Skip to content

පටුනට යන්න

8වෙනි පරිච්ඡේදය

දෙවි ප්‍රේම කරන්නේ පවිත්‍ර අයටයි

දෙවි ප්‍රේම කරන්නේ පවිත්‍ර අයටයි

“පවිත්‍ර සිතක් ඇති තැනැත්තාට ඔබ ආශීර්වාද කරන්නෙහිය.”—ගීතාවලිය 18:26.

1-3. (අ) තම දරුවන් පිළිවෙළකට, පිරිසිදුව ඇඳ පැළඳ සිටීම ගැන දෙමාපියන් සැලකිලිමත් වන්නේ ඇයි? (ආ) තම සේවකයන් පවිත්‍රව සිටිනවා දකින්න යෙහෝවා දෙවි කැමති ඇයි? පවිත්‍ර ජීවිතයක් ගත කිරීමට අප පෙලඹෙන්නේ ඇයි?

ගමනක් බිමනක් යෑමට සූදානම් වන විට තම දරුවන් ඇඟපත සෝදාගෙන පිරිසිදුව, පිළිවෙළකට ඇඳ පැළඳ සිටිනවාද යන්න ගැන දෙමාපියන් සැලකිලිමත් වෙනවා. මන්ද සෑම අවස්ථාවකදීම පිරිසිදුව සිටීම තම දරුවන්ගේ නිරෝගී සෞඛ්‍යයට බෙහෙවින් දායක වන බව ඔවුන් දන්නවා. එමෙන්ම තම දරුවන් පිරිසිදුව හා පිළිවෙළකට ඇඳ පැළඳ සිටින විට එය ඔවුන්ටත් මහත් ගෞරවයක්.

2 ඒ හා සමානව අපේ ස්වර්ගික පියාණන් කැමති වන්නේ ඔහුගේ සේවකයන් වන අප පවිත්‍රව සිටිනවා දකින්නයි. මන්ද යෙහෝවා දෙවි අපට බොහෝ සෙයින් ප්‍රේම කරනවා. සෑම අතින්ම පවිත්‍රව සිටීම අපට බෙහෙවින් ප්‍රයෝජනවත් බව ඔහු දන්නවා. එමෙන්ම ඔහුව නියෝජනය කරන අය හැටියට පවිත්‍රව සිට අන් අයගේ හදවත් තුළ ඔහු ගැන හොඳ හැඟීමක් ඇති කරයි කියා ඔහු අපෙන් බලාපොරොත්තු වෙනවා. ඇත්තෙන්ම සෑම අතින්ම පවිත්‍රව, පිළිවෙළකට ඇඳ පැළඳ සිටීමෙන් හා අපේ හැසිරීම හොඳින් පවත්වාගැනීමෙන් අප දෙවිට ගෙන දෙන්නේ මහත් ගෞරවයක්. (එසකියෙල් 36:22; 1 පේතෘස් 2:12 කියවන්න.) ගීතිකාකරු මෙසේ පවසන්නේ ඒ නිසයි. “පවිත්‍ර සිතක් ඇති තැනැත්තාට ඔබ [දෙවි] ආශීර්වාද කරන්නෙහිය.” *ගීතාවලිය 18:26.

3 යෙහෝවා දෙවි පවිත්‍ර අයට ප්‍රේම කරන බව දැන සිටීම පවිත්‍ර ජීවිතයක් ගත කිරීමට අප තුළ පෙලඹීමක් ඇති කරනවා. මන්ද දිගටම දෙවිගේ ප්‍රේමය ලැබීම අපේ ආශාවයි. එමෙන්ම අපත් දෙවිට ප්‍රේම කරන නිසා අප කැමති වන්නේ දෙවිට ගෞරවයක් ලැබෙන ආකාරයෙන් ජීවත් වීමටයි. ඒ නිසා අප පවිත්‍රව සිටිය යුත්තේ ඇයි, පවිත්‍රව සිටීමට ඇතුළත් වන දේවල් හා අපට පවිත්‍රව සිටිය හැක්කේ කෙසේද යන කාරණා ගැන සලකා බලා අප එක් එක් කෙනාට දියුණු විය හැකි පැති හඳුනාගනිමු.

පවිත්‍රව සිටිය යුත්තේ ඇයි?

4, 5. (අ) අප පවිත්‍රව සිටිය යුතු ප්‍රධානතම හේතුව කුමක්ද? (ආ) යෙහෝවා දෙවි පවිත්‍ර දෙවි කෙනෙකු බව ඔහුගේ නිර්මාණවලින් හෙළි වන්නේ කෙසේද?

4 සෑම අතින්ම අප පවිත්‍රව සිටිය යුතු ප්‍රධානතම හේතුව වන්නේ අප නමස්කාර කරන යෙහෝවා දෙවි සෑම ආකාරයකින්ම පවිත්‍ර, ශුද්ධ දෙවි කෙනෙක් වන නිසයි. (ලෙවී කතාව 11:44, 45 කියවන්න.) බයිබලයේ අපට දිරිගන්වා තිබෙන්නේ, “දෙවිව අනුකරණය කරන්නන් වන්න” කියායි.—එෆීස 5:1.

5 යෙහෝවා දෙවිගේ නිර්මාණවලින් ඔහු සතු ගතිලක්ෂණ පමණක් නොව ඔහු පවිත්‍ර දෙවි කෙනෙකු බවටත් සාක්ෂි සපයනවා. (රෝම 1:20) දෙවි මේ පොළොව නිර්මාණය කළේ මිනිසුන්ට වාසය සඳහා සුදුසු, පිරිසිදු නිවහනක් ලෙසයි. එසේ පැවසීමට හේතු කිහිපයක්ම තිබෙනවා. ඔහු මේ පොළොව නිර්මාණය කරන විට වාතය හා ජලය පිරිසිදු කිරීම සඳහා ස්වාභාවික චක්‍ර පිහිටෙව්වා. මිනිසුන්ගේ හා සතුන්ගේ ජීවිතවලට තර්ජනයක් විය හැකි කැළි කසළ දිරාපත් කර පරිසරය පිරිසිදු කිරීමට දෙවි ක්ෂුද්‍ර ජීවීන්වද නිර්මාණය කළා. මිනිසුන්ගේ ආත්මාර්ථකාමී ක්‍රියාවන් නිසා දූෂිත වී තිබෙන පරිසරයේ සෑම අංගයක්ම පවිත්‍ර කිරීම සඳහා අද විද්‍යාඥයන් පවා යොදාගන්නේ දෙවි නිර්මාණය කළ ක්ෂුද්‍ර ජීවීන්වයි. ඒ දේවලින් පැහැදිලි වන්නේ, ‘මේ පොළොව සෑදූ’ යෙහෝවා දෙවි පවිත්‍රකම කොතරම් වැදගත් දෙයක් ලෙස සලකනවාද යන්නයි. (යෙරෙමියා 10:12) එසේනම් ඔහුව අනුකරණය කරන අය හැටියට අපත් පවිත්‍රව සිටීම වැදගත් දෙයක් ලෙස සැලකිය යුතුයි.

6, 7. දෙවි තමන්ට නමස්කාර කරන අයගෙන් පවිත්‍රකම බලාපොරොත්තු වන බව මෝසෙස්ට දුන් නීතියෙන් පැහැදිලි වන්නේ කෙසේද?

6 පවිත්‍රව සිටීමට අප උත්සාහ දැරිය යුතු තවත් හේතුවක් වන්නේ විශ්වයේ පාලකයා වන යෙහෝවා දෙවි තමන්ට නමස්කාර කරන අයගෙන් එය බලාපොරොත්තු වන නිසයි. දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීතිය දෙස බලන විට නමස්කාරය හා පවිත්‍රකම අතර කිට්ටු සම්බන්ධයක් තිබෙන බව පැහැදිලි වෙනවා. උදාහරණයකට සමඟි වීමේ දවසේදී උත්තම පූජකයා තම වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා දෙවරක් ස්නානය කළ යුතු බව නීතියේ සඳහන් වුණා. (ලෙවී කතාව 16:4, 23, 24) එමෙන්ම පූජකයන් ලෙස සේවය කළ අය පූජා ඔප්පු කිරීමට කලින් ඔවුන්ගේ අත් පා සෝදාගත යුතු බවත් එහි සඳහන් වුණා. (නික්මයාම 30:17-21; 2 ලේකම් 4:6) කෙනෙකු අපවිත්‍ර විය හැකි ආකාර 70ක් ගැනද එහි සඳහන් කර තිබුණා. ඉන් එක් ආකාරයකින් හෝ කෙනෙකු අපවිත්‍ර වී සිටිනවා නම් ඔහුට නමස්කාරය හා සම්බන්ධ කටයුතුවලට සහභාගි විය නොහැකියි. කෙනෙකු ඒ නීතිය නොසලකාහැරියොත් සමහර අවස්ථාවලදී ඔහුට ලැබෙන දඬුවම මරණයයි. (ලෙවී කතාව 15:31) එමෙන්ම අපවිත්‍ර වූ කෙනෙකුට පවිත්‍ර වීම සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත්ද නීතියේ සඳහන් කර තිබුණා. ඊට ස්නානය කිරීම හා තම ඇඳුම් සෝදා පිරිසිදු කරගැනීම වැනි දේවල්ද ඇතුළත් වුණා. නමුත් කෙනෙකු ඒ පිළිවෙත් අනුගමනය කිරීම ප්‍රතික්ෂේප කළොත් නීතියේ සඳහන් වුණේ, “ඔහුව මරා දැමිය යුතු” බවයි.—ගණන් කතාව 19:17-20.

7 අද අප මෝසෙස්ට දුන් නීතිය යටතේ නොසිටියත් එහි සඳහන් දේවලින් දෙවි සිතන ආකාරය තේරුම්ගත හැකියි. දෙවි තමන්ට නමස්කාර කරන අයගෙන් පවිත්‍රකම බලාපොරොත්තු වූ බව එහි සඳහන් සමහර නීතිවලින් මනාව පැහැදිලි වෙනවා. දෙවි සිතන ආකාරය වෙනස් වී නැහැ. ඔහු අදත් සිතන්නේ එදා සිතූ ආකාරයටමයි. (මලාකි 3:6) ඒ නිසා අප ඔහුට කරන නමස්කාරය ඔහු පිළිගැනීමට නම් එය, “කිසි කැළැලක් නැති පවිත්‍ර” නමස්කාරයක් විය යුතුයි. (යාකොබ් 1:27) “කිසි කැළැලක් නැති පවිත්‍ර” නමස්කාරයක් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

“කිසි කැළැලක් නැති පවිත්‍ර” නමස්කාරයට ඇතුළත් දේ

8. “කිසි කැළැලක් නැති පවිත්‍ර” නමස්කාරයට ඇතුළත් වන්නේ මොනවාද?

8 බයිබලයට අනුව අප දෙවිට කරන නමස්කාරය පවිත්‍රව තිබිය යුතු අතර සදාචාරමය අතින්ද සිතුවිලිවලින්ද ශාරීරිකවද අප පවිත්‍රව සිටීම අත්‍යවශ්‍යයි. ඉන් අදහස් කරන්නේ අපේ ජීවිතයේ සෑම පැත්තකින්ම අප පවිත්‍රව සිටිය යුතු බවයි. දැන් අපි ඒ එක් එක් පැති ගැන සලකා බලමු.

9, 10. නමස්කාරය පවිත්‍රව තබාගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? සැබෑ ක්‍රිස්තියානීන් වැළකී සිටින්නේ කුමන දේවලින්ද?

9 නමස්කාරය පවිත්‍රව තබාගැනීම. බැබිලෝනියේ වහලුන්ව සිටි ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා දෙවිට කළ නමස්කාරය නැවත පිහිටුවීම සඳහා බැබිලෝනියේ සිට යෙරුසලමට පැමිණෙන විට දෙවි ඔවුන්ට මෙසේ අවවාද කළා. “එම ස්ථානයේ තවත් රැඳී නොසිටින්න. කිසිම අපවිත්‍ර දෙයකට අත නොගසන්න. . . . පවිත්‍රව සිටින්න.” (යෙසායා 52:11) බැබිලෝනිවරුන්ගේ ආගමික ඉගැන්වීම් හා චාරිත්‍ර වාරිත්‍ර සියල්ලම යෙහෝවා දෙවිට අගෞරවයක් ගෙන දෙන දේවලුයි. ඒ නිසා දෙවිට පිළිගත හැකි නමස්කාරයක් දීමට නම් ඊශ්‍රායෙල් සෙනඟ ඒ දේවල් තම නමස්කාරයට සම්බන්ධ නොකළ යුතු වුණා. ඉන් පැහැදිලි වන්නේ නමස්කාරය පවිත්‍රව තබාගැනීමට නම් අසත්‍යය උගන්වන ආගම්වල තිබෙන කිසිම දෙයක් සැබෑ නමස්කාරය සමඟ සම්බන්ධ නොකළ යුතු බවයි.

10 අද දින අපිත් අසත්‍යය උගන්වන ආගම්වලට සම්බන්ධ දේවලින් අපේ නමස්කාරය දූෂ්‍ය වීමට ඉඩ නොදිය යුතුයි. (1 කොරින්ති 10:21 කියවන්න.) අද තිබෙන සෑම දෙයක්ම අසත්‍යය උගන්වන ආගම්වල බලපෑමට හසු වී තිබෙන නිසා වෙන කවරදාකටත් වඩා අප ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. උදාහරණයකට බොහෝ චාරිත්‍ර වාරිත්‍ර බිහි වී තිබෙන්නේ මරණයෙන් පසු ජීවිතයක් තිබෙන බවට වූ බොරු ඉගැන්වීම නිසයි. (දේශනාකාරයා 9:5, 6, 10) ඒ අනුව අසත්‍යය උගන්වන ආගම්වලට යම් ආකාරයකින් හෝ සම්බන්ධ වන චාරිත්‍රවලින් සැබෑ ක්‍රිස්තියානීන් වැළකී සිටිනවා. * සමහර අවස්ථාවලදී අන් අයගේ බලපෑම නිසා එසේ කිරීම අපහසු දෙයක් වුණත් අප කිසිවිටක අපේ ස්ථාවරය වෙනස් කරන්නේ නැහැ.—ක්‍රියා 5:29.

11. සදාචාරය පවිත්‍රව තබාගැනීමට ඇතුළත් වන්නේ කුමක්ද? එය වැදගත් වන්නේ ඇයි?

11 සදාචාරය පවිත්‍රව තබාගැනීම. ලිංගික දුරාචාරයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීම ඊට ඇතුළත් වෙනවා. (එෆීස 5:5 කියවන්න.) වේශ්‍යාකම වෙතින් පලා දුවන්න” කියා බයිබලයේ අපට අවවාද කර තිබෙන්නේ ඒ නිසයි. (1 කොරින්ති 6:18) කෙනෙකු දිගින් දිගටම දුරාචාරයේ නියැලෙනවා නම් එවැනි කෙනෙකුට, “දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැති” බවත් එහි පවසා තිබෙනවා. (1 කොරින්ති 6:9, 10) ඇත්තෙන්ම එවැනි ක්‍රියාවල නියැලෙන අයව දෙවි සලකන්නේ, “අපවිත්‍ර මෙන්ම පිළිකුල් දේවල් කරන අය” ලෙසයි. ඔවුන්ට, “හිමි වන්නේ . . . දෙවෙනි මරණයයි.” (එළිදරව් 21:8) ඒ නිසා අපේ සදාචාරය පවිත්‍රව තබාගැනීම මොන තරම් වැදගත්ද!

12, 13. අපේ සිතුවිලි හා ක්‍රියාවන් අතර තිබෙන සම්බන්ධය කුමක්ද? අපේ සිතුවිලි පවිත්‍රව තබාගත හැක්කේ කෙසේද?

12 සිතුවිලි පවිත්‍රව තබාගැනීම. අපේ මනස හානිකර දේවලින් පෝෂණය කරනවා වෙනුවට නිතිපතා බයිබලය අධ්‍යයනය කර යහපත් සිතුවිලිවලින් අපේ මනස පෝෂණය කරනවා නම් අපට අපේ සිතුවිලි පවිත්‍රව තබාගත හැකියි. (ගීතාවලිය 19:8, 9) ඒ නිසා විනෝදය සඳහා අප නරඹන, කියවන හා අසන දේවල් ගැන අප පරෙස්සම් විය යුතුයි. * ඇත්තෙන්ම සිතුවිලි පවිත්‍රව තබාගැනීම ඉතා වැදගත්. මන්ද අපව ක්‍රියාවට පොලඹවන්නේ අපේ සිතේ තිබෙන දේවලුයි. (මතෙව් 5:28; 15:18-20) අපේ සිත නරක සිතුවිලිවලින් පුරවාගත්තොත් දෙවිට පිළිකුල් ක්‍රියාවන් කිරීමට අප පෙලඹෙන ඉඩකඩ වැඩියි. නමුත් අප අපේ සිත පවිත්‍ර, නිර්මල සිතුවිලිවලින් පුරවාගත්තොත් අපේ හැසිරීම නිර්මලව තබාගැනීමට අපට හැකි වෙනවා.—ෆිලිප්පි 4:8 කියවන්න.

13 අප සලකා බැලූ පැති තුනෙන්ම එනම් අපේ නමස්කාරය, සදාචාරය හා සිතුවිලි පවිත්‍රව තබාගැනීම දෙවිගේ ප්‍රේමය දිගටම ලබාගැනීමට අපට මහඟු උපකාරයක්. ඒ නිසා ඒ පැති තුන සම්බන්ධයෙන් වැඩි විස්තර මේ පොතේම වෙනත් පරිච්ඡේදවල සාකච්ඡා කරනවා. නමුත් දැන් අපි ශාරීරිකව පවිත්‍රව සිටීමට ඇතුළත් වන දේවල් ගැන සලකා බලමු.

ශාරීරිකව පවිත්‍රව සිටිමු

14. ශාරීරික පවිත්‍රකම පෞද්ගලික කාරණයක් කියා නොසිතිය යුත්තේ ඇයි?

14 ශාරීරිකව පවිත්‍රව සිටීමට අපේ සිරුර හා අපේ ඇඳුම් පැළඳුම් පිරිසිදුව තබාගැනීම මෙන්ම අපේ වටපිටාව පිරිසිදුව තබාගැනීමත් ඇතුළත්. ශාරීරික පවිත්‍රකම පෞද්ගලික කාරණයක් කියා සිතා එය කිසිවිටක සැහැල්ලුවට නොගත යුතුයි. මන්ද ශාරීරික පවිත්‍රකම යෙහෝවා දෙවි සලකන්නේ ඉතා වැදගත් දෙයක් ලෙසයි. එමෙන්ම පවිත්‍රව සිටීමෙන් අපට බොහෝ ප්‍රයෝජන අත් වන අතර දෙවි ගැන අන් අය තුළ හොඳ හැඟීමක් ඇති කිරීමටත් අපට හැකි වෙනවා. අප මුලින් සලකා බැලූ උදාහරණය ගැන නැවත සිතන්න. දරුවෙකු සෑමවිටම අපිරිසිදුව, අපිළිවෙළකට හා ගඳ ගසමින් සිටිනවා නම් ඒ දරුවාගේ දෙමාපියන් ගැන අන් අය තුළ හොඳ හැඟීමක් ඇති වන්නේ නැහැ. ඒ හා සමානව අපේ පෙනුම හා අපේ වටපිටාව අපවිත්‍ර නම් යෙහෝවා දෙවිට අප ගෙනෙන්නේ අගෞරවයක්. එමෙන්ම අප දේශනා කරන පණිවිඩයේ තිබෙන වැදගත්කම බාල විය හැකියි. ඒ නිසා අපේ ශාරීරික පවිත්‍රකම ගැන අප බෙහෙවින් සැලකිලිමත් විය යුතුයි. අප එසේ සැලකිලිමත් වෙනවා නම් මේ වදන් සැබෑවක් වන බව නිසැකයි. “කිසිවෙකුටවත් අප නිසා අපහසුතාවකට ලක් වෙන්න අපි ඉඩ තබන්නේ නැත. අප එසේ කරන්නේ කිසිවෙකු අපගේ සේවයට දෝෂාරෝපණය නොකිරීම සඳහාය. එහෙයින් දෙවිගේ සේවකයන් වීමට අපට තිබෙන සුදුසුකම් අපි සෑම අයුරින්ම ඔප්පු කර පෙන්වන්නෙමු.” (2 කොරින්ති 6:3, 4) දැන් අපි ශාරීරික පවිත්‍රකමට ඇතුළත් වන දේවල් ගැන සලකා බලමු.

15, 16. හොඳ පුරුදුවලට ඇතුළත් වන්නේ මොනවාද? අපේ ඇඳුම් සම්බන්ධයෙන් වඩා වැදගත් වන්නේ මොනවාද?

15 අපේ සිරුර හා පෙනුම. මිනිසුන්ගේ ජීවන තත්වය හා සංස්කෘතීන් රටින් රටට වෙනස් වුණත් වතුර, සබන් වැනි දේවල් ඕනෑම කෙනෙකුට ලබාගත හැකියි. ඒ නිසා අපටත් අපේ දරුවන්ටත් නිතිපතා අපේ ශරීරය පිරිසිදු කරගැනීමට හැකිකම තිබෙනවා. එමෙන්ම කෑම පිසීමට පෙර, ආහාර ගැනීමට පෙර, වැසිකිළියට ගිය පසු, දරුවෙකුව සේදූ පසු හා දරුවෙකුගේ නැපිය මාරු කළ පසු අපේ දෑත් සබන් ගා සේදීම වැනි හොඳ පුරුදු අපේ එදිනෙදා ජීවිතය තුළ තිබිය යුතුයි. ඇත්තෙන්ම එවැනි හොඳ පුරුදු නිසා බැක්ටීරියා හා වෛරස් මගින් සෑදෙන රෝග බොහොමයකින් අපට ආරක්ෂා විය හැකි අතර සමහරවිට කොලරාව වැනි මාරාන්තික ලෙඩ රෝගවලින්ද ආරක්ෂා විය හැකියි. වැසිකිළි පද්ධතියක් නැති රටවල ජීවත් වන අයට පුරාණ ඊශ්‍රායෙල්වරුන් මෙන් ඒවා වළලා දැමීමට පියවර ගත හැකියි.—ද්විතීය කතාව 23:12, 13.

16 අපේ පෙනුම හොඳින් තබාගැනීමට අපේ ඇඳුම් පැළඳුම් මිල අධික හෝ අලුත් විලාසිතා වීමට අවශ්‍ය නැහැ. ඒ වෙනුවට ඇඳුම් නිතිපතා සෝදා පිරිසිදුව, පිළිවෙළකට හා විනීතව තිබීම ඉතා වැදගත්. (1 තිමෝති 2:9, 10 කියවන්න.) අප කොතැනක ජීවත් වුණත් අපේ ආශාව වන්නේ, “අපට ගැලවීම සලසා දෙන දෙවිගේ ඉගැන්වීම්වල වටිනාකම” අන් අයට පෙන්වීමයි.—තීතස් 2:10.

17. අපේ නිවස හා වටපිටාව පිරිසිදුව හා පිළිවෙළකට තබාගැනීම වැදගත් වන්නේ ඇයි?

17 අපේ නිවස හා වටපිටාව. ඒවා පිරිසිදුව තබාගැනීමට අපේ නිවස සුඛෝපභෝගි නිවසක්ම විය යුතු නැහැ. අප ජීවත් වන ස්ථානය කුමනාකාරයේ තැනක් වුණත් වැදගත් වන්නේ එය පිරිසිදුව හා පිළිවෙළකට තබාගැනීමයි. එමෙන්ම රැස්වීම්වලට හා සේවයේ යෑම සඳහා අප භාවිත කරන වාහනයේ පිටත හා ඇතුළත හැකි පමණින් පිරිසිදුව තබාගැනීමට අප උත්සාහ කළ යුතුයි. අපේ නිවසේ හා වටපිටාවේ පිරිසිදුකම දෙවි ගැන හොඳ සාක්ෂියක් දැරීමට දායක වන බව කිසිවිටක අමතක නොකරමු. මන්ද අප අන් අයට පවසන්නේ අප නමස්කාර කරන දෙවි පවිත්‍ර දෙවි කෙනෙක් බවයි. එමෙන්ම, “පොළොව විනාශ කර දමන අයව” ඔහු විනාශ කර දමන බවත් ඔහුගේ රාජ්‍යය මගින් මේ මුළු පොළොවම පාරාදීසයක් බවට පත් කරන බවත් අප ඔවුන්ට පවසනවා. (එළිදරව් 11:18; ලූක් 23:43) ඇත්තෙන්ම අපේ නිවස හා අප සතු දේවල් පිරිසිදුව හා පිළිවෙළකට තබාගැනීමෙන් අප පෙන්වන්නේ පාරාදීස පොළොවක ජීවත් වීමට අවශ්‍ය හොඳ පුරුදු දැන්මම අප වර්ධනය කරගනිමින් සිටින බවයි.

ශාරීරිකව පවිත්‍රව සිටීමට අපේ සිරුර හා වටපිටාව පිරිසිදුව තබාගැනීම ඇතුළත්

18. නමස්කාරය සඳහා අප රැස් වන ස්ථානය ගෞරවනීය ආකාරයෙන් තබාගත හැක්කේ කෙසේද?

18 අපේ නමස්කාර ස්ථානය. රැස්වීම් පැවැත්වීම සඳහා අප එක් රැස් වන ස්ථානය අපේ ප්‍රදේශයේ සැබෑ දෙවිට නමස්කාර කිරීම සඳහා තිබෙන මධ්‍යස්ථානයයි. අප දෙවිට ප්‍රේම කරන නිසා එම ස්ථානය ගෞරවනීය ආකාරයෙන් තබාගැනීමට අපට හැකි උපරිමය අප කරනවා. එසේ අප එය පිරිසිදුව හා පිළිවෙළකට තබාගන්නා විට නවකයන් තුළ යෙහෝවා දෙවි ගැන හොඳ හැඟීමක් ඇති කිරීමට අපට හැකි වෙනවා. ඒ නිසා එය නිතිපතා පිරිසිදු කිරීමට හා නඩත්තු කටයුතු කිරීමට නිසි සැලැස්මක් සෑම සභාවකම ක්‍රියාත්මක විය යුතුයි. අප එක් එක් කෙනා එම සැලැස්මට පූර්ණ සහයෝගය දැක්වීමෙන් දෙවිට නමස්කාර කිරීමට රැස් වන ස්ථානය ගෞරවනීය අන්දමින් තබාගැනීමට අපටත් දායක විය හැකියි. ඇත්තෙන්ම එය මොන තරම් වරප්‍රසාදයක්ද! (2 ලේකම් 34:10) එම කාරණා සමුළු හා එක්රැස්වීම් පවත්වන ස්ථාන සම්බන්ධයෙන්ද අදාළ කරගත යුතුයි.

අපවිත්‍ර පුරුදු හා ක්‍රියාවලින් ඈත් වෙමු

19. ශාරීරිකව පවිත්‍රව සිටීමට නම් අප වැළකී සිටිය යුතු දේවල් මොනවාද? ඒවායින් වැළකී සිටීමට බයිබලය අපට උපකාරවත් වන්නේ කෙසේද?

19 ශාරීරිකව පවිත්‍රව සිටීමට අද සමාජයේ පොදුවේ දක්නට ලැබෙන බොහෝ පුරුදු හා ක්‍රියාවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටීමත් ඇතුළත් වෙනවා. ඊට උදාහරණ ලෙස දුම්පානය, බීමත්කම, මත්ද්‍රව්‍ය භාවිතය හා යම් ඖෂධවලට ඇබ්බැහි වීම සඳහන් කළ හැකියි. අද සමාජයේ බහුලව දක්නට තිබෙන සෑම අපවිත්‍ර පුරුදු හා ක්‍රියාවන් ගැන බයිබලයේ සඳහන් වන්නේ නැහැ. නමුත් එවැනි පුරුදු හා ක්‍රියාවන් ගැන යෙහෝවා දෙවිට හැඟෙන ආකාරය තේරුම්ගැනීමට උපකාරවත් වන ප්‍රතිපත්ති බයිබලයේ සඳහන් වී තිබෙනවා. ඒ ප්‍රතිපත්ති ගැන හොඳ අවබෝධයක් අප ලබාගන්නා විට යෙහෝවා දෙවි කෙරෙහි අපට තිබෙන ප්‍රේමය නිසා ඔහුව සතුටු කරන පුරුදු හා ක්‍රියාවන් වර්ධනය කරගැනීමට අපට හැකි වෙනවා. දැන් අපි බයිබලයේ සඳහන් එවැනි ප්‍රතිපත්ති පහක් ගැන සලකා බලමු.

20, 21. දෙවි බලාපොරොත්තු වන්නේ මොන වගේ පුරුදුවලින් අප වැළකී සිටියි කියාද? එසේ කිරීමට අපට තිබෙන ප්‍රබල හේතුව කුමක්ද?

20 “ප්‍රේමණීය සහෝදරයෙනි, අපට ඒ පොරොන්දු ලබා දී තිබෙන නිසා අපගේ මනස සහ ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වී අපි අපවම පවිත්‍ර කරගනිමු. එලෙසම දේවගරුබිය දක්වමින් අපගේ ශුද්ධකම දිනෙන් දින පූර්ණ මට්ටමකට ගෙනෙමු.” (2 කොරින්ති 7:1) අපේ සිරුරට හා මනසට අහිතකරව බලපෑ හැකි පුරුදුවලින් වැළකී සිටීම දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අබ්බැහි විය හැකි එවැනි පුරුදුවලින් ක්‍රිස්තියානීන් වන අප සම්පූර්ණයෙන්ම ඈත් විය යුතුයි.

21 ඇත්තෙන්ම “අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත්” වීමට අපට ප්‍රබල හේතුවක් තිබෙනවා. දෙවෙනි කොරින්ති 7:1හි පවසන්නේ, “අපට ඒ පොරොන්දු ලබා දී තිබෙන නිසා” අප එසේ කළ යුතු බවයි. අපට දී තිබෙන, “ඒ පොරොන්දු” මොනවාද? දෙවෙනි කොරින්ති 6:17 හා 18 යන පදවලින් අපට එය දැනගත හැකියි. එහි යෙහෝවා දෙවි පවසන්නේ, “මම ඔබව පිළිගන්නෙමි. මම ඔබට පියෙක් වන්නෙමි” කියායි. ඉන් පැහැදිලි වන්නේ තම දරුවන්ට ප්‍රේම කරන පියෙකු මෙන් යෙහෝවා දෙවිත් අපට ප්‍රේම කරමින් අපව රැකබලා ගන්නා බවයි. නමුත් දෙවි අප සමඟ එලෙස කටයුතු කරන්නේ අපේ, “මනස සහ ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම” අප ඈත් වුණොත් පමණයි. එසේනම් යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට තිබෙන අවස්ථාව අහිමි කරන අපවිත්‍ර පුරුදු හෝ ක්‍රියාවල දිගින් දිගටම නියැලීම මොන තරම් මෝඩකමක්ද!

22-25. අපවිත්‍ර පුරුදු හා ක්‍රියාවලින් වැළකී සිටීමට අපට උපකාරවත් වන බයිබල් ප්‍රතිපත්ති සමහරක් මොනවාද?

22 “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.” (මතෙව් 22:37) උතුම්ම ආඥාව ලෙස යේසුස් හඳුන්වා දුන්නේ එම ආඥාවයි. (මතෙව් 22:38) ඇත්තෙන්ම යෙහෝවා දෙවි එවැනි ප්‍රේමයක් ලබන්න වටින දෙවි කෙනෙක්. නමුත් අපේ ආයු කාලය කෙටි කරන, දෙවි අපට දී තිබෙන සිතීමේ හැකියාව මොට කරන පුරුදුවල අප නියැලෙනවා නම් දෙවි කෙරෙහි එවැනි ප්‍රේමයක් අපට පෙන්විය හැකිද?

23 “සියලුදෙනාටම ජීවිතයත් හුස්මත් අන් සියලු දේත් දෙන්නේ ඔහුයි [යෙහෝවා දෙවියි].(ක්‍රියා 17:24, 25) ජීවිතය දෙවිගෙන් අපට ලැබී තිබෙන අගනා තෑග්ගක්. එය දුන් යෙහෝවා දෙවිට අප ප්‍රේම කරන නිසා එම තෑග්ග අප අගය කරන බව පෙන්වීම අපේ ආශාවයි. අපේ සෞඛ්‍යයට යම් හානියක් සිදු විය හැකි පුරුදු හා ක්‍රියාවල අප නියැලෙනවා නම් ඉන් පෙන්වන්නේ දෙවි දුන් තෑග්ග ගැන අපට කිසි අගයක් නැති බවයි. ඒ නිසා අප එවැනි පුරුදු හා ක්‍රියාවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටීම මොන තරම් වැදගත්ද!—ගීතාවලිය 36:9.

24 “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.” (මතෙව් 22:39) කෙනෙකු අපවිත්‍ර පුරුදු හා ක්‍රියාවල නියැලෙනවා නම් එය ඔහුට පමණක් නොව ඔහු අවට සිටින අයටත් අහිතකරව බලපානවා. දුම්පානය කිරීමේ පුරුද්ද ඊට හොඳ උදාහරණයක්. කෙනෙකු එවැනි පුරුදු හෝ ක්‍රියාවලට අබ්බැහි වී සිටිනවා නම් ඔහුට තම අසල්වැසියා කෙරෙහි ප්‍රේමයක් තිබෙනවා කියා පැවසිය නොහැකියි. එමෙන්ම ඔහුට දෙවි කෙරෙහිද ප්‍රේමයක් නැති බව ඉන් පැහැදිලි වෙනවා.—1 යොහන් 4:20, 21.

25 ‘ආණ්ඩුවල බලධාරීන්ට කීකරුව යටත්ව සිටීමට සූදානම්ව සිටින්න.(තීතස් 3:1) බොහෝ රටවල මත්ද්‍රව්‍ය හා සමහරක් ඖෂධ වර්ග ළඟ තබාගැනීම හෝ භාවිතයට ගැනීම නීති විරෝධියි. ඒ නිසා සැබෑ ක්‍රිස්තියානීන් වන අප, නීතියට පටහැනි එවැනි ක්‍රියාවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටිනවා.—රෝම 13:1.

26. (අ) දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට අප කළ යුත්තේ කුමක්ද? (ආ) පවිත්‍ර ජීවිතයක් ගත කිරීම ජීවත් විය හැකි හොඳම ආකාරය කියා පැවසිය හැක්කේ ඇයි?

26 දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීම සඳහා අප සෑම ආකාරයකින්ම පවිත්‍රව සිටීමට වගබලා ගත යුතුයි. අපවිත්‍ර පුරුදු හෝ ක්‍රියා අත්හැරීමත් දිගටම එවැනි දේවලින් වැළකී සිටීමත් එතරම් පහසු දෙයක් නොවන්න පුළුවන්. නමුත් එය කළ නොහැකි දෙයක් නොවෙයි. * යෙහෝවා දෙවි අපට යමක් පවසා තිබෙනවා නම් ඔහු එය පවසා තිබෙන්නේ අපේම යහපත වෙනුවෙනුයි. ඒ නිසා ඔහු පෙන්වා තිබෙන ආකාරයට කටයුතු කිරීම ජීවත් විය හැකි හොඳම ක්‍රමයයි. (යෙසායා 48:17 කියවන්න.) පවිත්‍ර ජීවිතයක් ගත කිරීමෙන් අප ප්‍රේම කරන යෙහෝවා දෙවි ගැන අන් අය තුළ හොඳ හැඟීමක් ඇති කිරීමට අපට හැකි වන බව දැන සිටීමම අපට මහත් තෘප්තියක්!

^ 2 ඡේ. මුල් භාෂාවට අනුව කෙනෙකුට “පවිත්‍ර සිතක්” ඇති බව පවසන විට ඉන් ඔහු ශාරීරිකව පවිත්‍රව සිටින බව අදහස් කළත් බොහෝදුරට ඉන් අදහස් කරන්නේ සදාචාරය අතින්ද නමස්කාරය හා සම්බන්ධ කාරණාවලදීද ඔහු පවිත්‍රව සිටින බවයි.

^ 67 ඡේ. නම වෙනස් කර ඇත.