේ ආඥා පිළිපැදීම”

7. දෙවි දී තිබෙන ආඥාවලින් සමහරක් මොනවාද? දෙවිව සතුටු කිරීමට නම් අප කළ යුත්තේ කුමක්ද?

යොහන් පවසන්නේ අප දෙවිට ප්‍රේම කරනවා නම් අප, ‘ඔහුගේ ආඥා පිළිපදින’ බවයි. දෙවි දී තිබෙන ආඥා මොනවාද? ඒවා සඳහන් වී තිබෙන්නේ බයිබලයෙයි. අප කළ යුතු දේ කුමක්ද නොකළ යුතු දේ කුමක්ද කියා සමහරක් ආඥාවල කෙළින්ම සඳහන් වී තිබෙනවා. උදාහරණයක් හැටියට බේබදුකම, අනාචාරයේ හැසිරීම, රූප නමස්කාරය, සොරකම් කිරීම හා බොරු කීම වැනි දේවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුයි කියා බයිබලයේ පවසා තිබෙනවා. (1 කොරින්ති 5:11; 6:18; 10:14; එෆීස 4:28; කොලොස්සි 3:9) දෙවිව සතුටු කිරීමට නම් බයිබලයේ කෙළින්ම සඳහන් කර තිබෙන එවැනි ආඥාවලට එකඟව අප ජීවත් විය යුතුයි.

8, 9. කළ යුතු දේ ගැන ආඥාවක් සඳහන් වී නැති කාරණාවලදී දෙවිව සතුටට පත් කරන ආකාරය අපට තීරණය කළ හැක්කේ කෙසේද? උදාහරණයක් දෙන්න.

8 නමුත් අපේ ජීවිතයේ සෑම දෙයක් සම්බන්ධයෙන්ම යෙහෝවා දෙවි පැහැදිලි ආඥා ලබා දී නැහැ. මන්ද නීති රැසක් දී අපේ ජීවිතය සීමා තහංචිවලින් කොටු කර තැබීමට අපේ ප්‍රේමණීය දෙවි කොහෙත්ම කැමති නැහැ. යෙහෝවා දෙවි කැමති වන්නේ අපේ ජීවිතයේ යම් කාරණාවලදී අප හොඳින් සිතා බලා තීරණ ගන්නවා දකින්නයි. එවැනි අවස්ථාවලදී දෙවිව සතුටට පත් කරන තීරණ අපට ගත හැක්කේ කෙසේද? ඒ සඳහා අපට බයිබලයේ තිබෙන තොරතුරු උපකාරවත් වෙනවා. විවිධ දේවල් ගැන දෙවිට හැඟෙන ආකාරය බයිබලය අධ්‍යයනය කරන විට අපට තේරුම්ගත හැකියි. (ගීතාවලිය 97:10 කියවන්න; හිතෝපදේශ 6:16-19) එවිට යෙහෝවා දෙවි සිතන ආකාරයට අපේ සිතුවිලි හැඩගස්වා ගැනීමට අපට හැකි වෙනවා. එය අප ගන්නා තීරණවලට හා අප ක්‍රියා කරන ආකාරයට බලපානවා. අපේ සිතුවිලි ඒ අයුරින් හැඩගස්වා ගන්නා විට බයිබලයේ පැහැදිලිව ආඥා දී නැති අවස්ථාවලදී පවා ‘යෙහෝවා දෙවිගේ කැමැත්ත කුමක්ද කියා වටහාගෙන’ දෙවිව සතුටට පත් කරන ආකාරයෙන් තීරණ ගැනීමට අපට හැකි වෙනවා.—එෆීස 5:17.

9 උදාහරණයකට සැහැසියාව හා අනාචාරය හුවා දක්වන චිත්‍රපටි හෝ ටෙලිනාට්‍යයන් නොබලන්න කියා බයිබලයේ කෙළින්ම පවසා නැහැ. නමුත් යෙහෝවා දෙවිට ඒ දේවල් ගැන හැඟෙන ආකාරය බයිබලයෙන් තේරුම්ගත හැකියි. ගීතාවලිය 11:5හි, “සැහැසියාවට කැමැත්තක් දක්වන අයට ඔහු ද්වේෂ කරන්නේය” කියා පවසනවා. එමෙන්ම හෙබ්‍රෙව් 13:4හි පවසන්නේ, “වේශ්‍යාකමෙහි සහ අනාචාරයෙහි යෙදෙන සියලුදෙනාටම දෙවිගේ විනිශ්චය ලැබේ” කියායි. දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියා තිබෙන එවැනි තොරතුරු ගැන සිතා බැලීමෙන් යෙහෝවා දෙවි කැමති අකමැති දේ කුමක්ද කියා අපට හොඳින් තේරුම්ගත හැකියි. දෙවි පිළිකුල් කරන එවැනි දේවල් නරඹා විනෝදයක් ලැබීම වරදක් නැහැයි කියා බොහෝදෙනෙකු පැවසුවත් දෙවිව සතුටට පත් කිරීමට කැමති අය හැටියට අප, ඒ දේවල් නොබලා සිටීමට තීරණය කරනවා. *

10, 11. අප දෙවිට කීකරු වන්නේ ඇයි? නමුත් ඒ සම්බන්ධයෙන් අප මතක තබාගත යුත්තේ කුමක්ද?

10 අප දෙවිගේ ආඥාවන්ට කීකරු වන්නේ ඒවාට කීකරු නොවන අය අද්දකින අහිතකර ප්‍රතිඵලවලට හෝ දඬුවම්වලට මුහුණ දීමට තිබෙන භය නිසාම නොවෙයි. (ගලාති 6:7) අප එසේ කිරීමට පෙලඹෙන ප්‍රධාන හේතුව වන්නේ දෙවිව සතුටට පත් කිරීමට අපට තිබෙන ආශාවයි. මන්ද අප යෙහෝවා දෙවිට බොහෝ සෙයින් ප්‍රේම කරනවා. එය හරියට දරුවෙකු තම ආදරණීය පියාව සතුටට පත් කිරීමට මහත් ආශාවකින් සිටිනවා හා සමානයි. අපේ ප්‍රේමණීය පියා වන යෙහෝවා දෙවි අප ජීවත් වන ආකාරය ගැන සතුටට පත් වන බව දැන සිටීම එනම් අපට ‘ඔහුගේ අනුමැතිය ලැබී තිබෙන’ බව දැන සිටීම ජීවිතයේ අප ලබන උතුම්ම සතුටයි.—හිතෝපදේශ 12:2; ගීතාවලිය 5:12.

11 යෙහෝවා දෙවිගේ ආඥාවලට අකමැත්තෙන් කීකරු වීමෙන් කිසිම පලක් නැහැ. * අපේ පහසුව ගැන සිතා හෝ යම් කොන්දේසි මත දෙවිගේ ආඥාවලට කීකරු වීමෙන්ද දෙවිව සතුටු කළ නොහැකියි. ඒ නිසා අපට යම් අවාසියක් සිදු වෙයි කියා සිතන අවස්ථාවලදී පවා අප දෙවිට කීකරු වීමට උත්සාහ කරනවා. පාවුල් පැවසූ ලෙස අපේ ආශාව වන්නේ, “හදවතින්ම කීකරු වන අය” වීමටයි. (රෝම 6:17) එමෙන්ම දෙවිගේ ආඥා ගැන අපට තිබෙන හැඟීමත් ගීතිකාකරුගේ මේ හැඟීමට සමානයි. “ඔබේ ආඥාවලට ඇලුම් කරමි. ඒවාට බොහෝ සෙයින් ප්‍රිය වෙමි.” (ගීතාවලිය 119:47) මුළු හදවතින්ම දෙවිගේ සෑම ආඥාවකටම කීකරු විය යුතු බව අප වටහාගෙන තිබෙනවා. (ද්විතීය කතාව 12:32) දශක ගණනාවක් පුරා යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටි නෝවාව ආදර්ශයට ගැනීමට අප උත්සාහ කරන්නේ ඒ නිසයි. බයිබලයේ ඔහු ගැන පවසන්නේ මෙසේයි. “දෙවි අණ කළ එක් දෙයක්වත් අත් නෑර, නෝවා ඒ සියල්ල එලෙසම ඉටු කළේය.” (උත්පත්ති 6:22) අප ගැනත් දෙවි එසේ පවසනවා දැකීම අපේ ආශාවයි.

12. අප කැමැත්තෙන්ම දෙවිට කීකරු වන විට දෙවිට හැඟෙන්නේ කෙසේද?

12 අප මුළු හදවතින්ම දෙවිට කීකරු වන විට ඒ ගැන දෙවිට හැඟෙන්නේ කෙසේද? බයිබලයේ පවසන්නේ අප එසේ කරද්දී දෙවි සතුටු වන බවයි. (හිතෝපදේශ 27:11) ඇත්තෙන්ම මුළු මහත් විශ්වයේම අධිපති වන යෙහෝවා දෙවිගේ සිත අපට එසේ සතුටු කළ හැකිද? ඔව්, අපට එසේ කළ හැකියි. යෙහෝවා දෙවි අපව නිර්මාණය කර ඇති ආකාරයෙන් ඒ බව මනාව පැහැදිලි වෙනවා. ඔහු අපව නිර්මාණය කර තිබෙන්නේ තීරණ ගැනීමේ නිදහස ඇතුවයි. ඉන් අදහස් වන්නේ දෙවිට කීකරු වෙනවාද නැද්ද කියා තීරණය කිරීමට අප එක් එක් කෙනාට නිදහස තිබෙන බවයි. (ද්විතීය කතාව 30:15, 16, 19, 20) අප කැමැත්තෙන්ම දෙවිට කීකරු වීමට තීරණය කරද්දී ඉන් පැහැදිලි වන්නේ අප එසේ කරන්නේ දෙවිට තිබෙන අපේ ගැඹුරු ප්‍රේමය නිසා බවයි. ගැඹුරු ප්‍රේමයෙන් පෙලඹී අපි ඔහුට කීකරු වන විට අපේ පියාණන් සතුටට පත් වන බව නිසැකයි. (හිතෝපදේශ 11:20) අපේ ජීවිතයේ අපට කළ හැකි හොඳම තේරීම එයයි.

“ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නොවේ”

13, 14. “දෙවිගේ ආඥා පිළිපැදීම බරක් නොවේ” කියා පැවසිය හැක්කේ ඇයි? උදාහරණයක් දෙන්න.

13 දෙවිගේ ආඥාවලට කීකරු වීම අමාරු දෙයක්ද? ඒ සම්බන්ධයෙන් යොහන් පවසන දේ සලකා බලන්න. “ඔහුගේ [දෙවිගේ] ආඥා පිළිපැදීම බරක් නොවේ.” * (1 යොහන් 5:3) තවත් බයිබල් පරිවර්තනයක එම පදය සඳහන් වන්නේ මෙසේයි. “ඔහුගේ ආඥා පිළිපැදීමෙන් අප වෙහෙසට පත් වන්නේ නැත.” ඉන් පැහැදිලි වන්නේ අසාධාරණ ලෙස දෙවි අපෙන් දේවල් බලාපොරොත්තු නොවන බවයි. දෙවි ආඥාවන් පනවා තිබෙන්නේ අපේ පව්කාර ස්වභාවය හොඳින් තේරුම්ගෙනයි. එය දැන සිටීම අපට මොන තරම් සහනයක්ද!

14 මේ උදාහරණය සලකා බලන්න. ඔබේ කිට්ටු මිත්‍රයෙක් ගෙවල් මාරු කරනවා. ඔහුගේ බඩු බාහිරාදිය අලුත් නිවසට රැගෙන යෑමට ඔහු ඔබේ උපකාරයත් ඉල්ලනවා. ඔබ එහි ගිය විට අල්මාරියක් වැනි ඔබට තනිව ඉසිලිය නොහැකි දෙයක් උසුලාගෙන යන්න කියා ඔහු ඔබට කියයිද? කොහෙත්ම නැහැ. එවැනි බර දෙයක් තනිව උසුලා ඔබට යම් හානියක් වෙනවා දකින්න ඔබේ මිතුරා කොහෙත්ම සතුටු වන්නේ නැහැ. අපේ ප්‍රේමණීය දෙවි යෙහෝවාත් ඒ මිත්‍රයා හා සමානයි. අපට කළ නොහැකි දේවල් දෙවි කවදාවත් අපෙන් බලාපොරොත්තු වන්නේ නැහැ. මන්ද, “ඔහු අපේ ස්වභාවය හොඳින් දන්නේය. අපව දූවිල්ලෙන් සෑදූ බව ඔහු සිහි කරන්නේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 103:14) ඒ නිසා දෙවි ලබා දී තිබෙන ආඥාවන් අපට කීකරු වීමට නොහැකි තරම් අමාරු ඒවා නොවෙයි.—ද්විතීය කතාව 30:11-14.

15. දෙවි අපට ආඥා දී තිබෙන්නේ අපේම ප්‍රයෝජනයටයි කියා අපට නිසැක විය හැක්කේ ඇයි?

15 ඇත්තෙන්ම දෙවි සෑම ආඥාවක්ම දී තිබෙන්නේ අපේම ප්‍රයෝජනය සඳහායි. (යෙසායා 48:17 කියවන්න.) ඒ සම්බන්ධයෙන් මෝසෙස් ඊශ්‍රායෙල් සෙනඟට පැවසූ මේ දේ සැලකිල්ලට ගන්න. “අපේ යෙහෝවා දෙවි මේ සියලු නීති අපට ලබා දුන්නා. ඒවාට කීකරු වෙමින් යෙහෝවා දෙවිට ගරුබිය දැක්වූවොත් අපිට බොහෝ ආශීර්වාද ලැබෙයි. අපට අපේ ජීවිතය රැකගන්නත් පුළුවන් වෙයි.” (ද්විතීය කතාව 6:24) අපිටත් ඒ විශ්වාසය ඇතුව සිටිය හැකියි. මන්ද දෙවිගේ එකම ආශාව වන්නේ අපට යහපතක් වෙනවා දැකීමයි. එමෙන්ම අපි සදහටම ඒ යහපත භුක්ති විඳිනවා දකින්නත් ඔහු කැමතියි. ඒ නිසයි ඔහු දී තිබෙන සෑම ආඥාවක්ම අපේ යහපත වෙනුවෙන් දී තිබෙන්නේ. ඒ ගැන සැක හිතන්න අපට කිසිම හේතුවක් නැහැ. මන්ද ඔහුට අසීමිත ප්‍රඥාවක් තිබෙන නිසා අපට දිය යුතු හොඳම දෙය කුමක්ද කියා හොඳින්ම දන්නේ ඔහුයි. (රෝම 11:33) එමෙන්ම ප්‍රේමයේ උල්පත යෙහෝවා දෙවියි. (1 යොහන් 4:8) ඉන් අදහස් වන්නේ යෙහෝවා දෙවි කරන කියන සෑම දෙයකටම මුල් වන්නේ ප්‍රේමය බවයි. ඒ අනුව දෙවි දී තිබෙන සෑම ආඥාවක්ම ඔහු දී තිබෙන්නේ අපට තිබෙන ප්‍රේමය නිසයි කියා පැවසිය හැකියි.

16. කීකරු වීම සැමවිටම පහසු දෙයක් නොවුණත් අප අධෛර්යයට පත් නොවිය යුත්තේ ඇයි?

16 නමුත් කීකරු වීම සැමවිටම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. මන්ද දුෂ්ටයා යටතේ තිබෙන මේ නපුරු ලෝකයේ බලපෑමට විරුද්ධව අපට සෑම දිනකම සටන් කිරීමට සිදු වෙනවා. (1 යොහන් 5:19) එමෙන්ම අපේ පව්කාර ස්වභාවයට විරුද්ධවත් අපට සටන් කරන්න සිදු වෙනවා. පව්කාර ස්වභාවය නිසා දෙවිගේ නීති කඩ කිරීමට අප බොහෝවිට නැඹුරු වෙනවා. (රෝම 7:21-25) නමුත් අප අධෛර්යයට පත් නොවිය යුතුයි. මන්ද දෙවි කෙරෙහි අපට තිබෙන ගැඹුරු ප්‍රේමය ඒවා ජය ගැනීමට අපට මහත් ශක්තියක් සපයනවා. යෙහෝවා දෙවිට කීකරු වීමට උත්සාහ දරන අයට ඔහු තම ආශීර්වාද නොමඳව ලබා දෙනවා. එමෙන්ම ඔහු තම බලයත් ඔවුන්ට ලබා දෙනවා. (ක්‍රියා 5:32) දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වන විට දෙවිට කීකරු වීමට උපකාරවත් වන ඉතා අනර්ඝ ගුණාංග රැසක් වර්ධනය කරගැනීමට අපට හැකි වෙනවා. (ගලාති 5:22, 23) අප ඒ සම්බන්ධයෙන් යෙහෝවා දෙවිට කොතරම් ස්තුතිවන්ත විය යුතුද!

17, 18. (අ) අප මේ පොත තුළින් සෝදිසි කර බලන්නේ මොනවාද? එසේ කරන විට අප මතක තබාගත යුතු දේවල් මොනවාද? (ආ) ඊළඟට අප සලකා බලන්නේ කුමක් ගැනද?

17 මේ පොත සකස් කර තිබෙන්නේ දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට අපට උපකාර කිරීම සඳහායි. දෙවි ලබා දී තිබෙන ප්‍රමිති හා ප්‍රතිපත්ති, ඔහු කැමති අකමැති දේ ගැන බයිබලයේ එළිදරව් කර තිබෙන කාරණා අප මේ පොත තුළින් ගැඹුරින් සෝදිසි කර බලන්නේ ඒ නිසයි. මේ පොත සාකච්ඡා කරන විට දෙවි අපෙන් කීකරුකම බලෙන් ලබාගැනීමට උත්සාහ නොකරන බව අප මතක තබාගත යුතුයි. දෙවි කැමති වන්නේ අප කැමැත්තෙන්ම, ඔහුට කීකරු වෙනවා දකින්නයි. එමෙන්ම යෙහෝවා දෙවි බලාපොරොත්තු වන ආකාරයෙන් අප ජීවත් වුණොත් දැනුත් සදහටමත් අපට ආශීර්වාද ලැබෙන බව අපි අමතක නොකරමු. අපේ කීකරුකම, දෙවිට අප කොතරම් ප්‍රේම කරනවාද කියා පෙන්වීමට කදිම අවස්ථාවක් බවත් නිතරම මතකයේ තබාගනිමු.

18 කීකරු වීමට උපකාර කිරීම සඳහා යෙහෝවා දෙවි අපට අනගි තෑග්ගක් ලබා දී තිබෙනවා. එම ත්‍යාගය නම් හෘදය සාක්ෂියයි. නමුත් හෘදය සාක්ෂියෙන් නිවැරදි මඟ පෙන්වීම් ලබාගැනීමට නම් එය හොඳින් පුහුණු කළ යුතුයි. අප ඊළඟ පරිච්ඡේදයේ සලකා බලන්නේ ඒ ගැනයි.

^ 11 ඡේ. භූතයන්ද යම් අවස්ථාවලදී කීකරු වුණා. නමුත් ඔවුන් එසේ කළේ අකමැත්තෙන්. උදාහරණයකට ඔවුන් දැඩි ලෙස බලපෑම් කරමින් සිටි මිනිසුන්ගෙන් පිටතට යන ලෙස යේසුස් ඔවුන්ට අණ කළ විට ඔහු සතු බලතල නිසා ඔහුට කීකරු වීමට ඔවුන්ට සිදු වුණා.—මාක් 1:27; 5:7-13.

^ 13 ඡේ. ඊට වෙනස්ව යේසුස්ගේ කාලයේ සිටි ආගමික නායකයන් බොහෝ නීතිරීති පනවමින් මිනිසුන් පිට මහත් බරක් පැටෙව්වා.—මතෙව් 23:4.