Skip to content

පටුනට යන්න

3වෙනි පරිච්ඡේදය

දෙවිගේ මිතුරන් අපගෙත් මිතුරන් කරගනිමු

දෙවිගේ මිතුරන් අපගෙත් මිතුරන් කරගනිමු

“ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය.”—හිතෝපදේශ 13:20.

1-3. (අ) අප ඇසුරු කරන අය සම්බන්ධයෙන් බයිබලයේ පැහැදිලිව පවසන්නේ කුමක්ද? (ආ) හොඳ මිතුරන් තෝරාගත හැක්කේ කෙසේද?

පුළුන් ටිකක් දියරයකට දැම්මොත් ඉක්මනින්ම ඒ දියරය පුළුන්වලට උරාගන්නවා. අපත් ඒ හා සමානයි. අප අවට සිටින අයගේ හා අප ඇසුරු කරන අයගේ ගතිපැවතුම් අප දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේ ජීවිතවලට ඇතුල් වෙනවා.

2 බයිබලයේ පවසන මේ දෙයින්ද එය සත්‍යයක් බව පැහැදිලියි. “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය. නමුත් අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි.” (හිතෝපදේශ 13:20) ඉඳහිට හමු වන කෙනෙක් අප ඇසුරු කරන කෙනෙකු කියා පැවසිය නොහැකියි. සාමාන්‍යයෙන් ඇසුරු කරන කෙනෙකු කියන්නේ අප නිතර කාලය ගත කරන, අප සමඟ කිට්ටු බැඳීමක් තිබෙන කෙනෙකුටයි. ඒ නිසා එවැනි කෙනෙකුගේ ආශ්‍රය අපේ හොඳට හෝ නරකට බලපෑ හැකියි.

3 නමුත් දෙවිගේ ප්‍රේමය සැමදා ලැබීමට නම් අප ඇසුරු කළ යුත්තේ අපේ ජීවිතයට හොඳ බලපෑමක් ඇති කිරීමට හැකි අයවයි. එසේනම් අප අපේ මිතුරන් ලෙස තෝරාගත යුත්තේ දෙවි ප්‍රිය කරන අයවයි. ඇත්තෙන්ම අපට සිටිය හැකි හොඳම මිතුරන් වන්නේ ඔවුනුයි. දෙවි ප්‍රිය කරන්නේ මොන වගේ අයටද? ඊට පිළිතුරු දැනගැනීමෙන් හොඳ මිතුරන් තෝරාගැනීමට අපටත් හැකියි.

දෙවි ප්‍රිය කරන අය

4. යෙහෝවා දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීම උතුම් වරප්‍රසාදයක් ලෙස සැලකිය යුත්තේ ඇයි? දෙවි ආබ්‍රහම්ව, “මාගේ මිතුරා” ලෙස හැඳින්වූයේ ඇයි?

4 මුළු විශ්වයේම අධිපති දෙවි වන යෙහෝවා සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීම මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද! නමුත් දෙවි සෑම කෙනෙකුවම තම මිතුරන් ලෙස පිළිගන්නේ නැහැ. එසේනම් ඔහු තම මිතුරන් ලෙස තෝරාගන්නේ මොන වගේ අයවද? මුළු හදවතින්ම ඔහු කෙරෙහි විශ්වාසය තබන අයවයි. උදාහරණයකට ආබ්‍රහම් ගැන සිතන්න. ඔහු යෙහෝවා දෙවි කෙරෙහි මහත් විශ්වාසයක් පෙන්වූ කෙනෙක්. එක් අවස්ථාවකදී දෙවි ඔහුට ඉතා අසීරු දෙයක් එනම්, ඔහුගේ පුත්‍රයාව පූජාවක් ලෙස ඔප්පු කරන්න කියා පැවසුවා. ආබ්‍රහම් ඒ දේ කිරීමට කිසි අකමැත්තක් දැක්වූයේ නැහැ. බයිබලයේ පවසන්නේ, “ඔහු ඊසාක්ව පූජා කිරීමට වුවත් පසුබට වූයේ නැත” කියායි. මන්ද ‘ඊසාක්ව මරණයෙන් පවා නැඟිටුවන්න දෙවිට හැකි බව ඔහු තේරුම්ගෙන සිටියා.’ * (හෙබ්‍රෙව් 11:17-19) ආබ්‍රහම්ට දෙවි කෙරෙහි තිබූ මහත් විශ්වාසය නිසාත් ඔහු දෙවිට කැමැත්තෙන්ම කීකරු වූ නිසාත් දෙවි ඔහුට බොහෝ සෙයින් ප්‍රේම කළා. “මාගේ මිතුරා” ලෙස දෙවි ඔහුව හැඳින්වූයේ ඒ නිසයි.—යෙසායා 41:8; යාකොබ් 2:21-23.

5. දෙවිට විශ්වාසවන්තව සිටින අය ගැන ඔහුට හැඟෙන්නේ කෙසේද?

5 ජීවිතයේ වැදගත්ම දෙය දෙවිට විශ්වාසවන්තව සිටීමයි කියා ජීවත් වන ආකාරයෙන් කෙනෙකු පෙන්වනවා නම් එවැනි කෙනෙකුට යෙහෝවා දෙවි මහත් සේ ප්‍රේම කරනවා. (2 සාමුවෙල් 22:26 කියවන්න.) පළමුවෙනි පරිච්ඡේදයෙන් අප දැනගත් ලෙස කෙනෙකු කැමැත්තෙන්ම දෙවිට කීකරු වන විට දෙවි ඒ ගැන සතුටු වෙනවා. “අවංක අයට ඔහු ළංව සිටින්නේය” කියා හිතෝපදේශ 3:32හි පවසන්නේ ඒ නිසයි. එමෙන්ම කීකරුකම පෙන්වන අයට දෙවිගේ “ශුද්ධ කූඩාරමට” ඇතුල් වීම සඳහා ඔහුගෙන් විශේෂ ආරාධනයක් ලැබෙනවා. ඉන් අදහස් කරන්නේ යෙහෝවා දෙවිට නමස්කාර කිරීමට හා යාච්ඤාව මාර්ගයෙන් ඔහු සමඟ කතා කිරීමට ඔවුන්ට අවස්ථාව ලැබෙන බවයි.—ගීතාවලිය 15:1-5.

6. යේසුස්ට ප්‍රේම කරන බව පෙන්විය හැක්කේ කෙසේද? යේසුස්ට ප්‍රේම කරන අය ගැන දෙවිට හැඟෙන්නේ කෙසේද?

6 තම එකම පුත්‍රයා වන යේසුස්ට ප්‍රේම කරන අයටත් යෙහෝවා දෙවි බොහෝ සෙයින් ප්‍රේම කරනවා. යේසුස්ම පැවසුවේ, “කෙනෙක් මට ප්‍රේම කරනවා නම් ඔහු මා පවසන දේ පිළිපදිනවා. මගේ පියාණන්ද ඔහුට ප්‍රේම කරන අතර අපි දෙදෙනා ඔහු ළඟට ඇවිත් ඔහු සමඟ වාසය කරනවා” කියායි. (යොහන් 14:23) එම පදයෙන් අපට තවත් දෙයක් පැහැදිලි වෙනවා. එනම් යේසුස්ට ප්‍රේම කරනවා කියා කෙනෙකුට පෙන්විය හැක්කේ යේසුස් පැවසූ දේවල් පිළිපැදීමෙනුයි. ශුභාරංචිය දේශනා කිරීම හා යේසුස්ගේ ගෝලයෙකු වීමට මිනිසුන්ට උපකාර කිරීම ඊට ඇතුළත් වෙනවා. (මතෙව් 28:19, 20; යොහන් 14:15, 21) යේසුස්ට ප්‍රේම කරන බව පෙන්විය හැකි තවත් ආකාරයක් වන්නේ ඔහුගේ, ‘පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කිරීමයි.’ (1 පේතෘස් 2:21) අප සියලුදෙනාම පව්කාර ස්වභාවය උරුම කරගත් අය නිසා යේසුස්ව සියයට සියයක්ම අනුගමනය කිරීමට නොහැකියි. නමුත් කතාවෙන් හා හැසිරීමෙන් යේසුස්ව අනුගමනය කිරීමට කෙනෙකු උපරිම උත්සාහයක් දරනවා නම් ඔහු යේසුස්ට ප්‍රේම කරනවා කියා පැවසිය හැකියි. එවැනි කෙනෙකුට යෙහෝවා දෙවි ප්‍රිය කරනවා.

7. දෙවි ප්‍රිය කරන අයව ඇසුරු කිරීම ඥානවන්ත දෙයක් වන්නේ ඇයි?

7 ඒ අනුව දෙවි තම මිතුරන් ලෙස තෝරාගන්නේ ඔහු කෙරෙහි විශ්වාසය තබන, ඔහුට කීකරු වන, ඔහුට විශ්වාසවන්තව සිටින, යේසුස් කෙරෙහි තිබෙන ප්‍රේමය නිසා ශුභාරංචිය උද්‍යෝගයෙන් දේශනා කරන හා ඔහුව කිට්ටුවෙන් අනුගමනය කරන අයවයි. ඒ නිසා අප අපෙන්ම මෙසේ අසාගැනීම ඉතා වැදගත්. ‘මගේ මිතුරන් ලෙස මා තෝරාගෙන තිබෙන්නේ දෙවි ප්‍රිය කරන එවැනි අයවද?’ එවැනි අයව ඇසුරු කිරීම මොන තරම් ඥානවන්ත දෙයක්ද! මන්ද ඔවුන්ගේ ඇසුර නිසා දෙවි සතුටට පත් වන අයුරින් දිගටම ජීවත් වීමට අප තුළත් පෙලඹීමක් ඇති වෙනවා.—“ හොඳ මිතුරෙක් කියන්නේ කාටද?” යන කොටුව බලන්න.

බයිබලයේ සඳහන් ආදර්ශ

8. (අ) නයොමි හා රූත්, (ආ) හෙබ්‍රෙව් ජාතික තරුණයන් තිදෙනා, (ඇ) පාවුල් හා තිමෝති යන අය අතර තිබූ මිත්‍රත්වයෙන් ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

8 හොඳ මිතුරන්ව ඇසුරු කිරීමෙන් ප්‍රයෝජන ලැබූ බොහෝ අය ගැන බයිබලයේ සඳහන් වෙනවා. උදාහරණයකට නයොමි හා රූත්, බැබිලෝනියට ගෙන ගිය හෙබ්‍රෙව් ජාතික තරුණයන් තිදෙනා, පාවුල් හා තිමෝති යන අයව සඳහන් කළ හැකියි. (රූත් 1:16; දානියෙල් 3:17, 18; 1 කොරින්ති 4:17; ෆිලිප්පි 2:20-22) තවත් කැපීපෙනෙන මිතුරන් දෙදෙනෙක් නම් දාවිත් හා යොනාතාන්.

9, 10. දාවිත් හා යොනාතාන් කිට්ටු මිතුරන් වීමට හේතු වුණේ මොනවාද?

9 දාවිත් ගොලියත්ව මරා දැමූ පසු, “යොනාතාන්ගේ සිත දාවිත් වෙත ඇදී ගියේය. එදා පටන් ඔහු තම පණට මෙන් දාවිත්ට ආදරේ කිරීමට පටන්ගත්තේය” කියා බයිබලයේ වාර්තා වෙනවා. එතැන් සිට පටන්ගත් ඔවුන් දෙදෙනාගේ කිට්ටු මිත්‍රත්වයට ඔවුන් අතර තිබූ විශාල වයස් පරතරය බාධාවක් වුණේ නැහැ. (1 සාමුවෙල් 18:1) යොනාතාන්ගේ මරණය දක්වාම ඔවුන් කිට්ටු මිතුරන්ව සිටියා. * (2 සාමුවෙල් 1:26) එවැනි කිට්ටු මිත්‍රත්වයක් ඔවුන් අතර ඇති වීමට හේතු වුණේ මොනවාද?

10 දාවිත් හා යොනාතාන් හොඳ මිතුරන් වුණේ ඔවුන් දෙදෙනාටම යෙහෝවා දෙවි කෙරෙහි මහත් ප්‍රේමයක් තිබූ නිසයි. එමෙන්ම ඔවුන් දෙදෙනාගේම ආශාව වුණේ දෙවිට විශ්වාසවන්තව සිටීමයි. දාවිත් හා යොනාතාන් ඔවුන් එකිනෙකා අතර තිබූ යහපත් ගුණාංග අගය කළා. තරුණයෙකුව සිටි දාවිත් යෙහෝවා දෙවි වෙනුවෙන් සටන් කිරීමට පෙන්වූ නිර්භීතකම හා උද්‍යෝගය යොනාතාන් බොහෝ සෙයින් අගය කළා. එමෙන්ම දාවිත්ද වැඩිහිටියෙකු වූ යොනාතාන්ට ගැඹුරු ගෞරවයක් දැක්වූවා. මන්ද යොනාතාන් තමා ගැන සිතනවා වෙනුවට දෙවි අරමුණු කළ දේට මුල් තැන දෙමින් ඉතා අසීරු අවස්ථාවලදී පවා දාවිත්ට පූර්ණ සහයෝගය ලබා දුන්නා. උදාහරණයකට යොනාතාන්ගේ පියා වූ සාවුල් රජු දාවිත්ව මරන්න සෙවූ කාලයේදී සිදු වූ දෙයක් සලකා බලමු. සාවුල් රජුගෙන් බේරීමට දාවිත් පාළුකරයට ගොස් සැඟවී සිටි ඒ කාලයේදී ඔහු සිටියේ මහත් කලකිරීමකින්. ඒ නිසා යොනාතාන් තම ජීවිතය පවා පරදුවට තබා, දාවිත්ව හමු වීමට ගිය බව බයිබලයේ සඳහන් වෙනවා. යොනාතාන් එසේ කළේ ‘දාවිත්ව දිරිගන්වමින් දෙවි කෙරෙහි ඔහුට තිබූ විශ්වාසය ශක්තිමත් කිරීමටයි.’ (1 සාමුවෙල් 23:16) ඒ දුෂ්කර අවස්ථාවේදී තම මිතුරාගෙන් දාවිත්ට ලැබුණේ මොන තරම් දිරිගැන්වීමක්ද! *

11. දාවිත් හා යොනාතාන් අතර තිබූ කිට්ටු මිත්‍රත්වයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

11 දාවිත් හා යොනාතාන් අතර තිබූ කිට්ටු මිත්‍රත්වයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? අප මිතුරන් ලෙස තෝරාගන්නා අයට යෙහෝවා දෙවි කෙරෙහි ප්‍රේමයක් තිබීම ඉතා වැදගත්. මන්ද අපේ විශ්වාසයන්, ප්‍රමිති හා දෙවිට විශ්වාසවන්තව සිටීමට අප දරන උත්සාහයන් එක හා සමාන වන විට අපට විවෘතව අදහස් හුවමාරු කිරීමටත් එකිනෙකාව දිරිගැන්වීමටත් ශක්තිමත් කිරීමටත් හැකි වෙනවා. (රෝම 1:11, 12 කියවන්න.) ඒ නිසා අපට සිටිය හැකි හොඳම මිතුරන් වන්නේ යෙහෝවා දෙවිට ළැදිව ක්‍රියා කරන අයයි. නමුත් රැස්වීම්වලට පැමිණෙන සෑම කෙනෙකුම හොඳ මිතුරන් කියා ඉන් අදහස් කරනවාද? නැහැ. එසේ පැවසීමට හේතු දැන් අපි සලකා බලමු.

හොඳ මිතුරන්ව තෝරාගත හැක්කේ කෙසේද?

12, 13. (අ) සභාවේ සිටින අය අතරින් පවා මිතුරන් තෝරාගැනීමේදී අප කල්පනාකාරී විය යුත්තේ ඇයි? (ආ) පළමුවෙනි සියවසේ සභාවල දක්නට තිබූ සමහරක් දේවල් මොනවාද? ඒ නිසා පාවුල් දුන් අවවාද මොනවාද?

12 සාමාන්‍යයෙන් ගසක තිබෙන පලතුරු සියල්ල එකම අවස්ථාවේ ඉදෙන්නේ නැහැ. සමහරක් ඒවා ඉදෙන්න අනික් ඒවාට වඩා යම් කලක් ගත වෙනවා. ඒ හා සමානව ක්‍රිස්තියානි සභාවේ සිටින සෑම සාමාජිකයෙකුම එක සමාන ආකාරයට දෙවි ප්‍රිය කරන ගුණාංග විදහාපෙන්වන්නේ නැහැ. සමහරක් අය ඒ ගුණාංග හොඳින් විදහාපෙන්වන අතර තවත් සමහරක් අයට ඒ ගුණාංග හොඳින් විදහාපෙන්වීමට යම් කාලයක් ගත විය හැකියි. (හෙබ්‍රෙව් 5:12–6:3) ඒ නිසා මිතුරන් තෝරාගැනීමේදී අප සැලකිලිමත් විය යුතුයි. මන්ද අපේ ආශාව වන්නේ යෙහෝවා දෙවි සමඟ අපට තිබෙන මිත්‍රත්වය තවත් ගොඩනැංවීමට උපකාරවත් වන මිතුරන් කිට්ටුවෙන් ඇසුරු කිරීමයි. නමුත් දෙවි ප්‍රිය කරන ගුණාංග තවමත් හොඳින් විදහා නොපෙන්වන අය සමඟ අප ඉවසිලිවන්තව කටයුතු කරමින් දිගටම ඔවුන්ට ප්‍රේමය පෙන්විය යුතුයි. මන්ද ඔවුන්ද යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ගොඩනඟා ගෙන දෙවි ප්‍රිය කරන ගුණාංග හොඳින් විදහාපෙන්වනවා දකින්න අප කැමතියි.—රෝම 14:1; 15:1.

13 ඇතැම් අවස්ථාවලදී මිතුරන් ලෙස අප ඇසුරු කරන අය ගැන අප කල්පනාකාරී විය යුතුයි. මන්ද සමහරවිට ඇතැම් අය යම් නුසුදුසු ක්‍රියාවල නියැලෙනවා විය හැකියි. තවත් සමහරක් අය සභාවේ සිදු වන දේවල් ගැන නිතරම මැසිවිලි නඟනවා විය හැකියි. ඒ හා සමාන දේවල් පළමුවෙනි සියවසේ තිබූ සභාවලත් දක්නට තිබුණා. උදාහරණයකට කොරින්ති සභාවේ සිටි බොහෝදෙනෙකු දෙවිට විශ්වාසවන්තව සේවය කළත් කිහිපදෙනෙක් නුසුදුසු ක්‍රියාවල නියැලුණා. ඇතැම් ක්‍රිස්තියානි ඉගැන්වීම්වලට කීකරු නොවූ එවැනි අයව ආශ්‍රය කිරීම ගැන පාවුල් මෙසේ පැවසුවා. “මුළා නොවන්න. නරක ආශ්‍රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වී යයි.” (1 කොරින්ති 15:12, 33) තවත් අවස්ථාවක පාවුල් තිමෝතිට පැවසුවේ සභාවේ සිටින සෑම කෙනෙක්ම ප්‍රතිපත්තිගරුක ජීවිත ගත නොකරන බවයි. ඒ නිසා එවැනි අයව කිට්ටුවෙන් ඇසුරු නොකරන්න කියා ඔහු තිමෝතිට අවවාද කළා.—2 තිමෝති 2:20-22 කියවන්න.

14. පාවුල් දුන් අවවාදවලින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

14 පාවුල් දුන් අවවාදවලින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? අපට නරක බලපෑමක් ඇති කළ හැකි අයව කිට්ටුවෙන් ඇසුරු කිරීමෙන් අප වැළකී සිටිය යුතුයි. යෙහෝවා දෙවිට නමස්කාර නොකරන අය පමණක් නොව සභාව තුළ සිටින සමහරක් අය පවා ඊට ඇතුළත් විය හැකියි. (2 තෙසලෝනික 3:6, 7, 14) යෙහෝවා දෙවි සමඟ අපට තිබෙන මිත්‍රත්වය රැකගැනීම අපේ ජීවිතයේ වැදගත්ම දෙය ලෙස අප සැලකිය යුතුයි. නරක ගතිපැවතුම් තිබෙන අයව අප කිට්ටුවෙන් ඇසුරු කළොත් ඒ ගතිපැවතුම් අපේ ජීවිතවලටත් ඇතුල් වෙනවා. අප මුලින්ම සලකා බැලූ උදාහරණය ගැන නැවත සිතන්න. ඒ පුළුන් ටික අප විනාකිරිවල දැමුවොත් එය උරාගන්නේ විනාකිරි මිස වෙන කිසිවක් නොවෙයි. ඒ නිසා නරක ගතිපැවතුම් තිබෙන අයව ඇසුරු කිරීමෙන් අපේ ජීවිතවලට හොඳ බලපෑමක් ඇති වෙයි කියා කොහෙත්ම සිතිය නොහැකියි. යෙහෝවා දෙවි සමඟ අපට තිබෙන මිත්‍රත්වය රැකගැනීමට එය ඇත්තෙන්ම බාධාවක්.—1 කොරින්ති 5:6.

දෙවිට නමස්කාර කරන අය අතරින් හොඳ මිතුරන් සොයාගැනීමට ඔබට හැකියි

15. සභාව තුළ හොඳ මිතුරන් සොයාගැනීමට අප කළ යුත්තේ මොනවාද?

15 යෙහෝවා දෙවිට නමස්කාර කරන අය අතර හොඳ මිතුරන් ලෙස ඇසුරු කළ හැකි අයත් සිටිනවා. එය ඇත්තෙන්ම සතුටට කරුණක්. (ගීතාවලිය 133:1) නමුත් දැන් මතු වන ප්‍රශ්නය නම් හොඳ මිතුරන්ව අප සොයාගන්නේ කෙසේද යන්නයි. දෙවිව සතුටට පත් කිරීමට අප උත්සාහ කරන විට ඒ හා සමාන උත්සාහයන් දරන අය නිරායාසයෙන්ම අපව ඇසුරු කිරීමට පෙලඹෙනවා. නමුත් හොඳ මිතුරන් සොයාගැනීමට අපේ පැත්තෙනුත් අප යම් පියවර ගත යුතුයි. (“ හොඳ මිතුරන් ඇති කරගැනීමට අප කළ දේ” යන කොටුව බලන්න.) ඒ සඳහා දෙවි ප්‍රිය කරන ගුණාංග විදහාපෙන්වන අයව හඳුනාගැනීමට උත්සාහ දරන්න. එවැනි අය සමඟ මිත්‍රත්වයක් ගොඩනඟා ගැනීමට ඔවුන්ගේ ජාතිය හෝ පසුබිම බාධාවක් කර නොගන්න. (2 කොරින්ති 6:13; 1 පේතෘස් 2:17 කියවන්න.) එමෙන්ම මිත්‍රත්වයක් ඇති කරගන්නා විට ඔබේම වයසේ අයට පමණක් සීමා නොවන්න. යොනාතාන් හා දාවිත් ඊට හොඳ උදාහරණයක්. ඇත්තෙන්ම අපට වඩා වයසින් වැඩි අයටත් අපේ කිට්ටු මිතුරන් විය හැකියි. ඔවුන්ගේ අද්දැකීම්වලින් අපට ඉගෙනගැනීමට මොන තරම් දේවල් තිබෙනවාද!

ප්‍රශ්න ගැටලු ඇති වන විට

16, 17. සහෝදරයෙකු හෝ සහෝදරියක කරන කියන දෙයක් නිසා අපේ සිත රිදුණත් අප සභාව අත්හැර නොයා යුත්තේ ඇයි?

16 සභාවේ සිටින අය විවිධාකාර නිසා ඇතැම් අවස්ථාවලදී යම් ප්‍රශ්න ගැටලු ඇති විය හැකි බව අප මතක තබාගත යුතුයි. සමහරවිට සහෝදරයෙකු හෝ සහෝදරියක කරන කියන දෙයක් නිසා අපේ සිත රිදෙන්න පුළුවන්. (හිතෝපදේශ 12:18) යම් මතභේදයක් හෝ වරදවා වටහාගැනීමක් නිසාත් අප එකිනෙකා අතරේ ගැටලු ඇති විය හැකියි. එමෙන්ම අප එකිනෙකාගේ පෞද්ගලිකත්වයන් වෙනස් නිසා අප කරන දෙයක් තවත් කෙනෙකුට නුරුස්සනවා විය හැකියි. එසේත් නැත්නම් තවත් කෙනෙකු කරන දෙයක් අපට නුරුස්සනවා විය හැකියි. එවැනි අවස්ථාවලදී අප ක්‍රියා කරන්නේ කෙසේද? අප අමනාප වී සභාවෙන් ඈත් වෙනවාද? යෙහෝවා දෙවි කෙරෙහිත් ඔහුගේ මිතුරන් කෙරෙහිත් අපට සැබෑ ප්‍රේමයක් තිබෙනවා නම් අප කවදාවත් එවැනි දෙයක් කරන්නේ නැහැ.

17 යෙහෝවා දෙවි අපේ නිර්මාතෘ. අපට ජීවනය ලබා දුන්නෙත් ඔහුයි. ඒ නිසා අප සැමදාටම ඔහුට අපේ භක්තිය දිය යුතුයි. (එළිදරව් 4:11) එමෙන්ම ක්‍රිස්තියානි සභාව පිහිටුවා තිබෙන්නේ ඔහුයි. ඒ නිසා සභාවේ සැලැස්මට දෙවිගේ අනුමැතිය තිබෙනවා. එම සැලැස්මට හා සභාව නියෝජනය කරන අයට අපේ පූර්ණ සහයෝගය ලබා දීමෙන් අප දෙවිට විශ්වාසවන්තව සිටින බව පෙන්විය හැකියි. (හෙබ්‍රෙව් 13:17) සහෝදරයෙකු හෝ සහෝදරියක කරන කියන දෙයක් නිසා යම් ගැටලුවක් ඇති වුණත් ඔවුන්ගෙන් පළිගැනීමක් ලෙස අප සභාව අත්හැර නොයන්නේ ඒ නිසයි. අප එසේ කළොත් ඉන් පෙන්වන්නේ අප අමනාප වී සිටින්නේ යෙහෝවා දෙවි සමඟ බවයි. ඔහු අපට කිසි වරදක් කර නැති බව අප අමතක නොකළ යුතුයි. ඒ නිසා යෙහෝවා දෙවිට ප්‍රේම කරන අපි, කිසිදාක ඔහුවත් ඔහුගේ සෙනඟවත් අත් නොහරිමු.—ගීතාවලිය 119:165 කියවන්න.

18. (අ) සභාවේ සාමය රැකගැනීමට අපට කළ හැක්කේ කුමක්ද? (ආ) සමාව දීමට හොඳ හේතුවක් තිබෙන විට එසේ කිරීමෙන් අප අද්දකින ආශීර්වාද මොනවාද?

18 පව්කාර ස්වභාවය උරුම කරගෙන සිටින අප, කිසිදාක වරදක් නොකරයි කියා යෙහෝවා දෙවි බලාපොරොත්තු වන්නේ නැහැ. එසේනම් අපේ සහෝදරයන්ගෙන් අප එවැනි දෙයක් බලාපොරොත්තු වීම සාධාරණද? ඒ නිසා ප්‍රශ්න ගැටලු මතු වුණත් සභාව තුළ සාමය පවත්වාගැනීමට අප මහත් උත්සාහයක් දැරිය යුතුයි. එසේ කිරීමට අපට උපකාර කරන්නේ අපේ සහෝදරයන් කෙරෙහි අපට තිබෙන ගැඹුරු ප්‍රේමයයි. ඒ ප්‍රේමය, අප සියලුදෙනාම පව්කාරයන් බවත් අප සියලුදෙනා අතින් වැරදි සිදු වන බවත් අපට සිහිගන්වනවා. අපේ සහෝදරයන් අතින් සිදු වන සුළු සුළු වැරදි අප නොසලකාහරින්නේ ඒ නිසයි. (හිතෝපදේශ 17:9; 1 පේතෘස් 4:8) “මුළු හදවතින්ම සමාව දෙන්න” අප පෙලඹෙන්නෙත් ඒ නිසයි. (කොලොස්සි 3:13) නමුත් එසේ සමාව දීම කියන තරම් ලෙහෙසි දෙයක් නොවෙයි. ගැටලුව ඇති වූ තැනැත්තා සමඟ අප දිගින් දිගටම අමනාප වී සිටිනවා නම් අපට කවදාවත් සිදු වූ දේ අමතක කළ නොහැකියි. අමනාපයෙන් කටයුතු කිරීමෙන් එම තැනැත්තාට දඬුවමක් දෙනවා කියා අපි සිතනවා විය හැකියි. නමුත් ඇත්තටම අමනාපය සිතේ තබාගැනීමෙන් හානියක් සිදු වන්නේ අපටමයි. සමාව දීමට හොඳ හේතුවක් තිබෙන විට අප මුළු හදවතින්ම සමාව දීමට තීරණය කළොත් අපට බොහෝ ආශීර්වාද අද්දැකිය හැකියි. (ලූක් 17:3, 4) අපේ මනසට ලැබෙන සහනයත් සභාවේ සාමය රැකගැනීමට දායක වීමට හැකි වීමත් ඇත්තෙන්ම මොන තරම් ආශීර්වාදයක්ද! ඊටත් වඩා වැදගත්ම දේ නම් යෙහෝවා දෙවි සමඟ අපට තිබෙන මිත්‍රත්වය තව තවත් ශක්තිමත් වීමයි.—මතෙව් 6:14, 15; රෝම 14:19.

අප ඇසුරු නොකළ යුතු අය

19. කෙනෙකු සමඟ ඇසුරු කිරීම නතර කිරීමට සිදු වන්නේ මොන වගේ අවස්ථාවලදීද?

19 ඇතැම් අවස්ථාවලදී සභාවේ සාමාජිකයෙකුව සිටි කෙනෙකු සමඟ ඇසුරු කිරීම නතර කිරීමට අපට සිදු වෙනවා. එසේ කිරීමට සිදු වන්නේ කෙනෙකු දෙවිගේ නීතිවලට විරුද්ධව ක්‍රියා කර ඒ ගැන කිසි පසුතැවිල්ලක් නොපෙන්වන නිසා ඔහුව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ විටයි. එමෙන්ම කෙනෙකු සත්‍ය ඉගැන්වීම්වලට පිටුපාමින් බොරු දේවල් ඉගැන්වීමට පටන්ගත්තොත් හෝ යම් කෙනෙකු සිය කැමැත්තෙන්ම සභා සාමාජිකත්වයෙන් ඉවත් වීමට තීරණය කළොත් අප එවැනි අය සමඟත් ඇසුරු කිරීම නතර කරනවා. මන්ද බයිබලයේ ඉතා පැහැදිලිව පවසන්නේ, ‘එවැනි අය සමඟ ආශ්‍රය නොකළ යුතු’ බවයි. * (1 කොරින්ති 5:11-13 කියවන්න; 2 යොහන් 9-11) සභා සාමාජිකත්වයෙන් එසේ ඉවත් කළ හෝ ඉවත් වූ කෙනෙකු අපේ මිතුරෙකු හෝ නෑදෑයෙකු හෝ පවුලේ සාමාජිකයෙකු නම් එම උපදෙස පිළිපැදීම පහසු දෙයක් නොවෙයි. නමුත් එවැනි අවස්ථාවකදී වුණත් අප උත්සාහ කළ යුත්තේ යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ගරු කරමින් ඔහුට විශ්වාසවන්තව සිටීම නොවේද? මන්ද යෙහෝවා දෙවි තමාට කීකරු වෙමින් විශ්වාසවන්තව සිටින අයට බොහෝ සෙයින් ප්‍රේම කරනවා.

20, 21. (අ) පසුතැවිලි නොවන කෙනෙකුව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන ලෙස දෙවි දී තිබෙන මඟ පෙන්වීම ප්‍රේමණීය මඟ පෙන්වීමක් වන්නේ ඇයි? (ආ) මිතුරන්ව තෝරාගැනීමේදී අප ඥානවන්ත විය යුත්තේ ඇයි?

20 කිසි පසුතැවිල්ලක් නොපෙන්වන පව්කාරයෙකුව සභාවෙන් ඉවත් කිරීමෙන් යෙහෝවා දෙවිටත් ඔහුගේ ශුද්ධ ප්‍රමිතිවලටත් ගැඹුරු ගෞරවයක් දක්වන බව පෙන්නුම් කළ හැකියි. (1 පේතෘස් 1:15, 16) එමෙන්ම එවැනි කෙනෙකුව සභාවෙන් ඉවත් කිරීම නිසා නපුරු බලපෑම්වලින් සභාවේ සෙසු සාමාජිකයන් ආරක්ෂා වෙනවා. දුෂ්ට බලපෑම්වලින් සභාව නිදහස් බව දැන සිටීම සභාවේ සාමාජිකයන්ට මොන තරම් සහනයක්ද! ඔවුන්ට බියක් සැකක් නැතුව දෙවිට තම සේවය ඉටු කිරීමට හැකි වෙනවා. (1 කොරින්ති 5:7; හෙබ්‍රෙව් 12:15, 16) හික්මවීමක් ලැබීම වරද කළ තැනැත්තාටත් ප්‍රයෝජනවත්. තමා වරදක් කළ බවත් යෙහෝවා දෙවි සමඟ තිබූ මිත්‍රත්වය නැවත ඇති කරගැනීමට නම් තමන් යම් පියවර ගත යුතු බවත් ලැබුණු හික්මවීම නිසා ඇතැම්විට ඔහුට අවබෝධ විය හැකියි. (හෙබ්‍රෙව් 12:11) ඒ අනුව පසුතැවිල්ලක් නොපෙන්වන පව්කාරයෙකුව සභාවෙන් ඉවත් කරන ලෙස යෙහෝවා දෙවි දී තිබෙන මඟ පෙන්වීම ඇත්තෙන්ම ප්‍රේමණීය මඟ පෙන්වීමක් කියා පැවසිය හැකියි.

21 අප ඇසුරු කරන අය අපට ප්‍රබල බලපෑමක් ඇති කරන බව අපි කිසිවිටකත් අමතක නොකරමු. ඒ නිසා කිට්ටු මිතුරන්ව තෝරාගැනීමේදී ඥානවන්තව කටයුතු කිරීම කොතරම් වැදගත්ද! යෙහෝවා දෙවිට ප්‍රිය අයව අපි අපේ මිතුරන් කරගනිමු. එය අපට කළ හැකි හොඳම තේරීමයි. එවැනි අයගේ ඇසුර දිගටම යෙහෝවා දෙවිව සතුටට පත් කරන අයුරින් ජීවත් වීමට අපට උපකාරවත් වන බව නිසැකයි.

^ 4 ඡේ. ආබ්‍රහම් තම පුත්‍රයා වන ඊසාක්ව පූජාවක් ලෙස ඔප්පු කිරීමට සූදානම් වූ විට එසේ නොකරන්න කියා දෙවි ඔහුට පැවසූ නිසා ඊසාක්ව පූජා කිරීමට අවශ්‍ය වුණේ නැහැ. ඒ නිසා ඔහු ඊසාක් වෙනුවට බැටළුවෙකුව දෙවිට ඔප්පු කළා. (උත්පත්ති 22:1, 2, 9-13) ඊසාක්ව පූජාවක් ලෙස ඔප්පු කරන්න කියා දෙවි ආබ්‍රහම්ට පැවසුවේ අනාගතයේ යම් දවසක තම එකම පුත්‍රයාවත් පූජාවක් ලෙස ඔප්පු කරන බව පෙන්වීමටයි.—යොහන් 3:16.

^ 9 ඡේ. දාවිත් ගොලියත්ව මරා දැමූ අවස්ථාව ගැන බයිබලයේ සඳහන් වාර්තාවෙහි දාවිත්ව හඳුන්වා තිබෙන්නේ, “පොඩි කොල්ලෙක්” ලෙසයි. යොනාතාන් මිය යන විට ඔහුට වයස අවුරුදු 60ක් වූ අතර දාවිත්ට වයස අවුරුදු 30ක් පමණ වුණා. (1 සාමුවෙල් 17:33; 31:2; 2 සාමුවෙල් 5:4) ඉන් පැහැදිලි වන්නේ ඔවුන් දෙදෙනා අතර අවුරුදු 30ක පමණ වයස් පරතරයක් තිබූ බවයි.

^ 10 ඡේ. දාවිත්ව දිරිගැන්වීම සඳහා යොනාතාන් කාරණා පහක් ගැන සඳහන් කළා. (1) භය නොවන්න කියාත් (2) සාවුල් රජු කිසි ලෙසකින්වත් සාර්ථක නොවන බවත් (3) දෙවි පොරොන්දු වූ ලෙසම දාවිත් රජ වන බවත් (4) තමා දාවිත්ට පූර්ණ සහයෝගය ලබා දෙන බවත් (5) ඒ ගැන තම පියා වන සාවුල් රජ දැන සිටින බවත් යොනාතාන් පැවසුවා.—1 සාමුවෙල් 23:17.

^ 19 ඡේ. සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ හෝ ඉවත් වූ කෙනෙකු සමඟ කටයුතු කළ යුතු ආකාරය ගැන වැඩි විස්තර දැනගන්න උපග්‍රන්ථයේ “සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ කෙනෙකු සමඟ කටයුතු කළ යුතු අයුරු” කියන ලිපිය බලන්න.